සියවසක වැඩ දශක පහකින් නිම කළ පඬිවරයා | සිළුමිණ

සියවසක වැඩ දශක පහකින් නිම කළ පඬිවරයා

134 වන ජන්ම දිනය ජූලි 25 දා

අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොවැ නො නඟී

හිඟා කෑම බැරි වුණු තැන ලගී ගයා මර ගී...

 

විරිත් වැකිය කෘතියේ විමසුමේ සඳහන් මේ කව නව ජාතියක නව නැග්මක් බලාපොරොත්තුවෙන් කුමාරතුංග මුනිදාසයන්ගේ බලාපොරොත්තුව සටහන් වේ. ඒ ගැන 1934 නොවැම්බර් 27 දා ලක්මිණි පහන කතුවැකිය ලියමින් කුමරතුඟුවන් මෙසේ සටහන් කරයි.

 

‘ලෝකයෙහි අන්‍ය දේශයෝ දිනෙන් දින ඉදිරියට යෙති. ඒ දේශවලැ ඇතැම්හු දුර ළඟ කරන්නට උපාය උපයති. ඇතැම්හු නොහැකි යැ යි කියන දෑ හැකි කරන්නට මං පාදති... එහෙත් සිංහලයා කුමක් කෙරේද?

ලෝකය වෙනස් කළ යුතු අත්‍යවශ්‍ය අවදිවලදී යුග පුරුෂයෝ පහළ වෙති. වසර 400කට අධික කාලයක් විදේශිකයන්ට යටත් ව සිටි ලාංකික වැසියන් අතින් නොදැනුවත්ව ම ගිලිහී යමින් තිබුණු හෙළ අබිමන හා භාෂාත්මක අවිය නැවත ඔසවා තැබීම අත්‍යවශ්‍ය යුගයෙක කුමාරතුංග මුනිදාසයන් උපත ලබන්නේ එකී යුගකාරක අවැසිතාව වෙනුවෙනි. දශක ගණනක් ගෙවී ගිය ද අදටත් පවතින දහමක්, චින්තනයක් හෝ දැනුමක් කවරකු හෝ එකතු කරන්නේ ද ඔහු යුගකාරකයෙකි.

වර්ෂ 1887 ජූලි මස 25වැනිදා මාතර දික්වැල්ලේ දික්හේනේ ඉඳිගස්ආරේ දී උපත ලබන කුමාරතුංගයන් 2021 ජූලි 25 සමරන්නේ 131 වන උපත් සමරුවයි. එතුමාගේ පියා නමින් වෛද්‍යාචාර්ය දොන් අබියෙස් කුමාරණතුංග වන අතර, මව දෝන නෝන බබා මුතුකුමාරණ වේ. සහෝදර සහෝදරියන් දහතුන් දෙනකුගෙන් සමන්විත පවුලක දොළොස්වැනියා ලෙස උපත ලබන කුමරතුඟුවන් දික්වැල්ලේ බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙන් මුල් ඉගෙනුම ලබයි. කුමරතුඟුවන්ගේ පියා ඔහු පහේ කැලෑසියේ උගන්නා සමයේ ජීවිතය හැර යයි. පියාණන්ගේ අභාවයෙන් වසර දෙකහමාරකට පසු දෙටු සොහොයුරකු වන පියදාස කුමාරණතුංග විසින් කුමරතුඟුවන් බලපිටියට කැඳවා ගෙන යන අතර, ඉන් තෙමසකට පසු මාතර සාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත් කරනු ලබයි. 1907 දී කොළඹ රජයේ ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළත් වන කුමරතුඟුවන් ප්‍රාචීන භාෂෝපකාර සමාගමයේ පරීක්ෂණයට පෙනී සිට හෙළ, සකු, පෙළ භාෂාත්‍රයෙන් ම මුල්තැන් ගෙන සමත් වෙයි. අනතුරුව 1909 දී කඩුගන්නාවේ ද්විභාෂා පාඨශාලාවේ ප්‍රධානාචාර්ය ධූරයට පත්කරන ලද නමුත් එහි පැවැති වියවුල් නිසා තනතුර බාර ගන්නා ලද්දේ 1910 ඔක්තෝබර් හි දී ය. සිංහල ව්‍යාකරණය පිළිබඳ සිසුවකු අසන ලද ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් හේ සිංහල ව්‍යාකරණය පිළිබඳ පර්යේෂණ කරන්නට පෙලඹෙයි. 1921 දී සිය ප්‍රථම ග්‍රන්ථය ‘සාමාන්‍ය දැනීම‘ රචනා කරන කුමරතුඟුවන් ජීවත් වූ කෙටිකාලය ඇතුළත විවිධ ග්‍රන්ථ 102ක් රචනා කළෝ ය; පුවත්පත් සඳහා සම්පාදනය කළ ලිපි ප්‍රමාණය ගිනිය නොහැකි තරම් ය; ප්‍රවෘත්ති පත්‍ර හා සඟරා ගණනාවක සංස්කාරක ධූරය හෙබවූවෝ ය; පැරණි කෘති 37 කට විවරණ සැපයූ අතර, තවත් කෘති 38 ක් සංස්කරණය කළෝය. ළමා සාහිත්‍යයක්; යොවුන් සාහිත්‍යයක් හා පෙළ පොත් සාහිත්‍යයක් එතුමන් අතින් බිහි විණි. ප්‍රතිභාවෙන් නිපන් සතත්‍යාභ්‍යාසයෙන් හැඩ වූ කාව්‍ය නිර්මාණ හා ගී රැසකි. මානව සංහතියට විශිෂ්ට සාධන රාශියක් කළ එතුමා ජීවත් වූයේ වසර 56ක් වැනි කෙටි කලකි. එහෙත් වැඩ සියවසක් ඉක්මවන සුලු ය.

කුමරතුඟුවන් ජීවත් වූ යුගය යටත්විජිතවාදය විසින් සිය තෙද බල බෙහෙවින් පෙන්නුම් කළ අවදියකි. සුදු ජාතිකයන්ගේ සෙවණැල්ල වැටී හෙළ ජනයා එකී හෙවණැල්ලෙන් වැසී ගිය යුගයෙක අධිරාජ්‍යවාදයට ආවැඩූ පරගැති හෙළයන්ට සිය ආගම ජාතිය සිහිපත් කරන්නට හේ ගත් මඟ අදීන ය. සිංහලයන්ගේ නිවට නියාලු බව නසන්නට පෙරමුණ ගත් ධර්මපාලතුමන්, පියදාස සිරිසේනයන් ගත් මඟ එතුමා ගත් බව අපට පෙනේ. බස රැකුණොත් දෙස රැකෙන බවත් මුලින් ම අත තිබිය යුත්තේ බස රැක ගැන්ම වෙනුවෙන් බවත් හේ ඇදහුවේ ය. ඒ සඳහා ඔහු පුවත්පත් මාධ්‍ය යොදා ගත්තේ සමාජය පිළිබඳ අවබෝධයෙනි.

භාෂා මෙහෙවර සාමාන්‍ය ජනතාව වෙත ගෙන යනු වස් එතුමා ඇරඹූ සුබස සඟරාව මෙන්ම ලක්මිණි පහන පුවත්පත ද යෝධ ශක්තියක් විය. සිංහල බස රැක ගැනීමේ වැදගත්කම පෙන්නුම් කරමින් කුමරතුඟුවන් ලියූ කතුවැකි මීට උදාහරණ ය. බසේ තෙරුවන සේ සැලකූ දෙස බස රැස රැක ගැන්ම කෙරෙහි බෙහෙවින් සවිඥානික වූ හේ හෙළ මීයැසියේ ඒ බව සඳහන් කරන්නේ මෙසේ ය.

‘ මා දෙස හෙළ දෙස

මා රැස හෙළ රැස

මා බස හෙළ බස

මේ මගෙ මතැ හිස ‘

කුමරතුඟුවන්ගේ පුවත්පත් බස පිළිබඳ පත්‍ර කලාවේ දැවැන්තයා සේ බුහුමනට ලක්වෙන ඩී. බී. ධනපාල ශූරීහු මෙසේ ප්‍රකාශ කරති.

‘නවීන පුවත්පත් බසට වැදගත් දායාදයක් නැසීගිය කුමාරතුංග මුනිදාස මහතාගෙන් උරුම ව තිබෙන බව

පුවත්පත් මාධ්‍යයට හා පොදුජන ව්‍යවහාරයට වැදගත් නව වදන් රාශියක් කුමරතුඟුවන් නිර්මාණය කරයි. සරසවිය, රෝහල, පාපැදිය, ජනරජය, කමිටුව, සමුළුව, දුරදක්නය, නැවියා, වෙළුම වැනි වදන් ඊට නිදසුන් ය. කුමරතුඟු මඟ ගිය පුවත්පත් කලාවේදියෝ බොහොමයක් වෙති. මහානාම දිසානායක, වෙ. වි. අභයගුණවර්ධන, අනඳපිය කුඩාතිහි වැන්නන් ඊට නිදසුන් ය. පළමු වරට පුවත්පතක් ඔස්සේ ග්‍රන්ථ විවේචන පළ කිරීම ආරම්භ කළේ කුමාරතුංග බව විචාරක මතයයි. මේ පොත් විචාර පළ වී ඇත්තේ ‘ග්‍රන්ථ පරීක්ෂා‘ යන ශීර්ෂය යටතේ ය. ඒ යටතේ ඔහු වික්‍රමසිංහයන්ගේ ‘ සත්ත්ව සන්තතිය‘ වැනි කෘති ද විචාරයට ලක් කර තිබේ. කුමරතුඟුවන්ගෙන් පුවත්පත් කලාවට සිදුවූ සේවය ඇමරිකානු පුවත්පත් කලා වංශයෙහි බෙන්ජමින් හැරිස්ගෙන් සිදුවූ සේවයට සමාන යැයි මහාචාර්ය තිස්ස කාරියවසම් කියා තිබේ.

කුමරතුඟුවන්ගෙන් ව්‍යාකරණයට සිදුවූ මෙහෙය අවිවාදිත ය. සිදත් සඟරාව විවේචනය කරමින් ‘සිදත් සඟරා විවරණය‘ නම් විචාරයක් පළ කරන කුමරතුඟුවන් 1938 දී ‘ව්‍යාකරණ විවරණය‘ සම්පාදනය කරයි. මෙය සිදත් සඟරාවට පසු බිහි වූ පළමු සිිංහල ව්‍යාකරණ ග්‍රන්ථයයි. පිටු 420කින් සමන්විත මේ ව්‍යාකරණ ග්‍රන්ථය අබිබවන කෘතියක් මෙතෙක් පහළ වී නැති බව විචාරක මතයයි. හෙළ හවුලේ සබැඳිකම් නැති වූවකුට වුවද භාෂා සාගරය තරණය කිරීමට කුමාරතුංග මඟ හැර වෙන අන් මඟක් නැත. කුමාරතුංගයන්ගේ චින්තනය ගතානුගතික වූයේ නැත. භාෂාවේ කවර කේෂ්ත්‍රයක් දෙස වුව ද නව දෘෂ්ටිකෝණයකින් බලන්නට හේ නිර්භය වූයේ ය. ඔහු සිදත් සඟරාව දෙස පවා ගතානුගතිකව නොබැලුවේ ය. ඔහු ක්‍රියා විවරණයේ දක්වන්නේ මුළු මහත් වියරණයේ ම ඇත්තේ ක්‍රියා ගණ 6ක් බව ය. ඒ බල, බම, බණ, පිහිට, රක්, බස් යනුයි. මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චීන් පවසන්නේ මේ ක්‍රියා ගණ හයෙන් පිට ගණයක් හමු නොවූ බව ය. මේ සියල්ල කළේ තනි පුද්ගලයෙක් මිස ආයතනයක් හෝ විශ්වවිද්‍යාලයක් නොවේ.

අනුරාධපුර යුගයේ සිට මේ දක්වා ඉතිරිව ඇති සාහිත්‍ය කෘති පිළිබඳ උනන්දුවක් ඇතිවෙන ලද්දේ කුමරතුඟුවන් විසින් කළ විවරණ පොත් නිසා ය. මයුර සන්දේශ විවරණයට ඉංග්‍රීසි බසෙන් ලියන ලද දීර්ඝ පෙරවදන ඔහුගේ ඉංග්‍රීසි භාෂා දැනුම ප්‍රකට කරයි. තිසර සන්දේශ විවරණයේදී එහි කර්තෘ හඳුනා ගැනීමට දරන ප්‍රයත්නය, සැළලිහිණියේ රස මතු කරන ආකාරය, එළුඅත්තනගලු වංස විවරණය විශිෂ්ට විවරණ සම්ප්‍රදානයන් ය.

කුමාරතුංග කාව්‍ය එළැඹුම හුදු පරිකල්පනීය භාව විෂයයක ක්‍රියාවක් නොවී ය. ස්වාධීන චින්තනයෙන් ජනිත වන නව සිතුම් පැතුම් අන්තර්ගත කවිත්වය මිනිසාගේ උත්පාදක ශක්තියෙහි ආබද්ධ අංග සේ පිළිගන්නා හෙතෙම නිදහස් දැයක මුල් පෙළේ කවියා හිඳුවයි. පරාධීනත්වයෙන් අත්මිදීම යනු බටහිර අධිරාජ්‍යවාදී ග්‍රහණයෙන් මතු නොව දේශීය හෝ පෙරදිග හෝ සියලු අගතීන්ගෙන් නිදහස් වීම බව කුමරතුඟු දර්ශනයයි. ඒ බව මැනවින් විශද වෙන්නේ ඔහු පුරාණ අකුරුකරණය පොත් පෙළෙන් ගණ දෙවි හෑල්ල ඉවත් කර ඒ වෙනුවට අකුරු සැහැල්ල නමින් අලුතෙන් පබඳන ලද කෘතියක් එක් කිරීමෙනි. කාව්‍යකරණය යනු අලුත් අලුත් දෑ නිපදවීමේ පදනම බව කුමරතුඟුවන්ගේ මතයයි. සිංහල කාව්‍ය ක්ෂේත්‍රයේ ප්‍රථම නූතනවාදී කවියා කුමාරතුංග බව නොපැකිළව පැවසිය හැක්කේ එබැවිනි. හේ අදටත් සියවසක් ඉදිරියෙන් සිටින්නෙකි.

දරුවන් වෙනුවෙන් පද්‍ය රචනයට පිළිපන් ප්‍රථමයා මුනිදාස කුමාරතුංග ය. ජනකවි බස හා රීතිය එහිදී ඔහුට බෙහෙවින් බලපෑවේ ය.

වහ වහා බිඳෙන විරිත නිරූපිත අවස්ථාවට උචිත අයුරෙන් ගොඩනැඟීමට හේ එහිදී උත්සුක වෙයි. අවස්ථාවේ හිඳිමින් දුරස්ථ නොවෙමින් දරුවන්ගේ මනසේ වාග් චිත්‍ර නිර්මාණය කරන ඔහු අවස්ථා පෙරළි බහුල ව යොදයි. දරුවන් වෙනුවෙන් ලියද්දී කොතරම් නිදැල්ලේ බස හසුරුවනවාද යන්න ‘කුමර ගී‘ කාව්‍යයෙන් පැහැදිලි වෙයි. ස්වභාව සෞන්දර්ය මැනවින් ප්‍රතිනිර්මාණය කරමින් දරුවන්ගේ වින්දන ශක්තිය පුළුල් කිරීමට දායක වූ ළමා නිර්මාණ නූතන දරුවන්ට පරිශීලනයට දිය යුතු ම දෙයකි. ආකල්ප පරිසමාප්තිය හා කාව්‍යානුභූති සංකලනය සිය බසෙහි රිද්මය දරුවන්ට හඳුනා ගැනීමට මංහසර විවර කරයි. ප්‍රවීණ අධ්‍යාපනඥයකුගේ සියුම් පරිකල්පනීය ශික්ෂණය දරුවන් කෙරේ විහිදුවා ලූ කුමරතුඟු ළමා සාහිත්‍යය තවදුරටත් අධ්‍යයනය කළ යුතු විෂයය පරාසයකි. වසර 56ක් වැනි ජීවත් වූ කෙටිකාලය ඇතුළත ව්‍යාකරණ විවරණය, ක්‍රියා විවරණය වැනි මහා සෛධාන්තික කෘති ලියූ වාග් විද්‍යාඥයකු හත්පණ, හීන්සැරය වැනි පොත් යොවුනන්ට ලියා ළමා කව් ගී දරුවන්ට ලිවීම කෙතරම් පුළුල් පරාසයක ඔහුගේ චින්තනය ක්‍රියා කළේ ද යන්නට දෙස් දෙයි.

කුමාරතුංග හුදු ව්‍යාකරණඥයෙක් හෝ භාෂාඥයකු පමණක් යැයි කෙනකු සිතන්නේ නම් එය අභාග්‍යයකි. ඔහු සම්භාව්‍ය සාහිත්‍යය කෘති සංස්කරණය කිරීමෙන් සාහිත්‍යධරයන් ඇමැතී ය. පිය සමර වැනි කාව්‍ය කෘති ඔස්සේ රසිකයන් ඇමැතී ය. හත්පණ, මඟුල් කෑම වැනි කතන්දරවලින් යොවුන් වියට පාතබන්නන් ඇමතී ය. ළමා කාව්‍ය නිර්මාණයෙන් දරුවන් ඇමැතී ය. අලුතෙන් වදන් සෑදීමෙන් ශබ්ද කෝෂ කර්තෘවරුන් පැරදවීය. ඔහු වැනි ඡේකයකු, ධීමතකු රටකට පහළ වෙන්නේ කලාතුරකිනි.

කුමරතුඟුවන් කිසිවිටෙක ප්‍රශංසාව හඹා ගියේ නැත; විමංසනය හා විචාරය ඔහුගේ ජීවන අංග විය; බුද්ධිය හා දැනුම අග්‍රගණ්‍යය ය. භාෂා හැකියාව අතිවිශිෂ්ට ය. මානසික ශක්තිය සීමා රහිත ය.

අනෙ­්‍යා්න්‍ය සුහදතාවෙන් හේ බෙහෙවින් තෘප්තිමත් වී ය. කවියන්ට, කලාකරුවන්ට, ගායකයන්ට හේ ගේ ඇසුර විශ්වවිද්‍යාලයක් විය. ඔහු ආදර්ශවත් අධ්‍යාපනඥයෙකි; බහුශ්‍රැතයෙකි; කියැවීමෙන් කිසිවිටෙකත් විඩාවට පත් නොවූ ශාස්ත්‍රාභිලාෂියෙකි; භාෂා පර්යේෂකයෙකි; ජීවන ගමන ගැන මනා සවිඥානිකත්වයකින් යුතු වූවෙකි; දරුවන්ගේ මනස තේරුම් ගත් මානව විද්‍යාඥයෙකි. කුඩා දරුවාගේ සිට වැඩිමහල් ශාස්ත්‍රාභිලාෂියා දක්වා ඇමතීම පහසු කරුණක් නොවේ.

එබැවින් බැලූ කල හේ සැමතින් ම සුදුර්ලභ සහෘදය බුද්ධිමතෙකි. හේ 1944 මාර්තු 2 වැනිදා නාමශේෂභාවෝපගත වුව ද අද ද දනන් මුව වැඩියෙන් ම කියැවෙන නාමයකි. එබැවින් කුමරතුඟු නාමය සියවස් පුරා බැබළෙන අමරණීය නාමයෙකි. බස නසන බොහෝ අයට වහකදුරු සේ පෙනුණ ද බස රකින්නට පෙරමඟ බලන අය ඉදිරියේ කුමරතුඟුවෝ දැවැන්ත සන්නාමයක් වෙති; එය කවර කලෙකවත් යට නොයන්නේ එහි පාදමේ වන ශක්තිමත් බව නිසා ය.

අදටත් සියවස් ගණනක් ඉදිරියෙන් සිටින කුමරතුඟු දර්ශනය හා භාෂාත්මක පෙළහර බස නසන්නනට පෙළ ගැසෙන බොහෝ අය ඉදිරියේ පලිහක් සේ ක්‍රියා කරන්නේ කිසිවකු ඒ ගැන පෙනී සිටින නිසා නොවේ; එකී ශක්තිමත් පදනමට අභියෝග කරන්නට තරම් දැනුමක් මේ දක්වා සම්පාදනය නොවූ නිසා ය.

 

Comments