තෝරා­ගත් දේ හරි­ය­ටම කරන්න එවිට ජීවි­තය දිනන්න පුළු­වන් | සිළුමිණ

තෝරා­ගත් දේ හරි­ය­ටම කරන්න එවිට ජීවි­තය දිනන්න පුළු­වන්

 

 

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා ශ්‍රී ලාංකේය කාන්තා භූමිකාවේ සුවිශේෂීම රූපණයකි. කැලණිය සරසවි ඉතිහාසයේ මුල්ම උපකුලපතිනිය ඇයය. ලෝක සම්භාවනාවට ලක් වූ විද්වත් පර්ශද ඇසුරෙහි සිදු කරන ලද වෛද්‍ය පර්යේෂණ ප්‍රතිඵල මේ භූමිය තුළ ප්‍රායෝගික කරමින් නිහඬ මෙහෙවරක් කළ, කැලණිය සරසවියේ වෛද්‍ය පීඨය ඇරඹුණු දා සිට පුරා වසර තිස් 32ක් තිස්සේ වෛද්‍ය වෘත්තිකයන් දහස් ගණනක් නිර්මාණය කිරීමට දායක වී අසීමිත බුද්ධි සම්පතක් ජාතියට දායාද කළ, කැලණිය වෛද්‍ය පීඨයේ පීඨාධිපති ලෙසත්, රටේ සරසවි පද්ධතියේ ගුණාත්මක බව ඉහළ නැංවීම සඳහා දැවැන්ත කැප කිරීමක් කළ විද්වත්වරියක් ලෙසත් ලද අත්දැකීම් ද සහිතව ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශකවරියක් ලෙස අන්තර්ජාතික අත්දැකීම් බෙදා ගනිමින් ලෝකයේ ගැහැනියක් වූ ඇය රසඳුන වියතුන් සභා මැද කෙරෙන කෙටි පිළිසඳරට එක් වන්නීය.

 

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා සිය අතීත අත්දැකීම් අතර නිදහසේ සැරි සරමින් සංවාදයට එක් වූවාය.

“මා පාසල් අධ්‍යාපනය ලැබුවේ කොළඹ කාන්තා විද්‍යාලයෙන්. මගෙ අම්මා පේරාදෙණිය විශ්විද්‍යාලයේ නීති උපාධියක් ලබා ඒ ලැබූ දැනුම අවුරුදු ගානක් තිස්සේ සාමාජ සේවය වෙනුවෙන් කැප කළ කෙනෙක්. මට හොඳටම මතකයි මගෙ අම්මා මා අවුරුදු 13 -14 කාලෙ රටේ ක්‍රියාශීලී ස්වේච්ඡා සේවිකාවක්ව හිටියා. මගෙ තාත්තා ව්‍යාපාරිකයෙක්. ඔහු අප පොඩි දවස්වලම සිය ව්‍යාපාර දියුණු කරගෙන රටට සේවයක් කළ හැකි තැනකට ආවා.

මට මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. මා පොඩි කාලෙ ඉඳන් පොත පත කියවන්න කැමති කෙනෙක්. මල්ලිලා ක්‍රීඩා කළා. ක්‍රිකට් ගැහුවා. මම පැත්තකට වෙලා පොත් කියෙව්වා. සමහර විට මේ සන්සුන් කියැවීමේ පුරුද්ද මට ඇති වෙන්න ළමා වියේ මට තිබුණු සෞඛ්‍ය තත්ත්වයත් හේතු වෙන්න ඇති. පොඩි කාලෙ මට ඇදුම තිබුණා. ඒ කාලෙදි ඇදුමට බෙහෙත් කරන්න අමාරුයි. මහන්සි වෙලා ක්‍රීඩා කරන්න අපහසු නිසා මා නිරායාසයෙන්ම කියැවීමට යොමු වුණා.

පාසල් කාලෙදී මට මතක හොඳම දේ තමයි මට විභාග ලියලා හොඳට ලකුණු ගන්න හැකි වීම. නමුත් ඇත්තටම මට විශේෂ කලා හැකියා පිහිටලා තිබුණෙ නෑ. පාසලේ දක්ෂ දරුවා කියලා මැනෙන්නෙ අධ්‍යාපනය අනුමිතියක් කරගෙන විතරයි නෙ. ඒත් මට හැකියාවක් නැති කලාත්මක සහජයන් සහිත මගේ යාළුවන්ට මම අසීමිතව ගෞරව කළා. මට ඒ පිහිටීම නොමැතිකම ගැන ළමයෙක් විදිහට දුක හිතුණු වෙලාවල් තිබුණා. කෙසේ වෙතත් මා පාසලෙන් සමු ගත්තේ වර්ෂ මම 1977 - 78 වසර ආවරණය කරමින් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස කටයුතු කරලා.“

මා සරසවියට ප්‍රවේශ වෙන්නේ 1981 අවුරුද්දෙ. කොළඹ වෛද්‍ය පීඨයට මා තේරිලා තිබුණා. ඒත් අනෙක් ළමයින්ට වගේ වෛද්‍ය විද්‍යාව හදාරන්න, වෛද්‍යවරියක් වෙන්න මට ලොකු කැමැත්තක් තිබුණෙ නෑ. මගෙ මවුපියන් සහ ගුරුවරු හරිම කැමැත්තෙන් හිටියේ මම වෛද්‍ය පීඨයට ඇතුළත් වෙනවට.“

“වෛද්‍ය පීඨයේදී මා පාඩම් කරලා පන්ති සාමර්ථ්‍ය අරන් සමත් වුණා. ඒත් මගෙ සීමාවාසීක කාලය සම්පූර්ණ වුණාට පස්සෙ මට තේරුණා මා රෝග සඳහා ප්‍රතිකාර කරන වෛද්‍යවරියක් වෙන්න අවශ්‍ය නැති වග. කොළඹ වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලබන කාලයේ ඉඳන් මා ආශක්ත කළ විෂයක් තිබුණා. ඒ තමයි පරපෝෂිත වෛද්‍ය විද්‍යාව. මා ඒ විෂය ඉගෙන ගන්න කාලෙදී අපට ඒ ඉගැන්වීම කළේ තාමිණී මෙන්ඩිස් කියලා තරුණ ආචාර්යවරියක්. මා හිතන්නෙ ඇගේ දැනුම, උගන්වන රටාව මා පුදුම විදිහට මේ විෂයට බැඳ තබා ගත්තා.“

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වාගේ සැමියා මේ රට තුළ අතිශය සම්භාවනාවට පත් වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයෙකි. ඔහු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනක ද සිල්වාය. මහැදුරු කාලෝ ෆොන්සේකාගෙන් පසු කැලණිය වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයා වූයේ ඔහුය. ලංකාවේ ජීවත් වන ලෝක සම්භාවනාවට පත් විද්වත් පර්යේෂකයෙකි. සමහරවිට නිලන්ති ද සිල්වා නමැති මේ ප්‍රභූ විද්වත් චරිතය හැඩගස්වමින් ඇය පසුපස සිටි යෝධ සෙවණැල්ල වූයේ ඔහුය. ඔවුන් දෙදෙනාගේ හමුව සරසවියේ දී සිදුවන්නකි.

“එය සරසවි ප්‍රේමයක්. ජනක ඒ කාලෙ සීමාවාසී වෛද්‍යවරයෙක්. මා තුන්වන වසරේ වෛද්‍ය ශිෂ්‍යාවක්. මගේ සීමාවාසී කාලයෙදී අප තවත් හොඳින් අඳුනා ගත්තා. අපට තේරුණා අපි ජීවිතය දකින්නෙ එකම විදිහට කියලා. පාස් අවුට් වෙන කාලෙදි අපි විවාහ වෙමු කියලා කතා කරගත්තා. “

“අපේ ලොකු දූ ලැබුණු කාලෙදි ජනකගෙ පශ්චාත් උපාධිය වෙනුවෙන් එංගලන්තෙට යන්න වුණා. අපි තුන්දෙනාම එංගලන්තෙ ගියා. ජනක එතැනදි ඔහුගෙ ආචාර්ය උපාධිය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් කළා.“

“ඔහු පී.එච්.ඩී එක කරන කාලෙදි අපි අවුරුදු තුනක් එංගලන්තෙ හිටියා. ඒ අතරෙ පරපෝෂිතවේදය ගැන මා ලන්ඩන්වල පශ්චාත් උපාධියක් කළා. London School Hygiene and Tropical Medicine ආයතනයෙ තමයි ඒ පාඨමාලාව හැදෑරුවේ. එතැනදි මට හොඳම ශිෂ්‍යයාට හිමි රන් පදක්කම ලැබුණා.“

මගෙ ජීවිතය දිහා හැරිලා බලනකොට හිතෙන්නෙම මම හරිම වාසනාවන්ත කෙනෙක් කියලා. බොහෝ කටුක අත්දැකීම්වලින් ස්වාභාවයෙන්ම මාව මිදෙව්වා. මේ රටේ මහා ව්‍යසනයක් වෙච්චි වර්ෂ 1988 -89 කාලෙදි අපිට එංගලන්තයෙ ඉන්න සිද්ධ වුණා. ජනකගේ පී.එච්.ඩී. එක ඉවර කරලා 1991 දි තමයි අපි ලංකාවට ආවේ. වර්ෂ 1991 අ‍ප්‍රේල්වල සිට පේරාදෙණිය විශ්විද්‍යාලයෙ වෛද්‍ය පීඨයට බැඳිලා ජනක වෛද්‍ය විද්‍යාවත් මා පරපෝෂ වේදයත් ඉගැන්නුවා. “

රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ වන්නේ මේ අතරය. මහා ශිෂ්‍ය අරගලයක් ඇති විය. ත්‍රීමා විතාරණ වැනි ශිෂ්‍ය නායකයෝ අරගලයේ දී දිවි පිදූහ. අවසානයේ දී රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගත්තේය. එය කැලණිය විශ්විද්‍යාලයේ වෛද්‍ය පීඨය බවට පරිවර්තනය විය. එහි මුල්ම පීඨාධිපතිවරයා ලංකාවේ කීර්තිධර විද්වතකු වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකාය.

“මහාචාර්ය කාලෝ ජනකව පොඩි දවස්වල සිට දැනගෙන හිටියා. ඔහු කතා කරලා ඇහුවා අලුත් වෛද්‍ය පීඨයට බැඳෙන්න කැමති ද කියලා. අපි දෙන්නම ඉල්ලුම කළා. වර්ෂ 1993 අගෝස්තුවලදි අපි කැලණිය වෛද්‍ය පීඨයෙ වැඩ භාර ගත්තා.“

කැලණිය වැඩ කරන්න පටන් ගන්නකොට පෞද්ගලික විශ්විද්‍යාලයේ සිට කැලණිය සරසවි වෛද්‍ය පීඨයට පවරා ගැනීමේ ක්‍රියාවලිය සියල්ල සම්පූර්ණ වෙලා තිබුණේ නෑ. කැලණි විශ්විද්‍යාලයට ගත්ත පළමු ළමයි කණ්ඩායම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ තුනවන වසර දක්වා අධ්‍යාපන කටයුතුවල නිරත වෙච්චි ළමයි කණ්ඩායම හිටියා. කැලණි විශ්විද්‍යාලයෙන් වෛද්‍යවරු ලෙස පිටව ගිය පළමු කණ්ඩායමේ සිට දැනට කණ්ඩායම් 32ක් බඳවාගෙන තිබෙනවා. වෛද්‍ය කණ්ඩායම් 27ක් පිට වෙලා තිබෙනවා. ඔවුන් ගොඩනැඟෙන හැටි මා බලාගෙන හිටියා. “

“මා වර්ෂ 1994 පළමු පශ්චාද් උපාධිය කළා. අමතරව දැනුම ලබා ගැනීම සඳහා අපේ වෛද්‍ය විද්‍යා පශ්චාද් උපාධි ආයතනයේ පරපෝෂිත විද්‍යාව පිළිබඳ පශ්චාද් උපාධිය කළා. ඒ පාඨමාලාව සම්පූර්ණ කරන්න අනිවාර්යයෙන් අවුරුද්දක විදේශ පුහුණුවක් සම්පූර්ණ කළ යුතුයි. ඒ සඳහා වර්ෂ 1995 දී පොදුරාජ්‍ය මණ්ඩලීය වෛද්‍ය විද්‍යා ශිෂ්‍යත්වයක් මට ලැබුණා. ඒ එක්කම මා නැවත ඔක්ස්ෆර්ඩ් ගිහින් ඔක්ස්ෆර්ඩ් විශ්විද්‍යාලයේ බෝවන රෝග සහ වසංගත වේදය පිළිබඳ මධ්‍යස්ථානය (Center for Infectious Disease Epidemiology)සමඟ සම්බන්ධ වෙලා මගෙ උපාධිය සම්පූර්ණ කළා. එතැන විෂය පිළිබඳ ඉතාම ඉහළින් පර්යේෂණ කරන කණ්ඩායමක් එක්ක වැඩ කරන්න මට අවස්ථාව ලැබුණා.“

“මා පරපෝෂිතයන් නිසා ඇතිවන පණු රෝග පිළිබඳ පරීක්ෂණ කරන්න පටන් ගත්තේ වර්ෂ 1991 පමණ කාලෙදි. අපට ඒ රෝග දැකගන්න ලැබුණේ ඉතාම දුගී දුප්පත් ජනතාව අතර. ඉතාම දුෂ්කර ගැමි පළාත්වල සහ නගරවල පැල්පත් නිවාසවල. අපේ සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල ස්ථායී බව මා දැක්කේ මේ පරීක්ෂණවල නියැළෙන කෙනෙක් විදිහට වර්ෂ 2001 දී ලෝක සෞඛ්‍ය සංවිධානයත් එක්ක වැඩ කරද්දී. “

“ඒ වෙලාවෙදී මා දැක්කා ලෝකයේ වෙන දියුණුවෙමින් පවතින රටවල වැඩ කරන්නේ කොහොමද කියලා. ඔවුන් එක්ක බලනකොට අපේ ඒක පෞද්ගලික ආදායම් තත්ත්වය ඉහළ මට්ටමක නැති වුණාට ඊට වඩා ගොඩාක් ඉහළින් අපේ අධ්‍යාපනය හා සෞඛය පිළිබඳ දර්ශක තිබුණා. පණු රෝග මර්ධනයත් අපේ රටේ හොඳින්ම කෙරිලා තිබුණා. මා තාම ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශකවරියක් ලෙස කටයුතු කරනවා. “

මේ අතර මහාචාර්ය නිලන්ති ද සිල්වා කැලණිය වෛද්‍ය පීඨයේ පීඨාධිපති ලෙස වර්ෂ 2012 සිට 2018 තෙක් අවුරුදු 06ක් වැඩ කළාය. විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ තත්ත්ව ආරක්ෂණ කවුන්සලයේ අධ්‍යක්ෂ ලෙස අවුරුදු දෙකක් වගකීම් ඉටු කළාය. ඇය කැලණීය විශ්විද්‍යාල ඉතිහාසයේ ප්‍රථම උපකුලපතිනිය වන්නේ එයින් පසුවය. ඒ වර්ෂ 2020 පෙබරවාරියේ දී ය.

“ඔබතුමිය තමයි කැලණිය විශ්විද්‍යාලයේ ප්‍රථම උපකුලපතිනිය. ශිෂ්‍ය අරගල බහුල කැලණිය විශ්විද්‍යාලයේ උප කුලපතිනිය වීමේ අත්දැකීම කොහොම ද?“ ඇයව විමසුවෙමි. ඇය සිහින් සුසුමක් පිටකරමින් පිළිතුරු දුන්නාය.

“ එය පහසු කටයුත්තක් නොවෙයි. පීඨ 07ක් තිබෙනවා. මේ එක් එක් පීඨවල ශිෂ්‍යයන්ගේ ප්‍රශ්න හා ගැටලු වෙනස්. ඒව හඳුනාගෙන ඒවට සුදුසු විදිහට තීරණ අරගෙන පුළුවන් උපරිම සේවය සහ පහසුකම් සැපයීම ලේසි පහසු කාරණාවක් නොවෙයි. දැන් ඒ පීඨ හතේම අධ්‍යාපනය කරගෙන යන්නේ කොවිඩ් මැද්දේ.“

නමුත් මා වටා ඉතාම දක්ෂ ආචාර්ය මණ්ඩලයක් ඉන්නවා. වෘත්තීයම භාවයෙන් නිපුණ අනධ්‍යයන කාර්ය මණ්ඩලයක් ඉන්නවා ඒ සියලු දෙනාගෙ සහායෙන් මේ සරසවි දරුවන්ට ප්‍රශස්ථ උසස් අධ්‍යාපනයක් ලබා දීම තමයි මගේ එකම අභිලාෂය.

මා පත් වුණු කාලය තුළ විශාල කොවිඩ් අර්බුදයට අමතරව විශාල ගැටලු ප්‍රමාණයකට මුහුණ දුන්නා. ශිෂ්‍ය අරගල ගොඩනැඟුණා. සයිටම් එක නිසා සිසුන් අවුරුදු එකහමාරක් පන්ති වර්ජනය කළා. ඒ පන්ති වර්ජනයට කිසිසේත්ම එකඟ නැතිවා වගේම මම දැක්කා මේ අවස්ථාවෙදි රජයේ ප්‍රතිපත්තිවල ඇති යම් යම් ගැටලු සහගත ප්‍රවේශ. මේ අවස්ථාවෙදී මා කටයුතු කළේ අතිශය මැදිහත්ව. එය සමහර විට මා විවේචනයට ලක්කෙරෙන තරම් වුණා. එහෙත් මේ සියලු තත්ත්ව කළමනාකරණය කරගෙන මේ දරුවන්ගෙ අම්මා කෙනෙක් විදිහට කල්පනා කරලා මට ඒ ප්‍රශ්නවලට මුහුණ දෙන්න හැකි වුණා. එතැනදී මගෙ වගකීම තිබුණේ අධ්‍යාපනය කරගෙන යන්න. කොහොම හරි ඒ වකවානුව සෑහෙන අමාරු කාලයක් වුණා.“

සරසවියක මූලික අභිලාෂය උපාධිධාරීන් බිහිකිරීම පමණක් නොවේ. සරසවියක් යනු ජාතියට දැනුම දෙන දැනුම් කෝෂයකි.

“ සරසවියකට අධ්‍යාපනය වගේම විශේෂ සමාජ කාර්යයක් තිබෙනවා. මා විශ්වාස කරන වැදගත්ම දේ තමයි පර්යේෂණවල ඵලදායී බව. ඒ සඳහා මා උපරිම සහාය දෙනවා. ඒ වගේම සරසවියක් මේ දෙකටම අමතර සමාජ කාර්යයකට මැදිහත් විය යුතුයි. මා එසේ කියන්නෙ මා වෛද්‍ය පීඨයෙන් එන නිසා විය හැකියි. අපේ වෛද්‍ය පීඨයේ ආචාර්ය මණ්ඩලයේ හැමෝම උතුරු කොළඹ ශික්ෂණ රෝහලට සේවය ලබා දෙනවා නොමිලයේ.

ඒ වගේම කැලණිය වෛද්‍ය පීඨයේ තිබෙනවා ආබාධිතතා අධ්‍යයන අංශයක්. විශ්විද්‍යාල පද්ධතියටම එවැනි අධ්‍යයන අංශයක් තිබෙන්නෙ කැලණියෙ විතරයි. දරුවන්ට ඒ සේවාව ලබා දෙන්න අපි අයති කියන මධ්‍යස්ථානය පෞද්ගලික අංශයත් එක්ක එකතු වෙලා හැදුවා. අයති හදන්න පෞද්ගලික අංශයෙන් මිලියන තුන්සීයකට වඩා ආධාර ලැබුණා. අගිය අවුරුද්දෙ ජනවාරිවල ඉඳන් ඒ මධ්‍යස්ථානය අපේ ආබාධ සහිත දරුවන් හය දහසකට ලියාපදිංචි වෙලා ඉන්නවා. මුළු රටටම එතැනින් සේවයක් කරනවා.“

අවසාන වශයෙන් ඇසුවෙමි. ඔහුත් රටේ අතිශය කාර්යබහුල චරිතයකි. ඇයත් එසේය. ඔවුන් දෙදෙනා අයිති ලෝකයටය. එහෙත් මවන, බිරියක ලෙස ඇගේ කුටුම්බය කළමනාකරණය කරන ආකාරය විමසුවෙමි. ඇය සිනාසුණාය.

“අමාරු බව ඇත්ත. ඒත් මම කිව්වෙ මට වාසනාව පිහිටලා තිබෙනවා කියලා. ජනක හැම වෙලාවෙම මගෙ වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වය පසුපස හිටියා. මට අම්මලා දෙන්නෙක් ඉන්නවා. ජනකගෙ අම්මයි මගෙ අම්මයි. ඔවුන් මගෙ දරුවො වෙනුවෙන් ලොකු කැපවීමක් කළා. මට අමාරුම වුණේ මගේ එම්.ඩී එක කරලා ඉතිරි කොටස සම්පූර්ණ කරන්න වර්ෂ 1995 එංගලන්තයට යන්න සිදුවුණු වෙලාවෙදි. ඒ කාලෙදී මගෙ දුවට අවුරුදු 08යි. පුතාට අවුරුදු 03යි. මට තනියෙන් යන්න වුණා. එය දරා ගන්න අපහසු වුණා.“ ඒ මතකය යළිත් ඇයගේ දෙනෙතට කඳුළු නන්වා තිබිණි.

“එහෙත් වගකීම් භාරගත්තා නම් ඒ කැපකිරීම් අපි කළ යුතුයි. බැරිනම් ඒ වගකීම් භාර ගන්න හොඳ නෑ. ඒත් අපි අපේ ජීවිතත් ආදරය සහ බැඳීම් එක්ක ගෙවා දැමිය යුතුයි. මා දැන් මිත්තණියක්. මගෙ දියණියගෙ බබාට දැන් අවුරුදු දෙකහමාරයි. ඒ සිඟිත්තව මට හොරෙන් ලොකු වෙන්න දෙන්නෙ නෑ. සතියෙ දවස් පහම වැඩ කරලා සති අන්තය මා ඒ වෙනුවෙන් තියා ගන්නවා...“ ඇය කියන්නී සිනාසෙමිනි.

දැන් ඒ දෙපළගේ දරුවන් මේ රටේ දීප්තිමත් තරුණ පරම්පරාව නියෝජනය කරන්නේය. දුව ආචාර්ය තිලෝකා ද සිල්වාය. ඇය මොරටුව සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකි. පුතා මනෝද ද සිල්වාය. ඔහු ගෘහනිර්මාණ ශිල්පියෙකි.

“ඔබතුමියට මේ රටේ මිනිස්සුන්ට කියන්න තිබෙන වැදගත්ම දේ මොකක් ද?.“ මම ඇසුවෙමි.

ඇය මදක් නිහඬ වූවාය. “ කරන දේ උපරිම කැපවීමෙන් හරියට කරන්න. එය කුමක් ද යන්න වැදගත් නෑ. වැදගත් වන්නේ ඵලදායී අවසානයක් ලබා ගැනීමයි.“

සංවාදය නිමා කරමින් මේ මහා බරසාර ගැහැනියගෙන් මෙසේ අසන්නට සිත් විය. ඒ දරු මුනුබුරන් එක්ක ගත කරන වෙලාව හැරුණම ඇයටම විතරක්ම ගත කරන්න වෙලාවක් ආවොත් ඇය එය ගත කරන්න කැමතිම කොහොම ද යන්නයි.. ඇය සැහැල්ලු ලෙස සිනාසුණාය.

“මගෙ ගාව පොඩි කැමරාවක් තිබෙනවා. කුරුල්ලන්ගෙයි සමනලයන්ගෙයි ෆොටෝ අරගන්න ආසයි...“

අවසානයේ දී ඒ මහා ප්‍රතාපවත් කාන්තා චරිතය තුළ සිට අතිශය සංවේදී ගැහැනිය සොයා ගත්තෙමි.

Comments