විශ්වා­ස­භං­ගය සහ තෙ‍ෙල් බලේ | සිළුමිණ

විශ්වා­ස­භං­ගය සහ තෙ‍ෙල් බලේ

සුගිය 19 සහ 20 වැනි දෙදින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් පත් වූ ආණ්ඩුවට එරෙහිව පළමු වැනි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර සාකච්ඡා කොට ඉන් අනතුරුව එය පරාජයට පත්විය. මේ විශ්වාසභංගය ඉදිරිපත් කළේ විශේෂයෙන් තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අදාළ ඇමැතිවරයා වන උදය ගම්මන්පිල ඇමැතිවරයාට විරුද්ධවයි. තෙල් මිල ප්‍රශ්නයට විශේෂයෙන් කුමන රජය බලයට පත් වී සිටියද මෙය හුදු දේශපාලනික ප්‍රශ්නයක් ලෙස බලපානු ලබයි. විශේෂයෙන් ජනතා විරෝධයන් මෙන්ම විපක්ෂ විරෝධයන් නිරන්තරයෙන් තෙල් මිල සම්බන්ධයෙන් මතු වෙයි.

එහි ප්‍රතිඵලයක් ලෙස මෙවර වත්මන් ආණ්ඩුවටද තෙල් මිල සම්බන්ධයෙන් විශ්වාසභංග යෝජනාවක් විපක්ෂය විසින් ගෙන එන ලදී. තෙල් අර්බුදය සෑම ආණ්ඩුවකටම පොදුවේ බලපාන දේශපාලන කරුණක් වුවද තුනෙන් දෙකක ජනවරමක් ඇති රජයකට විශේෂයෙන් ආණ්ඩු පක්ෂයේ අභ්‍යන්තරික සුළු පක්ෂවල ගැටලු උද්ගත නොවන අවස්ථාවලදී විපක්ෂයන් විසින් කරනු ලබන විශ්වාසභංග ප්‍රතිඵලදායක නොවන ක්‍රියාවලින් විය හැකිය.

තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අදාළ ඇමැතිවරයා නිවේදනය නිකුත් කිරීමත් සමඟ වත්මන් රජයේ ප්‍රධාන පක්ෂය වන පොදුජන පෙරමුණු ලේකම්වරයා විසින් ඊට විරුද්ධව ප්‍රකාශයක් නිකුත් කරන ලදී. මෙය ඉතා පැහැදිලි කැබිනට් තීන්දුවක් බව දැනුම්වත්ව තිබියදී කැබිනට්ටුව විසින් සාමුහිකව ගනු ලැබූ තීන්දුවක්ව තිබියදී මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කෙරිණි. ඒ තීන්දුව ගැනීමේදී පොදු ජන පෙරමුණේ ඇමැතිවරුන් කෙළින්ම සම්බන්ධ වූ බව දැනුම්වත් වී තිබියදීත් ඔහු ආණ්ඩු ඇතුළේම යම් විරෝධයක් මේ සඳහා නිර්මාණය කිරීම සිදුකරන ලදී.

තෙල් මිල සහ විශ්වාසභංගය සමඟ පැහැදිලි වන කරුණක් නම් විශේෂයෙන් විශ්වාසභංග යෝජනාවේදී ආණ්ඩුවට තුනෙන් දෙකක බලය ලබාගෙන ස්ථාවරත්වය තහවුරු කර පෙන්වීමට තිබූ හැකියාව ඉතා පැහැදිලිය. නමුත් එසේ මෙවැනි අවස්ථාවක පෙන්වීමට හැකි වුවත් සභාග ආණ්ඩුවක් තුළ ස්වභාවික අරගලයන් ඇති විය හැකියි.

මේ අරගලයන් බලය පිළිබඳව ස්වභාවික අරගල ලෙස මතුවී ඇති බව පෙනෙයි . එය ස්වභාවිකව මතුවිය හැකි කරුණකි. උදාහරණ ලෙස 1977 සභාග ආණ්ඩුවෙන් සමසමාජ පක්ෂය ඉවත් කිරීමේ ක්‍රියාමාර්ගයක් ගනු ලැබිණි. අද වන විට දේශාපාලන බලය පිළිබඳ ගැටලුවක් මතු වීම මෙවැනි සිදුවීම්වලින් පෙනෙයි. අද පවතින සභාග රජයේ තුනෙන් දෙකක බලය තිබුණද කුමන අවස්ථාවක එම බලය වෙනස් විය හැක්කේද යන කරුණ පිළිබඳව කිව නොහැකිය. ඒ කරුණ නිසාම විපක්ෂය කල්පනා කරනු ලබන කරුණක් විය හැකිවන්නේ ආණ්ඩුවට ප්‍රහාරය එල්ල කිරීමට මෙය හොඳම අවස්ථාව බවයි. මේ අවස්ථාවේදීම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ගුරුවරුන්ගේ වැඩවර්ජන හරහා අධ්‍යාපනය ක්ෂේත්‍රය ඇති ගැටලු පිළිබඳ උද්ඝෝෂණ රැල්ලක් මතු වී ඇත. මේ උද්ඝෝෂණ සමඟ සමගාමීව කටයුතු කිරිමට විශාල උත්සාහයක විපක්ෂය නිරත විය. විශේෂයෙන් තෙල්මිල පිළිබඳ ගැටලුව සහ උද්ඝෝෂණයද මේ හා සම්බන්ධ කර ගැනීමට ඉතා හොඳ අවස්ථාවක් බව විපක්ෂය සලකන්නට ඇත.

ආණ්ඩු විරෝධි උද්ඝෝෂණය සහ ඊළඟ ආණ්ඩු බලය ඩැහැ ගැනීම සඳහා ක්‍රියා කිරීම ආරම්භ කළ පළමු පියවර ලෙස මේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අපට විශ්වාස කළ හැකිය. ඒ සමඟම ආණ්ඩුවේ තුනෙන් දෙකක බලය නැති කිරීමට මේ තෙල් මිල ඇතුළු උද්ඝෝෂණ රැල්ල යොදා ගැනීමට හැකිවනු ඇතැයි විපක්ෂයේ අපේක්ෂාව විය හැකිය. ඒ නිසාම විරුද්ධ පක්ෂය සමස්ත රජයටම විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම වෙනුවට එක් ඇමතිවරයකු තනිකොට මේ විශ්වාසභංගය ඉදිරිපත් කරන්නට ඇති බව පැහැදිලි වන කරුණකි. විශේෂයෙන්ම පොදුජන පෙරමුණේ යම් විරෝධයක් එම ඇමැතිවරයාට තිබුණ තත්ත්වයක් තුළ ආණ්ඩුවේ ඇති වන මේ බෙදීම මත විශ්වාසභංගය උද්ඝෝෂණ රැල්ලත් එකට සම්බන්ධ කරමින් ආණ්ඩු විරෝධී අරගලයේ ආරම්භක ලක්ෂයක් ලෙස විපක්ෂය මෙය සලකන්නට ඇත. ඒ හරහා ඊළඟ ආණ්ඩු බලය ඩැහැ ගැනීමට එය යොදාගත හැකි බව ඒ අයගේ විශ්වාසය විය හැකියි.

කෙසේ වෙතත් මේ තෙල් මිල ඉහළ දැමීමේ යෝජනාව සාමූහික තීන්දුවක් බව ඉතා පැහැදිලි කරුණකි. මෙය ජනාධිපතිවරයා අගමැතිවරයා එවකට මුදල් ඇමැතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ මහතාත් සහභාගි වූ කැබිනට් මණ්ඩලයක් තුළ ගනු ලැබූ තීන්දුවකි. අද තෙල් මිල නම් සාධකය ලංකාවේ දේශපාලනයේ වැදගත් ප්‍රශ්නයක් බවට පසුගිය කාලය පුරා පත්වී තිබිණි . මෙතැනදී සඳහන් කළ යුතු කරුණක් නම් විපක්ෂයේ මන්ත්‍රීවරු එක්ව මේ යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දීමයි.

එහිදි ජනතා විමුක්ති පෙරමුණ එම අවස්ථාවේ නොසිටි බවක් දක්නට ඇත. විපක්ෂයේ බෙදීම් දක්නට ලැබීමයි. මේ ආණ්ඩුවට විරුද්ධව ප්‍රචාරය කෙසේ ගෙන යන්නේද යන කරුණ මත ඔවුන් ඒකරාශි වුවද එහිදී තෙල් මිල සම්බන්ධයෙන් යෝජනාව පරාජය කිරීමට විපක්ෂයට එකඟතාවෙන් කටයුතු කරන ලදී. මේ වන විට විරුද්ධ පක්ෂයේ බලවේග ගනණාවක් අපිට දක්නට ලැබෙයි. ඉතාම පැහැදිලි විභේදනයක් විරුද්ධ පක්ෂය තුළ මතුවී ඇත. මේ ආකාරයෙන් විශ්වාසභංග යෝජනා ගෙන ආවද 2015 ඇති කර ගත්තා වූ ඒකාබද්ධතාවයකට සමාන ඒකාබද්ධතාවක් විපක්ෂයට ඇති කර ගත හැකිද යන ගැටලුව තවමත් ගැටලුවක්ව පවති. එය අද බරපතළ ප්‍රශ්නයක්ව පවතිනුයේ 2015 සන්ධානගත වීම සහ එකමුතුවක් ලෙස සාර්ථක වුවද එය කිසිසේත්ම දේශපාලනික ව්‍යාපෘතියක් ලෙස සාර්ථික නොවිය.

කෙසේ වෙතත් පසුගිය කාලයේ විශ්වාසභංග යෝජනාවත් සහ උද්ඝෝෂණ රැල්ලත් සමඟ විපක්ෂය යම් පියවරක මෙහි පළමු වැනි පියවර තැබු බව අපිට සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය සියලු විරුද්ධ පක්ෂ එක්ව පැවැත්වූ සම්මේලනය ඔස්සේ පැහැදිලි විය. විපක්ෂයට පැහැදිලි නිශ්චිත විකල්පයක් පෙන්වීමට නොහැකි වීම නිසාත් මෙවැනි විකල්පයක් මත ගොඩනැගීමට නොහැකි වීමත් එයට හේතුවෙයි.

නිශ්චිත වැඩපිළිවෙළක් නොමැති වීම නිසා තවදුරටත් විපක්ෂය සමඟ කටයුතු කිරීමට සූදානම් නොවන බව දෙමළ ජාතික සන්ධානය එම සම්මේලනයේදී ප්‍රකාශයක් නිකුත් කිරීම එයට හොඳම උදාහරණයකි. දෙමළ දේශපාලනය තුළ ඇති වී ඇති බරපතළ දේශපාලනික වෙනස්කම් කිහිපයකුත් මේ සඳහා බලපානු ලබයි. පසුගිය කාලයේ ඇතැම් සිදුවීම් නිසා ජන සහයෝගයේ යම් කඩාවැටීම්ක් ආණ්ඩු පක්ෂයට සිදුවී ඇතත් එම පිරිස විපක්ෂයට ගලා යෑමක් තවමත් දක්නට නොලැබෙයි.

මේ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මතු වූ ප්‍රධාන කාරණාව හුදු දේශපාලනයේ තෙල්වල වැදගත්කම මෙන්ම තෙල්වල දේශපාලනයේ වැදගත්කම ලෙස දක්නට ලැබෙයි. ඉන්ධන ප්‍රධාන බලශක්ති මූලයක් ලෙස තෙල්වල ඇති වැදගත්කම නිසාම ඒ වැදගත්කම් අනෙකුත් පාරිභෝගික භාණ්ඩවලට වඩා අද ප්‍රධාන පරිභෝජන රටාවේ ඇති නිසාම දක්නට ලැබෙයි. දේශපාලනමය සාධකයක් ලෙස තෙල් සහ තෙල් මිල පැහැදිලිව මතුවී තිබේ. ලංකාවේ දේශපාලනයේ විවිධ ප්‍රවණතා කියවා ගැනීමට සමාජ විද්‍යාඥයන්ට නිරික්ෂකයන් විසින් පිළිගෙන තිබේ. තෙල් මිල සමඟ අනෙකුත් සියලු භාණ්ඩ ඉහළ යෑම නිසා මේ ආණ්ඩුවට තිබූ සහයෝගය ගිලිහෙමින් පවතින තත්ත්වයක් දක්නට ලැබෙයි.

ඒ සඳහා හේතු ගණනාවක් වෙයි. ආණ්ඩුවට තුනෙන් දෙකක බලය තිබුණද මෙවැනි සුළු කරණකදී ජයග්‍රහණය කළද, ආණ්ඩු බලය තීරණාත්මක වන ගැටලුවලදි තුනෙන් දෙක සම්බන්ධයෙන් විශ්වාසය තබා ගෙන කටයුතු කළ හැකි යැයි විශ්වාස කළ නොහැකිය. මේ තෙල් දේශපාලනය ලංකාවේ දේශපාලන භූ සිතුවමේ විවිධ විභේදනයන් කැඩීම් බිඳිම් ඇති වීමට බලපෑමක් සහ ප්‍රධාන සාධකයක් වෙයි.

මේ තෙල් පිළිබඳව ඉතිහාසය සලකා බැලීමේදී මෙය අතීතයේ සහල් මිල වැනි අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්ව ඇත. සහල් මිල ඉහළ දැමීමත් සමඟ 1953 වර්ෂයේදී විශාල උද්ඝෝෂණයක් ඇතිවිය. එවකට ආණ්ඩු බලයේ සිටි පිරිස නැවකට ගොස් කැබිනට් රැස්වීම පවත්වන තත්ත්වයට එදා එම අර්බුදය පත් විය. එමෙන්ම 1960 ගණන්වල මේ ආකාරයටම සහල් මිල ප්‍රශ්නයෙන් ආණ්ඩුව විශාල අර්බුදයකට පැමිණි බව පෙනෙයි.

නමුත් මේ වනවිට ප්‍රධාන සාධකය සහල් නොව ආණ්ඩුවට එල්ල වන උද්ඝෝෂණ තර්ජනයන් පැමිණෙන්නේ තෙල් මිල සම්බන්ධයෙනි. මෙරට පාරිභෝජන රටාවේ ඇතිවූ විපර්යාසය මේ අනුව අපිට ඉතා පැහැදිලිය. මේ සිදුවීම් සමඟ තෙල් අද අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්වී ඇත. මේ හේතුවෙන් තෙල් පිළිබඳව ප්‍රශ්නය දේශපාලනිකව වැදගත් සාධකයක් වීම ඉතාමත් පැහැදිලි කරුණකි.

මේ සඳහා වැය කළ යුතු මුදල ලංකාවේ සමස්ත ආදායමෙන් හතරින් එකක් පමණ වෙයි. මේ තෙල් සඳහා වැය කරන ප්‍රමාණය සමානව ලංකාවේ විදේශීය ශ්‍රමිකයන් විසින් මෙරටට එවන ලද විදෙස් විනිමයට සමාන වෙයි. ඒ නිසා අද මෙවැනි ප්‍රශ්නයක් පැන නැගීමට එය හේතු සාධකයක් වී ඇත.

එනම් දේශපාලනිකව තෙල් අතිවිශාල සාධකයක් බවට පත්වී එය පරිභෝජන ක්ෂේත්‍රය කෙරෙහි බලපානු ලබයි. අනෙක් අතින් තෙල් විශේෂයෙන් ආණ්ඩු කරන්නන්ගේ විදෙස් සංචිත කෙරෙහි දැඩි ලෙස බලපානු ලබයි. කුමන ආණ්ඩුවක් බලයට පත්වුවත් ඉතා වැදගත් වන සාධකයක් නම් තෙල් පරිභෝජනයට ගතයුතු පියවර කුමක්ද යන කාරණාවයි.

මෙහිදී තෙල් මත රැඳුණු බලශක්ති නිෂ්පාදනය අඩු කිරීම එක් සාධකයක් වන අතර තෙල් පරිභෝජනයෙන් ධාවනය වන වාහන වෙනුවෙන් විදුලි බලයෙන් ධාවන සහ දෙමුහුන් වාහන පාවිච්චි කිරීම, එමෙන් තෙල් පරිභෝජනය අඩු කිරීම සඳහා කිසියම් වූ සලාක ක්‍රමයක් හඳුන්වා දීම මෙවැනි විකල්ප සෙවීම නොකළහොත් කුමන ආණ්ඩුවක් බලයට පත් වුවත් මේ ගැටළුව මතු වෙයි. තෙල් ගැටලුව සම්බන්ධයෙන් නිශ්චිත වූ පියවර ගත යුතුයි. විශේෂයෙන් මෙය හුදු ආර්ථිකමය නොව පාරිසරික ක්ෂේත්‍රයටද විශාල බලපෑමක් ඇති කරනු ලබයි.

රටේ තෙල් මිල ප්‍රශ්නයකට වඩා තෙල් පරිභෝජන ප්‍රමාණයන්ගේ ගැටලුව ආර්ථික සහ පාරිසරික ප්‍රශ්නයක්ව පවතින නිසා එය මෙහිදි මූලිකව මතු කළ යුතු කරුණකි. මේ අංශවලින් ගත යුතු පියවර මූලික වශයෙන් ගැනීම වැදගත් වෙයි.

මෙවැනි තත්ත්වයක් මත අපි හොඳින් තේරුම් ගත යුතු කරුණක් නම් තෙල් සමඟ ඇතිවන උද්ඝෝෂණය ඉතා වැදගත් වන කරුණකි. එය ආණ්ඩු පෙරළා දැමීමට දීර්ඝ කාලීන බලපානු ලබන ප්‍රබල සාධකයක්ද වෙයි. තෙල් පාරිභෝජන භාණ්ඩයක් නොව තෙල් හුදු දේශපාලනික භාණ්ඩයක් බවට අද වනවිට පත්වී ඇත.

විශේෂයෙන් පසුගිය වසර දහයක පහළොවක කාලය තුළදී තෙල් මත රැඳුණු ආර්ථිකය තෙල් මත රඳා පැවැත්මේ වැදගත් සාධයක් විය. දේශපාලනික උද්ඝෝෂණයන්හිදීද බරපතළ ලෙස පාවිචිචි කෙරෙන ආණ්ඩු බලය තීන්දු කෙරෙන භාණ්ඩයක් බවට මේ තෙල් යන සාධකයක්ව ඇත.

Comments