කොවිඩ් වඩාත් දුරස් කළ ඔලිම්පික් ලිංගික සංස්කෘතිය | Page 2 | සිළුමිණ

කොවිඩ් වඩාත් දුරස් කළ ඔලිම්පික් ලිංගික සංස්කෘතිය

 

 ‘ලොව පුරා කොවිඩ් ය. එයින් මිදීමට ඇති තහවුරු කළ එකම මඟ පුද්ගල දුරස්ථභාවය හැකිතාක් තබා කරගැනීම ය. අසීමිත දුරස් බවක් පැවැත්වීමට නොහැකි නමුත් මීටරයක, දෙකක පරතරයකින් දුරස් වෙමින් ජීවත් වීම මෙම වසංගත රෝගයෙන් මිදෙන්නට ඇති එකම සැනසිල්ල ය. එය මනා සැලකිල්ලෙන් හා අවබෝධයෙන් යුතුව අනුගමනය කරන්නේ නම් කොවිඩ් වයිරසය පරදවාලිය හැකි ය. මෙවර ඔලිම්පික් තරගාවලිය ඇරැඹෙන්නේ එවැනි පසුබිමක ය.

වෙනදා විවිධ රටවල ධජ පතාක ලෙළවමින් ක්‍රීඩාංගණ තුළ මෙන්ම ක්‍රීඩාංගණ පිටත පොදි කන ක්‍රීඩා ලෝලීහු අද ටෝකියෝවේ නැත.

ප්‍රේක්ෂකයන් නොමැති හිස් ප්‍රේක්ෂකාගාරවලින් නැඟෙන පරිගණක මතු කරන කෘත්‍රිම උද්යෝගී ප්‍රීති ඝෝෂා ක්‍රීඩක ඔදතෙද ඉහළ නැංවීමේ නොතිත් උත්සාහයක නියැල‍ෙළමින් තිබේ. එලෙස නැඟෙන ප්‍රීති ඝෝෂා මතු කරන හිස් ප්‍රේක්ෂකාගාර ඉදිරියේ ක්‍රීඩකයෝ දස්කම් වැඩිදියුණු කරගන්නට දඟකන්නේ පළමුව තමන් හා දෙවනුව විද්යුත් ඇස් සතුටු කරවන්නට ය.

එහෙත් හුදෙකලා භාවයෙන් යුතු ව තමන්ගේ උපරිමය සොයා සටන් වැදීම එතරම් ලෙහෙසි පහසු නැත. එය මානසිකව දැඩි පීඩාකාරී ය.

කොවිඩ් නිසා පිටියේ හුදෙකලා වන ක්‍රීඩකයාට ටෝකියෝවේ ඇති වන ඔවුනගේ මානසික විඩාව දුරලීම සඳහා ඒ මහා නගරයේ සොයා ගැනීමට හැකි සහන සීමා සහිත ය. අහස සූරන ගොඩනැඟිලි දෙස දුර හිඳ බලා සිටිනවා හැර සංචරණය හැකි තාක් සීමා කරන්නට මෙවර තරගාවලිය පැවැත්වෙන සමය තුළ ඔලම්පික් බලධාරීන් නීති කෙටුම්පත් කර තිබේ.

වෙනදා මෙන් කෑම සොයා හෝ සාප්පු සවාරියේ නිදහසේ රෝන්දේ ගැසීමට ක්‍රීඩකයනට ඇති අවස්ථා සීමා කර ඇත. ක්‍රීඩාංගණයටත්, ක්‍රීඩක ගම්මානයටත් පැමිණෙන්නේ නිශ්චිත රථයක ය.

එසේ ක්‍රීඩාංගණයේ සිට ක්‍රීඩක ගම්මානයට පැමිණීමට රථයට නැඟුණු මොහොතේ සිට මුණිවත රැකිය යුතු ය. අදහස් හුවමාරු කර ගන්නට නොහැකි ය. ක්‍රීඩකයන් හා ඇසුරු කිරීමේදී ද හැකිතාක් දුරස්ථ භාවය පවත්වා ගත යුතු ව තිබේ. එහෙයින් එකිනෙකා හමුවීමට ඇති අවස්ථාවන්ට වක්‍රාකාරයෙන් තහංචි දමා ඇත.

ජීව බුබුළක ජීවත් වීම යනු එවැන්නකි. එය පහසු නැත. ක්‍රියාකාරකම් සීමා සහිත ය. සුන්දර ජපානයේ ‘සකේ’ බොන්නට විවේකය ලද සැණින් ‘ගේෂා’වන් සොයා යන්නට නොහැකි ය. පෙර කීවාක් මෙන් කිසිම ආකාරයකින් රස්තියාදු ගසන්නට බැරි ය.

සැතපුම් දහස් ගණනක් දුර ගෙවා ගුවනින් ජපානයට ගොස් මුහුණු ආවරණ බැඳ නටන්නට වී ඇත්තේ සැඟවෙමින් මිස ප්‍රසිද්ධියේ නොවේ. එය 2020 + 1 ටෝකියෝ ඔලිම්පික් උළෙල ඉතිහාසයේ කම්මැලිම ඔලිම්පික් උළෙලක් බවට පෙරළාවි ද? එය දැනට ලෝකයේ ඇතැම් ලිබරල් ජීවිත, සංස්කෘතික අටු කොටුවලින් තදින් නොබැඳුණු ඇතැම් මානව සමාජ නඟන ප්‍රශ්නයක් බවට පත්ව තිබේ.

රියෝ නම් සංචරණ සීමා ඇරියෝ ය

එය වඩාත් දැනෙමින් ඇත්තේ අවසන් වරට ඔලිම්පික් පැවැති බ්‍රසීලයේ නිදහස ගොඩනැඟී තිබුණු ආකාරය සලකද් දී ය. උදාහරණයකට රියෝ ඔලිම්පික් උළෙලේ පැවැති නිදහස පුදුමාකාර යැයි කිව හැකි ය. එහි දී ‘උපත් පාලන කොපු බෙදා හැරීමේ තානාපතිවරුන්’ පත්කර තිබුණේ ය. ඒ ලෝකයේ සිව් දිගින් විවිධ සංස්කෘතික අත්දැකීම් සමඟ එක් වූ කණ්ඩායමේ දින කීපයක සුව පහසුව වෙනුවෙනි.

ලිංගාශ්‍රිත රෝග ව්‍යාප්තිය වළකාලීම හා අනවශ්‍ය ගැබ් ගැනීම් නවතා දැමීම උපත් පාලන කොපු බෙදා හැරීමේ ප්‍රධාන අරමුණ විය.

කෙසේ නමුත් උපත් පාලන කොපු හා ඔලිම්පික් අතර සබැඳියාව ගොඩනැඟුණේ රියෝවලින් නොවේ. එය දසක කීපයකට පෙර සිට ආරම්භ වූ සම්ප්‍රදායකි. ඒ එච්.අයි.වී. වයිරසය ලොව පුරා හිස ඔසවන්නට වූවාට පසුව ය. ඒඩ්ස් රෝගය සම්බන්ධයෙන් පූර්ණ අවධානය යොමු කිරීමක් වශයෙන් ලිංගාශ්‍රිත රෝගයක් ලෙස එච්.අයි.වී. වයිරසය ශරීරගත වීම වැළැක්වීම අරමුණු කර ගනිමින් ක්‍රීඩකයන් අතර බෙදා හරිනු ලැබිණි.

ටෝකියෝවේ සීමා කිරීම්

අවුරුදු විසි දෙකක් ගත වන විට එම තත්ත්වය තවදුරටත් විපරීත අඩියකට පත්කර තිබෙන්නේ එච්.අයි.වී. වයිරසයට අතිරේකව කොරෝනා වයිරසයේ විවිධ ප්‍රභේද සමාජගත වෙමින් ඇති හෙයිනි. එහෙයින් හැකි තාක් උපරිම ආකාරයෙන් පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීමට සිදුව ඇත්තේ එච්.අයි.වී. වයිරසයට වඩා කොවිඩ් වයිරසය වැලඳීම වේගවත් වන හෙයිනි. මෙම තත්ත්වය අද වන විට ලිංගාශ්‍රිත රෝග බෝවීමට වඩා ප්‍රබල ලෙස සමාජයට බලපෑම් කරමින් තිබේ. එහෙයින් ඒඩ්ස් රෝගයට වඩා කොරෝනා රෝගය පිටුදැකීමක් වශයෙන් ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පුද්ගල සම්බන්ධතා පැවැත්වීමට ඇති හැකියාව හැකි තාක් සීමා කර ඇත.

ඒ අනුව මෙවර ඔලිම්පික් තරගාවලියට සහභාගිවන ක්‍රීඩකයන් අතර බෙදා හරිනු ලබන උපත් පාලන කොපු සංඛ්‍යාව එක් ලක්ෂ පනස් දහස දක්වා සීමා කර තිබේ.

කොවිඩ් මට්ටු කරන්න කාඩ්බෝඩ් සයන

මේ අතර ක්‍රීඩකයන්ට නිදා ගැනීමට සපයා දී ඇති සයන කා්ඩ්බෝඩ්වලින් නිර්මාණය කර ඇත්තේ තනි පුද්ගලයකුගේ පමණක් බර එසවීමට හැකි ලෙසයැයි මතයක් ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වූයේ ය. එය වඩාත් ප්‍රකට වූයේ අමෙරිකා එක්සත් ජනපද ධාවක පෝල් චෙලිමෝ සිය ට්විටර් ගිණුමේ තබා තිබූ සටහනක් හේතුවෙනි. ‘ටෝකියෝවේ අපට සපයන ඇඳන් හදලා තිබෙන්නේ කාඩ්බෝඩ්වලින්. ඒ ක්‍රීඩකයන් අතර සමීපස්ථ භාවය හැකි තාක් දුරස් කිරීමේ අපේක්ෂාවෙන් සිදු කරන්නක්ලු. මේ ඇඳකට දරාගන්න හැක්කේ තනි පුද්ගලයකුගේ බර විතරයි.’ ඔහු සිය ට්විටර් ගිණුමේ දක්වා තිබුණේ ය.

එහි දී ඔහු තර්ක කර තිබුණේ කාඩ්බෝඩ් රාමු සහිත ඇඳන් නිර්මාණය කිරීමට ජපන් සංවිධායකයන් මූලිකවම අරමුණ කර තිබුණේ ක්‍රීඩක ගම්මානය තුළ ‘ලිංගික සබඳතා’ ඇතිවීමට ඇති අවකාශ සීමා කිරීමට බවට මතයක් ගෝලීය සමාජය තුළ පතුරවා හිරිමිනි. යම් හෙයකින් තනි පුද්ගලයකුගේ බරට වඩා වැඩි බරක් පැටවූ සැණින් ඇඳ කඩා වැටීමට අවකාශය පවතින බවට පළවූ මතය ඊට හේතුව වී තිබිණි.

එහෙත් එය අමූලික අසත්‍යයක් බවට ද ප්‍රතිතර්කයක් නැඟුණේ ය. එය ගොඩනැංවූයේ අයිරිෂ් ජාතික ජිම්නාස්ටික් ශූරයකු වන රිෂ් මැක්ක්ලෙන්ගාන් විසිනි. ඔහු එම කා්ඩ්බෝඩ් සයනයක් යොදා ගනිමින් සකස් කළ වීඩියෝවක් සමාජ ජාලයට එක්කරමිනි ඒ. එයින් ඔහු ඔප්පු කර ඇත්තේ තමන්ගේ ඇඳනම් ඇති පදමට ශක්ති සම්පන්න එකක් බවයි.

‘ඒක අසත්‍ය ප්‍රවෘත්තියක්. අමූලික බොරුවක්.’ ඔහු තම වීඩියෝව ට්විටර් ඇතුළු සමාජ මාධ්‍යයන්ට යොමු කරමින් කියා ඇත.

මේ අතර ජපානයේ තරගාවලි සංවිධායකයන් පවසන්නේ ක්‍රීඩකයන්ගේ නිදා ගැනීමට අවශ්‍ය ඇඳන් සකස් කිරීමේ දී තමන් උපයෝගී කරගත්තේ නැවත ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කඩදාසි බවයි.

‘අපි ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අමුද්‍රව්‍ය මගින් ටෝකියෝ ඔලිම්පික් උළෙලේ බඩු භාණ්ඩ හදන්න සැමවිටම කටයුතු කළා. එය එහෙම කළේ පරිසර හිතකාමිත්වය ගැන හිතලයි.’ ඔවුහු ඒ බව පවසා තිබේ.

කොවිඩ් සටන

මේ වන විට ටෝකියෝ නුවරින් වාර්තා වන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළට ගොස් ඇතැයි ද එරට වාර්තා සඳහන් කළේ ය. දෛනිකව වාර්තා වූ ඉහළම කොවිඩ් රෝගීන් මේ වන විට වාර්තා වෙමින් ඇතැයි කියැවෙයි.

‘අපි වසංගත තත්ත්වය ව්‍යාපත් වීමට ඉඩ නොදීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒ වෙනුවෙන් සියලු ක්‍රීඩකයන්ගේ, නියෝජිතයන්ගේ සහයෝගය හිමි විය යුතුයි. එහෙම නැතිව අපට එය සිදුකිරීම අපහසුයි.’ ජපාන වසංගත රෝග විශේෂඥයන් පවසා තිබේ.

කෙසේ නමුත් ලිංගික චර්යාවන් සම්බන්ධයෙන් කිසිවක් ඔලිම්පික් එම මාර්ගෝපදේශ වලට ඇතුළත් කරන්නට සංවිධායකයන් කටයුතු කර නැත.

නමුත් ජපාන සමාජ විද්‍යා විශේෂඥයන් ප්‍රකාශ කරන්නේ කායික හා මානසික නිදහස සම්බන්ධයෙන් සලකන කල වක්‍රාකාරයෙන් හෝ සිදු කරන ලිංගිකත්වයේ සීමා කිරීම් යම් යම් අර්බුදයන් නිර්මාණය කරනු ඇතැයි කියා ය.

‘මිනිස්සුන්ට නිදහසක් අවශ්‍යයයි. ක්‍රීඩකයෝ තමන්ගේ පුහුණුව ගැන අවධානය යොමු කරනවා වගේම මිනිසුන් වශයෙන් යම් නිදහස් වීමක්, ලිහිල් වීමක් අපේක්ෂා කරනවා. එතැන දී ලිංගික පහසුකම් සපුරා ගැනීම ප්‍රමුඛ මාධ්‍යයක්. ’ සමාජ විද්‍යාඥයන්ගේ මතයව ඇත්තේ එය ය.

කෙසේ නමුත් ජපානයේ ගේෂාවන්ට හෝ ක්‍රීඩකයන්ට කොවිඩ් සංස්කෘතිය විසින් මහා කඩතුරාවක් නිර්මාණය කර තිබේ. ඇතැම් විට එය පුද්ගල නිදහසට වැට කොටු බැඳුණු එතරම් තුටු පහටු හමුවීමක් ලෙස නොසලකා හැරෙන තරගාවලියක් වශයෙන් ඉතිහාසයට එක්වන්නට ඉඩ තිබේ. එහෙත් එය සිදුවන්නේ උපත් පාලන කොපු සම්බන්ධයෙන් වන කාරණයෙන් පමණක් නොවේ. සොඳුරු ජපන් සිරිසර නරඹා, සංස්කෘතික මුසුවීම් සිදු කර, පුද්ගල සම්බන්ධතා නිදහසේ සිදුකිරීමට මෙන්ම දැඩි සංචරණ සීමා යටතේ ජීව බුබුළු පාලනයකට නතු වීමට ටෝකියෝවට යන සැමට සිදුව ඇති හෙයිනි.

 

කසුන් ඉරුගල්බණ්ඩාර

Comments