කඩුලු පැන්නොත් ක්‍රීඩා ඇමැතිනියක් වෙන්න පුලුවන් | Page 2 | සිළුමිණ

කඩුලු පැන්නොත් ක්‍රීඩා ඇමැතිනියක් වෙන්න පුලුවන්

 

ඔලිම්පික් ක්‍රීඩා උළෙලට මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්ව එක් කරනු ලැබුවේ 1900 වසරේ පවත්වන ලද දෙවැනි තරගාවලියේ දී ය. එහෙත් එම තරග ඉසව්ව වෙනුවෙන් ක්‍රීඩිකාවනට සහභාගී වීමට අවස්ථාව ලැබෙන්නේ 1984 වසරේ ලොස්ඇන්ජලීස් නුවර පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ය.

මේ නිසා ලොස්ඇන්ජලීස් ක්‍රීඩා උළෙලේ දී කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරගය කෙරෙහි ඉහළම ප්‍රේක්ෂක අවධානයක් යොමුව පැවිතිණි. නිර්මාණය වී තිබූ මෙම පසුබිම හේතුවෙන් එකී ඉසව්වේ ජයග්‍රාහීකාව කවුරුන් වුවද ඇයට රන් පදක්කමට අමතරව එක රැයකින් මුළු ලොවේම ගෞරවාදරය දිනා ගැනීමේ අවස්ථාවද හිමිව තිබිණි.

එදා එම ඉතිහාස ගතවන ක්‍රීඩිකාව බවට පත්වූයේ මොරොක්කෝවෙන් ඉදිරිපත් වූ නවාල් එල්. මොටාටකෙල් නමැති ක්‍රීඩිකාව ය. මේ ඉසව්වේදී ඇය ඇගේ හොඳම තරග නිමි කාලය ලෙස තත්පර 54.61 ක් සටහන් තබමින් රන් පදක්කම දිනා ගත්තා ය.

ඇය දිනාගත් එම රන් පදක්කමේ දීප්තිය වඩාත් ඉහළ නැංවීමට තවත් කරුණු කිහිපයක්ද හේතු වී තිබුණි.

ඒ මොරොක්කෝවට ඔලිම්පික් ක්‍රීඩා උළෙලක දී හිමි වූ පළමු රන් පදක්කම එය වීම, එම ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වූ මොරොක්කෝ කණ්ඩායමට එක්ව සිටි එකම ක්‍රීඩිකාව ඇය වීම, මුස්ලිම් ජාතික ක්‍රීඩිකාවක ඔලිම්පික් රන් පදක්කමක් දිනාගත් පළමු අවස්ථා ලෙස එය සටහන්ව තැබීම ඊට බලපෑ හේතූන් ය.

නවාල්. එල්. මොටාවකෙල් 1962 වසරේ අප්‍රේල් 15 වැනි දා උපත ලබා තිබුණේ කැසබලන්තා නගරයේ දී ය. ළමා කාලයේ දී මං මාවත් දිගේ දුවන්නට ප්‍රිය කළ ඈ ක්‍රම ක්‍රමයෙන් මීටර් 400 හා 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වට නැඹුරු වූවා ය. ඇය වැඩි සාර්ථකත්වයක් පෙන්නුම් කරනු ලැබූවේ මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ දී ය. විසි දෙහැවිරිදි තරුණියක ලෙස ඔලිම්පික් රන් පදක්කමක හිමිකාරිය වීමට අවස්ථාව ලැබෙන්නේ ඇය සතුව තිබූ එම කුසලතාව නිසා ය.

එදා ඇය රන් පදක්කමක් දිනාගත් බව සැලවීම මොරොක්කෝ වැසියන්ට අත්කර දි තිබුණේ දරාගත නොහැකි සතුටකි. ඒ හැමකෙනෙකුටමත් වඩඩා සතුටු වූයේ දෙවැනි හසන් රජතුමාය. එතුමා මේ පුවත දැනගත් විගසින්ම දුරකථනය ඔස්සේ ඇය අමතා සුබ පැතුවේ ය. එපමණක්ද නොව එදින මොරොක්කෝවේ උපත ලැබූ ගැහැනු දරුවන් සියලු දෙනාටම ඇගේ නමේ කොටසක් එක් කිරීමටද නියෝග කර තිබුණේ ය.

නවාල් දිනා ගත් මේ එකම ඔලිම්පික් රන් පදක්කම 2007 වසරේ දී ඇයට ක්‍රීඩා ඇමතිණියක වීමට ද අවස්ථාව සලසා දුන්නා ය.

පසුකලෙක ඇයට ජගත් මලල ක්‍රීඩා සංගමයට ත්, 2012 හා 2016 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සත්කාර නගර තෝරා ගැනීමේ කමිටු සාමාජිකත්වය ජගත් ඔලිම්පික් කමිටු සාමාජිකත්වය ආදී ගෞවරනීය වගකීම් හා තනතුරු හිමිවූයේ ද 2012 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඔලිම්පික් පන්දමේ සංචාරයට තෝරා ගනු ලැබුවේ ද 1984 වසරේ දිනාගත් මීටර් 400 කඩුලු මතින් දිවීමේ රන් පදක්කමේ මහානුභාවයෙනි.

ඇය ඇගේ ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කර තිබුණේ,

‘තත්පර 54.61 ක දී අඳුරෙන් එළියට එන්න මට හැකි වුණා. බිංදුවේ සිටි මං වීරවරියක් වුණා. මට තවත් කියන්න කිසිවක් ඉතිරි වෙලා නෑ. මම කරලා පෙන්වලයි තියෙන්නේ. ඉතිං කැමති කෙනෙකුට දැන් මාව අනුගමනය කළ හැකියි.’ යනුවෙනි.

සීවලී එදිරිවීර 

Comments