ක්‍රීඩා පනත සංශෝධනය කිරීම | Page 2 | සිළුමිණ

ක්‍රීඩා පනත සංශෝධනය කිරීම

 

ක්‍රීඩා පනත සංශෝධනය ගැන යළිත් කරළියට පැමිණ තිබේ. ඒ ඔලිම්පික් තරගාවලිය අතරතුර ක්‍රීඩා ඇමැතිවරයා හා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු බලධාරීන් අතර සිදුවූ හමුවක් වාර්තාවීමත් සමඟ ය. එහිදී පළමුව අවධානය යොමුකර තිබුණේ ක්‍රීඩා පනත සං‍ශෝධනය කිරීම සම්බන්ධයෙන් ය. කඩිනමින් එය සිදුකරන බවත් ඊට අවශ්‍ය නෛතික කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතින බවත් ක්‍රීඩා ඇමැතිවරයා පවසා තිබිණි.

මෙරට ක්‍රීඩා පනත සංශෝධනය කරන්නට සාකච්ඡා වන්නේ දීර්ඝ කාලයක සිටය. එම සාකච්ඡා කොතෙක් කාලයක් තිස්සේ පැවැතෙන් ද යන්න මතකයට නංවා ගැනීම පවා අසීරු ය. ඒ ක්‍රීඩා ඇමැතිවරුන් ගණනාවක් යටතේ ක්‍රීඩා පනත සංශෝධනය කරන්නට සාකච්ඡා, සංවාද පැවැත්වෙමින් තිබූ හෙයිනි. එහෙත් කිසිදු අමාත්‍යවරයෙකුගේ නිල කාලය අවසන් වන්නට පෙර බලධාරීන් විසින් ක්‍රීඩා පනත වර්තමානයට හා අනගාතයේ දී අභියෝගයට ලක්නොවන තරම් ශක්තිමත්ව සංශෝධනය කළේ නම් නැත.

වත්මන් ක්‍රීඩා පනතේ සංශෝධන ඉතිහාසය දසකයක් පමණ ඈතට විහිදෙයි. එය ආරම්භ වූයේ ජාතික ඔලිම්පික් කමිටුව හා ක්‍රීඩා අමාත්‍යාංශය අතර මත ගැටුමක් ලෙස ය. ඒ රටේ ක්‍රීඩා නීතිය හා ජාත්‍යන්තර ඔලිම්පික් ප්‍රඥප්තිය අතර පවතින නොගැලපීම් කෙසේ තුලනය කරන්නේ ද යන්න සම්බන්ධයෙන් ඇතිවූ ගැටලු සමඟ ය. ඒවා නිරාකරණය කරගැනීමට ක්‍රීඩා පනත වහා සංශෝධනය කළ යුතු බවට මතයක් ගොඩනැගුණේ ඒ සමඟ ය.

කෙසේ නමුත් මෙම මතය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය දැරුවේ තරමක් වෙනස් ස්ථාවරයකි. ඒ රටේ උත්තරීතර නීතිය වන ව්‍යවස්ථාවට ඉක්මවා යන කිසිදු නීතියක් රටක් තුළ පැවැතිය නොහැකි හෙයින් සිදුවිය යුතුව ඇත්තේ ඔලිම්පික් කමිටුවේ නීති රීති ක්‍රීඩා පනතට අනුකූලවන ආකාරයට සංශෝධනය කිරීම යැයි ඔවුහු කී හ. මෙම අදහස් පරස්පරය අවසානයේ බල ගැටුමක් දක්වා වර්ධනය වූයේ ය.

එහි ප්‍රතිඵලය වූයේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු බලධාරීන් හා මෙරට ක්‍රීඩා බලධාරීන් එක මේසයක වාඩිවී ක්‍රීඩා නීතිය සංශෝධනය කිරීම සිදුවිය යුතුව ඇත්තේ ඇයිද යන්න සංවාදයට ලක්කිරීමයි. එය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු මූලස්ථානයේ දී සිදුකෙරුණු අතර රටේ ක්‍රීඩා නීතිය සහ ජාත්‍යන්තර ඔලිම්පික් ප්‍රඥප්තිය අතර පවතින පරස්පරතා එහිදී පුළුල්ව සාකච්ඡා කර තිබිණි.

දෙතුන් වරක් මෙලෙස දින යොදාගනිමින් සාකච්ඡා පැවැත්වූ අතර ඒ වෙනුවෙන් ක්‍රීඩා පනත සංශෝධනය වීම වෙනුවට රටට කඩිනමින් ලැබුණේ අදාළ සංචාර වෙනුවෙන් බර වියදමක් දැරීම පමණය. ඒ ගුවන් ගමන් වියදම්, තරු පංති නවාතැන් වෙනුවෙන් මෙන්ම දෛනික දීමනා වෙනුවෙනි. එහෙත් සංශෝධනය වුණු පනතක් එළියට ආවේ නැත.

කනගාටුවට කරුණ වන්නේ එලෙස ක්‍රීඩා පනත හා ඔලිම්පික් ප්‍රඥප්තිය අතර පවතින යම් යම් ගැටුම්කාරී ස්ථාන සොයාගැනීමට ස්විට්සර්ලන්තයට ගිය ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් කිසිවෙක් අද එහි නොමැතිවීම ය. එම සංචාරක සාකච්ඡාව සඳහා ගිය ඔලිම්පික් කමිටුවේ කීපදෙනෙක් තවමත් ස්වේච්ඡා සේවයේ නිරත වෙති. එහෙත් එදා කඩිනමින් සිදුකරන බව කීවාට රටේ ක්‍රීඩා පනත මෙතෙක් සංශෝධනය වී නැත.

කෙසේ නමුත් අපට ක්‍රීඩා පනතේ සංශෝධන කිරීමේ අවශ්‍යතාව සිහිපත් වන්නේ ජාත්‍යන්තර තරගාවලියක් අවසානයේ ය. අදාළ පනත සංශෝධනය කිරීම අනාගතයට උචිත අයුරින් සිදුකිරීම ගැන කිසිදු ගැටලුවක් නැත. එහෙත් ගැටලුව වී ඇත්තේ මෙතෙක් කාලයක් ක්‍රීඩා අමාත්‍යාංශයේ හා ජාතික ඔලිම්පික් කමිටුවේ බලධාරීන් අතර ක්‍රීඩා පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකර ඇත්තේ කුමක්ද යන්න ය.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු ප්‍රඥප්තිය වසරින් වසර වෙනස් කරන්නට ඔවුන් කටයුතු කරන්නේ නැති පසුබිමක ඒ හා නොගැටෙන ආකාරයට රටේ ක්‍රීඩා පනත සංශෝධනය කරන්නට බොහෝ කල් මරන්නට අවශ්‍ය වන්නේ නැත. කෙසේ නමුත් වත්මන් ක්‍රීඩා ඇමැතිවරයාගේ කාලයේ දී හෝ රටේ ක්‍රීඩා පනත අනාගතයට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම අනිවාර්යයෙන් සිදුවිය යුතු ය.

මෙහි ඇති අවධානයට ලක්විය යුතුම කාරණය වනුයේ සෑම තරගාවලියක් අවසානයේම ක්‍රීඩා පනත සංශෝධනයේ අවශ්‍යතාවය ගැන කතාකිරීම ය. එය පැහැදිලිව දිස්වන්නේ අසාර්ථකත්වයේ සෙළුව වසා ගැනීමට ක්‍රීඩා පනත සංශෝධන කෙටුම්පත යොදා ගැනීමකට ය. පනත අවශ්‍ය වන්නේ ක්‍රීඩාවේ යම් යම් තීන්දු තීරණ ලබාගැනීම පහසු කරවීමට ය. එහෙත් පදක්කම් සොයා යන්නට, ක්‍රීඩකයන්ගේ දක්ෂතා වැඩිදියුණු කර තරගකාරිත්වය ඉහළ නංවන්නට වර්තමාන ක්‍රීඩා පනත තුළද ප්‍රමාණවත් ප්‍රතිපාදන ඇත. එහෙයින් ජාත්‍යන්තර තරගාවලි හි දී ක්‍රීඩක දක්ෂතා මඳවීම ක්‍රීඩා පනතේ ගැටලුවක් නොවේ.

එය ක්‍රීඩකයන් ඔප මට්ටම් කිරීමේ, තාක්ෂණය, පෝෂණය ආදී පහසුකම් සලසා දීමේ පවතින ගැටලු මිස අන්කිසිවක් නොවේ. පාලකයන් ක්‍රීඩකයන්ගේ දක්ෂතා වර්ධනය කිරීම සම්බන්ධයෙන් ගන්නා තීන්දු තීරණ සඳහා වත්මන් ක්‍රීඩා පනත සම්බාධක ගොඩනගන්නේ නැතැයි අප කියන්නේ එම පසුබිමේ පිහිටාය.

එයින් කියන්නට යන්නේ ක්‍රීඩා පනත යාවත්කාලීන කිරීම අනවශ්‍ය බවක් නොවේ. එය සිදුකළ යුතුම ය. එහෙත් අපේ දක්ෂතා ලෝකයේ ක්‍රීඩක දක්ෂතා අතර මෙතරම් විශාල පරතරයක් දක්වන්නේ කවර හේතුවකින් ද යන්න විමසීමට යාමේ දී ක්‍රීඩා පනත ඉදිරියට ගැනීම සාධාරණ නැත.

එහෙත් ඉතිහාසය පුරා සිදුවූයේ පැරණි තැටියේ රොටිය කරකිරීම ය. ක්‍රීඩා පනත සංශෝධනය නමැති ග්‍රැමෆෝන් තැටිය වෙනුවට ඩිජිටල් යුගයට මාරුවීම දැන් කඩිනමින් සිදුකළ යුතු ය. ක්‍රීඩාව තුළින් ලෝකය දිනන්නේ කෙසේ ද? අවම වශයෙන් පොදු රාජ්‍ය මණ්ඩලයවත් දිනාගත හැකි මඟක් පෙනෙන්ට ඇත්ද? ඒ කුමන ක්‍රීඩාවන්ගෙන් ද? එය සිදුකළ හැක්කේ කෙසේ ද? යන්න සම්බන්ධයෙන්වත් අවම වශයෙන් දීර්ඝ කාලීන අධ්‍යයනයක් සිදුකළ යුතුව ඇත. දක්ෂතා සහිත ක්‍රීඩකයන් සොයා යෑම වෙනුවෙන් රට තුළ වැඩපිළිවෙලක් ගොඩනැගීම ද වැදගත් ය. එසේ නොමැතිව කීපදෙනෙකුගේ ඇඟේ හයියෙන් ජාතික තලයට එන ක්‍රීඩකයන් කීපදෙනෙක් රැගෙන කෙසේ හෝ ඔලිම්පික් යාම දීර්ඝ කාලීනව පදක්කම් අපේක්ෂා සම්බන්ධයෙන් සලකන කල්හි කිසිදු ඵලක් නැත. තවදුරටත් අප එම යල්පීනූ ක්‍රමයම භාවිත කරන්නට සිතන්නේ නම් සිදුවනුයේ 1948 වසරේ ඩන්කන් වයිට් දිනූ ඔලිම්පික් රිදී පදක්කමෙන් වසර පනස් දෙකකට පසු 2000 වසරේ සුසන්තිකා ජයසිංහ දිනූ ඔලිම්පික් රිදී පදක්කම තවත් දසක කීපයක් ඇවෑමෙන් කවුරුන් හෝ ක්‍රීඩකයෙක් අහඹුවක් සේ ජයගෙන පැමිණ උදම්ගී අනනතුරු බලා සිටින්නට ය.

එහෙයින් පනත සංශෝධනය වනතුරු පමණක් නොව ක්‍රීඩාව සනාථ කරන්නට සියලු ක්‍රීඩා සංගම්, ක්‍රීඩා අමාත්‍යාංශ බලධාරීන්, ජාතික ඔලිම්පික් කමිටුව ඇතුළු සමස්ත රටම එකම අරමුණකින් සැලසුම් සහගත විය යුතු කාලය ගෙවෙමින් පවතින බව සිහියට ගතයුතුව ඇත.

Comments