ඔලි­ම්පික් බොක්සිං වළ­ල්ලට නැති­වම බැරි වූ අපේ නෙල්කා | Page 2 | සිළුමිණ

ඔලි­ම්පික් බොක්සිං වළ­ල්ලට නැති­වම බැරි වූ අපේ නෙල්කා

පියාගේ සිහිනය සැබෑ කරන්නට බොක්සිං වළල්ලට සේන්දු වූ නෙල්කා ශිරෝමාලා අන්තිමට නැවතුණේ ඔලිම්පික් බොක්සිං තරග තීරකවරියක ලෙස අසීමිත ගෞරවයක් දිනා ගෙනයි. දශක දෙකකට වැඩි කාලයක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ බොක්සිං පුහුණුකරු ලෙස කටයුතු කළ නෙල්කාගේ පියා හිටපු ජාතික බොක්සිං ශූර ටී. සම්පත්ගේ එකම සිහිනය වුණේ බොක්සිං වළල්ලට දරුවකු දායාද කිරීමයි. නෙල්කා පියාගේ හීනය හඹා ගියේ පුතකු නැති පාඩුව පියාට නොදැනෙන්නට සලස්වමිනුයි. දියණියන් සිවුදෙනකුම සිටි සම්පත්ගේ පවුලේ පියාගේ අඩිපාරේ යෑමට නෙල්කා තීරණය කළේ එලෙසිනුයි.

‘තාත්තා තමයි මගේ මුල්ම බොක්සිං ගුරුවරයා වුණේ. තාත්තාට ඕන වුණේ මොහොමඩ් අලිගේ දියණිය ලයිලා අලි වගේම අන්තර්ජාතික බොක්සිං ක්‍රීඩිකාවක් විදිහට මාව ඉදිරියට ගැනීමයි. තාත්තා මට හැමදාම කිව්වේ දුවේ මට ඔලිම්පික් යන්න බැරිවුණා. ඒත් කවදාහරි දවසක ඔයා ඔලිම්පික් යනවා දකින්නයි මට ඕනා කියලයි. අන්තිමට බොක්සිං ක්‍රීඩිකාවක් විදිහට නොවුණත් තරග තීරකවරියක් විදිහට හරි මට ඔලිම්පික් යන්න අවස්ථාව ලැබුණා. ඒත් ඒ සතුට බෙදා ගන්න අද තාත්තා මා ළඟ නෑ. ‘ නෙල්කා ශිරෝමාලා එසේ කීවේ ඔලිම්පික් බොක්සිං තරග තීරකවරියක් විදියට කටයුතු කිරීමේ අවස්ථාව ලැබුණේ මොහොතේදියි. නෙල්කාගේ පියා මෙලොවින් සමුගත්තේ ඊට දින කිහිපයකට කලිනුයි. ඒ වෙද්දී ඇය සිටියේ පැරීසියේ යුරෝපයෙන් ඔලිම්පික් සුදුසුකම් ලබන බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තේරීමේ තරගාවලියක තීරකවරියක් විදිහට කටයුතු කරමිනුයි.

ගාල්ලේ රිපන් බාලිකාවේ ඉගෙනුම ලබා 1997 වසරේදී ආධුනික කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක් ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුණු ඇය 2000 වසරේ මෙරට කාන්තා බොක්සිං ක්‍රීඩාව ආරම්භ කිරීමෙන් පසු පොලීසිය නියෝජනය කරමින් බොක්සිං වළල්ලේ තරග වැදුණු පළමු ක්‍රීඩිකාවයි. ඇය මෙරට පළමු කාන්තා ආධුනික බොක්සිං ශූරතාවලියේ ජයග්‍රාහිකාවයි. ජාතික බොක්සිං ශුරිය ලෙස කිරුළ දැරීමට ඇයට අවස්ථාවක් නොලැබුණත් අවස්ථා 5කදීම ඇය ජාතික බොක්සිං හොඳම පරාජිත ක්‍රීඩිකාවගේ සම්මානය දිනා ගැනීමට සමත්වුණා. 2001 වසරේ සිට 2006 වසර දක්වා ඇය පොලිසිය නියෝජනය කරමින් බොක්සිං වළල්ලේ දස්කම් පෑ ක්‍රීඩිකාවකි. බොක්සිං තරග තීරක හා විනිසුරු පරික්ෂණයෙන් සමත්වූ පළමු කාන්තා කණ්ඩායමේ සාමාජිකාවක වන නෙල්කා අන්තර්ජාතික බොක්සිං තරග තීරකවරියක් බවට පත්වූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස අසීමිත ගෞරවයකට පාත්‍ර වුවාය. ඒ වගේම 2017 වසරේදී ආසියාවේ කාන්තා හා පිරිමි බොක්සිං තරග බිමේ දක්ෂතම තරග තීරක ලෙසත් සම්මානයට පාත්‍ර වුණා.

ඇය මේ වනවිට අන්තර්ජාතික බොක්සිං වළල්ලේ තරු තුනේ තරග තීරකවරියක්. 2011 වසරේ ඉන්දුනීසියාවේදී ඇය පළමුවරට තරග තීරකවරියක් ලෙස එක්වුණේ ඒ තරගාවලියේ තරග තීරකයාගේ රාජකාරිය කළ එකම කාන්තාව විදිහටයි. ලොව ප්‍රබලතම ක්‍රීඩකයන් රැසක් බොක්සිං වළල්ලේදි පාලනය කරන මේ ධෛර්ය සම්පන්න තරග තීරකවරිය ඉලක්කයට වෙඩි තැබීමේ ශූරියක් බව දන්නේ අතළොස්සයි. ඇය 1997 වසරේ පොලිසියේ පිස්තෝලයෙන් ඉලක්කයට වෙඩි තැබීමේ ශුරිය බවට පත්වුණා. නෙට්බෝල් හා බැඩ්මින්ටන් ක්‍රීඩාවෙනුත් කැපී පෙනෙන දස්කම් පෑ නෙල්කා පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ මට්ටමේ විමර්ශන නිලධාරිනියක් ලෙසත් කැපී පෙනෙන චරිතයක්.

 

ඇය වෘත්තීය පොලිස් නිලධාරිනියක ලෙස අන්තර්ජාතික මට්ටමේ පවා රාජකාරි කළා. 2006 වසරේදී එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට තේරුණු නෙල්කා වසර දෙකකට ආසන්න කාලයක් නැඟෙනහිර ටිමෝරයේ රාජකාරි කළා. මේ වනවිට කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක් ලෙස සේවය කරන නෙල්කාගේ සැමියා පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක්. ඔහු චන්දන වික්‍රමනායක. ඔවුන්ගේ සුරතල් දියණියට දැන් අවුරුදු 11ක්.

ඇය දැන් අන්තර්ජාතික බොක්සිං වළල්ලට නැතුවම බැරි තරග තීරකවරියක්. ඇය මේ වන විට ලෝක ශූරතා පිරිමි බොක්සිං තරගාවලිය, ලෝක ශූරතා කාන්තා බොක්සිං තරගාවලිය සහ යොවුන් කාන්තා සහ පිරිමි ලෝක ශූරතා බොක්සිං තරගාවලි රැසක් විනිශ්චය කර ඇති අතර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය විනිශ්චය සඳහා සහභාගී වු පළමු තීරකවරියයි.

Comments