ඔලිම්පික් පුවත් ලුහුඬින්... | සිළුමිණ

ඔලිම්පික් පුවත් ලුහුඬින්...

 

එහෙත් හරි රස්නෙ

මේ දිනවල ජපානය ටිකක් විතර උණුසුම්. ඒ කාලගුණය කොරෝනාවලට අමතර ව ඔලිම්පික් උළෙලට එල්ල වන තවත් බාධකයක් ලෙසයි සැලකෙන්නේ. මේ නිසා ක්‍රීඩකයන්, නිලධාරීන් වගේම අනෙකුත් කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ තත්ත්වය ගැන සැම විටම දැඩි අවධානයෙන් සිටීමට ජපන් සෞඛ්‍ය බලධාරීන්ට සිදු වී තිබෙනවා.

අමෙරිකාව අසමත්

වසර 49කට පසු මෙවර දැක ගැනීමට ලැබුණු සුවිශේෂී සිදුවීමක් වන්නේ උළෙලේ පළමු දිනයේ අමෙරිකා එක්සත් ජනපදයට පදක්කමක් දිනා ගැනීමට නොහැකි වීම. මීට කලින් මෙවන් සිදුවීමක් දැක ගැනීමට ලැබුණේ 1972 මියුනිච් උළෙලේ දී යි. මෙය කාගේත් අවධානයට ලක්වූ කරුණක් වුණා.

පාසල් දරුවන්ට පෙන්වීම

මෙවර තරග ඉසව් ප්‍රේක්ෂක සහභාගිත්වයෙන් තොරව පැවැත්වීමට නියමිත වූවත් 'ඉබාරකි' ප්‍රදේශයේ පැවති පාපන්දු ඉසව්වේ නවසීලන්තය හා හොන්ඩුරාස් අතර තරගය නැරඹීමේ අවස්ථාව 1400 ක් පමණ වූ ප්‍රදේශයේ පාසල් දරුවන් ට හිමි වුණා. ඉදිරියේ දී ත් ඔලිම්පික් පාපන්දු තරග නැරඹීමේ අවස්ථාව පාසල් දරුවනට හිමිවන බව පැවසෙනවා.

කොරෝනා වැඩියි

පසුගිය දා කාගෙත් කණස්සල්ලට හේතු වූ කරුණක් වූයේ උළෙල ආරම්භවී පැය කිහිපයක් ගතවද්දී ඔලිම්පික්වලට සම්බන්ධ අය අතරින් කොරෝනා රෝගීන් 17 දෙනකු හමු වීමයි. ජුලි 26 වැනි දා වන විට ඔලිම්පික්වලට සම්බන්ධ තවත් කොරෝනා රෝගීන් 16 ක් මේ අතරට එක්වීම නිසා කොරෝනා රෝගීන් මුළු සංඛ්‍යාව 150 දක්වා ඉහළ ගොස් තිබුණා. මෙයින් කීප දෙනෙක්ම ක්‍රීඩකයින් වීම අර්බුදය තවත් වැඩිදියුණු කිරීමක්ව තිබෙනවා.

13 වාසනාවයි

ජපාන ජාතික 13 හැවිරිදි මොමිජි නිශියා මෙවර ඔලිම්පික් උළෙලේ කාන්තා ස්ට්‍රීට් ස්කෙට්බෝඩ් තරග ඉසව්ව (street skateboard) සඳහා රන් පදක්කම ජය ගත්තේ ඔලිම්පික් උළෙලක රන් පදක්කමක් දිනු ළාබාලතම ජපන් ජාතික ක්‍රීඩිකාව ලෙස ගෞරව අත්කර ගනිමින්. ඒ වගේම ඔලිම්පික් රන් පදක්කමක් දිනු ළාබාලතම ක්‍රීඩිකාවන් අතරට සිය නමද එක්කරන්නට ඇය සමත් වුණා. මේ වන විට ඇයට වයස අවුරුදු 13 ක් හා දින 330 ක්.

කොහොම වුණත් ලොව ළාබාලතම රන් පදක්කම දිනු ක්‍රීඩිකාව වන්නේ 1936 උළෙලේ දී රන් පදක්කමක් දිනු අමෙරිකා එක්සත් ජනපදයේ මාජෝරි ගෙස්ට්රින්. ඇය රන් පදක්කම දිනා ගන්නා විට වයස අවුරුදු 13 ක් හා දින 268 ක්.

ඊශ්‍රායල් විරෝධයක්

ජගත් දේශපාලනය ක්‍රීඩාවට ඇතුළු වීමේ සිදුවීමක් මෙවරත් වාර්තා වුණා. ඒ ඇල්ජීරියාව හා ඊශ්‍රායලය අතර ජුඩෝ තරගයක දී. ඇල්ජීරියානු ජුඩෝ ක්‍රීඩක ෆෙති නොරින් (Fethi Nourine) හා ඔහුගේ පුහුණුකරු අමාර් බෙනි කෙකේෆ් (Amar Benikhelf) ඊශ්‍රායලය සමඟ තරග වැදීම ප්‍රතික්ෂේප කළා.

ඒ නිසා ඔවුන් සියරට හරවා යැවුණු අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෆෙති නොරින් පවසා තිබුණේ, “ අප විශාල කැපවීමක් කරමින් ඔලිම්පික්වලට අවස්ථාව දිනා ‘ගත්තා. මේ සැමටම වඩා පලස්තීන ප්‍රශ්නය විශාලයි” යනුවෙනුයි.

 අනිල් වීරසිංහ

Comments