රැල්ලට එරෙහිව කැරැල්ලක් හදන ටෙලි සිත්තම චලෝ | සිළුමිණ

රැල්ලට එරෙහිව කැරැල්ලක් හදන ටෙලි සිත්තම චලෝ

 

 

හසුන් සමීර ටෙලි නාට්‍ය කලාවේ ගුණාත්මක හැඩය රැකගන්න වෙහෙසුණු අධ්‍යක්ෂවරයෙක්. පවතින තත්ත්වය තුළ වාණිජ නිර්මාණ තලයට තල්ලු වුවත් ඔහුගේ අපේක්ෂාව වුුණේ ටෙලි නාට්‍ය කලාවේ ප්‍රේක්ෂක රසවින්දනය උදෙසා වු වෙනසක් කිරීමටයි. හසුන් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ ‘මිහිදුම් අම්මා‘ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරමින්. පසුව ‘යාල් දේවි‘, ‘පැරිසියට යන පාර‘, ‘සඳ පිණි වැස්ස‘, ‘අහස් මාලිගා‘ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළ හසුන්ගේ අලුත්ම ටෙලි නිර්මාණය තමයි ‘චලෝ ‘.

 

‘චලෝ‘ මේ වකවානුවේ පුංචි තිරයේ විකාශනය වෙමින් තිබෙනවා. බිබිල වැනි ලංකාවේ ඉතා දුෂ්කර ගැමි පරිසරයකින් එන කාන්තා පා පන්දු කණ්ඩායමක් හා බැඳුණු සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය වන මේ ටෙලි නාට්‍යය හසුන් කතාව පටන් ගත්තේ මේ නිර්මාණය බිහි වීමට බල පෑ නිමිත්ත සිහි කරමින්.

“‘චලෝ ‘නිර්මාණයට නිමිත්ත ගෙනෙන්නෙ ගයානි අසිංසලා කියන ගුරුවරිය. ඇය තමයි මේ නිර්මාණයේ පිටපත රචනා කරන්නේ. ඇගෙන් මට බිබිල දුනුනෑව පාසලේ වුණු සත්‍ය සිදුවීමක් අහන්න ලැබෙනවා. ඒ සත්‍ය සිදුවීම පාදක කරගෙනයි මේ නිර්මාණය කරන්න යොමු වෙන්නේ.

කුමක් හෝ ක්‍රීඩා තරගයකට දරුවන් පුහුණු කර ඉදිරිපත් කරන්නට අධ්‍යාපන කලාපයෙන් බිබිල දුනුනෑව ඉස්කෝලෙට දන්වනවා. පාසලේ විදුහල්පතිතුමාත් ක්‍රීඩා භාර ගුරුතුමියත් මේ පිළිබඳ කල්පනා කරමින් සිටින විට ගරා වැටුණු ක්‍රීඩා කාමරයේ තිබී පරණ පා පන්දුවක් හමුවෙනවා. මේ පා පන්දුව තමයි දරුවන්ගෙ අනාගත බලාපොරොත්තු පෙළ ගස්වන්නෙ. පාපන්දු කණ්ඩායමක් හදන්න පිරිමි දරුවන් මදි. විදුහල්පතිවරයාගේ සහ ක්‍රීඩා භාර ආචාර්යතුමියගේ ආශීර්වාදය ඇතිව ඉස්කෝලෙ ඉන්න දැරියන් සම්බන්ධ කරගෙන කාන්තා පා පන්දු කණ්ඩායමක් හදන්න ඉදිරිපත් වන්නෙ ආබාධිත තරුණයෙක්. ඔහුගෙ නම පූර්ණ. ඒ නම තුළ ගැඹුරු සංකේතයක් ගැබ්ව තිබෙනවා.

ලෝක සම්භාවනාවට ලක් වූ පා පන්දු වීරයා වුණු ‘පේලේ‘ තමයි පූර්ණගෙ ජීවිතයෙ වීරයා. කකුලක් අහිමි පූර්ණ මේ දැරියන් පුහුණු කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවනවා. බලාපොරොත්තුව, කැපවීම, යෞවන ප්‍රේමය වැනි මානුෂික හැඟීම් ගොන්නක් අතරින් දිවෙන මේ නිර්මාණය ප්‍රේක්ෂකයා වෙනත්ම මානයකට රැගෙන යනවා.

මෙම නිර්මාණය සඳහා දර්ශනතල තෝරාගෙන තිබෙන්නේ ද සත්‍ය කතාව හා බැඳුණු මොනරාගල, බිබිල, මැදගම, කොටගම, අයගම, මිණිපුර, දුම්බර, ආශ්‍රිත ප්‍රදේශ.

“ශලනි තාරකාව තමයි මා මේ නිර්මාණයේ ප්‍රධාන චරිතයට සම්බන්ධ කරගත්තේ. ඒ සමඟම අලුත් පිරිසක් එකතු කරගත්තා. බොහෝ වෙලාවට හැමෝටම ඕනේ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගන්න ජනප්‍රිය නළු නිළියන් නිර්මාණයකට එකතු කරගන්න. අප අලුත් පරම්පරාවකුත් හදන්න ඕනේ ඒ වෙනුවෙන් ගත්ත උත්සාහයක් තමයි මේ නිර්මාණයේ දකින්න ලැබෙන්නේ. නාළිකාවත් අපිට අපේ තීරණ ගන්න නිදහස දුන්නා. සංජීව උපේන්ද්‍ර තමයි මෙහි නළු නිළි වරණය කළේ. අපි මේ නිර්මාණයට එකතු කරගත්තේ වේදිකාවේ දක්ෂ පිරිසක් වගේම පා පන්දු ක්‍රීඩාවට දක්ෂ පිරිසක්.“

ශලනි තාරකා නිර්මාණයට සම්බන්ධ කරගැනීමෙන් නිර්මාණයට ලැබුණු ආලෝකය ගැන ඔහු පැවසුවේ මෙවැන්නක්.

“ශලනි කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය වැනි කෙනෙක් තෝර නොගත්තා නම් ‘චලෝ‘ නාට්‍යයේ සියුම් භාව ප්‍රකාශයන්ට යන්න බැරි වෙනවා. ඇය සිය රූපණ භූමිකාව හරියටම කළා.

‘චලෝ‘ නිර්මාණය කිරීමේ දී අධ්‍යක්ෂවරයා මුහුණ පෑ අභියෝග ප්‍රමාණය ගැනත් අප විමසුවා.

“මට ඕනෑ වුණේ මේ යන රැල්ලට නොගිහින් වෙනස් නිර්මාණයක් කරන්න. මෙය දුෂ්කර අත්දැකීමක්. රටේ පවතින තත්ත්වය එක්ක විශාල පිරිසක් එකතු කරගෙන මෙවැනි වැඩක් කිරීම ලොකු අභියෝගයක්. ගැහැනු ළමයි කණ්ඩායමක් එක්ක වැඩ කිරීම ජීවිතේ ලැබූ අභියෝගයක්. නළු නිළියන්ව පාන්දර දෙකේ ඉඳන් සූදානම් කළ අවස්ථා තිබුණා. සෞඛ්‍යාරක්ෂිතව වැඩ කළත් සමහරු කොවිඩ් පොසිටිව් වුණා. සමහර අයට වැඩ කරන්න අපහසුකම් ආවා. ඒ සියලු අභියෝග මැද්දේ තමයි ‘චලෝ‘ නිර්මාණය කළේ. රාජ් ප්‍රඩක්ෂන් තමයි මේ නිර්මාණයේ නිෂ්පාදනයට සම්බන්ධ වුණේ. ඔවුන් මට වැඩේ නිදහසේ කරන්න ඉඩ හැදීම ගොඩක් වටිනවා. “

මා විශ්වාස කරනවා නිර්මාණකාරයකුට පුළුවන් මේ සමාජ ව්‍යූහය වෙනස් කරන්න. බිබිලෙන් කාන්තා පා පන්දු කණ්ඩායමක් බිහි වෙලා ජාතික තලයට ගියා. ඒත් ඒ ගැන කවුරුත් කතා කළේ නෑ. ‘චලෝ‘ ලංකාවේ පා පන්දු ක්‍රීඩාවේ වෙනසක් කරයි යන විශ්වාසයත් මා තුළ තිබෙනවා.

පවතින තත්ත්ව තුළ නිර්මාණකරුවකුට තම නිර්මාණ කාර්ය ගැන නිශ්චිත අනන්‍යතාව රැකගැනීමට පහසු නොවුණත් ‘චලෝ‘ තුළ අධ්‍යක්ෂවරයාට ඉලක්ක ගත අරමුණක් අප දුටුවා.

“ ‘මීදුම් අම්මා‘ වැනි නිර්මාණයකින් මම මගේ ගමන පටන් ගත්තත් ප්‍රායෝගික ගැටලු හමුවේ. නමුත් ‘චලෝ‘ කියන්නේ ‘මීදුම් අම්මා‘ ටෙලි නාට්‍යයෙන් පස්සේ මගේ තීන්දු තීරණ එක්ක නිදහසේ කරන්න ලැබුණ නිර්මාණයක්. ‘චලෝ‘ නිර්මාණය කළේම ගුණාත්මක වපසරියක නිර්මාණයක් කිරීමේ ආසාව එක්ක. අපේ පිපාසාව තිබෙන්නේ එතැන.

සාර්ථක නිර්මාණ වෑයමක් තුළ බොහෝ දෙනාගේ අවසාන අරමුණ සම්මානයක්. ‘චලෝ අවසාන අරමුණත් එය වෙන්න ඇතිද? අප ඔහුව විමසුවා.

“මට සම්මාන බලාපොරොත්තුවක් නෑ. අපි මුදල්, ජනප්‍රියත්වය, සම්මාන පස්සේ හැංගිලා වැඩ කළොත් හරි වැඩක් එළියට ගේන්න අමාරුයි. සම්මාන ලැබුණොත් ලැබෙයි. නමුත් නිර්මාණ අරමුණ එය නෙමෙයි .

මා හිතන්නේ ‘චලෝ‘ වෙනුවෙන් සම්මාන ලැබෙන්න ඕනේ නෑ. මොකද මා හැම වෙලාවෙම හිතන්නේ මගේ ඊළඟ වැඩේ තමයි වැඩේ කියලා. පවතින තත්ත්ව ඇතුළේ අපට නිර්මාණයට සියයට සීයයක උපරිමය දෙන්න බැරි වෙලා තිබෙනවා. ඒ නිසා මේ ලබා ගන්න අත්දැකීම් තමයි මම ඊළඟ නිර්මාණයට ලබන සූදානම.

ඔහු අවසාන වශයෙන් අපට කියන්නෙ ඉතාම වටිනා කතාවක්.

“ යහපත් නිර්මාණයක් වටා ප්‍රේක්ෂකයන්ව එකතු කරන්න ආරාධනා අවශ්‍ය නෑ. ඔවුන් එය වැලඳගනීවි. හැබැයි මේ නිර්මාණ නිමිත්ත තුළ මහා බරසාර කතාවක් තිබෙනවා. ආබාධිත තරුණයෙක් වූ පූර්ණ බිබිලට පේලේව ගෙනාවා. කාන්තා පා පන්දු කණ්ඩායමක් හදලා ජයග්‍රහණ වෙත අරන් ගියා. ඒත් ලෝකයා ඒක දැක්කේ නෑ. ඒ හැංගිලා තිබුණු දේ අපි නිර්මාණයකට ගෙනාවා. බිබිලෙන් ලංකාවටම වගේම ලෝකයට එය විවෘත කිරීම ප්‍රේක්ෂකයන්ගේ වැඩක්.

Comments