අපේ ජීවිත ලස්සන චිත්‍ර­යක් ලෙස සායම් කරන්නී ඇයයි... | සිළුමිණ

අපේ ජීවිත ලස්සන චිත්‍ර­යක් ලෙස සායම් කරන්නී ඇයයි...

 

හිරුගෙන් එළිය ලබන සඳු රාත්‍රිය ආලෝකවත් කරයි. රැය අඳුරේ නොතබා එළිය කරන්නට සඳු වෙත හිරු එළිය ප්‍රධාන නොකළා නම් සෑම රැයක්ම අඳුරෙහි ගිලී පවතිනු ඇත. පවුලක තාත්තා හිරු වන විට සඳු වන්නේ අම්මා ය. රාත්‍රියේ පිබිදෙන කුමුදු කඩුපුල් මල්වලට සඳ එළිය අවැසිමය. අම්මා සඳක් වූ නිවෙසක හිරු වී එළිය දෙන අතරේ දැනෙන ආදරණීය හැඟුම් ගොන්නක් රැගෙන අද ‘හද බැඳි ගීය‘ට එකතු වන්නේ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර යි.

 

“මනුෂ්‍යයකුට තම ජීවිතයේ වටිනාකම් තක්සේරු කරන්නට යැයි පැවසුවොත් ඕනෑම පුද්ගලයකුට වටිනාම දේ විය යුත්තේ තම පවුලයි. පළමුව දෙවනුව තෙවනුව පමණක් නොව දස වෙනුවට වටිනා දෙයක් වේ නම් ඒද පවුල විය යුතුයි.

"තාත්තා වුණත් මා බත සරි කරන

අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින" ජීවිතය විඳීමට කැමති පුද්ගලයෙක් වශයෙන් මට මේ ගීතය රස විඳිනවිට මගේ පවුල මට කොතරම් වටිනවාද යන හැඟීම දැනෙනවා. බැඳීම් ගිලිහී ගිය, විවාහ ජීවිත බිඳ වැටී ගිය මිනිසුන්ගේ ජීවිත තුළ එවන් වින්දනීය බවක් තිබෙනවා යැයි මට සිතන්නට බැරි, පවුල ඒ තරමට ජීවිතය විඳින්නට ඉඩකඩ සලසන තෝතැන්නක් වන නිසා.

ජීවත්වීමේදී අනෙකා තුළ අපට සියයට සියයක්ම ගැළපෙන දේවල් නොතිබෙන්නට පුළුවන්. දරුවෙක් ලේ කිරි කර දී හැදූ වැඩූවත් අම්මා කෙනකුට තමා ප්‍රාර්ථනා කරන සියලුම දේ ඒ දරුවා තුළින් විඳින්නට අත්දකින්නට ලැබෙන්නේ නැහැ. විවාහ ජීවිතයත් එසේමයි. එකිනෙකා තුළ නොගැළපීම් රැසක් තිබුණත් ගැළපෙන දේවල් රාශියකුත් තිබෙනවා. නොගැළපීම් දරාගනිමින් ගැළපීම් තුළ මුසු වෙමින් ඉදිරියට යන ගමනක් ලෙසයි විවාහය මට දැනෙන්නේ.

වසර විසි ගණනක් පුරා වෛද්‍ය වෘත්තිකයකු ලෙස ගත කළ ජීවිත කාලයේ විවිධාකාර වූ රෝගවලට බඳුන් වූ පුද්ගලයන් වගේම විසමාචාර නිසා රෝගවලට බඳුන් වූ පුද්ගලයනුත් මම දැක තිබෙනවා. ඇතැම් විට අධික බීමත්කම නිසා සිරෝසිස් වැනි රෝගවලට ගොදුරු වී රෝහල්ගත වූ පුද්ගලයින් එසේ අසනීප වන්නට පෙර මිතුරන් සමඟ එකතු වී තමන්ගේ බිරියව තළාපෙළා දමමින් තමන්ගේ සතුට පමණක් සොයමින් කටයුතු කළා වෙන්නටත් පුළුවන්. නමුත් අසනීප වූ මොහොතේ ඔහු බලන්නට ඒ එකදු මිතුරකුවත් පැමිණෙනවා මම දැක නැහැ. ඒ සෑම අවස්ථාවකම ඔවුන් ළඟ සිටියේ ඔවුන් විසින් අතහැර දැමූ වෙනස්කම් කෙරූ ඔවුන්ගේම බිරින්දෑවන් පමණයි. ඔවුන් ඇතැම්විට සුවපත් වී යළිත් නිවෙසට ගිය පසුවත් සුපුරුදු ජීවිතයට යමින් මිතුරන් සමඟ එකතු වී බිරිය රිදවමින් කටයුතු කරනවා වෙන්නට පුළුවන්. කෙසේ වුවත් ජීවිතයේ අවසානය දක්වාම දුකේදිත් සැපේදිත් සෙවණැල්ල සේ ළඟින් සිටින එකම චරිතය වන්නේ විවාහක බිරිය යි.

තරුණ වියේ දී විවිධ මත ගැටුම් ආදිය නිසා නිතරම ගැටුම් ඇති කරගන්නා විවාහක යුවළ පසුකාලීනව ජීවිතයේ සැඳෑ සමයේ එකිනෙකා සමඟ බොහොම සමගියෙන් සතුටෙන් ජීවත් වන අවස්ථා අප දැක තිබෙනවා. ජීවිතය පරිණත වීමත් සමඟ වඩාත්ම අවශ්‍ය වන්නේ මොනවාද යන හැඟීම මිනිසුන්ට හරියටම වටහාගන්නට පුළුවන් අවස්ථා ලෙසයි මම දකින්නේ. හැමදෙනාටම ඒ වටහා ගැනීම ලැබෙනවා නම් ජීවිතයේ සැබෑ අරුත බොහෝ දෙනා තේරුම් ගනීවි.

ජීවිතේ පිළිබඳ ගැඹුරින් සිතන අවස්ථාවල මට ‘කම්ම‘ චිත්‍රපටය මතක් වෙනවා. එහි ප්‍රධාන චරිතය පිටරටක සුඛෝපභෝගී ජීවිතයක් ගත කර පසුකාලීනව පිළිකාවකට ගොදුරු වී තමන්ගේ මහගෙදරට පැමිණෙනවා. එතැන් සිට ඇයට ජීවිතය විඳින්නට පාර කියන්නේ ඒ නිවෙසේ වටපිටාවයි සුළඟ, වැස්ස, ගහ කොළ, ඇළ දොළ තුළින් ඇය ජීවිතය විඳිනවා. අප අවට ඕනෑ තරම් විඳින්නට දේවල් තිබියදී සමහර අවස්ථාවල අපට විඳින්නට හිමි නැති දේවල් පිළිබඳ සිතමින් තැවෙනවා.

සමහර මවුපියන් දරුවන්ව තමන්ට අවශ්‍ය ලෙස හැඩ ගස්වන්නට විවිධ නීති දමනවා. නමුත් ඔවුන් ඒ දරුවන් සමඟ ජීවත් වන්නට කාලය වෙන් කර ගන්නේ නැහැ. නීති රෙගුලාසි කොතරම් දැමුවත් තමන්ගේ විදියට දරුවන් හැඩ ගස්වා ගන්නට නම් ඔවුන් සමඟ ජීවත් විය යුතුයි.

මගේ නිවෙස මම ජීවිතයේ සතුටින්ම සිටින තැන. ඒ වටපිටාව තුළ මට ජීවත් වනවා කියන හැඟීම දැනෙනවා. ඒ නිවෙසේ කොතන හෝ තැනක් වැඩිපුර හැඩයි ලස්සනයි කියා කවුරු හෝ පවසනවා නම් ඒ කොටස ගොඩනඟන්නට වැඩි දායකත්වය ලබා දී තිබෙන්නේ බිරියගේ අදහස්. නිවෙස ලස්සන කරනවා වගේම ඇය මගේත් දරුවන්ගේත් ජීවිත පාට කරනවා. අපේ ජීවිත ලස්සන චිත්‍රයක් බවට පත් වෙන්නේ ඇගේ අතින් සායම් වෙන නිසා.

මේ ගීතය වගේම මගේ ජීවිතේට සමීප තවත් ගීතයක් ‘මාගේ පුතුට මල් යහන තනන්නයි.‘ ඒ ගීතය අසන සෑම මොහොතකම මම මගේ දරුවන් නැළවූ සැටි මට සිහි වෙනවා. බිරිඳට දරුවන් නළවා ගන්නට බැරි වූ අවස්ථාවල පවා ඒ ගීතය මා ගායනා කරන විට භාවනාවකට සම වැදුනාක් මෙන් මගේ දරුවන් නැළවී නිදා ගත් හැටි මට මතකයි. අම්මා සමඟ ඉතාම වැඩි කාලයක් ගත කළත් ඔවුන්ගේ හිතේ තාත්තා ලෙස මට තිබෙන ඉඩ සහ ආදරය අඩුවක් නැහැ. ජීවිතය පුරා රැස්කරගත් දිනාගත් සෑම දේකටම වඩා මට වටින්නේ, මට දැනෙන්නේ මගේ ආදරණීය පවුල. අදත් හෙටත් මම ජීවත් වෙනවා කියා වඩාත් හොඳින් සහ පහසුවෙන්ම මට දැනෙන්නේ ඒ පවුල සමඟ කල් ගෙවන නිවෙස තුළ දී පමණයි.

 

Comments