හතර වටෙන් ඇහෙන කතා | Page 2 | සිළුමිණ

හතර වටෙන් ඇහෙන කතා

මුහුණේ ඇඳුණු ඔරලෝසුවට

ප්‍රතිචාර හොඳයි

ජනප්‍රිය ගායක දුමාල් වර්ණකුලසූරිය ගේ නව ගීතයක් පසුගියදා එළිදැක්වුණා. එය නම් කර තිබුණේ ‘කාලය‘ නමින්. ඒ නිර්මාණය වෙනස් අදහසක් ඔස්සේ යම් පණිවිඩයක් සමාජයට දීමට කළ උත්සාහයක් ලෙසයි දුමාල් රසඳුනට කිව්වේ.

"මේ සින්දුව ලිව්වේ පුණ්‍යා සමරකෝන්. තනු නිර්මාණය කළේ පසන් ලියනගේ. ගිටාර් වාදනයෙන් බුද්ධික පෙරේරා සම්බන්ධ වුණා වගේම වයලීන් වාදනයෙන් රුක්ෂන් ගුණවර්ධන සහයෝගය ලබා දුන්නා කේතකී සුරවීර චෙලෝ වලින් සහ මෙයට පසුබිම් සහය ලබා දුන්නෙ ජයෝද් කෝශිල නවරත්න. බෞද්ධ සංකල්ප උපයෝගී කොටගෙන තමයි මේ ගීතය නිර්මාණය වුණේ. සියලු දෙනාටම පොදු නමුත් එකිනෙකාට ආවේණික ප්‍රශ්නයක්. අපි සියලුම පිරිස එකට එකතු වෙලා කතා කරලා සහයෝගයෙන් තමයි මෙය නිර්මාණය කළේ. ඒ නිසාමදෝ මේ නිර්මාණය හරිම සාර්ථකයි කියලා හිතෙනවා. රූප රාමුවල එකින් එකට වෙනස් මුහුණු හතරක් ආකාරයෙන් දිස්වන මගේ මුහුණේ ස්වරූපය ගැනත් ගීතයට වගේම බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වලා තිබුණා. ඒ රිදම් එක යන්නෙ ඔරලෝසුවේ තත්පර කට්ට යනවා වගේ සහ මුහුණට ලයිට් වැටෙන්නෙත් ඒ තාලයට. ඉදිරියේදි මෙයට මියුසික් වීඩියො එකක් කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. "

 

 

තරු හීන පෙන්නා

තරු පෙනුණු රාජ්

ජනප්‍රිය බොලිවුඩ් නිළි ශිල්පා ෂෙට්ටි ගේ සැමියා වන රාජ් කුන්ද්රා පොලිස් අත්අඩංගුවට පත් වීම පසුගිය දිනවල විශාල අවධානයක් දිනාගත් සිදුවීමක් වුණා. පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තේ එසේ මෙසේ චෝදනාවක් මත නොවෙයි. තරුණියන් යොදාගෙන අසභ්‍ය විඩියෝ රූපගත කර ඒවා අන්තර්ජාලය ඔස්සේ බෙදා හැරීමේ ජාවාරමක් පිළිබඳ ඔහුට චෝදනා එල්ල වී තිබුණා. සිනමාවට සම්බන්ධ වීමේ සිහිනය සිත දරාගෙන මුම්බායි නුවරට එන අහිංසක තරුණියන්වයි ඔහු ඇතුළු කණ්ඩායමක් මේ ආකාරයෙන් සිය ජාවාරම සඳහා යොදාගෙන තිබුණේ. මෙම තරුණියන්ට සිනමාවේ අවස්ථා විවර කර දෙන පවසා ඔවුන් රවටා මෙවැනි විඩියෝපට නිෂ්පාදනය කර ඇති බව පැවසෙනවා. රාජ් කුන්ද්රාට අමතරව තවත් පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබුණා. ඒ අතර කාන්තාවන් ද සිටි බවයි පැවසුණේ. අත්අඩංගුවට ගත් සමහරුන් කැමරා ශිල්පිනියන්, ග්‍රැෆික් නිර්මාණ ශිල්පිනියන්, විදුලි ආලෝක ශිල්පීන් ලෙස කටයුතු කළ අය යි.

 

මතක් වෙනකොටත්

හිනා යනවා

ජනප්‍රිය රංගන ශිල්පී චමීර ලියනගේ ට පසුගිය දවසක ටෙලි නාට්‍ය රූගත කිරීමක් අතර තුර අකරතැබ්බකට මුහුණ දෙන්න වුණා. ඒ ගැන චමීර අපිට කිව්වේ මෙහෙමයි.

" මටයි ටීනාටයි නිරූපණය කරන්න තිබුණේ ගම වටේම බයිසිකලයේ යන කොටසක්. ඒ රූගත කිරීමට යොදා ගන්න බයිසිකලය පොඩ්ඩක් පදින්න අමාරුයි. බයිසිකලෙත් පොඩි පොඩි අවුල් ටිකක් තිබුණා. ටීනාට තමයි බයිසිකලය අරගෙන යන්න තිබුණේ. කොහොමහරි ටීනගේ අතින් බයිසිකලය එකපාරටම රේස් වුණා. පිටිපස්සේ හිටපු මම උඩ ගිහින් වැටිලා කොහොම හරි බයිසිකලේම එල්ලුණා. මට ටිකක් තුවාල වුණා. ටීනාගෙ අතටත් පොඩ්ඩක් ඩැමේජ්. දැන් බොහෝ දුරට සුවයි. දැන් නම් ඒ සිදුවීම මතක් වෙනකොටත් හිනා යනවා"

 

කුසලානේ තුරුලු කරගත්තට

මනාප මිලියන 20යි

ලෝක ප්‍රකට පාපන්දු ක්‍රීඩක ලයනෙල් මෙසී පසුගිය දා අපූරු වාර්තාවක් පිහිටුවා තිබුණා. නමුත් මෙය පාපන්දු පිටියේ පිහිටු වූ වාර්තාවක් නම් නොවෙයි. මෙසී මේ වාර්තාව පිහිටුවා තිබුණේ ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ පළ කර තිබූ ඡායාරූපයක් ඔස්සේ යි. ක්‍රීඩකයකු විසින් ඉන්ස්ටග්‍රෑම් හි පළ කරන ලද ඡායාරූපයකට වැඩිම මනාප සංඛ්‍යාවක් (Likes) ලැබුණු අවස්ථාව මෙය බවයි සඳහන් වන්නේ.

මෙසී මෙහි පළ කර තිබුණේ පසුගිය දා අවසන් වූ කෝපා ඇමරිකා (Copa America) තරගාවලියෙන් ඔහු නායකත්වය දරන ආර්ජන්ටිනා පිල ජය ගැනීමෙන් පසු ලැබුණු කුසලානය තුරුල් කරගෙන සිටින දර්ශනයක්. මෙම ඡායාරූපය වෙනුවෙන් මිලියන 20 කට වැඩි මනාප සංඛ්‍යාවක් ලැබී තිබුණා. මෙයට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේත් පාපන්දු ක්‍රීඩකයකු ම වීම විශේෂත්වයක්. ඒ පෘතුගාල පිලේ සුප්‍රකට ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ. ඔහු පසුගිය දා ජීවිතයෙන් සමුගත් දියාගො මැරඩෝනා ට ගෞරව දක්වන ආකාරය දැක්වෙන ඡායාරූපයකට මනාප මිලියන 19.8 ක් ලැබී තිබුණා.

 

 

බද්දෙන් නිදහස් වෙන්න

පෙත්සන් ගැසූ විජේ

දෙමළ සිනමාවේ දැවැන්ත චරිතයක් බවට පත්ව සිටින විජේ පසුගිය දා විශාල දෝෂාරෝපනයකට ලක් ව තිබුණා. ඔහුට මේ ආකාරයෙන් දොස් පවරා තිබුණේ චෙන්නායි හි ඉහළ උසාවියේ විනිසුරුවරයෙක්. මෙයට වසර කිහිපයකට පෙර විජේ මිල අධික සුඛෝපභෝගී මෝටර් රියක් බ්‍රිතාන්‍යයෙන් ආනයනය කර තිබුණා. මේ රථය වෙනුවෙන් ගෙවීමට තිබූ බද්දකින් තමා නිදහස් කරන ලෙස ඉල්ලා විජේ අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම මෝටර් රථය ඉන්දියානු රුපියල් කෝටි 7 ක් (ලංකා රුපියල් කෝටි 18 ක්) පමණ වටිනා රෝල්ස් රොයිස් ගෝස්ට් (Rolls Royce Ghost) වර්ගයේ රථයක්.

කෙසේ වෙතත් ඉහත කී අධිකරණ විනිසුරුවරයා විජේ මෙම බද්දෙන් නිදහස් කිරීම ප්‍රතික්‍ෂේප කර තිබෙනවා. එපමණක් නොව එවැනි බදු නිදහසක් ඉල්ලීම සම්බන්ධයෙන් ඉන්දියානු රුපියල් ලක්‍ෂයක දඩයකුත් පනවා ඇති බව සඳහන්. එම දඩය පනවමින් විනිසුරුවරයා පවසා ඇත්තේ මෙම සිනමා නළුවන් සිනමාවේ පමණක් නොව සැබෑ ජීවිතයේ ද වීරයන් ලෙස කටයුතු කළ යුතු බවයි. “මේ නළුවන් සිනමාවේ පෙනී සිටින්නේ සමාජ සාධාරණත්වය වෙනුවෙන් සටන් කරන වීරයන් වගෙයි. ඔවුන් රඟපාන චිත්‍රපට නිතරම දූෂණ වංචාවලට විරුද්ධ ඒවා යි. නමුත් සැබෑ ජීවිතයේ දී ඔවුන් බදු පැහැර හරිමින් රජයේ රෙගුලාසිවලට පටහැනි ආකාරයෙන් කටයුතු කරනවා’ විනිසුරුවරයා සඳහන් කර තිබුණා.

 

 

දෙපාරක්ම ස්ප්‍රයිස් වුණා

වර්තමානයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන පියුමි ශ්‍රී නායකගේ උපන්දිනය පසුගිය දහඅට වැනිදාට යෙදී තිබුණා. ඉතින් ඇයට ලැබුණු අපූරු උපන්දින තෑග්ගක් පිළිබඳ ඇය මුහුණු පොතට එකතු කළ සටහනක් දැක අපි ඒ පිළිබඳ ඇගෙන් විමසුවා.

"ඇත්තටම මම උපන් දිනය දවසේ පන්සල් යනවා හැර කිසිම සැමරුමක් කරන්නෙ නැහැ. මගේ යහළුවන් දෙදෙනා රංගන සහ සුවින්ට කිව්වා මට 18 ලබනකොටම පාන්දර දොළහට කැලණි පන්සල් යන්න අවශ්‍යයි කියලා. මේ දෙන්න හා කිව්වට එදා හරියටම දොළහට කේක් එකකුත් අරගෙන ආවේ. ඒ දෙන්නා මෙහෙම දෙයක් කරයි කියලා මම කොහෙත්ම බලාපොරොත්තු වුණේ නැහැ. 18 වෙනිදා රෑ මගේ දුකට සැපට ළඟම ඉන්න හොඳම මිත්‍රයා සන්දේශ් බණ්ඩාරත් යහළුවන් පිරිසත් හිතපු නැති වෙලාවක කේක් එකක් අරගෙන ඇවිත් පුදුම කළා. ඉතින් මෙදා උපන් දිනේට මම දෙපාරක්ම ස්ප්‍රයිස් වුණා. මගෙ මල්ලි තමයි වෙනදාට මාව ඔහොම සප්‍රයිස් කරන්නේ. මේ පාර මල්ලි නැති දුකින් ඉඳිද්දී තමයි මගේ යහළුවන්ගෙන් සහ මගෙ රසිකයන්ගේ මේ ආදරය මට ලැබුණේ. මෙදා උපන් දිනේට මට හැකි පමණින් දුප්පත් මිනිස්සුන්ට අවශ්‍ය බඩු භාණ්ඩ ලබා දුන්නා. ඉතින් මට සුබ පැතුම් එකතු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි. මම දුකින් ඉන්න වෙලාවේ මට හැමෝගෙන්ම ලැබුණු ආශිර්වාදය ආදරය ගොඩක් වටිනවා. "යනුවෙන් පියුමි රසඳුනට පැවසුවා.

 

 

 

Comments