ගොහොරු විල මතු වන සැම්බියානු පාපන්දු නෙළුම බාබ්‍රා | සිළුමිණ

ගොහොරු විල මතු වන සැම්බියානු පාපන්දු නෙළුම බාබ්‍රා

 

‘ඇතැම් විට නෙළුම් පිපෙන්නේ කලල් ගොඩක ය. සුනිල දිය මත නොපිපී එවැනි මඩ ගොහුරක උපන්න ද නෙළුම සුවඳ ය. ඇය ද අප්‍රිකානු නෙළුමක් වැනි ය. වියළී ගිය අප්‍රිකාවේ කර්කශ පාපන්දු ගොහොරුවේ උපන් ඈ ලෝකයේ අවධානයට නතු වන්නේ සුන්දර ජපානයේදී ය.’

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට අයත් කාන්තා පාපන්දු තරගාවලිය ආරම්භ වූයේ පසුගිය 21 වැනිදා ය. එදින පවත්වන ලද තරග අතරට ලොව අංක එක හිමි කාන්තා පාපන්දු කණ්ඩායම වන අමෙරිකාව ද ඉතිහාසයේ පළමු වරට ඔලිම්පික් තරගාවලියකට සුදුසුකම් ලැබූ සැම්බියාව ද එක්ව සිටියෙ ය.

අමෙරිකාව ලෝකයේ අංක පහ හිමි ස්වීඩනය සමඟ තරග කරද්දී ආධුනිකයන් වූ සැම්බියාවට තරග කරන්නට සිදුව තිබුණේ ලෝකයේ හතර වැනි ස්ථානය හිමි නෙදර්ලන්තය සමගිනි. සැම්බියාව පසුවූයේ 104 වැනි ස්ථානයේ ය.

මේ නිසා එදින පැවැත්වීමට නියමිත ව තිබූ තරග අතරින් වැඩිම ප්‍රේක්ෂක හා විචාරක අවධානය යොමු වී තිබුණේ අමෙරිකා - ස්වීඩන් තරගය වෙත ය. දිනන්නේ කවුදැයි දෙවරක් නොසිතාම කියන්න නොදන්නේ කවුදැයි සොයා ගැනීමටවත් නොහැකි නිසාදෝ සැම්බියා - නෙදර්ලන්ත තරගයට කිසිවකුගේ හෝ අවධානයක් යොමු නොවූ තරම් ය.

අමෙරිකා - ස්වීඩන් තරගය නිමාවට පත්වන විට විචාරක මත බිඳ දමමින් ගෝල 3-0 ක පෙරළිකාර ජයක් වාර්තා කරන්නට ස්වීඩනය සමත් වෙද්දී කිසිවකුගේ අවධානයට ලක් නොවූ සැම්බියා නෙදර්ලන්ත තරගයේ දී නෙදර්ලන්තය ගෝල 10-03 ක් ලෙස සැම්බියාව අසරණ කර තිබුණි.

කාලගුණය මෙන් ප්‍රේක්ෂක හා විචාරක අවධානය ද සැණෙකින් වෙනස් වීම ආරම්භ වූයේ අමෙරිකා-ස්වීඩන් තරගයත් සැම්-බියා-නෙදර්ලන්ත තරගයට මාරු වෙමිනි.

සැම්බියාව මුහුණ දුන් පළමු කාන්තා ඔලිම්පික් පාපන්දු තරගය එය විය. ඔවුන් මෙවර මෙම තරගාවලියට සුදුසුකම් ලබා ඇත්තේ අප්‍රිකානු කලාපීය කාන්තා කිරුළ නව වරක්ම හිමි කර ගෙන සිටි නයිජීරියාව හා මීළඟ ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා සිටින කැමරූන් වැනි ප්‍රබල කණ්ඩායම් පරාජය කරමිනි.

තමන්ට වඩා ලෝක ශ්‍රේණි සටහනේ ස්ථාන 100 ක් ඉහළින් සිටින කණ්ඩායමක් සමඟ සහභාගී වූ පළමු ඔලිම්පික් තරගයේ දී හිමිවූයේ අන්ත පරාජයක් වුවද ඊට ඉතිහාස ගත වන කුසලාන රැසක් එක් කරන්නට සැම්බියාවට හැකි වී තිබුණි.

මේ තරගයේ දී සැම්බියානු නායිකා බාබ්‍රා ඛන්ඩා ඔලිම්පික් පාපන්දු තරගයකදී පළමු ගෝලය වාර්තා කළ සැම්බියානු ක්‍රීඩිකාව ලෙස ඉතිහාස ගත වූවා ය. ඒ 19 වැනි විනාඩියේ දී ඇය වාර්තා කළ ගෝලය නිසා ය.

ඉන් නොනැවතුණු 21 හැවිරිදි බාබ්‍රා 82 වැනි හා 83 වැනි විනාඩි ගෙවී යද්දී තවත් ගෝල දෙකක්ම වාර්තා කළා ය. ඉන් ඇය ඔලිම්පික් තරගයකදී ගෝල ත්‍රිත්වයක් වාර්තා කළ පළමු වැනි අප්‍රිකානු කලාපීය ක්‍රීඩිකාව බවට පත් විණි.

ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම ගෝල වාර්තා වූ කාන්තා පාපන්දු තරගය ලෙස එය සටහන් වූ අතර නෙදර්ලන්ත ක්‍රීඩිකා විවියන් මෙඩේටා ද 9,15,29 හා 59 යන විනාඩි ගෙවී යද්දී ගෝල හතරක් වාර්තා කර තිබූ බැවින් ගෝල ත්‍රිත්ව දෙකක් වාර්තා වූ පළමු ඔලිම්පික් තරගය ලෙස ද එය ඉතිහාස ගත විය.

මේ වන විට චීනයේ චෙන්හායි ෂෙන්ග්ලි ක්‍රීඩා සමාජයේ වෘත්තීය පාපන්දු ක්‍රීඩිකාවක වන 2018 වසරේ සිට ජාතික පිලද නියෝජනය කරන්නීය.

අන්ත පරාජයකට සුන්දර මතක සටහන් එක් කළ බාබ්‍රා ඛන්ඩා එම තරගයත් සමගම ලෝක අවධානය දිනාගන්නටද සමත් වීම විශේෂත්වයකි.

සීවලී එදිරිවීර

Comments