රම්පේවල මසුරන් ගු ණ | Page 2 | සිළුමිණ

රම්පේවල මසුරන් ගු ණ

 

ආහාර පිසීමේ දී රසකාරකයක්, සුවඳ කාරකයක් සේම විෂ වර්ග අවශෝෂකයක් ලෙසද අතීතයේ සිටම භාවිත වන රම්පේ අදටත් බොහොමයක් ගෙවතුවල සේම සමහර නාගරික පරිසරය තිබෙන ගෙවතුවලද දක්නට ලැබෙන පඳුරු වර්ගයට අයත් ශාකයකි. අතීතයේ සිටම අපේ ආහාර රටාව සමඟ බද්ධ වූ රම්පේ කලෙකදී පිළිකාකාරකයක් ලෙස හැඳින්වුවද එය පිළිකාකාරකයක් වන්නේ අපගේම නොසැ‍ලකිලිමත් කමිනි. එයට හේතුව බොහෝ දෙනකු රම්පේ පැළ සිටුවන්නේ නාන කාමරයෙන් බැහැර වන ජලය ගලා යන ස්ථානවලය. එම ජලයේ අඩංගුවන රසායනික සංයෝග ජලය මඟින් රම්පේ පැළයට එකතු වේ. රම්පේ ශාකයෙන් විෂ උරා ගැනීමේ හැකියාව තිබුණත් පිරිසිදු ජලය සහිත ස්ථානයක රම්පේ පැළය සිටුවීම යෝග්‍යය වේ.

 

රම්පෙවල ඇති ගුණ

 

ආතරයිටීස් වේදනාව අඩු කිරීමට උපකාරී වෙයි

රුධිරයේ සීනී පාලනය කරයි

මුඛ සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට උදව් වෙයි

වකුගඩුවල ගල් ඇති කිරීමේ අවධානම අවම කරයි

ආහාර රුචිය ඇති කරයි

මානසික පීඩනය දුරු කර ගැනීමට පිටුවහලක් වෙයි

හිස් හොරි දුරු කිරීමට උපකාරී වෙයි

වේදනා නාශක ගුණ සහිතයි

 

රම්පේ

පෑන් කේක්

 

අවශ්‍ය ද්‍රව්‍ය

රම්පේ කොළ කිහිපයක්

වතුර මිලි ලීටර 300 ක්

හකුරු ග්‍රෑම් 120 ක්

ලුණු ස්වල්පයක්

සිහින්ව ලියාගත් පොල්

පාන්පිටි ග්‍රෑම් 200ක්

පොල්කිරි මිලි ලීටර 250 ක්

පොල්තෙල් ස්වල්පයක්

බිත්තරයක්

 

රම්පේ කොළ කිහිපය හොඳින් සෝදා සිහින්ව කපා ගන්න. දැන් වතුර මිලි ලීටර 150 ක ප්‍රමාණයක් ලිප තබා එයට හකුරු එකතු කර ගන්න. අඩු ගින්දරේ දියකර ගනිමින් ලුණු තේ හැඳි භාගයක් එකතු කරන්න. පසුව කපා ගත් රම්පේ කැබලි එයට දමා මැලවෙන තෙක් හොඳින් හැඳි ගාන්න. මැලවුණු පසු හකුරු මිශ්‍රණය ලිප තබා රම්පේ ටික පමණක් එයින් ඉවත් කර ඒ පැණි මිශ්‍රණයට සිහින්ව ලියාගත් පොල් එකතු කර හොඳින් මැලවෙන තුරු හැඳි ගාන්න. දැන් එය පසෙකින් තබන්න.

තවත් රම්පේ කොළ දහයක් පමණ ගෙන එය කුඩා කැබලිවලට කපා එයට වතුර මිලි ලීටර 150 ක් පමණ එකතු කර බ්ලෙන්ඩ් කර යුෂ පෙරා වෙන් කර ගන්න. පාන්පිටි වලට ලුණු කුඩු තේ හැඳි භාගයක් හා පොල්කිරි එකතු කර මිශ්‍ර කරන්න. හොඳින් මිශ්‍ර වූ පසු සාදා ගත් රම්පේ යුෂ මෙම මිශ්‍රණයට එකතු කර එයටම තෙල් හැඳි භාගයක් හා බිත්තරයක්ද එක් කරන්න. දැන් මෙම මිශ්‍රණය නැවත හොඳින් කවලම් කරගන්න.

අඩු ගින්දරේ pan එකක් ලිප තබා මිශ්‍රණයෙන් කුඩා ප්‍රමාණයක් ගෙන pan එකට වක් කරන්න. පසුව එය pan එකෙහි එක සමාන ලෙස පතුරුවා රොටියෙහි මතුපිට තෙත් වාෂ්ප වනතෙක් තබන්න. රොටිය ලිපෙන් බාගෙන එයට ඔබ සාදාගත් පොල්පැණි මැදට එකතු කර තදින් රෝල් කර ගන්න.

 

රම්පේ කේක්

 

අවශ්‍ය ද්‍රව්‍ය

පාන්පිටි ග්‍රෑම්100 ක්

සීනී ග්‍රෑම් 80 ක්

රම්පේ කොළ දහයක් පමණ

පොල්තෙල් මිලි ලීටර් 50 ක්

පොල්කිරි මිලි ලීටර් 40 ක්

බේකින් පවුඩර් තේ හැන්දක්

ලුණු ස්වල්පයක්

බිත්තර 3ක්

 

රම්පේ කොළ කිහිපයක් ගෙන එය කුඩා කැබලිවලට කපා වතුර ස්වල්පයක් දමා බ්ලෙන්ඩ් කර ගන්න. එහි යුෂ රෙදි කැබැල්ලකින් පෙරා ගන්න. පසුව බිත්තර සීනී බීට් කර තෙල් හා පොල් කිරිද මිශ්‍ර කරගෙන එයට පිටි සහ බේකින් පවුඩර් එක්කර ගන්න. දැන් හොඳින් කවලම් කර තැටියකට දමා පුළුස්සා ගන්න.

 

රම්පේ ජෙලි පුඩිම

 

අවශ්‍ය ද්‍රව්‍ය

හීනියට කපාගත් රම්පේ කැබලි

අවශ්‍යය ප්‍රමාණයට

ජලය ස්වල්පයක්

සීනී ඇති පමණට

අගාර් අගාර් පවුඩර් හෝ ජෙලටීන්

තේ හැඳි 3 ක්

පොල්කිරි මිලි ලීටර 25 ක්

ලුණු ස්වල්පයක්

සිහින්ව කපාගත් රම්පේ කැබලිවලට වතුර ස්වල්පයක් දමා බ්ලෙන්ඩ් කර එහි යුෂ භාජනයකට පෙරා ගන්න. එයට වතුර ස්වල්පයක් එකතු කර අගාර් අගාර් පවුඩර් හෝ ජෙලටීන් එකතු කර ගන්න (අගාර් අගාර් පවුඩර් වෙනුවට ජෙලටීන් ද භාවිත කළ හැකිය). මෙම මිශ්‍රණයටම පොල්කිරි හා සීනිද එකතුකර හොඳින් මිශ්‍ර කර ගන්න. විනාඩි පහක හයක ප්‍රමාණයක් හොඳින් කවලම් කර එය පැය හතරක් පහක් පමණ ශීතකරණයේ තබා කැබලිවලට කපා ආහාරයට ගන්න.

 

රම්පේ පොල්කිරි පුඩිම
 

අවශ්‍ය ද්‍රව්‍ය

පොල්කිරි මිලි ලීටර 750 ක්

කෝන් ෆ්ලාර් මේස හැඳි 2 ක්

සීනී මේස හැඳි 5 ක්

රම්පේ කොළ දහයක

පමණ යුෂ

 

පොල්කිරි මිලි ලීටර 250 කට සීනී, කෝන් ෆ්ලාර් කවලම් කර ගන්න. ඉතිරි පොල්කිරි ලිප තබා පැහීගෙන එන විට කවලම් කරගත් මිශ්‍රණය එකතු කර හැඳි ගා ගන්න. මිශ්‍රණය උකු වී ගෙන එනවිට තැටියකට දමා ගන්න.

 

 

උපදෙස් - උමංදාව දේශීය

ආහාර පර්යේෂණ ව්‍යාපෘතිය

Comments