වියත් සිළුමිණි මහැදුරු බලගල්ලේ නික්ම ගිය වගයි! | සිළුමිණ

වියත් සිළුමිණි මහැදුරු බලගල්ලේ නික්ම ගිය වගයි!

 

එකුන්විසි වැනි සියවසේ පහත රට පැතිරුණු ධර්ම ශාස්ත්‍ර පුනස්ථාපන ව්‍යාපාරය විසින් බිහි කෙරුණු විශිෂ්ට පඬි පරපුරෙහි අවසන් සාමාජිකයා 2021 ජුලි මස 16 වැනි දින මෙලොවින් සමු ගත්තේ සිංහල භාෂාධ්‍යයනය ප්‍රමුඛ ශාස්ත්‍ර විෂයයන්හි අභිවර්ධනයට දායක වූ මහාපඬිවර පරපුරක උරුමය දශක දෙකකට වැඩි කලක් තනිව සිය උර මත දරා ගෙනවුත් ඉටු කළ මහ මෙහෙවර නිමා කරමිනි. විමල් ජී. බලගල්ලේ නම් වූ ඔහු මෙකල සිටි අග්‍රේසර ප්‍රාචීන පඬිවරයා බව අවිවාදිතය. විදුදය විදුලකර පිරුවෙන්වල විරාජමාන වුණු සුමංගල, ධර්මාරාම වැනි කීර්තිමත් පැවිදි පඬිවරුන් පානිණී ව්‍යාකරණය ඇසුරෙන් සිංහල භාෂාධ්‍යයනයට දැමූ සවිමත් පදනම් ඒ ශ්‍රේෂ්ඨ පඬි යති පරපුරේ අනුප්‍රාප්තික යති පරපුර මනා සේ රැකගෙන ආ අතර ඒ ශාස්ත්‍රීය ශික්ෂණ මාර්ගය අතැඹුලක් සේ ග්‍රහණය කර ගැනීමට බලගල්ලේ පඬිතුමා සමත් විය. ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර ඥානයෙන් තොර පිරිස් සිදත් සඟරා පාඨ වනපොත් කරවීමෙන් සිංහල භාෂාව ඉගැන්වීමට පිවිසි තැන් පටන් සිංහල භාෂාවේ ශීඝ්‍ර පරිහාණිය ඇරඹුණු අතර සිංහල භාෂාධ්‍යයනය නැවත ශාස්ත්‍රීය පදනමක පිහිටුවීම පුරෝගාමී වූ පඬිරුවනක් ලෙස බලගල්ලේ පඬිතුමා සම්භාවනාවට පාත්‍ර විය. පැරණි පිරුවන් සම්ප්‍රදායෙහිත් නූතන විශ්වවිද්‍යාල සම්ප්‍රදායෙහිත් මනා සුසංයෝගයෙන් ජනිත වූ ප්‍රාඥයකු ලෙසද මහාචාර්ය විමල් ජී. බලගල්ලේ හැඳින්විය හැකිය. ඒ සුසංයෝගය මූර්තිමත් වූයේ භාෂාධ්‍යයනයෙහි ලා එතුමන් විසින් අනුදන්නා ලද වාචනා මාර්ගයෙහිය. බලගල්ලේ මහාචාර්යතුමා මැදිහත් වන තෙක් සිංහල භාෂා අධ්‍යයනයත් වාග්විද්‍යාවත් ගමන් කළේ දෙමඟකය. සිංහල භාෂාධ්‍යයනය ගතානුගතික අවිචාර මාර්ගයෙන් මුදවා වාග්විද්‍යා ශික්ෂණ මාර්ගයේ තාර්කික පදනම මත පිහිටුවීමට බලගල්ලේ පඬිතුමා සමත් විය. ඒ හා සම්බන්ධ ඥාන මීමංසාව එතුමන් විසින් ග්‍රන්ථ වශයෙන් සම්පාදනය කෙරුණු බැවින් චිරාත් කාලයක් පවතිනු ඇත. ග්‍රන්ථ සිය ගණනකින් විස්තාරිතව කිව හැකි ඒ සියලු ඥානය අතිශය සංක්ෂිප්ත ලෙසිනුත් එසේම අතිශය නිරාකුල අයුරිනුත් ග්‍රන්ථගත කිරීම එතුමාගේ ප්‍රාඥභාවයේ ස්වලක්ෂණ විදහා පානු වැනිය.

සිංහල භාෂාධ්‍යයනය සම්බන්ධ බලගල්ලේ පඬිතුමන්ගේ සම්ප්‍රදානය වර්තමානයට මෙන්ම අනාගතයටද එක සේ වැඩ දායක උරුමයක් වනු නිසැකය. මක් නිසාද යත් දැනට දශක පහක පමණ සිට ඇරඹුණු සිංහල භාෂා පරිහාණිය අද එහි උපරිම අවස්ථාව කරා පැමිණ තිබේ. නව විද්‍යුත් සන්නිවේදන මාධ්‍ය මෙන්ම මුද්‍රිත මාධ්‍යද සිංහල භාෂාව සාවද්‍ය අයුරින් භාවිත කිරීම මේ වන විට සමාජයේ පැලපදියම් වෙමින් පවතී. ''අයවලුන්'', ''පැතිර යනු ලබයි'' වැනි යෙදුම් නිරන්තරයෙන් භාවිත වනු අසන්නට දකින්නට ලැබෙයි. සමාජයට නායකත්වය දෙන බොහෝ දෙනා සිංහල භාෂාව භාවිත කරන්නේ සම්මත ප්‍රමිති සාහසික ලෙස උල්ලංඝනය කරමිනි. ඔවුන් පරිහරණය කරන බස අඩක් සිංහල - අඩක් ඉංගිරිසි කලවම් වූ සංකර විකට වහරකි. බස නසා දෙස සහ රැස නැංවිය නොහැකි බව නොවැටහෙන තරමට දේශවාත්සල්‍යය උන්මාදය ලෙසින් පැතිර යමින් පවතින පසුබිමක බලගල්ලේ පඬිතුමාගේ අභාවය සිදුවීම අභාග්‍යයකි. බලගල්ලේ මහාචාර්යතුමන් සැලසුම් කළ සිංහල අධ්‍යයන සම්ප්‍රදායයන් අද වන විට අකර්මණ්‍යව ගොසිනි. මේ වන විට පවතින්නේ විකෘති වූ විකලාංග පාඨමාලාය.

එතුමන් ජීවමාන සමයෙහි සිංහල අධ්‍යයනාංශ තිබෙන කිසිදු විශ්වවිද්‍යාලයක් සිංහල භාෂා විෂය සම්බන්ධ පාඨමාලා සැලසුම් කිරීමේදී එතුමාගේ මග පෙන්වීම ලබාගත් බවක් නොපෙනේ. අවම වශයෙන් එතුමන් අතින් සම්පාදනය වුණු භාෂා විෂයයක එකදු ග්‍රන්ථයක්වත් පාඨමාලා සඳහා නිර්දේශ නොකෙරුණු සිහල අධ්‍යයනාංශ මේ රටෙහි පැවතීම කොතරම් අභාග්‍යයක්ද?

මහාචාර්ය විමල් ජී. බලගල්ලේ මෙරට සාමාන්‍ය සමාජ පසුබිමකින් බිහි වූ විද්වතෙකි. ගම්පහ දිස්ත්‍රික්කයේ හාපිටිගම් කෝරළයේ බලගල්ල නම් ග්‍රාමයෙහි විසූ කන්නංගර පතිරන්නැහෙලාගේ පීරිස් අප්පුහාමි සහ එන්සො නෝනා රණසිංහ යුවලට 1924 නොවැම්බර් මස 24 වැනි දින උපන් දරුවා ගුණසේකර නම් විය. මේ දරුවා වයස අවුරුදු පහ සම්පූර්ණ වන විට මූලික අධ්‍යාපනය සඳහා නිවස සමීපයේ පිහිටි උල්ලලපොළ විද්‍යාතිලක බෞද්ධ පිරිමි පාසලට ඇතුළත් කෙරිණ. 1938 දී කනිෂ්ඨ පාඨශාලා විභාගය උසස් අයුරින් සමත් වූ ගුණසේකර ශිෂ්‍යයා ඒ වසරේදීම පල්ලේවෙල වික්‍රමශීලා පිරුවනට වැඩිදුර අධ්‍යාපනය සඳහා ඇතුළත් කෙරිණ. බලගල්ලේ සරස්වතී පිරුවනේ හිස්සැල්ලේ ඤාණෝදය නාහිමියන් ඇසරෙන් ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර පිළිබඳ අධ්‍යයනයට නැඹුරු වූ ගුණසේකර විද්‍යාර්ථියා වික්‍රමශීලා පිරිවෙනෙහි ඉගෙනුම ලද කාලයේ විද්‍යෝදය පිරුවනේ උපප්‍රධානාචාර්ය කුකුල්නාපේ දේවරක්ඛිත හිමියන් වෙතින් වංග භාෂාව පිළිබඳ පරිචයක් ලැබීය. පිරුවනෙහි ඉගෙනුම ලබන අතරේම ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතිකපත්‍ර විභාගයට අදාළ විෂයයන්ද හැදෑරූ ඔහු වසර හතක් ඇතුළත මූලික අධ්‍යාපන කටයුතු සාර්ථක අයුරින් නිම කොට වැඩිදුර අධ්‍යාපනය සඳහා 1945 වර්ෂයේදී මාලිගාකන්දේ විද්‍යෝදය පිරුවනට ඇතුළත් විය. එහිදී බද්දේගම පියරතන, වැලිවිටියේ සෝරත, පලන්නරුවේ විමලධම්ම, දෙහිගස්පේ පඤ්ඤාසාර, කලුකොඳයාවේ පඤ්ඤාසේඛර යන කීර්තිමත් පඬිවරුන් වෙතින් සිංහල, පාලි, සංස්කෘත, ප්‍රාකෘත භාෂාද ධර්මවිනය, තර්කන්‍යාය, ඡන්දෝලංකාර, ඉතිහාසය, පුරාවිද්‍යාව ආදි විෂය හා ශාස්ත්‍රද හැදෑරීමට අවස්ථාව ලැබිණ. 1949 වර්ෂයේදී පිරිවෙන් අධ්‍යාපනය අවසන් කොට 1950 වර්ෂයේදී පැවති ප්‍රාචීන අවසාන පරීක්ෂණයට පෙනී සිට ගෞරව සාමර්ථ්‍යය සහිතව උත්තීර්ණය වූයේ දිවයිනේ ප්‍රමුඛයා බවට පත් වෙමිනි. එදා සියලු විෂයයන්ට විශිෂ්ට සාමර්ථද ස්වර්ණ මුද්‍රිකාව හා ශ්‍යාමරාජ ත්‍යාගයද ලබමින් එතුමන් පිහිටුවූ වාර්තාව අඩසියවසකටද වැඩි කලක් නොබිඳී පැවතිණි. පෙරදිග භාෂා පිළිබඳ ඉහළම ප්‍රවීණත්වයක් ලැබූ බලගල්ලේ ප්‍රාචීන පඬිවරයා ඉංගිරිසි භාෂාව පිළිබඳ ප්‍රවීණත්වය ලැබ ජ්‍යේෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගයට ඉංගිරිසි මාධ්‍යයෙන් පෙනී සිට සාමර්ථ්‍යය ලැබීය. පිරුවෙන් අධ්‍යාපනයෙන් ලද හැකි උසස්ම ශික්ෂණය ලද මේ තරුණ ප්‍රාචීන පඬිවරයා 1952 වර්ෂයේදී උපාධි අපේක්ෂකයකු වශයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව නූතන විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් ලද හැකි ඉහළම ශික්ෂණය ලැබීමට සමත්විය. එවක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශය ශෝභමාන කළ මහචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි ප්‍රමුඛ විද්වතුන් ඇසුරෙන් භාෂාධ්‍යයනයේ නවීන මාර්ග වෙත ප්‍රවේශ වීමට අවශ්‍ය ශික්ෂණ ලැබීමට බලගල්ලේ විද්‍යාර්ථියාට අවස්ථා සැලසිණ. 1956 දී ශාස්ත්‍රවේදී උපාධිය ගෞරව සාමර්ථ්‍ය සහිතව උත්තීරණය වූ හෙතෙම විද්‍යෝදය පිරිවෙනේ ආචාර්ය මණ්ඩලයට බඳවා ගැනිණ.

විද්‍යෝදය පිරිවෙන නමින් විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමේ කටයුතු සැලසුම් කෙරෙද්දී සෝරත හිමියන්ට සහාය වූ කිහිප දෙනා අතුරෙහිද මෙතුමා ප්‍රමුඛතමයෙක් විය. 1959 පෙබරවාරි 19 වැනි දින විද්‍යෝදය විශ්වවිද්‍යාලය ස්ථාපනය කෙරුණු අවස්ථාවේ මෙතුමා විභාග කටයුතු භාර සහාය ලේඛකාධිකාරි තනතුරට පත් කෙරිණ. ඒ තනතුරෙහි වගකීම්වලට අමතරව සිංහල පිළිබඳ කථීකාචාර්යවරයකු ලෙසින්ද කටයුතු කළ අතර 1959 වර්ෂයේ මැයි මාසයේදී සිංහල අධ්‍යයනාංශ ප්‍රධාන තනතුරට ද ඒ වර්ෂයේම ඔක්තෝබර් 1 දින සිංහල පිළිබඳ මහාචාර්ය සහ අධ්‍යයනාංශ ප්‍රධාන තනතුරුවලටද පත් කෙරිණ. මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි මහචාර්යතුමා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශය දක්ෂ ආචාර්යවරුන් බඳවා ගෙන සංවර්ධනය කළේ යම් සේද බලගල්ලේ මහාචාර්යවරයාද විද්‍යෝදය විශ්වවිද්‍යාලයට දක්ෂ ආචාර්යවරුන් බඳවාගෙන මනා පාඨමාලා සැලසුම් කිරීමෙන් පේරාදෙණියට නොදෙවෙනි ශාස්ත්‍ර නිකේතනයක් බවට විද්‍යෝදය විශ්වවිද්‍යාලය පත් කිරීමට සමත් වීමෙන් මෙතුමාගේ දූරදර්ශී ශාස්ත්‍රීය අරමුණු මූර්තිමත් කෙරිණ.

1961 ඔක්තෝබර් සිට 1963 දෙසැම්බර් දක්වා යුනෙස්කෝ අධිශිෂ්‍යත්වයක් ලැබ ලන්ඩන් විශ්වවිද්‍යාලයට ගොස් වාග්විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතුවල නිමග්නව ලද පුහුණුවෙන් දශක කිහිපයකට පෙර ආරම්භ කළ ශාස්ත්‍ර පර්යටනය සාර්ථක කර ගැනීමට මනා පිටිවහලක් මෙතුමාට ලැබිණ. අදුත් අදුත් ළිඳෙහි දිය පිරිසිදු වන්නා සේ උගන්වත් උගන්වත් ගුරුවරයාගේ නුවණ වැඩෙන අයුරින් දශක ත්‍රයයකට අධික කාලයක් සිසුන්ට උගැන්වීමෙන් මුහුකුරා ගිය භාෂාධයනය පිළිබඳ සුවිශද ඥානය ග්‍රන්ථගත කිරීම මෙතුමන් විසින් අරඹන ලද්දේ 1990 සැප්තැම්බර් 30 වැනි දින විශ්විද්‍යාලයේ සේවයෙන් ඉසිඹු ලැබීමෙන් පසුවය. එය මෙතුමන්ගේ ශාස්ත්‍රීය ජීවිතයේ දෙවෙනි කඩඉමක් බඳුය. විශ්වවිද්‍යාලයේදී අභිමුඛ ඡාත්‍ර ප්‍රජාවකට මැනවින් ශාස්ත්‍ර ඉගැන්වූවා සේ ඉසිඹු ලද පසු අනභිමුඛ දහස් සංඛ්‍යාත පාඨක ප්‍රජාවකට ඥාන දානය සඳහා මහාර්ඝ ග්‍රන්ථ කිහිපයක් රචනා කෙළේය. සිංහල භාෂාවේ සම්භවය හා පරිණාමය (1992), භාෂාධ්‍යයනය හා සිංහල ව්‍යවහාරය (1995), සිංහල භාෂාවේ ප්‍රභවය සහ ප්‍රවර්ධනය (1996) ස්වදේශීය විදේශීය ලේඛක නිරීක්ෂණ සහිත සිංහල භාෂාධ්‍යයන ඉතිහාසය (1998), භාෂී සන්නිවේදනය, අර්ථ විචාරය හා උපයෝගිතා විචාරය (2014) යන ග්‍රන්ථ කිහිපය සිංහල භාෂාධ්‍යයනය සම්බන්ධයෙන් මෙතෙක් රචනා වූ විශිෂ්ටතම ග්‍රන්ථ ලෙස සම්භාවනාවට පාත්‍ර වෙයි. ප්‍රාචීන භාෂාධ්‍යයන ඥානයත් නූතන වාග්විද්‍යා ශික්ෂණයත් විධිමත්ව හා තුලනාත්මකව සුසංයෝග වීම ඒ විශිෂ්ටත්වයේ පදනම බව පැහැදිලිය. ස්ව විෂය කෙරෙහි මෙතුමන් කෙරෙහි පැවති ශාස්ත්‍ර ගෞරවය කෙතරම්ද යන්න විදහා පාන නිදසුනක් ලෙස 2014 වර්ෂයේ පළ කෙරුණු භාෂී සන්නිවේදනය, අර්ථ විචාරය හා උපයෝගිතා විචාරය යන කෘතිය හැඳින්විය හැකිය. සාර්වවාග්විද්‍යා විෂය ප්‍රදේශ වන Semantics සහ Pragmatics යන ක්ෂේත්‍ර අළලා සිංහල භාෂාවෙන් රචනා වුණු මේ එකම කෘතිය මෙතුමන් අතින් සම්පාදනය වන්නේ ජීවිතයේ අනූ වන වියේදීය. භාෂාව සහ වාග්විද්‍යා අධ්‍යයනය සම්බන්ධයෙන් අතිදීප්තිමත් ආලෝචනා රැසක් සහිත එවන් කෘතියක් එවන් වෘද්ධ වියකදී රචනා කිරීමම මෙතුමන්ගේ සුවිශද පාණ්ඩිත්‍යයට සාක්ෂ්‍යයකි.

Comments