යුගයක් පිනවා නිහඬව සමු ගත් මියුරු රසවතා... | සිළුමිණ

යුගයක් පිනවා නිහඬව සමු ගත් මියුරු රසවතා...

ප්‍රවීණ ගීත රචකයෙක්, මාධ්‍යවේදියෙක් මෙන්ම කලාකරුවෙක් වූ කැමිලස් පෙරේරා පසුගිය ... දා දිවිරඟ මඬලින් සමු ගත්තේය. වත්තල මහින්ද මල්ශාලා‍ෙව් පසුගිය 18 වැනිදා උදේ 9 සිට සවස 3 දක්වා තැන්පත් කර තිබූ දේහය පිළිබඳ අවසන් කටයුතු එදිනම සිදු කෙරිණි. මේ රටේ දැනට ජීවත්වන සමස්ත සහෘද රසික පර්ශදයේම භාව ආමන්ත්‍රණය කළ ප්‍රශස්ත ගීත රචකයන් අතළොස්ස අතර සිටි මේ මිනිසා මිය ගිය පසු යළි අතීත ස්මරණයන් සහිතව බොහෝ සංවාදයට ලක් වෙමින් ඇත්තේය.

 

ඔත්පලව අසරණව මිය ගිය යුගයක් රසවත් කළ ඒ මියුරු රසවතා පිළිබඳ මෙම කෙටි සටහන තබන්නේ හෘදය සාක්ෂියේ ඉපදුණු වරදකාරී හැඟීමක් ද සහිතව බව කියමි.

විශාරද මාලනී බුලත්සිංහල ගායනා කරන 'හිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට, කමල් අද්දරආරච්චි සහ දමයන්ති ජයසූරිය ගායනා කරන සප්තකන්‍යා චිත්‍රපටයේ ආස්වාදනීය ගීතය වූ 'උන්මාද වූ ප්‍රේමාදරී' මහාචාර්ය සනත් නන්දසිරි ගයන ' පින්බර යුවතිය කුලකුමරිය වී මංගල මල් නැකතේ' ක්ලැරන්ස් විජේවර්ධන ගායනා කරන 'හදවිලේ ඔබ පිපුණා' රෝහන සිරිවර්ධන ගායනා කරන 'දේව මන්දීරේ' වැනි ගීත අතුරින් එක් ගීතයක් හෝ ඔබ අසා ඇති බව විශ්වාස කරමි. රෝහණ සිරිවර්ධනයන් ගායනා කරන දේව මන්දීරේ ගීතය ඇසෙන සෑම වරකම මේ ගී පද ගොනුකළ ගීත රචකයාගේ ආනුභාව සම්පන්න ආශ්චර්ය දැනී තිබිණි.

ඒ මියුර ගීත ලියුවේ කැමිලස්ය. ඒ ගී පද සංරචනා පිළිබඳ නිමිති පහළ වී තිබුණේ ඔහුගේ මනසේය. හිමි නැති පෙමකට වැනි පද රචනාවලට පාදක වූ විරහව විඳගෙන ඉන් සහකම්පනයක් ඇති කළ හැකි ආකාරයේ නිර්මාණයක් බිහි කිරීමට ඔහු තුළ වූ විසාල හදවත පිළිබඳ ඔහු ජීවත්ව සිටි වකවානුවේදීත් කල්පනා කළෙමි.

කැමිලස් උපන්නේ වර්ෂ 1947 අප්‍රියෙල් 04 වැනි දිනය. මාකවිටගේ ස්ටැන්ලි කැමිලස් පෙරේරා නොහොත් කවුරුත් දන්නා කැමිලස් පෙරේරා ගීත රචනා කරන්නට පටන් ගන්නේ වයස අවුරුදු 16 තරම් කාලයේ දී බව විටෙක ඔහු කීවේය. එහෙත් ඔහු වෘත්තියෙන් පුවත්පත් කලාවේදියෙකි. සිය වෘත්තීය ජීවිතය පටන් ගන්නේ 'ඥානාර්ථ ප්‍රදීපය' පුවත් පතෙනි. අපට වැදගත් වන්නේ කැමිලස් කලෙක පත්තර මහගෙදර ආලෝකවත් කළ පුවත්පත් කලාවේදියෙක් වූ නිසාය.

සිනමා ක්ෂේත්‍රයට සංගීත ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය කලාකරුවෙක් වී සම්භාවනාවට ලක්වෙමින් සිටි අවදියේ කැමිලස් ලේක් හවුසියේ දිනමිණ පුවත්පතේ කලා අතිරේකය සංස්කරණය කළේය. සරසවිය පුවත්පත් උපකතුවරයකු ලෙස සේවය කළේය. ඇත්තටම කියනවා නම් ඒ වකවානුවේ දී කැමිලස් නිසා සරසවියත් දිනමිණ කලා අතිරේකයත් බැබළුණේය.

ඔහු අනතුරුව රටේ ජාතික පුවත්පත් ගණනාවක සේවය කර තිබිණි. 'ලංකාදීප','ලක්බිම','ඉරුදින', වගේම 'ගීතා' සිනමා පුවත්පතේ ද ඔහු වැඩ කළේය.

වැදගත් වන්නේ ඔහුගේ මාධ්‍ය භූමිකාවේ භාවිතය කොළයකට හා පෑනකට සීමා වී නොතිබීමය. සම්මානිත ගීත රචක, මාධ්‍යවේදී කැමිලස් වරෙක නාට්‍යකරුවෙක් වූයේය. 'තිත්ත හකුරු' , 'දඬුවම', 'මට සමාවක් නැද්ද' යන වේදිකා නාට්‍ය ලියා වේදිකා ගත කළේ ඔහුය. අනතුරුව ඔහු සම්මානිත සිනමා කෘති දෙකක් සඳහා සිනමාකරුවෙක් ලෙස දායක වුණේය. ඒ 'දෙවෙනි ගමන', සහ ' මංගල තෑග්ග' චිත්‍රපටවල සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙසය.

එහෙත් යළිත් වරක් ඔහු ගැන මතකය කේන්ද්‍රගත වන්නේ ඔහු ගේ අති විශිෂ්ට ගීත රචනා අතරය.

සනත් නන්දසිරි ගයන 'විකසිත වතකමලේ' ගීතය ලිව්වේ කැමිලස්ය. ෆීලික්ස් ඇන්ටන් ගයන 'ආදර ප්‍රිය ළඳුනේ' ගීතය ඔහුගේය. ටී.එම්. ජයරත්න ගායනා කරන 'හදිස්සියේ හනි හනිකට පා තබනා' ගීතය රචකයා ඔහුය. සමහර ගායකයන් ජනප්‍රියත්වයේ හිනි පෙත්තේ තැබූ එකම ගීතය ඔවුන්ට ලියා දී තිබුණේ කැමිලස් වීම ඔහුගේ ප්‍රභාව පැහැදිලි කරන්නේය.

විශාරද නන්දා මාලනී ගයන 'රැයේ තුන්‍ යම' සහ 'දුර ඈත තුරු වඳුලේ' එඩ්වඩ් ජයකොඩි ගයන 'පෙර ඔබ මා හමුවී' ආචාර්ය වික්ටර් රත්නායක ගයන 'ආයුබෝවේවා' රෝහණ සිරිවර්ධන ගයන 'පෙරදා ඈ මගේ' දමයන්ති ජයසූරිය ගයන 'ඔබ සිත සසලව ' නිර්මලා රණතුංග ගයන 'පාවේදෝ මිදී ඈත' පුන්සිරි සොයිසා ගයන 'මා තනිවෙලා' වැනි ගීත තවමත් සහෘද හදවත් තුළ නොමැකෙන සේ තැන්පත් වී ඇති අයුරු සිහි කරමි.

චිත්‍රපට පසුබිම් ගී නිර්මාණ ශිල්පියකු ලෙස , 'අසිපත මමයි'-1986, 'මංගල තෑග්ග'-1987,'සහරාවේ සිහිනය'-1990, 'වැඩ බැරිනම් වැඩක් නෑ'-1991, 'සප්ත කන්‍යා'-1993, 'දෙවියනි සත්‍ය සුරකින්න'-1995, 'බොඩිගාඩ්'-1996,'මන මෝහිණී'-1996,' රෑ රූ'-1999, 'සීත සමීරේ'-1999, 'දඬුවම'-2000,'විශ්ම රාත්‍රිය'-2003 ඇතුළු චිත්‍රපට රැසකට ඔහු පසුබිම් ගීත රචනා කළේය.

වරෙක ඔහුගෙන් 'හිමි නැති පෙමකට' ගීය ලිවීමේ නිමිත්ත මාධ්‍ය සහෘදයෙක් අසා තිබිණි. ඒ වනවිට ඔහු සිටියේ ඔත්පලවය. ඔහු තතනමින් උත්තර දුන්නේය.

"මගෙ තරුණ කාලේ මම ගෑනූ ළමයකුට පුදුම තරම් ආදරය කළා. මගෙ මොනව හරි අඩුවක් දකින්න ඇති. ඉතින් ඇය මාව ප්‍රතික්ෂේප කළා. ඒ ගැන මහා වේදනාවක් ඇතිවුණා. එය පිට කරගන්න තමයි මේ සින්දුව ලිව්වෙ..."

'ඔබතුමා කොතරම් සින්දු ලියලා ඇති ද? ඔහු ඇසූ ප්‍රශ්නයට ඔහු සිනාසෙමින් උත්තර දුන්නේය.

"මම හිතන්නේ සින්දු දාහක් විතර ලියලා ඇති." ඒ ගීත අතුරින් අඩුම ගණනේ සියයක්වත් අපට නිතර ඇසෙමින් අපව අමන්දානන්දයට පත් කළ ගීත රචනාය.

ජීවිතේ අවසන් කාලය ගතකරමින් සිටි කැමිලස් පෙරේරා වරෙක මෙසේ කීවේය.

"ලෝකයේ හැටි එහෙම තමයි. ගීතයක් ලියලා ඉවරවුණාම එතැනින් ඒ දේ ඉවරයි. ආයෙ ලෙඩක් දුකක් වුණා කියලා ඇවිත් බලලා යන්න එන්න මිනිස්සුන්ට වෙලාවක් නෑ..."

ඔහු වෙනුවෙන් ඔහු ජීවත් වී සිටිය දී කළ යුතු බොහෝ දේ සමාජයක් ලෙස අප මගහැර තිබුණු වරදකාරී හැඟීමකින් යුතුව ලියා තබමි. අපේ සහෘදත්වයට අප කෘතවේදී නම් මේ මිනිසුන් අසරණව මිය යා යුතු නැත. එහෙත් අප ජීවත්වන්නේ වෙන අයකුගෙන් වචන මාත්‍රයක පිළිසරණක් නැතිව අප විසින්ම අපේ ජීවිත පවත්වාගත යුතු බිහිසුණු ලෙස හුදෙකලා වූ සමාජයකය.

කැමිලස් පෙරේරා යන්න ගියේ ඒ වේදනාකාරී සත්‍යය යළි යළිත් අපට කොඳුරා කියමිණි.

 

Comments