ඔලිම්පික් නමට නොව මානව සමාජයට නොවෙනස්ව සැලකුමය | සිළුමිණ

ඔලිම්පික් නමට නොව මානව සමාජයට නොවෙනස්ව සැලකුමය

 

'රුසියාව ඔලිම්පික් ක්‍රීඩාවට මෙවර එන්නේ නෑ. ඒ රටක් වශයෙන්. තහනම් උත්තේජක ලබා ගත් බවට එල්ල වූ ක්‍රීඩකයන්ට ඔවුන් රටක් වශයෙන් දැක්වූ ප්‍රතිචාරය, එම පරීක්ෂණයන් සම්බන්ධයෙන් ක්‍රීඩා නීති රීති නොතකා සිදුකළ බව කියන වංචාවන් සැකයෙන් තොරව තහවුරු කර ගත් බව පවසමින් රුසියාව ඔලිම්පික් තරගාවලියෙන් ඉවත් කෙරුණා. ඒත් ක්‍රීඩකයන්ට ඒ සඳහා සහභාගි වන්න අවස්ථාවක් සලසන්න ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අවස්ථාවක් උදා කරලා දීලා තිබෙනවා. ඔලිම්පික් ව්‍යාපාරය සර්ව සාධාරණ වන්නේ එවැනි පසුබිමක් මත පිහිටද්දී යි. මෙවර අප ඔලිම්පික් සතු මෙම විභවතාව ගැන කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම්.කේ. ඒ. අනෝමා රත්නායක සමඟ පැවැත්වූ සාකච්ඡාවක් ඇසුරින් මෙම ලිපිය සකස් වෙනවා.'

 

ඔලිම්පික් කියන්නේ මහා තරගයට. ලෝකයේ පැවැත්වෙන විශාලතම තරගයට. වැලි සෙල්ලමින් පටන් අරගත්ත තරගයේ අවසාන තරගය එයයි.

සිය දහසක් නෙත් යොමන වසර හතරකට වරක් සුළුතරයකගේ අපේක්ෂාවන් මුදුන් පමුණවාලණු පිණිස එක හඬින් ප්‍රේක්ෂකාගාර උතුරා යන ආදරණීය, ධෛර්යය වඩවන උද්වේගය වඩවන ශක්තියක් දෙන අපූරු තරගය ඔලිම්පික්. අපිට ඔලිම්පික් එන්නේ වසර හතරකට වරක්. ටෝකියෝ ඔලිම්පික් 2020+1 තිබ්බාට පසුව අපිට නැවත අවුරුදු හතරක් යන තුරු ඔලිම්පික් ගැන මතකයක් නැති වෙන්නේ ඒ නිසයි.

ඒ නිසා අපි ආයෙත් වසර තුනක්, තුනහමාරක් යනතුරු ඒ ගැන කතා කරන්නේත් නෑ. එ්ත් ඔලිම්පික් ව්‍යාපාරය නම් එහෙම නෙවෙයි. ඔවුන් සාමාන්‍ය සමාජය වගේ ඔලිම්පික් අමතක කරන්නේ නෑ. අමතක කරන්න වැඩ සලසන්නෙත් නෑ.

අපි දකින්නේ ඔලිම්පික්වලට සහභාගී වෙන ක්‍රීඩකයෝ ක්‍රීඩිකාවෝ කොටසක් ජය ගන්නවා, තවත් කොටසක් පරාජය වෙනවා කියන කාරණය පමණයි. ඒත් ඔලිම්පික්වවලින් නව මිනිසුන් උපදිනවා. ඒ මිනිසුන් තුළ අලුත් බලාපොරොත්තු ගොඩනඟනවා. ඒ පිවිතුරු සිතිවිලිවලට පණ පොවන බලාපොරොත්තු හිත් පත්ලේ තියාගෙන අලුත් ඔලිම්පික් උළෙල පැවැත් වෙනකම්ම හැම රටක්ම වාගේ පෙර සූදානම් වෙනවා. ඒ නිසාම මේ අයගේ කැපවීම මහන්සිය නිසා විශේෂ දෙයක් සිදු වෙනවා. ඒ තමයි වසර හතරකට පසු යළිත් සමාජයට නැවුම් අපේක්ෂා රැගෙන ඔලිම්පික් උණුහුම, ආශ්චර්යයේ ඔද තෙද කාන්දු වීම.

ක්‍රීඩාව සීමා වෙන්නේ ක්‍රීඩාංගණයට පමණක් නොවෙයි. එය හොඳින් තේරුම් ගත යුතුයි. එහෙම සීමා තිබුණා නම් සංස්කෘතිය, අධ්‍යාපනය ගැන කතා කරද්දී ඒවා ව්‍යාජ බැඳීමක් බවට පත්වෙනවා. නමුත් මේ අතර බෙදිය නොහැකි, වෙන් කළ නොහැකි අවියෝජනීය බැඳීමක් තිබෙනවා. එය හරිම ශක්තිමත්.

ඔලිම්පික් උළෙලක් ගත්තාම ක්‍රීඩා තරග පැවැත්වීම අනිවාර්ය අංගයක්. ක්‍රීඩා තරග ප්‍රමුඛ නම් මොකටද අපි සමාරම්භක උත්සවය කියන අංගය එක් වෙලා තිබෙන්නේ. එය නරඹන්න මෙතරම් ප්‍රේක්ෂකයන් පිරිසක් ඇයි ක්‍රීඩාංණයට එන්නේ. රූපවාහිනී තිරය වටා එක් රොක් වෙන්නේ මොක ද?

ඇයි මිනිස්සු ඔලිම්පික් වෙනුවෙන් ළමා චිත්‍ර තරග, මැරතන් තරග වගේ දේවල් සංවිධානය කරන්නේ? ඒ ඔලිම්පික් නිසා. මේ හැම එකකින්ම සංස්කෘතියේත්, අධ්‍යාපනයත් අලුත් පිටු ලිය වන නිසා.

ක්‍රීඩාව කියන්නේ අපූර්ව නිර්මාණයක්. ක්‍රීඩාවට අධ්‍යාපනයයි, සංස්කෘතියයි එකතු වෙලා අලුත් පිටු ලියවෙනවා. එය සිදු කරමින් ලොව පුරා අස්සක් මුල්ලක් නෑර සෑම තැනම මේ ඔලිම්ලික් දර්ශනයේ ආලෝකය ගලාගෙන යනවා. ඒ ගලායෑම හරියට සඳ එළිය වගේ. ඔලිම්පික් පදනම හැදුණේ මේ නිසයි. අපි පසුගිය ලිපි මඟින් ඔලිම්පික් මූලධර්මයන් ගෙන හැර දැක්වූවා. මේ වැදගත් මුතු අහුරෙන් එකක් අපි අද තවදුරටත් සලකලා බලමු.

ඔලිම්පික් කියන්නේ “නොවෙනස්ව සැලකීමක්.”

මුළු ලොවක් එක් ධජයක් යටතේ සිටිනවා නම් ඒ එකම තැන ඔලිම්පික්. එතැන ඇත්තේ එකම එක දිවුරුමක් පමණයි. ඒ දිවුරුම ලබා දී තමයි ඔලිම්පික්වලට සහභාගී වන්නේ. එහි දී සෑම රටකටම තම රටේ අනන්‍යතාව හුවා දැක්වීමට කදිම අවස්ථාවන් උදාවෙනවා. අපට අපේ රටත් එක්ක විතරක්ම නෙවෙයි අනික් රටවල් එක්කත් එකතු වෙලා සහයෝගයෙන් කටයුතු කරන්න හැකියාව උදා වෙනවා.

ඔලිම්පික් උළෙලක කිසිදු සමාජයීය භේදයක් නැහැ. ජාති, ආගම්, කුල එහෙමත් නැත්නම් ස්ත්‍රී පුරුෂ බව, දුප්පත්, පොහොසත් ආදි මිනිසුන් විසින් ගොඩනාඟා ගත්ත එක් එක් සංකල්ප නැති නම්, විෂමතාවන් හෝ අසමානතාවන් වැනි දේවල්වලින් මිනිසුන් වර්ග කරන්නට ඔලිම්පික් ඉඩකඩ වෙන් කරලා නෑ.

මේ නිසාම හැම රටකම වැසියන්ට ඔලිම්පික් උළෙලේ අසිරිය අත්විඳීමට හැකියාව පවතිනවා. එය ඔලිම්පික් ක්‍රීඩාව තුළ චාරිත්‍රයක් ලෙස නොකඩවා පවත්වා ගෙන යන්නක්. එම නිසා ඔලිම්පික් වටා දිනෙන් දින ශක්තිමත් සබඳතා නිර්මාණය වෙලා තිබෙනවා. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ වැඩසටහන් දෙස බලද්දී එය කාට වුවත් පැහැදිලිවම අවබෝධ කර ගන්න පුළුවන්.

ඔලිම්පික් ක්‍රීඩා තරග පවත්වන්නේ පොදු නීතීන්වලට යටත්වයි. නීතියට පටහැනිව ක්‍රියා කරන්නන් සඳහා කිසිදු බේදයකින් තොරව ඒ සඳහා නියමිත වී ඇති දඬුවම් ලබා දීමට පෙරමුණ ගෙන ක්‍රියා කරන්නේ ක්‍රීඩාවේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මිස වෙනයම් බල අවශ්‍යතාවකට අනුව නොවෙයි. මෙය ඔලිම්පික් සඳහා සහභාගී වන සෑම රටකටම පොදු වූ ධර්මතාවක් බව ඔලිම්පික් හා සම්බන්ධ සෑම රටක්ම පිළිගෙන අවසන්.

විශේෂයෙන් ඔලිම්පික් උළෙලක ඇති සාධාරණත්වය ක්‍රීඩකයන් විතරක්ම නෙවෙයි ක්‍රීඩාලෝලීන්ගේ මනසේ ද විශ්වසනීයත්වයක් ගොඩනඟා තිබෙනවා. මේ සඳහා බලය අනිසි ලෙස යොදවලා නෑ. සාධාරණ ව හැම තීරණයක්ම ගන්නේ ඔලිම්පික් ප්‍රඥාප්තියට අනුව හා එයට යටත්වයි. මේ තීරණ හැම රටකටම ලබා දුන්නේ දැනුවත් කිරීම්, නීති රීති, ප්‍රතිපත්ති, අණපනත් සහ ආචාර ධර්මයන් කියන මාධ්‍ය යොදාගෙනයි.

දුප්පත් පොහොසත් කියන බෙදීම නිසා අද ලෝකයේ සෑම තැනකම මිනිසුන්ගේ තත්ත්වය පහතට ඇද දමන සංසිද්ධියක් බවට පත්ව තිබෙනවා. ඒත් ලෝකය ගෝලීය සරණාගත අර්බුදයන්ට මුහුණ දී ඇති කාලවකවානුවකදීවත් ඔලිම්පික් ව්‍යාපාරය කිසිවෙක්ට අසාධාරණයක් සිදු නොකළ බව කිව යුතුයි.

 

කාන්ති ජයසිංහ

Comments