අද වැනි දවසක... | Page 2 | සිළුමිණ

අද වැනි දවසක...

 

ටෝකියෝ නගරයේ දී 32 වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්-වෙන මේ මොහොතේ වඩාත් වැදගත් වන්නේ අද වැනි දිනක එනම් අගෝස්තු 01 වැනිදාවක ඉතිහාසය හැඩ ගැන් වූ ඔලිම්පික් සටහනකින් ඔබ සැමගේ මතකය අවදි කිරීම ය. ඒ අනුව ජවන හා පිටිය මලල ක්‍රීඩාව ඔස්සේ සුවිශේෂී සටහනක් තබන්නට අමෙරිකානු ක්‍රීඩකයකුට හා ප්‍රංශ ක්‍රීඩිකාවකට හැකි වී තිබිණි.

එහි දී අමෙරිකානු කෙටි දුර ධාවන ශූර මයිකල් ජොන්සන් මීටර් 200 අවසන් තරගය තත්පර 19.32 ක දී නිමකොට ලෝක වාර්තාවක් ද සමඟින් රන් පදක්කම දිනා ගත්තේ ය. ඔහු එම ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ම ජූලි 29 වැනි දා පැවැති මීටර් 400 අවසන් තරගය තත්පර 43.47 ක දී අවසන් කොට ඔලිම්පික් වාර්තාවක් ද සමඟින් රන්

පදක්කම දිනා ගෙන තිබුණි. මේ නිසා ඔහු මීටර් 200 හා 400 යන ඉසව් දෙකේම ඔලිම්පික් රන් පදක්කම් දිනූ පළමු ක්‍රීඩකයා බවට පත් වූයේ අද වැනි දිනක ය.

ජොන්සන් සහභාගී වූ මීටර් 200 තරගය සඳහා රටවල් 57 කින් තරගකරුවන් 78 දෙනකු ඉදිරිපත්ව සිටියේ ය. ඒ නිසා මූලික වටයේ තරග 11, අර්ධ අවසන් පූර්ව තරග 5 ක් හා අවසන් පූර්ව තරග 2 ක් ඊට ඇතුළත්ව තිබිණි.

මේ අතර එදිනම පවත්වන ලද කාන්තා මීටර් 200 ඉසව්ව ජයගනු ලැබුවේ තත්පර 22.12 කින් තරගය නිම කළ ප්‍රංශ ක්‍රීඩිකා මාරි ජොස් පරෙක් විසිනි.

ඒ සඳහා රටවල් 36 කින් ක්‍රීඩිකාවන් 48 දෙනකු

ඉදිරිපත්ව සිටි බැවින් මූලික වටයේ තරග 6 ක් අර්ධ අවසන් පූර්ව තරග 4 ක් හා අවසන් පූර්ව තරග 2 ක් පවත්වා  තිබුණි.

ඇය ද ජොන්සන් මෙන්ම ජූලි 29 වැනි දා පවත්වන ලද කාන්තා මීටර් 400 ඉසව්ව තප්පර 48.83 ක දී නිමකොට නව ඔලිම්පික් වාර්තාවක් ද බිහි කරනු ලැබී ය.

කෙසේ වුවත් මාරි ජෝස් පරෙක්ට පෙර එනම් 1984 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී අමෙරිකානු ක්‍රීඩිකාවක වූ වැලරි බ්‍රිස්කෝ හුක්ස් කාන්තා මීටර් 200 හා 400 යන ඉසව් ජය ගත් පළමු ක්‍රීඩිකාව බවට පත්ව සිටි බැවින් මාරි ජෝස්ට එම වාර්තාව සම කිරීමට හැකි වූවා ය.

සීවලී එදිරිවීර

Comments