ඉරාන විප්ලවයට දඟකාර ළමා විය බිලි දුන් මාසි | Page 2 | සිළුමිණ

ඉරාන විප්ලවයට දඟකාර ළමා විය බිලි දුන් මාසි

 

මාසිට ඕනෑ වුණේ අයියා වගේම බයිසිකල් පදින්නයි. ගස් උඩ නඟින්නයි. ඒත් අවාසනාවකට ඉරාන විප්ලවයට අවුරුදු දෙකකට කලින් ඉපදුණු මේ දැරියට ඒ වරම අහිමි වුණා. එදා ඒ කියන්නේ 1978 දී ඉරාන විප්ලවය සිදුවුණේ අවුරුදු 2500ක් පැරැණි පර්සියානු ආධිපත්‍ය බිඳ දමන්නයි. ඒත් එයින් සිද්ධ වුණේ එච්චර කාලයක් නිදහසේ ජීවිතය ගතකළ ඉරාන කාන්තාව ගෙයි මුල්ලට කොටු වීමයි. මාසිට වුණෙත් ඒ ටිකමයි.

 

ඉරානය කියන්නේ අරාබි ලෝකයේ බටහිර විලාසිතා වැඩිපුරම අනුකරණය කළ රටක්. 60 දශකයේ හා 70 දශකයේ ඉරානයේ ගැහැනුන්ට තිබුණේ පුදුමාකාර නිදහසක්. ලිබරල්වාදී නායක ෂා රජු තම පුරවැසියන්ට ලබා දුන්නේ නිදහස් ජීවිතයක්. ඒ පසුබිම තුළ ඉරානයේ ගැහැනුන් දඟකාර තාරුණ්‍යය හිතේ හැටියට විඳගත්තා. විවිධ හිසකේ විලාසිතා වගේම දෙකලව නිරාවරණය වුණු කොට කලිසම්, කෙටි සාය ඉරාන ගැහැනුන්ගේ රූමත් බව තව තවත් ඔප් නැංවුවා. ඒත් ඒ සියල්ල දැන් ඉරාන ගැහැනුන්ට මිහිරි මතකයක් විතරයි. හිජාබයට පමණක් නෙවෙයි මුළු සිරුරම වැසෙන කළු දිගු ලෝගුව බුර්කාවට සිරවුණු ඉරාන ගැහැනුන්ගේ නිදහස දැන් නිවෙසේ බිත්ති හතරට කොටු වුණු ඉතා කනගාටුදායක ඉරණමක්.

1979 ඉරාන විප්ලවයෙන් ෂා රජු නෙරපා දමා අයතුල්ලා කොමෙයිනි බලයට පත්වීමත් සමඟ ඉරානය දැඩි මතධාරී ඉස්ලාමීය රටක් වෙද්දී ඉරාන ගැහැනුගේ ජීවිතය අඳුරේ සැඟවුණා. එහෙත් හිත යට ගුලිකරගෙන සිටි හිතුවක්කාර අදහස් නිසා සමහර ඉරාන ගැහැනුන් මේ සීමා මායිම් කුඩුපට්ටම් කරගෙන ඉදිරියට පැමිණියා. එයින් ඇතැම් කාන්තාවන්ට අත්වූයේ මරණ දඬුවමයි. තවත් පිරිසක් ඉරානයෙන් පලා ගොස් බටහිර රටවල නිදහස් ජීවිතයක් ගත කරන ගමන් ඉරානයේ සිරවුණු ලක්ෂ සංඛ්‍යාත ගැහැනුන්ගේ නිදහස වෙනුවෙන් හඬ නඟන්නට පටන් ගත්තා. ඒ අතරින් පෙරමුණ ගත්තේ ඉරාන විප්ලවයට දඟකාර ළමාවිය බිලි දුන් මාසි අලෙන්ජාඩ්. ඇය තමයි නූතන ඉරාන කාන්තාව වෙනුවෙන් නැඟෙන ගෝලීය හඬ.

ඇය හිජාබය ගලවා වීසි කර තම සුන්දර වරලස මුදා හැරියා. තමන්ට රිසි විලාසිතා අනුගමනය කරන්න පටන් ගත්තා. ඉරාන රජය දැඩි විවේචනයට ලක් කළා. ඇය දැනටමත් ඒ වෙනුවෙන් සෑහෙන වන්දියක් ගෙවා හමාරයි. ඉරානයෙන් පලා යෑමෙන් පසු අදටත් ඇය ජීවත් වෙන්නේ අමෙරිකාවේ. ඇයට කිසි දිනෙක නැවත ඉරානයට යෑමට අවසර නෑ. ගියොත් සිද්ධවෙන්නේ ජීවිතාන්තය දක්වා සිරගත වීමටයි. ඇරත් ප්‍රසිද්ධියේ එල්ලා මරා දැමීමට වුණත් ඉඩ තිබෙනවා.

ඇය උපන්නේ උතුරු ඉරානයේ ගොමිකෝලා නම් වූ දිළිඳු ගම්මානයකයි. ඇගේ පියා පදික වෙළෙන්ඳෙක්. අකුරු ලිවීමට හෝ කියැවීමට නොදත් ඇගේ මව දරුවන් හයදෙනකු ඇති දැඩි කළේ එක් කාමරයක් පමණක් සහිත කුඩා නිවෙසකයි. නිර්භීතබව ඇය මුලින්ම ඉගෙන ගත්තේ ඇගේ වැඩිමල් සොයුරා නිසයි. නිර්භීත පෙනුමක් සහිතවූවත් ඇගේ සොයුරා රාත්‍රී අන්ධකාරයට දැඩි බියක් දැක්වුවා. ඔහුට රාත්‍රීයේ වැසිකිළියට යාමට පවා තනියට ඇය යායුතුව තිබුණා. එය ඇගේ බිය තුරන් කිරීමට හේතුවූ මුල්ම සාධකයයි. අඳුර සමඟ ගනුදෙනු කරන ආකාරය ඇය උගත්තේ එලෙසිනුයි. ඒ වගේම ඇගේ මවත් ඇයට නිර්භීත වන්නට විශාල දිරියක් වුණා.

‘අන්ධකාරය ඔබ ගිල දමන්නේ ඔබ ඔබේ බියට ඉඩ දුන්නොත් පමණයි. ඒ නිසා ඔබේ ඇස් හැකිතරම් පුළුල් කර අන්ධකාරයට මුහුණ දෙන්න.‘ ඇගේ මවගේ මේ උපදෙස් මාසිගේ සිත දිරිමත් කරන්නට සමත්වුණා. එය පසුකාලිනව ඇගේ ජීවිතයේ උදාන පාඨය බවටත් පත්වුණා. ‘ඉරානය කාන්තාවට අඳුරු තැනක්. ඒ නිසා ඔවුන් හැකිතරම් පුළුල් ලෙස දෑස් විවර කළ යුතුයි. අන්ධකාරයේ බිය තුරන් කර හැරීමට එකම මාර්ගය එයයි. ‘ ඇය මේ උපදේශය ඉරානයේ සියලුම කාන්තාවන්ට දැනෙන්නට සැලැස්සුවා.

ඉරානයේ කොටු කළ ජීවිතයට එරෙහිව ඇය විප්ලව කරන්න පටන් ගත්තේ ඉරානය තුළදීමයි. අවුරුදු 19දී ඇය ඇගේ නිදහස ලිංගික ජීවිතය දක්වා මුදා හැරියා. අන්තිමේදී ගැබ් ගත්තා. ඒක ඉරානයේ හැටියට මහා භයානක වැරද්දක්. අවසානයේදී මාසිට වසර 5ක සිර දඬුවමක් අත්විඳින්නට සිදුවුණා. ඒ වගේම කස පහරවල් 74ක් නියම වුණා. ඇගේ දඬුවම වසර තුනකට අත්හිටු වීමට විනිසුරු තීරණය කළේ ඇය තරුණ වියේ පසුවීම නිසයි. ඇය සිය පෙම්වතා සමඟ විවාහ වුණා. ඒත් දරු ප්‍රසූතියෙන් පස්සේ දික්කසාද වුණා.

අවුරුදු 33දී ඇය ඉරානයෙන් එංගලන්තයට සේන්දු වුණේ බැරිම තැනයි. උසස් අධ්‍යාපනය ලබන ගමන් ඇය ඉරානයේ කාන්තාවට නිදහස සොයා දීමේ මෙහෙයුම ආරම්භ කළේ ලන්ඩන් නුවර සිටයි. ඇගේ සහකරු කම්බිස් ඇය ළඟින්ම හිටියා. දෙන්නා නිව්යෝක් නුවරට සේන්දු වුණේ ඊට අවුරුදු තුනකට විතර පස්සේ. ඇගේ පුතු පුයාන් දැන් 22 හැවිරිදි තරුණයෙක්. ඔහු දැන් ලන්ඩනයේ ජීවත්වන අතර සිනමා ක්ෂේත්‍රයට එක්වීමේ බලාපොරොත්තුවෙන් පසුවෙනවා.

මුස්ලිම් කාන්තාවට හිජාබයෙන් හිස ආවරණය කිරීමේ හෝ නොකිරීමේ අයිතිය ලැබිය යුතු බව පුන පුනා කියමින් ඇය අමෙරිකාවේ සිට ඉරාන ගැහැනුන් දිරිමත් කරමිනුයි ඉන්නේ. ඇය හිස ආවරණය කරන්නේ නෑ. ඇගේ රැලිගැසුණු හිසකෙස් උරහිස දක්වා මුදා හරිමින් ඇය අප්‍රමාණවූ නිදහසක් භුක්ති විඳිමිනුයි සිටින්නේ. ඇයට එසේ වුවත් එය දැන් ඉරානයේ දේශපාලනික කාරණාවක් බවට පත්වෙලා. ඉරානයේ මුස්ලිම් කාන්තාවගේ නිදහස වෙනුවෙන් නිහඬ අරගලයක නිරතව සිටින 44 හැවිරිදි මේ අපුරු කාන්තාව මාධ්‍යවේදිනියක්. ලේඛිකාවක්. දේශපාලන ක්‍රියාකාරිනියක්. ඒ සියල්ලටම වඩා ඇය කාන්තා හිමිකම් පිළිබඳ ක්‍රියාකාරිනියක්. ගෝලීය ජනමාධ්‍ය සඳහා වන අමෙරිකානු ඒජන්සියේ නියෝජිතවරයක්. සම්මාන රැසකටම පාත්‍ර වූ ඇය ඉරාන රජයට නම් දේශද්‍රෝහී කාන්තාවක්.

මාසි ගැන නිරන්තරයෙන් කතාබහට ලක්වුණත් ඊයේ පෙරේදා වැඩිපුර අවධානය යොමු වුණේ ඇය පැහැර ගැනීමට නිව්යෝක් නුවරට පැමිණි ඉරාන ඔත්තුකරුවන් සිවුදෙනෙක් අමෙරිකානු බුද්ධි අංශයේ අත්අඩංගුවට පත්වීම නිසයි. ඒ කියන්නේ ඉරානය තවමත් මාසි පස්සේ හඹා යෑම නතර කර නෑ.

Comments