71 දේශපාලනය සහ මිනිසකුගේ ඉරණම | සිළුමිණ

71 දේශපාලනය සහ මිනිසකුගේ ඉරණම

 

කෘතිය -කළුරංජිත් සුදු මිනිසෙකි.

කර්තෘ -ජයසිරි අලවත්ත

කවිවර ප්‍රකාශනයකි

මිල රු. 1200/-

දුරකථනය 0755 309699

 

මිනිසෙකු සිය ජීවිතය පුරා ම “තමන් වෙනුවෙන්” කියවන කතා බොහෝ ය. තමන් වෙනුවෙන් යැයි එසේ කීවේ ඒ ආකාරයට අප කියවන සෑම කතාවක් ම අවසන් වන්නේ තමන් නම් වු ආස්ථානයේ දී වන නිසා ය. එහෙත් අවසානයේ දී විශේෂයෙන් ම ක්‍රියාකාරී සම්බන්ධතා සමඟ ජීවත් වු මිනිස් චරිතයක් තමන්ගේ කතාව කියන්නේ ඒ බොහෝ කතා අතර තවත් එක් කතාවක් වශයෙන් නොවේ.

තමන්ගේ ඒ කතාව බොහෝ විට ඔහු හෝ ඇය සම්බන්ධයෙන් ස්වයං විවේචනයක් වීමට ඉඩ තිබේ. ඒ තුළ ම තමන් විසු සමාජ දේශපාලනයට අදාළව නව එකතු කිරීම් නිර්මාණය කිරීමක් වීමට ද ඉඩ තිබේ.

කළුරංජිත් ඒ ගැන පවසන්නේ මෙවැන්නකි.

“මගේ ජීවිතය අන් අයගේ ජීවිත මෙන් ම කතන්දර ගොන්නකි. නමුත් මගේ කතන්දර බහුතරයක් අවසානයේ සිදුවන්නේ යහපතක් මිස අයහපතක් නොවේ යැයි සිතමි.

අනෙක් පසින් මේ එක එක කතන්දරයක් තුළ තව තවත් බොහෝ කතන්දර අන්තර්ගත ය. එබැවින් ඔබ ඉවසීමෙන් යුතුව මේ කෘතිය කියවන්නේ නම් එම කතන්දර තුළ ඇකි යටිපෙළ වටහාගනු ඇත.”

“කළුරංජිත් සුදු මිනිසෙකි” යනුවෙන් ජයසිරි අලවත්ත විසින් සම්පාදිත කෘතිය ඔහුට අනුව කළුරංජත් නමින් අප හඳුනාගන්නා දේශපාලන ක්‍රියාකාරිකයාගේ චරිතයේ සමාජ හිතවාදි මිනිසත්කම මතු කරන්නට ගත් උත්සාහයක් වේ.

එම උත්සාහය නරක ක්‍රියාවක් නොවේ. එහෙත් 71 කැරැල්ලත් සමඟ මතුවන චරිතයක් වන කළුරංජිත්ගේ කතාව සැමවිම ම ඒ සමාජ දේශලපාලනයෙන් වියුක්තව ගෙන කතා කිරීම නොකළ හැක්කකි. මෙම කෘතිය ම ඊට නිදසුනකි. ඒ අනුව කතුවරයා අප හමුවේ තබන කළුරංජිත්ගේ මුහණුවර තුළ ඒ සමාජ දේශපාලන හැසිරීමේ මුහුණුවර ද මතු වීම නතර කළ හැකි නොවේ.

71 කැරැල්ල තුළ ඔහුගේ වගකීම කුමක් වී ද?

“රංජිත් කිසි දිනෙක පක්ෂ නායකත්වය හමුවීමෙ රෝගයකින් පෙළුණ පුද්ගලයෙකු නොවේ. ඔහුට අවශ්‍යව තිබුණේ තමන් වෙත පවරා තිබු වගකීම නිසියාකාරව ඉටු කිරීම පමණි. එම වගකීම් අතර අවි ආයුධ සොරකම් කිරීම, අලුත් වතුර මෝටර ගැලවීම ද විය.

සොරකම් කර තමන් අත්පත් කරගන්නා දේපළ සහ මුදල් සතයකුදු වංචා නොකොට පක්ෂයට බාර දෙන්නට ඔහු කටයුතු කළේ ය.” (44 පිටුව) මෙතන දී කතුවරයාගේ අභිප්‍රාය පැහැදිලි ය.

එනම් කළුරංජිත් සුදු (හොඳ) මිනිසෙකු ලෙසින් පෙන්වා දීමයි. නමුත් ඒ තුළ ම ඔවුන්ට සාපේක්ෂව සෑම අතින් ම ශක්තිමත් මෙන් ම සංවිධානාත්මක විදේශීය රාජ්‍ය සහාය ද සහිත රාජ්‍ය යාන්ත්‍රණයකට එරෙහිව සටන් වැදීමට එදා ඒ තරුණ පිරිස් කටයුතු කළ ආකාරය ද නොසැගවී පවතී.

මේ ආකාරයේ ම තවත් නිදර්ශනක් වන්නේ කැරලිකරුවන් යුද හමුදා මූලස්ථානයට පහර දීමට ගත් උත්සාහය යි. අවසානයේ දි මෙහෙයුම බාරව සිටි කළු ලකී, රංජිත් හමුවේ පවසන්නේ රජයේ ඔත්තු සේවා එය කලින් ම දැනගෙන ඊට මුහුණ දීමට සංවිධානාත්මකව සුදානම්ව සිටින බව යි.

එවිට රංජිත්, කළු ලකීගෙන් අසන්නේ “දැන් අපි මොකද කරන්නේ?” යන්න යි. ලකීගේ පිළිතුරට අනුව පලාගොස් සැඟවෙනවා මිස වෙන කරන්නට දෙයක් නැති බවක් හැඟවෙයි. මෙහි එන රංජිත්ගේ භූමිකාව තුළින් මතුවන ඒ කරුණ පැහැදිලි ය.

එනම් මේ කැරලි නායකත්වය කොතරම් සරල හා සැහැල්ලු ලෙසින් බරපතළ අන්දමේ ප්‍රහාරයන් ගැන සිතා ඇද්ද යන්නයි. ඒ අනුව එම කැරැල්ල හුදෙක් දේශපාලන නොදැනුවත්කම, මත මෙන් ම අසංවිධානාත්මක දේශපාලන නැගිටීමක් වශයෙන් ඉතිහාසයට එකතුවීම කනගාටුවට කරුණක් වුවත් කතුවරයාගේ අරමුණ වී ඇත්තේ එවැනි ව්‍යාපාරයක් තුළින් මතු වු චරිතයක සාධනීයත්වය හඳුනා ගැනීමක්ය යන්න ද අමතක නොකළ යුත්තකි.

තවද පක්ෂ ක්‍රියාකාරිකයෙකු වශයෙන් සිටින අතරවාරයේ දී ම පක්ෂය සම්බන්ධයෙන් රංජිත්ට වු විවේචනය ද අමතක කළ නොහැක්කක් වේ.

“මම කොහොම ද මේ මිනිහට ගහන්නෙ.?”....පක්ෂයක් විදිහට අපි කරන්න ඕන මිනිස්සු දිනාගන්න එක නේද? ඇයි පක්ෂයකට එහෙම වැඩ පිළිවෙළකට එන්න බැරි..... තමන්ගේ අදහස්වලට විරුද්ධ මත දරන හැමෝට ම ද්‍රෝහියා කියන ලේබලය අලවලා ඒ පුද්ගලයන්ට පහර දීලා අපට මේ විප්ලවය කරන්න පුළුවන් ද?” (55 පිටුව) කෘතියට අනුව රංජිත්ගේ එම ප්‍රශ්න කිරීමෙන් වැඩක් වී නැත.

ඒ අනුව හොඳ මිනිහෙක් වශයෙන් අවසානයේ ඔහු අතින් සිදු වන්නේ ප්ලේන් ටී එකක් බී සමාදාන වීම ය. ඒ ආකාරයට දුර්වල විප්ලවීය සංවිධානයක් වශයෙන් පක්ෂයේ හැසිරීම අවසානයේ පුද්ගලවාචී ගැටුම් ඔස්සේ පක්ෂ ක්‍රියාකාරීත්වයේ අබල දුබලවීම්වල අනාගත වාක්‍යයක් ලෙස රංජිත්ගේ ඒ ප්‍රකාශය ගත නොහැක්කේ දැයි විමසීම වටී.

කෘතියේ මතුවන තවත් කරුණක් වන්නේ ඔහුගේ සාමාන්‍ය ජීවිතය හා විප්ලවවාදී යැයි පරිකල්පනය කරගත් පක්ෂ ක්‍රියාකාරිත්වය සමඟ රංජිත් තූළ මතුවුණ පුදගල ගැටුම යි.

“මම මේ වැඩේට ගියා වගේ නෙවෙයි, නීතාට අමාරු ද දන් නෑ. දරුවාට කරදරයක් වෙයි ද දන් නෑ. හදිසියේවත් හිර ගෙදරට ගහන වෙලාවේ මම මැරුණොත්....එහෙම වුණොත් දරුවාට තාත්තා කෙනෙක් නෑ. නීතාට මිනිහෙක් නෑ.” අධිෂ්ඨානශීලි පුද්ගලයෙකු වුණත්, කොතරම් පරාර්ථකාමි මිනිසෙකු වුණත් රංජිත් මේ මොහොතේ දි සාමාන්‍ය මිනිසෙකු බවට පත්ව සිටියේ යැයි කතුවරයා පවස යි.

අනිත් අතට කතුවරයා සඳහන් කොට නොතිබුණත් රංජිත් ඒ කීව ආකාරයට විප්ලවවාදී අධිෂ්ඨානයක් ඇති කරගන්නේ ම සාමාන්‍ය මට්ටමින් නිර්මාණය වුණ කැරලිකාරීත්වයක පසුබිමේ නොවේ ද යන ප්‍රශ්නය ද මෙහි තිබේ.

එසේ ගත් කළ ව්‍යාපාරයේ ක්‍රියාකලාපය හා රංජිත්ගේ අධිෂ්ඨානය අවසානයේ දි ඔහු තුළ ම ඇති කළා වු ප්‍රතිවිරෝධයක් හැටියට ඔහුගේ එම සිතිවිල්ල ගත නොහැකි දැයි විමසීම වටී.

-දේශපාලන අවශ්‍යතා මතබේද වෙන්කරගත් දේශපාලනේ කාලින වශයෙන් පරාජය කිරීමේ යම් වු හැකියාවක් 71 පසුබිමේ වු බව ද අමතක නොකළ යුත්තක් වේ. ඒ අවස්ථාව පිළිබඳ කළුරංජිත්ගේ මතකය මෙවැන්නකි.

“රංජිත් ප්‍රමුඛ පිරිසක් මීගමුව බන්ධනාගාරයේ රිමාන්ඩ් සිරකරුවන් ලෙස කල් ගෙවන සමයේ දෙමළ සිරකරුවන් වු කුට්ටමනී, සභාරත්නම් ඇතුළු පිරිසක් ද එම බන්ධනාගාරයේ ම රිමාන්ඩ් සිරකරුවෝ ලෙස කල් ගෙවු හ. සිරකරුවන් හෙවත් රාජ්‍ය විරෝධි කැරලිකරුවන් වු මේ දෙපිරිස ම සිරගෙය තුළ ගත කළේ ඉතා සාමකාමී සහයෝගිතාවෙන් යුතු දිවි පෙවෙතකි.

දෙමළ සිරකරුවන්, සිංහල සිරකරුවන් වෙත දෙමළ උගන්වද්දී සිංහල සිරකරුවන්, දෙමළ සිරකරුවන් වෙත සිංහල ඉගැන්වුයේ ය. ඔවුන් ක්‍රීඩා කළේ ද, සිරගෙය තුළ වු ජාතික උත්සව සඳහා සහභාගි වුයේ ද එකම පිරිසක් ලෙස මිස එහිදී කිසිදු කිසිදු ජාති, ආගම් හො වර්ග භේද්යක් නොතිබුණි.”(91, 92 පිටු) නමුූත් ප්‍රශ්නය වන්නේ ඒ ආකාරයේ සහෝදරත්වයේ මිත්‍රත්වයක් විසින් ජාතික දේශපාලනය තුළ සහෝදරත්වයේ දේශපාලන පියාපත් නිර්මාණය නොකළේ මන් ද යන්ක යි.

විතැන් වු වාර්ගික දේශපාලනයක ගොදුරු බවට පත් වූයේ මන් ද යන්න යි.

අදටත් ඒ වාර්ගික සුන්බුන් මැද දේශපාලන සංවාදයකට නොගොස් අවස්ථාවාදී දේශපාලන අලකලංචියක පැටලී විනාශකාරී න්‍යායික පැවැත්ම් තුළ මෙරට වාම දේශපාලනය හැසිරෙන්නේ කිසිදු පූර්වාදර්ශයක් නැති දේශපාලන අනාථයන් ලෙසින් නොවේ දැයි සිතා බැලීම වටී. ඒ දේශපාලන අනාථ බව සනාථ කරගත හැකි අන්දමේ කිසිදු දේශපාලනික හෝ සමාජ සාහිත්‍යයික හැදෑරීමක ද අද ඔවුන් නැත.

මේ ආකායට 71 කැරැල්ල පසුබිම් කොටගෙන පසුගිය කාලය පුරා ම ලියවුණ බොහෝ කෘති මඟින් අවසානයේ දි එළියට පැන්නේ පක්ෂ ක්‍රියාකාරීත්වය තුළ බොහෝ විට පොදු නොවු සාමාන්‍ය තත්වයෙන් ම ගත හැකි පුද්ගල හැසිරීම් නිසා මතුවුණ ප්‍රතිවිරෝධතාවයන් ය.

කෙසේ වෙතත් රංජිත් වැනි චරිතවලට ඒ තත්වය හසු වුණත් සිය කැපවීම හා සද් බලාපොරාත්තු මත හැකිතාක් දුරට ඒ ප්‍රතිවිරෝධතා මැඬගෙන ඔවුන් කටයුතු කළ ආකාරයක් ද දකින්නට පුළුවන.

 

Comments