සත් වසක් සපු­රන පැය 24 නාලි­කාව | සිළුමිණ

සත් වසක් සපු­රන පැය 24 නාලි­කාව

 

 

මෙරට පළමු සහ එකම විසිහතර පැය ප්‍රවෘත්ති නාලිකාව ලෙස 2014 වසරේ ජූලි 20 වැනිදා විකාශන කටයුතු ආරම්භ කරමින් ප්‍රවෘත්ති කලාවේ පෙරළියක් ඇති කළ අද දෙරණ 24 පැය නාලිකාව පසුගිය 20 වැනිදා සිය 7වැනි ජන්ම දිනය මහත් අභිමානයෙන් සමරන ලදී. එවකට සිට ජනතාවට යාවත්කාලීන වන පුවත් එසැණින් දැන ගැනීමේ ඉඩහසර ලබා අද දෙරණ 24 පැය ප්‍රවෘත්ති නාලිකාව මේ පිළිබඳ අදහස් දක්වන්නට එක් වූයේ එහි විධායක අධ්‍යක්ෂ මාධව මඩවල යි.

 

“2014 වසරේ මෙය අරඹන විට ප්‍රවෘත්ති සඳහාම වෙන් වූ වෙනම නාලිකාවක් තිබුණේ නැහැ. අපිටත් ප්‍රවෘත්ති වෙනුවෙන්ම වෙන් වූ නාලිකාවක් කිරීමේ අත්දැකීම් තිබුණෙත් නැහැ. අත්හදාබැලීමක් ලෙසයි මේ නාලිකාව මුලින්ම ආරම්භ කළේ. ඒ අනුව අද දෙරණ නාලිකාවේ දිගුවක් ලෙස මෙය පවත්වා ගෙන යන්න අපි තීරණය කළා.“

මේ ආකාරයට අත්හදා බැලීමක් ලෙස ආරම්භ කළ මේ නාලිකාවට අද වන විට වසර 7ක් ඉක්ම ගොස්ය. ආරම්භයේදී අනෙක් සෑම කටයුත්තකදීම මෙන් මෙයට ද අභියෝගවලට මුහුණ දීමට සිදු වුණු බව විධායක අධ්‍යක්ෂවරයා පවසයි. එලෙස විශාලම අභියෝගවලට මුහුණ දීමට සිදු වුණේද කිසිදු පූර්වාදර්ශයක් හෝ අත්දැකීම් ඒ වනවිට නොතිබීම නිසයි. නමුත් අද දෙරණ 24 පැය කාර්ය මණ්ඩලය ඉතාමත් ඉක්මණින් එය ග්‍රහණය කර ගනිමින් අභියෝගවලට සාර්ථකව මුහුණ දුන් බව විධායක අධ්‍යක්ෂවරයා අප සමඟ පවසන්නේ මහත් සතුටිනි.

ඒ සඳහා අවශ්‍ය වැඩි තාක්ෂණික පහසුකම් අද දෙරණ 24 පැය කාර්ය මණ්ඩලයට ලැබුණු අතර ලොව ප්‍රධාන පෙළේ නාලිකා භාවිත කරන මෘදුකංග යොදා ගනිමින් මෙරට Fully automated ප්‍රවෘත්ති මැදිරියක් ද නිර්මාණය කළ ඔවුන් කෙටි කලෙකින්ම පැය විසිහතර පුරාවට එසැනින් පුවත් වාර්තා කිරීමේ සියලු අභියෝග ජය ගත් බවද විධායක අධ්‍යක්ෂවරයා පවසයි.

“මේ අභියෝග ජය ගන්න නාලිකාව තුළ සිදුකළ වෙනස්කම් කිහිපයක් තිබුණා. අපි ප්‍රමුඛත්වය දුන්නේ දේශීයත්වයට මුල් තැන දෙන වැඩසටහන් මෙහෙය වීමට. අපිට පිටරට නාලිකාවල අත්දැකීම් තියෙනවා. ඒවායේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන ආකාර ඒ වගේම විවිධ වැඩසටහන් සහ සාකච්ඡා තිබෙනවා. නමුත් අපි ඒවා කෙළින්ම අනුකරණය කළේ නැහැ. අපිට ගැළපෙන විදිහට දේශීය අනන්‍යතාවකින් යුක්තව හැම වැඩසටහනක්ම සකස ගත්තා. අපේ සාර්ථකත්වයේ රහසත් එයයි.“

“ නාලිකාවේ ගෙවුණු සත් වසර තුළ එම වැඩසටහන් ප්‍රේක්ෂකයන් හොඳින් ග්‍රහණය කරගත්තා. ප්‍රේක්ෂකයන් අතරට වැඩි වශයෙන් ගිය එවැනි වැඩසටහන් අතර සෑම දිනකම උදෑසන විකාශය වන Big Focus වැඩසටහන ඉහළින්ම තිබෙනවා.

ඒ වගේම ඉංග්‍රීසි වැඩසටහන් සඳහා ද, 360, වාද පිටිය, විදෙස් පුවත් සඳහා ද විශාල ප්‍රතිචාර ලැබෙනවා. ප්‍රාදේශීය පුවත් ඉදිරිපත් කරන ‘සිව්දෙස‘ සහ පැයෙන් පැය පුවත් විකාශය අපේ නාලිකාවේ ඉතා ජනප්‍රිය වැඩසටහන්. රටේ ලෝකයේ සිදුවන සෑම සිදුවීමක්ම එසැණින් වාර්තා කිරීමෙන් ප්‍රේක්ෂක විශ්වාසය ඉහළින්ම දිනා ගන්න අප සමත් වුණා.

අද දෙරණ 24 පැය නාලිකාව හරහා සිදු කළ සමාජ සත්කාර පිළිබඳ ද විධායක අධ්‍යක්ෂවරයා මෙසේ පැවසුවේය.

“ ‘මනුසත් දෙරණ‘ ප්‍රජා සත්කාරය හරහා අපි ඇතුළු සමස්ත දෙරණ නාලිකාවම එකතු වී මේ සමාජ සත්කාර සිදු කරනවා.“

තම කාර්ය මණ්ඩලය ගැන ද විධායක අධ්‍යක්ෂවරයා සිහිපත් කළේ කෘතවේදිවයි. “ යම්කිසි ආයතනයක ශක්තිය කාර්ය මණ්ඩලයයි. ආයතනයේ සාර්ථකත්වයට උර දෙන්නේ ඔවුන්.“

“අපගේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ යුවරාජ් අතුකෝරල තමයි ප්‍රධානම තැනක් ගන්නේ. සාමාන්‍යාධිකාරී සහ වැඩසටහන් ප්‍රධානි ලෙස කටයුතු කරන කේ.සී. සාරංග අපිට ඉහළ දායකත්වයක් ලබා දෙනවා. ඩිල්කා සමන්මලී, චතුර අල්විස්, වසන්ති නානායක්කාර ආදී ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලයක් අපට සිටිනවා. තවත් තරුණ පිරිසකුත් අපි ගොඩනඟමින් ඉන්නෙ.“

වසර 7ක් සපිරුණු මොහොතේ නාලිකාවේ ඉදිරි වෙනස්කම් පිළිබඳ විධායක අධ්‍යක්ෂ මඩවල පැවැසුවේ මෙවන් අදහසකි.

“ප්‍රවෘත්ති නාළිකාවක් කියන්නේ දිනෙන් දින වෙනස් විය යුතු දෙයක්. වෙනස් නොවුණොත් පරාදයි. හැමදාම අලුත් දේවල් ප්‍රේක්ෂකයන්ට ලබා දිය යුතුයි. එවිටයි දිනන්නෙ.“

දිනෙන් දින වෙනස් වන ලෝකයේ, සෑම දෙයක්ම වෙනස් වනවා සේම නව්‍ය දේවල් නිවැරැදිව ප්‍රේක්ෂකයාට ලබාදීමට මාධ්‍ය කැපවිය යුතුයි. පුද්ගල සම්මතයකින් තොරව, සැමටම ආදර්ශවත්ව කටයුතු කිරීම මාධ්‍ය වගකීමකි.

Comments