ඉරිතැළුණු දෙතොල් පැළුණු පතුල් සුවපත් කරන සත්කාර | Page 2 | සිළුමිණ

ඉරිතැළුණු දෙතොල් පැළුණු පතුල් සුවපත් කරන සත්කාර

 

වියළී තොල් සහ ඉරිතැළුණු යටිපතුල් කෙනකුගේ සුන්දරත්වය නැති කරන බව සැබෑය. එය බෙහෙවින්ම අප්‍රසන්න දැකුම් ඇතිකරවන්නේ බාහිර අලංකාරය ගැන කල්පනා කරන විටය. මේ තත්ත්ව බොහෝ කායික පීඩා ද ඇති කරන්නේය. ඉරිතැළුණු තොල් සහිත පුද්ගලයකු ආහාර ගැනීමේ දී මතු නොව ජල පොදක් ගෑවීමේදී පවා ඇතිවන පීඩාව මහත්ය. පැළී ගිය විළුඹ සහිත අයෙක් පය බිම තැබීමේදී පීඩාවෙන් පෙළෙන අයුරු අපි දැක ඇත්තේමු. ස්ත්‍රී පුරුෂ වයස් භේදයකින් තොරව ඇතිවන මේ රෝගී තත්ත්වයෙන් මිදෙන ආකාරය පිළිබඳ මෙවර රූ රහස් ඔස්සේ අප දැනුම්වත් කරන්නෙ ජනප්‍රිය රංගන ශිල්පිනියක් සේම ආයූර්වේද වෛද්‍යවරියක් ද වන අයෝමි ශානිකය.

 

යටිපතුල් වියළී ඉරිතැළීම මෙන්ම තොල් වියළී යෑමට ප්‍රධානම හේතුව ශරීරයේ උෂ්ණාධික ස්වරූපය යි. ශරීරයේ උෂ්ණාධික වන්නේ මූලිකවම ශරීරයට දෛනිකව අවශ්‍ය ජල ප්‍රමාණය නොලැබීම නිසයි.

දෛනිකව ශරීරයට අවශ්‍ය ජල ප්‍රමාණය පානය කිරීමෙන් මේ තත්ත්වය පහසුවෙන් මගහරවා ගත හැකියි . මුල් කාලයේදී ජලය පානය කිරීම අපහසුයි වගේ දැනෙනවා නම් බෝතලයකින් මැන බලමින් දිනපතා ජලය පානය කරන්න. පුරුද්දක් කරගත් පසු අනිවාර්යයෙන් ජලය පානය කිරීමේ අවශ්‍යතාව ඔබට දැනෙයි.

දිවා කාලයේ දී හැකිතාක් ජලය පානය කිරීම වඩාත් සුදුසුයි. රාත්‍රී නින්දට පෙර වතුර වීදුරුවක් පමණ පානය කිරීම වඩාත් හොඳ අතර රාත්‍රී කාලයේ දී ජලය වැඩිපුර පානය කළොත් මුත්‍රා පිට කිරීමට ඇතිවන අවශ්‍යතාව ඔබේ සුවබර නින්ද බාධාවක් වේවී.

 

පිරිසුදුකම වැදගත්

ශරීරයේ උෂ්ණගතිය අවම කර ගැනීමට අමතරව දෙපා නිතරම පිරිසිදුව තබා ගැනීම වැදගත්. යටිපතුල්වල පැළුණු ස්ථාන වලට කුණු දුහුවිලි ඇතුළු වීමෙන් එම පැළීම් ඇති තැන් කළු පැහැයෙන් දිස් වෙනවා. ඒවා ඉතාමත් අප්‍රසන්න ලෙස අනිත් අයට පෙනෙන්න පුළුවන්.

කාන්තාවක් තමන්ගේ මුහුණ පිළිබඳ වගේම අත් කකුල් පිළිබඳත් සැලකිලිමත් වීම ඉතාමත් වැදගත්. යටිපතුල්වල ඇති ඝන වූ සම ඉවත් කිරීම foot file එකක් හෝ pumice stone එකක් ආධාරයෙන් සිදුකරන්න පුළුවන්. ස්නානය කරන අවස්ථාවේ දී හෝ රාත්‍රී නින්දට යාමට පෙර මෙය සිදු කිරීම වඩාත් සුදුසුයි. එක දවසින් මේ ඝන සම ඉවත් නොවන අතර දෛනිකව මෙය සිදු සිදු කිරීමෙන් සුසිනිඳු සමක් උරුම කර ගන්න හැකි වේවි.

 

පැළුණු යටිපතුල්වලට

තෙල් සත්කාරයක්

පැළුණු යටි පතුල් සුවපත් කරගන්න තෙල් සත්කාර කිරීම ඉතා ගුණදායකයි. මේ තෙල් සත්කාරය සඳහා පිණ්ඩ තෙල්, තල තෙල් ,ඔලිව් තෙල්, භාවිත කරන්න පුළුවන්. තෙල් සත්කාරයෙන් රුධිර ගමනාගමනය පහසු වෙනවා සේම අපේ සිරුරේ සියලුම අවයව උත්තේජනය කිරීමත් සිදුවෙනවා.

සියලුම අවයව උත්තේජනය වෙන්නෙ කෙසේද යන්න සමහර විට ඔබට ප්‍රශ්නයක් වේවි. අපේ ශරීරයේ අවයව උත්තේජනය කරන නිල තිබෙන්නෙ යටිපතුල්වල. කොඳු ඇට පෙළේ කෙළවර තිබෙන්නෙත් යටිපතුල්වලයි. ඒ නිසා කොඳු ඇට පෙළේ ඇතිවන රෝග තත්ත්ව හඳුනාගැනීමටත් මේ සම්බාහනයෙන් ඔබට හැකි වෙනවා.

සම්බාහනයේදී විළුඹ, විළුඹේ දාරය සහ ඇඟිලි හොඳින් පිරිමැදිය යුතුයි. රාත්‍රියේදී කකුල් සම්බාහනය කිරීම වඩාත් හොඳයි. තෙල් වගේම මොයිස්චරයිසින් ක්‍රීම් එකක් හෝ වෙළඳපොළේ ඇති foot cream එකක් වුණත් සම්බාහනය සඳහා භාවිත කළ හැකියි.

 

යහපත්

ආහාර පුරුදු ඇති කර ගන්න

වර්තමානයේ දී බොහෝ දෙනා කෘත්‍රිම රසකාරක යෙදූ ආහාරවලට වැඩි ඇල්මක් දක්වනවා. එහි අඩංගු රසායනික ද්‍රව්‍ය, මිරිස් සහ තෙල් හේතුවෙන් සිරුරේ උෂ්ණාධික බව වැඩි වෙනවා. අම්ල පිත්ත රෝගය සහ පිළිකා තත්ත්ව ඇති වීමටත් මේ තත්ත්වය සෘජුවම බලපානවා. මේ සඳහා මනා ආහාර පාලනයක් අප සතුව තිබිය යුතුයි.

කෘත්‍රිම රසකාරක යෙදූ ආහාරවලින් වැළකීමට නිවෙසේදීම පිළියෙල කරගත් කුළුබඩු යෙදූ ආහාර ගැනීමට කදිම විසඳුමක්. එයින් උෂ්ණාධික බව පමණක් නොව, බෝ නොවන රෝග වලින් වැළකී සිටීමේ ප්‍රතිලාභයත් ආයු කාලය වර්ධනය කර ගැනීමත් සිදුකළ හැකියි. හැකිනම් ඉතා පිරිසිදු එළවළු, පලතුරු ආහාරයට ගන්න. කැකිරි, පිපිඤ්ඤා වැනි එළවළු හැකිතාක් ආහාරයට එක්කර ගැනීම සිදුකරන්න. පිපිඤ්ඤා අමුවෙන් ආහාරයට එක්කර ගැනීම වඩාත් සුදුසුයි. පිපිඤ්ඤා මදය, කෝමාරිකා මදය යටි පතුල්වල ආලේප කර විනාඩි විස්සක් පමණ සිටීමෙන් යටිපතුල්වල වියළි ස්වභාවය වළක්වා ගන්නට පුළුවන්.

 

ඉරිතැළුණු දෙතොල් සඳහා ස්වාභාවික සත්කාර

තොල් පැළීම අවම කර ගැනීම සඳහා හැකිතාක් ජලය පානය කිරීම වගේම උෂ්ණාධික ආහාරවලින් වැළකී සිටීමත් ඉතා වැදගත්. ඊට අමතරව ඔලිව්තෙල්, මී පැණි තොල් මත ආලේප කළ හැකියි. කුඩා දරුවකුට වුණත් ඉරි තැළුණු තොල් මත මී පැණි ආලේප කිරීම සුදුසුයි. පැළුණු දෙතොලින් පීඩා විඳිනවා නම් මේ සත්කාර ඔබටත් අත්හදා බලන්න පුළුවන්.

 

Comments