ටෙලි නාට්‍ය කර්මා­න්තය තුළ අපේ ශිල්පීන් වැඩ කරන්නෙ වහල්ලු වගේ | සිළුමිණ

ටෙලි නාට්‍ය කර්මා­න්තය තුළ අපේ ශිල්පීන් වැඩ කරන්නෙ වහල්ලු වගේ

 

 

ධර්මප්‍රිය ඩයස් අපට ඉන්න අතළොස්සක් වූ ප්‍රභා සම්පන්න රූපණවේදීන්ගෙන් කෙනෙක්. සහෘදයන් තුළ කම්පනයක් ඇතිකරන රංගාවේශයකින් යුතුව පුද්ගල භාව සියුම්ව රූපණය කිරීමේ විරල හැකියාවක් සහිත ඔහු රංගන ශිල්පියෙක් මෙන්ම නිර්මාණ අධ්‍යක්ෂවරයෙක්. පසුතල නිර්මාණ ශිල්පියෙක්. වඩාත්ම වැදගත් වන්නේ ඔහු අනාගත පරපුරක් ගොඩ නගන ගෞරවනීය ගුරුවරයෙක්. සම්භාව්‍ය කෘතියක මෙන්ම ජනප්‍රිය සරල නිර්මාණයක ඔහුට ලැබෙන භූමිකාවට සාධාරණයක් කිරීමේ හැකියාවක් සහිත ඔහු මේ දිනවල ‘දෙවෙනි ඉනිම‘ ටෙලි නාට්‍යය සහ ‘ Colombo‘ චිත්‍රපටයෙන් අපට සමීප වෙනවා.

 

අලුත් නිර්මාණ කටයුතුවලින් අපි කතාව

අරඹමු?

රංගන ශිල්පියෙක් විදිහට මෑතක දී සිනමා කෘති හතරක රංගනයෙන් දායක වුණා. එයින් ‘ Colombo‘චිත්‍රපටය මේ දිනවල දී ප්‍රදර්ශනය වෙනවා. පහුගිය කාලේ ‘සාදය මාරයි සල්ලි හමාරයි‘ වේදිකා නාට්‍යය අධ්‍යක්ෂණය කළා. සම්මාන ඇගයීම් ලැබුණා. එය සාර්ථකව ප්‍රදර්ශනය කළ නාට්‍යයක්. ඉන් අනතුරුව ‘මම නෙවෙයි වෙන කෙනෙක්‘ නාට්‍යය නිර්මාණය කළා. එයත් පසුගිය රාජ්‍ය නාට්‍ය උළෙලේ ඇගයීමට ලක් වුණා. පැවති වාතාවරණය යටතේ එය ජනතාව අතරට රැගෙන යන්න අවස්ථාව ලැබුණේ නැහැ. රාජිත දිසානායකගේ අලුත්ම නාට්‍යයේ වේදිකා පසුතල නිර්මාණ කටයුතුවලට දායක වෙන්න ලැබුණා.

 

ඔබ රංගන ශිල්පියෙක් වෙන්න කැමැත්තෙන් මේ ක්ෂේත්‍රයට ආ කෙනෙක් ද?

රංගනය තෘප්තිමත් වැඩක්. හොඳ චරිතයක් ලැබුණාම ඒ තෘප්තිය වඩාත්ම දැනෙනවා. රංගනය අධ්‍යයනය කළ යුතුයි විෂයයක්. ඒ වගේම අධ්‍යක්ෂණයට යොමු වෙන්න මගේ කැමැත්තක් තිබෙනවා. වේදිකාවෙදි මං එයට යොමු වුණා. අනාගතයේ දී සිනමා අධ්‍යක්ෂණයට එන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා.

 

රංගන ශිල්පියෙක් විදිහට ඔබ තෘප්තිමත්ද?

වේදිකාව, ටෙලි නාට්‍යය හා සිනමාවේ මට ලැබුණු රංගන අවකාශ ගැන මම තෘප්තිමත්. එකිනෙකට වෙනස් චරිත ලැබෙනවා නම් මම වඩාත් කැමතියි. ඒ චරිතවල තියෙන අනන්‍ය ස්වරූපයට පිවිසෙන්න මට හොඳ පුහුණුවක් තිබෙනවා.

 

නළුවෙක් වීම පහසුයි කියලා හි‍ෙතනවද?

මා එහෙම හිතන්නේ නැහැ. රංගන ශිල්පියකුට ඒ ගැන හැදෑරීමක් තිබෙන්න ඕන. ඔහු රටේ සමාජ ආර්ථික දේශපාලන වටපිටාව පිළිබඳ සවිඥානික විය යුතුයි. ඉතිහාසය සහ වර්තමානය පිළිබඳ පුළුල් අවබෝධයත් රංගන ශිල්පියකුට අතිශය වැදගත්. එතකොට තමන්ට ලැබෙන චරිතය සියුම්ව ග්‍රහණය කරගන්න හැකියාව ලැබෙනවා.

 

වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ ඔබ සුවිශේෂී චරිත හරහා ගොඩනැඟුණු රංගන ශිල්පියෙක්?

වේදිකාවෙදී මට සුවිශේෂී චරිත රඟපාන්න අවස්ථාව ලැබිලා තිබෙනවා. බන්දුල විතානගේ, ජයලත් මනෝරත්න, කේ. බී හේරත්, නීල් අලස්, කපිල කුමාර කාලිංග, රාජිත දිසානායක, චාමික හත්ලහවත්ත වගේ අධ්‍යක්ෂවරුන් බොහොමයක් සමඟ මට වැඩ කරන්න ලැබිලා තිබෙනවා.

චාමික හත්ලහවත්ත ගේ ‘හයිනා‘වේදිකා නාට්‍ය සහ රාජිත දිසානායකගේ ‘නැතිව බැරි මිනිහෙක්‘ වේදිකා නාට්‍ය වෙනුවෙන් හොඳම නළුවාට හිමි රාජ්‍ය සම්මාන හිමි වුණා. හොඳම නළුවා සහ හොඳම සහය සහාය නළුවා ලෙස අවස්ථා කීපයකදීම නිර්දේශ ⁣වුණා. රුවන් මලිත් සහ කලන ගුණසේකර අධ්‍යක්ෂණය කළ ‘දාස මල්ලිගේ බංගලාව‘ නාට්‍ය වෙනුවෙන් හොඳම පසුතල නිර්මාණ ශිල්පියාට හිමි සම්මානය මට ලැබෙනවා. වේදිකාව මා ප්‍රිය කරන තැනක් .

වේදිකාව,ටෙලි නිර්මාණ සහ,සිනමාව අතර රංගන ශිල්පියෙක් විදිහට ඔබට දැනෙන වෙනස පිළිබඳ කතා කළොත් ?

මට මේ මාධ්‍ය තුනෙහිම රංගනයේදී ගැටලුවක් මතුව නෑ. මාධ්‍ය එකිනෙකට වෙනස්වීමත් එක්ක තාක්ෂණික කාරණාවල වෙනසක් මම දකිනවා. රංගන ශිල්පියෙක් විදියට වැදගත් වෙන්නේ ලැබෙන චරිතය. ඒ චරිතය ජීවත්වන පරිසරය සහ මුහුණ දෙන ගැටුම් අදාළ චරිතය වටහා ගැනීමට රංගන ශිල්පියකුට ඉවහල් වෙනවා. නැවතත් මට කියන්න තියෙන්නේ නළුවෙක් වෙනවා නම් ඔහුටම අනන්‍ය පැහැදිලි දෘෂ්ටියක් තියෙන්න ඕන.

 

අලුත් පරම්පරාව සමඟ නිරන්තරයෙන් කටයුතු කරන ඔබට ඔවුන් පිළිබඳ අදහසක් ඇති?

දක්ෂයෝ මට මුණ ගැසී තිබෙනවා. ඔවුන් තාක්ෂණය පිළිබඳ කිසියම් අවබෝධයක් සමඟ කටයුතු කරන බව පේනවා. නමුත් එයින් ඔබ්බට හැදෑරිය යුතු ශිල්පීය පසුබිමක් ගොඩනඟා ගන්න උත්සාහ කරන බවක් පේන්නෙ නැහැ. ඒ තත්ත්වයට ඔවුන්ට පමණක් දොස් කියන්න බැහැ. නිසි මඟ පෙන්වීමක් ලබා දෙන්න හොඳ ගුරුවරු ඔවුන්ට නෑ. රංගනය පිළිබඳ අභ්‍යාස යෙදීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා ඔවුන් කාලයක් වෙන් කරන බවක් පේන්නෙ නැහැ. නිසි ක්‍රමවේදයක් සැකසෙන තුරු මේ දේවල් අවධිමත්ව පවතීවි.

 

ඔබ යෝජනා කරන නිසි ක්‍රමවේදය කුමක් ද?

විශ්වවිද්‍යාල මට්ටමින් රංග කලාව පිළිබඳ පවතින පාඨමාලාවල රංගනය පිළිබඳ විශේෂවේදී පාඨමාලාවක් හදාරන්න ඉඩකඩ නිර්මාණය වෙනවා නම් වැදගත්. වේදිකා පසුතල නිර්මාණය වැනි ආනුසාංගික විෂයක විශේෂවේදී පාඨමාලාවක් බිහිවෙලා තිබුණනම් පසුතල නිර්මාණයකදී ලීයක් පුරුද්දන තැන ඉඳලා ඔවුන්ට කටයුතු කරන්න හැකි වෙනවා.

 

දෘශ්‍ය කලාවේදී උපාධිධාරියකු වන ඔබ වෘත්තීය විදිහට තෝරා ගන්නේ ගුරු වෘත්තිය?

කලා ක්ෂේත්‍රයේ අස්ථාවරත්වය හඳුනගත්තට පස්සේ වෘත්තීය රංගන ශිල්පියෙක් වෙන්න අදහසක් කොහෙත්ම ඇති වුණේ නැහැ. අපේ රටේ කලාව පිළිබඳ ප්‍රතිපත්තියක් වගේම නෛතික පසුබිමක් නැහැ. මනුස්සයෙක් හැටියට වැඩ කරද්දි තමන්ගේ ශ්‍රමය සූරා කෑමකට ලක් නොවී වේතනයක් ලබන්න අයිතිවාසිකමක් තිබෙනවා. මේ ක්ෂේත්‍රයේ එහෙම දෙයක් නෑ. ටෙලි නාට්‍යයක් විකාශය කරලා විශාල ප්‍රතිලාභයක් ලබා ගත්තත් එයට දායකවන කලාකරුවන්ට ප්‍රමාණවත් ගෙවීමක් ලැබෙන්නෙ නෑ. අපේ ශිල්පීන් වහලුන් වගේ මේ කර්මාන්තය තුළ වැඩ කරන්නේ. පාන්දර නිවෙසින් අරන් ඔවුන්ව ආයෙ ගෙදර ගෙනත් දාන වෙලාව ඔවුන්වත් දන්නේ නැහැ. ඔවුන්ගේ ජීවිතවලට වගකියන්න කිසිවෙක් නැහැ. ඒ නිසා මා කලාවෙ නිරතවන ගමන් ගුරු වෘත්තිය තෝරා ගත්තා.

 

නිර්මාණයකට එක් වීමේදී ඔබ සලකා බලන්නේ මොනවගේ කාරණා ද?

ලැබෙන චරිතය පිළිබඳ පෞද්ගලිකව මට තෘප්තිමත් වෙන්න පුළුවන්ද කියලා මුලින්ම බලනවා. ඒ චරිතයට උපරිම සාධාරණයක් කරන්න මම උත්සාහ කරනවා.ඒ චරිතය හරහා මිනිසුන්ට ලැබෙන රසවින්දනය පිළිබඳ මම නිතරම හිතන කෙනෙක්. ලැබෙන හැම චරිතයක්ම බාර ගන්න කෙනෙක් නෙවෙයි. විවේකයෙන් වැඩ කරද්දි ඒක පහසුවක්. දරන්න බැරි වැඩ කොටසක් එක්ක ඉක්මනින් හති වැටෙන්න මට අවශ්‍ය නැහැ.

මගේ බිරිද තනූජා නිලන්ති. අපිට පුතාලා දෙදෙනෙක් ඉන්නවා. ස්වර්ණ රාවණ ඩයස් සහ ප්‍රවර භාෂණ ඩයස්. අපි හතර දෙනත් එක්ක ජීවිතේ සතුටින් ගෙවෙනවා.

 

ඡායාරූප - චමත් ෂා අම්බලන්ගොඩ

Comments