ඔලිම්පික් තරගාවලියකට සහභාගි වීම කියන්නේ මහා ආශ්චර්යයක් | සිළුමිණ

ඔලිම්පික් තරගාවලියකට සහභාගි වීම කියන්නේ මහා ආශ්චර්යයක්

ඔලිම්පික් ගිය පළමු ශ්‍රී ලංකා ක්‍රීඩිකාව ‘ක්‍රීඩා’ පුවත්පතට කතා කරයි

මමයි දීපිකයි තමයි පළමුවෙන්ම රට නියෝජනය කරමින් ඔලිම්පික් ගියේ

‘අපි වගේ දකුණු ආසියා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඔලිම්පික් තරගාවලියට සහභාගි වුණා කියලා මතක් වන විට රෝමෝද්ගමනය වෙන එක වළක්වන්න බෑ. ඒක ඒ තරමට ආශ්චර්යයක්. මම ඒ මතකයට ගොඩාක් ආදරෙයි.’

 අසූ හත වසරේ කල්කටාවල පැවැති සාෆ් තරගාවලියේ දී රන් පදක්කමක්, රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක් දිනූ නිසා තමන්ට ඔලිම්පික් යෑමට අවස්ථාව හිමිවූ බව ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමුව ඔලිම්පික් ගිය කාන්තාව වන තිලකා ජිනදාස මෙණෙවිය පැවසුවා ය. ‘ක්‍රීඩා’ පුවත්පත හා සංවාදයකට එළඹෙමින් ඈ මේ බව කියා සිටියා ය.

එදා සාෆ් තරගාවලියේ පිහිනුම් තරගයෙන් දීපිකා ෂංමුගම් ද පදක්කමක් ලබා ගත් නිසා ඇයටද ඔලිම්පික් සහභාගී වීමේ භාග්‍ය උදා වුණා. 1988 වසරේ ඔලිම්පික් තරගාවලියට අපට අවස්ථාව උදා වුණේ අපේ වාසනාවකට කියලයි මට නම් හිතෙන්නේ. මොකද ඔලිම්පික් කියන්නේ ලෝකයේ දක්ෂතම ක්‍රීඩික ක්‍රීඩිකාවෝ සහභාගී වන ක්‍රීඩා උළෙලක්.

එදා, අද වගේ පරිසාධන මට්ටම තීරණය කරල නෙමෙයි ඔලිම්පික් යැව්වේ. සාෆ් තරගාවලියෙන් රන් පදක්කම් දිනූ අප රට වගේ තුන්වැනි ලෝකයේ රටවලට ලැබෙන වයිල් කාඩ් දෙක අප දෙන්නාටම ලැබුණා. එයට කියන්නේ අහඹු තෝරා ගැනීමක් කියලයි.

ඇත්තෙන්ම කියනවා නම් මට ඔලිම්පික්වලින් දිනන්න බැහැ කියලා මා හොඳටම දන්නවා. මගේ තරග නිමි කාලයට වඩා හොඳ කාල එතන තිබුණා. මගේ අධිෂ්ඨානය තිබුණේ තරගයට නොබියව මුහුණ දීම පමණයි.ලොකු චකිතයක් තිබුණේ නැහැ. නමුත් හිතේ විශාල තිගැස්මක් නම් තිබුණා.

මම ඉපදුණේ 1963 වසරෙයි. ඒ වන විට මගේ වයස අවුරුදු 24 යි. එදා මගේ ලොකුම ආසාව වුණෙත් ඔලිම්පික් යන එකයි.

ඔලිම්පික් තරගයේ දී මීටර් 100 කඩුලු පැනීමේ තරගය ආරම්භය මා හොඳින් කළා. මගේ වම් අත පැත්තේ හිටියේ ලෝකයේ හොඳම කඩුලු පැනීමේ ශුරියයි.

ඇයගේ කාලය තප්පර 12.21 මගේ කාලය තප්පර 14.48 කඩුලු තුන හතරක පරතරයක් ඒ කාලය තුළ තියෙනවා. කොහොම හරි හතරවැනි කඩුල්ලේ දී මගේ පය වැදී මා ඇද වැටුණා. ඒ නිසා තරගය අවසන් කරන්න මට බැරි වුණා.

ඒ වන විට මා සාෆ් උළෙල තුනකට ගිහින් තිබුණා. 1984 රිදී පදක්කම් 2 ක් 1985 රිදී පදක්කම් 2ක් 1987 රන් පදක්කමක් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක් දිනා තිබුණා.

ආසියානු ශුරතා තරගාවලියකට සහභාගි වී තිබුණා. ජාත්‍යන්තර තරගාවලි හතරකට ගියා. ඉස්සර අද වගේ පහසුකම් තිබුණේ නැහැ. අපි පුහුණුවීම් කළේ ටොරිංටන් එකේ.තරගාවලි තියෙද් දී පමණයි සුගතදාස ක්‍රීඩාංගණය අපට පුහුණුවීම් වෙනුවෙන් ලබා දුන්නේ.

1987 වී.කේ.එල්. සමරසිංහත් මැරතන් දිවීමේ රිදී පදක්කම ලබාගත් නිසා ඔහුටත් ඔලිම්පික් වරම් හිමි වුණා.

අපට ඔලිම්පික් ගියාම එහෙ නවතින්න තිබුණේ විලේජ් එකක්. එහි නිවාස 2 ක් තිබුණා. කාන්තාවන්ට තිබුණු ගෙදර මමයි, ජුලියන් බෝලි ගේ අම්මා තාරා බෝලිං හිටියා. පිරිමි 5දෙනා අනිත් නිවාසයේ හිටියා. ඒ ක්‍රීඩක ගම්මානවල පුහුණුවීමට සියලු පහසුකම් මෙන්ම විවිධ ආහාර වර්ග ලබා ගැනීමේ පහසුකම තිබුණා.

කෙසේ හෝ මගෙයි සමරසිංහගෙයි පුහුණුකරු නෙමෙයි අපිත් එක්ක සංචාරයට ගියේ. මගේ පුහුණුකරු යෝගානන්ද විජේසුන්දර මහතා වුණාට නම් කර තිබුණේ වෙන කෙනෙක්ව. ඒක අපිට හරි අසාධාරණයක් වුණා.

ඔලිම්පික් තරගාවලියට පෙර බල්ගේරියාවේ තෙමසක පුහුණුවක් ලැබුවා. ඒත් පුහුණුකරුවෙක් නැතිවයි. එදා මම කිව්වා පුහුණුකරුවෙක් නැතිව ගිහින් වැඩක් නැහැ කියලා. කඩුලු පැනීමට මනස හොඳින් තියෙන්න ඕනෑ කියලා.

අපි ඔලිම්පික් යන විට වෘත්තීය මට්ටමේ නොවෙයි වගේ. එහෙ හැසිරීම් රටාව පවා හරි වෙනස්. ඒ හැම දෙයක්ම අපට අලුත් දෙයක්.

ඔලිම්පික්වල දක්ෂතම බෙන් ජොන්සන් මත්ද්‍රව්‍ය භාවිතා කර අසුවීමෙන් ඔහු තරග තහනමකට ලක්වී අවාසනාවන්ත සිද්ධියක් වුණා. එය කැනඩාවේ කළු පැල්ලමක් බවට පත්වුණා.

මලල ක්‍රීඩාවට අමතරව මම දැල්පන්දු ජාතික පුහුණුකාරිනිය ව සිටි බව රටම දන්නවා.

මේ වන විට මා ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ශාඛා 5 ක ක්‍රීඩා අධීක්ෂණය කරමින් සිටිනවා.

මම ඉන්නේ කෝට්ටේ. මම දකුණු ආසියානු තරගාවලිය ජයග්‍රහණය කළාම මගේ පාසල වන කෝට්ටේ CMS එක මාව ඉහළින් පිළිගත්තා. 1988 දකුණු ආසියා තරගාවලිය ජය

ගැනීමත් නිසා එවක රජය මට දේශබන්දු ගෞරව නාමය පිරිනැමුවා. මා ඔලිම්පික් පුහුණුවීම් සදහා බල්ගේරියා ගිහින් ඉන්නවිට එවක රජය හොදම කාන්තාවට හිමි සම්මානය පිරිනැමුවත් මා නොසිටි නිසා මගේ පියා විසින් එය ලබාගෙන තිබුණා. දකුණු ආසියානු රන් පදක්කම දිනුවොත් රජය දැන් මුදල් දෙනවා. මගේ කාලේ එහෙම ප්‍රතිලාභ ලැබුණේ නෑ. නමුත් මා මගේ රට වෙනුවෙන් මගේ යුතුකම ඉටුකර තිබෙනවා. ඒගැන මට අදටත් සතුටුයි.

උදුලා පීරිස්

ඡායාරූප - ජගත් ඉරෝෂණ

 

Comments