ත්‍රාසයත් රසවත් බව කී අපූරු සති අන්තය | සිළුමිණ

ත්‍රාසයත් රසවත් බව කී අපූරු සති අන්තය

 

 

ජීවිතේ සමහර කාල තිබෙනවා කොතරම් වැඩ කළත් මහන්සි නොදැනෙන. එහෙත් කාලයක් යද්දී ඒ වැඩත් එක්ක හෙම්බත් වෙලා විවේකයක් අවශ්‍ය වෙනවා. ඒ විවේකය අවශ්‍ය වෙන්නේ මන්දගාමී ජීවිතයට ජවයක් ලබා ගන්න. මේ වගේ රෝන්දයක් මම ගියෙත් ඒ වගේ කාලෙක. දහසකුත් රාජකාරී මැද මටත් අවශ්‍ය වුණා මනසට විවේකයක්. ත්‍රාසජනක ක්‍රියාකාරකමක් කියන්නේ හෙම්බත් වුණු මගේ මනසට නම් දිව ඔසුවක්. Kayaking කියන්නේ ඒ වගේ හොඳ ත්‍රාසජනක ක්‍රියාකාරකමක්.

 

දවස් කිහිපයකට කලින් සමීර ලියාන් හිතවතාට දුරකථතන ඇමතුමක් දී දිනයක් වෙන් කර ගත් මම උදේම අධිවේගී මාර්ගයෙන් ගාල්ලට ළඟා වුණා. ඔහු මාව ගන්න ගාල්ලට ඇවිත් තිබුණු ජීප් එකේ කලින් Travel කර දැන අඳුනා ගත්තු කිහිප දෙනකුත් සිටි නිසාම හිතට සතුටකුත් දැනුණා. උදේ කෑමෙන් පස්සේ අපි පිටත් වුණේ ගිං ගඟ අසබඩට.

Kayaking කියන්නේ ද්විත්ව තලයකින් යුතු පැඩලයක් භාවිත කරමින් ඒ සඳහාම නිමැවූ කුඩා පටු ජල යාත්‍රාවක වාඩි වී ජලය හරහා ගමන් කිරීමයි. Water Rafting වගේ කියලා කෙනකුට හිතුණත් Water Rafting සහ Kayaking වෙනස් ක්‍රියාකාරකම් දෙකක්. Water Rafting කරද්දී ලොකු බෝට්ටුව ඉදිරියට ගෙන යන්නේ පිරිසක් එකතු වෙලා. බෝට්ටුව පාලනය වන්නේ වෙනම නියමුවෙක් මඟින්. නමුත් Kayaking කරද්දී එක යාත්‍රාවක යා හැක්කේ තනිව හෝ දෙදෙනෙක්ට පමණයි. සියලු තීරණ ගත යුත්තේ තනිව හෝ දෙදෙනා විසිනි. තමන්ට අවශ්‍ය පරිදි නිදහසේ හසුරවන්න පුළුවන්. එහිදී Raftingවලට වඩා සම්පුර්ණයෙන් වෙනස් අත්දැකීමක් විඳින්නත් පුළුවන්. Kayaking කියන්නේ ත්‍රාසයක් දැනුණත් ඉතාමත් ආරක්ෂිත ක්‍රියාකාරකමක්.

Kayaking සම්බන්ධයෙන් දේශීය වගේම ජාත්‍යන්තර සුදුසුකම් ලත් මාර්ගෝපදේශකයෙක් වුණු මා හිතවත් සමීර සහ ඔහුගේ සහයකයන් අද දවසේ කටයුතු සිදුවන ආකාරය, අදාළ ආරක්ෂිත ක්‍රම, පැඩලය හසුරවන ආකාරය , Kayaking කරන අතර තුර ශරීර ඉරියව් පවත්වා ගත යුතු ආකාරය අපට මැනවින් පැහැදිලි කර දුන්නා. පිහිනන්න තිබුණු නොහැකියාව නිසාම ටික ටික බයක් දැනුණත් සමීර කියන්නේ ආරක්ෂිත උපකරණ හා කබා පැලඳගෙන සිටීම සහ ජීවිතාරක්ෂක පුහුණුව ලද සහයකයින් සිටින නිසා ඒ පිළිබඳ කිසිදු බයක් තබා ගැනීමට අවශ්‍ය නොවන බවයි.

ක්‍රියාකාරකමට අවශ්‍ය සියලු ආරක්ෂිත දේවල් පැලඳගෙන මම තවත් සහායකයකුත් සමඟ බෝට්ටුව ඉදිරියෙන් වාඩි වුණා. ඔවුන් පරිසරය ගැන වඩාත් සැලකිල්ලක් දක්වන නිසාවෙන්ම බෝට්ටුව තුළ ප්ලාස්ටික් බෝතල් සහ පොලීතින් වැනි දෑ රැගෙන යාමට අවසර ලැබෙන්නේ නැත. අප නැඟී බෝට්ටුව Paddling කරමින් ගිං ගඟේ ඉදිරියට ගමන් ගත්තා. හිතට ටිකක් බය දැනුණත් පරිසරයයේ සුන්ඳරත්වය, සිසිලස වගේම මෙම අපූරු අත්දැකීමේ ආස්වාදය ඒ බය මොහොතකට අමතක කරවනවා.

Paddling කිරීමත් ලේසි තරමක් වෙහෙසකාරී ක්‍රියාකාරකම්ක්. නිවැරදිව හොඳ අවධානයකින් යුතුව ජල පහරේ ස්වාභාවය අනුව Paddling කළ යුතුයි. ශරීරයේ නම්‍යශීලීබව වැඩි දියුණු කරනවා සේම පිටුපස, අත්, උරහිස් සහ පපුවේ මාංශපේෂි ශක්තිමත් කිරීමටද Kayaking ක්‍රියාකාරකම උපකාරී වෙනවා. වැඩිහිටියන්ට විතරක් නෙවෙයි දරුවන්ට වුණත් කළ හැකි මේ ක්‍රියාකාරකම හරි අපූරු අත්දැකීමක්.

දෙපස කැලෑ මැදින් ගිං ගඟ දිගේ සුන්ඳරත්වය විඳිමින් ඉදිරියට ආ අපට දැන් නම් තරමක වෙහෙසකාරී බවක් දැනුණා. සමහර තැන්වලදී තරමක් විශාල දියරැලිවලටත් මුහුණ දීමට සිදු වුණත් ඒ ත්‍රාසයත් අපූරු අත්දැකීමක් වුණා. ගෙන යෑමට තහනම් වුණත් නොහික්මුණු මිනිස්සු විසින් කෙසේ හෝ ගෙන ගොස් ගඟට අතහැර තිබූ පොලිතින් ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය පුළුවන් විදිහට අපි එකතුකර ගත්තේ පරිසරය වන හානිය යම් තරමකින් හෝ අවම කිරීමට අප දායක විය යුතුය යන සිතිවිල්ලෙන්.

ගමනාන්තය කරා ළඟාවන විට කුසගින්න නම් උග්‍ර තත්ත්වයකට ළඟා වී තිබුණු නිසාම ඉක්මනින් පිරිසිදු වී ලක ලෑස්ති වුණේ කෙහෙල් කොළයක එතූ රසවත් ගමේ බතක සහ වෑංජනවල රස විඳින්න. බඩගින්නේ සිටි අපට ඒ රසය දිව්‍ය භෝජනයකට සමානයි.

දවස පුරාම Kayakingවල යෙදී සිටිය නිසා ඇඟට පොඩි තෙහෙට්ටුවක් දැනුණත් මනසට දැනෙන සැහැල්ලුව ඇඟේ තෙහෙට්ටුව අමතක වී යන තරමට විශාලයි. හවස් යාමය ළංවූ නිසාම ගිංගඟ අසබඩින් පිටත් වූ මම දකුණු රටින් කොළොම්පුරයට ළඟා වුණේ තවත් අපූරු අත්දැකීමක ආස්වාදය මතක පොතට එකතු කරගනිමින්.

  ඡායාරූප : සමීර ලියාන්

Comments