විප්ලවීය ෆැන්ටසියක සිරගත වු 71 පසු විපරමක් | සිළුමිණ

විප්ලවීය ෆැන්ටසියක සිරගත වු 71 පසු විපරමක්

 

කෘතිය -අපූරු සූදු පිටිය

කර්තෘ - බොනී නානායක්කාර

කර්තෘ ප්‍රකාශනයකි

මිල රු. 600/-

දුරකථනය 077 8724058

 

“මගේ හිතේ දෙන්නයි මැරුණෙ. මැරුණ අයයි තුවාලකාරයොයි දාගෙන අපි හිගොඩ හන්දියට ආවා. රම්මලේ කන්දට පසු බහිනවාද දෙනියායට යනවාද කියල එතන සාකච්ඡා වුණා. හැමෝම කිව්වේ අපේ සහෝදරවරු දෙනියාය අල්ලගෙන ඇති එහෙ ගිහින් තුවාලකාරයින්ට ප්‍රතිකාර කරමු කියලා.”

“දෙනියාය අල්ලගන්න බැරිවෙලා දිය දාව කැළේ දි අපේ ලොරියට පොලිස් ජීප් එක මුණ ගැහුණා. එතන දී වෙඩි වැදිලා දෙන්නෙක් මළා. අපේ කණ්ඩායම විසිරිලා ගියා.”

“අපි නැවත පඳුරු අතර දිගාවීමු. ගුවන් යානයක් අපේ හිසට ඉහළින් ඉතා පහතින් ගමන් කරයි. අපේ එක් අයෙක් තම නොම්මර 20 තුවක්කුව ගුවන් යානයට එල්ල කළේ ය.”

“සටන් පිළිබඳව හා ආයුධ සම්බන්ධව අපේ සමහර අයගේ දැනීම පිළිබඳ ඉහත සිද්ධීන් හොඳ නිදසුන් වේ. මේ වන විට චීන, රුසියන්, කියුබා කොරියා විප්ලව ගැන කොතෙක් පොතපත ලියවී තිබුණත්, අප ඒවා කියවා තිබුණේ නැත. අපේ නායකයින් ඒවා කියවා තිබුණේ දැයි මම නොදන්නා නමුත් එම සටන් ක්‍රම 71 කැරැල්ලේ දි භාවිතයට නොගත් බව නම් මම දනිමි.” (16 හා 17 පිටු) 71 කැරැල්ලට තරුණයෙකු වශයෙන් සහභාගි වී ලද අත්දැකීම් සිය මුහුකුරා ගිය ජීවිතයේ දී විමර්ශනාත්මකව දැකීමට ගත් උත්සාහයක් වශයෙන් බොනී නානායක්කාර ලියු “අපූරු සූදු පිටිය” හඳුන්වා දිය හැක. බොහෝ විට සිය අත්දැකීම් හෝ සමකාලීන පුවත් වාර්තා පදනම් කරගනිමින් 71 කැරැල්ල ෆැන්ටසියක් ලෙසින් ප්‍රතිනිර්මාණය කළා වූද තවත් විටක දී එය ආභරණයක් ලෙසින් පළදින්නට ගත් උත්සාහයන් මීට පෙරත් කෘති වශයෙන් පළවී තිබේ. නවකතා, කෙටි කතා වශයෙන් ද බොහෝ අවස්ථාවලදී 71 ප්‍රතිනිර්මාණය වී තිබේ. බොනී නානායක්කාරගේ මෙම කෘති සැලකිය යුත්තේ ඒ අතීතය සිය අත්දැකීම් වශයෙන් ගෙන නැවත විමසීමට ගත් මෑතකාලීන ප්‍රයත්නයක් හැටියටය. එහි එන ඇතැම් මතකයන් වර්තමාන දේශපාලනයට සපයන සිහි කැඳවීම් වැනි යැයි ද සිතේ. පහත දැක්වෙන්නේ ඊට නිදසුනකි.

“සෑම මාසයකට ම වරක් හැමන්හයිල් සිර කඳවුරින් පුවත්පතක් නිකුත් විය. එය එකම පිටපතකි. අතින් ලියන ලද එම පුවත්පත ජවිපෙ මතවාදය එළිදැක්වු අතර ඔබ මේ පුවත්පත දුටුවා නම් නිසැකවම එය මුද්‍රණය කරන ලද පුවත්පතක් යැයි රැවටෙනවා ඇත. එය එපමණට ම උසස් නිර්මාණයකි. එහි අකුරු මුද්‍රිත අකුරුවලට බෙහෙවින් සමාන විය. තීරු වෙන් කිරීම, වර්ණ රටා යෙදීම, කතුවැකිය, කාටුන් ඔබ පුදුමයට පත් කරවනවා ඇත. මෙම පුවත්පත එක් එක් සහෝදරවරු වෙන වෙන ම කොටස් බාරගෙන නිමකර මාසය අවසානයේ එළි දකී. මෙම පුවත්පත ලියපු අය (ජවිපෙ අය) විසින් ම කියෙව්වා මිස ප්‍රතිවිරුද්ධ මත දැරූ පච බංකුවේ අයට ගෙනවිත් කියවීමට අවස්ථාවක් නොලැබුණි.” (171 පිටුව)

ඕනෑම දේශපාලන සංවිධානයක් හෝ පක්ෂයක් හෝ ප්‍රතිවිරුද්ධ මත නොඉවසීම තුළ එය සිය දේශපාලනික සීමා වීම මෙන් ම අවසානයේ දී ස්වයං විනාශයකට ලක්වීම නියත ඉරණමක් කරගනී. විශේෂයෙන්ම ලංකාවට අදාළව වර්තමාන වාමවාදී දේශපාලනයේ පරිහානිය නිර්මාණය වුයේ අද ඊයේ සිට නොවන බව මේ අනුව පැහැදිලි වේ.

අද වන විට මුහුකුරා ගිය වයසක සිටින බොනී නානායක්කාර සිය කෘතිය සම්බන්ධයෙන් කරන විමසුම ඔහු ද නියෝජන කළ එදා ඒ දේශපාලනයට ද අදාළ වන්නක් වේ.

“1971 වන විට ලෝකය පුරා සමාජවාදය කොමියුනිස්ට්වාදය කෙරෙහි තිබු උනන්දුව අද දක්නට නැත. සන්නද්ධ අරගලය, විප්ලවය අද කතා නොකරන මාතෘකා බවට පත්ව ඇත. විසිවන ශත වර්ෂය තුළ දී සමාජවාදය, කොමියුනිස්ට්වාදය වෙනුවෙන් කළ අරගල කැරලි විප්ලව නිසා මියගිය සංඛ්‍යාව කෙනෙකුට සිතාගැනීමටවත් පුළුවන්කමක් නැත. රුසියන් විප්ලවය, චීන විප්ලවය, කොරියා, වියට්නාම, කාම්බෝජ, කියුබා, නිකරගුවා ඇතුළු ලෝකයේ බොහෝ රටවල සිදු වු අරගලයන්හී දි මියගිය ගණන ගිනිය හැක්කේ කෝටි ගණනනි. සිදු වු දේපළ විනාශය කොතෙක් දැයි දන්නේ මිහිකත පමණි.” (පෙරවදන)

බොනී නානායක්කාර පවසන්නේ යම් කාර්යභාරයක සමාප්තිය ඵෙතිහාසිකව මානව ප්‍රගතියක් බිහි කළ යුතු බව යි. ඉදින් එය එසේ නොවේ නම් “කන්දක් විළි ලා මී පැටියෙකු වැදුවා සේ විසිවන ශත වර්ෂය තුළ මේ සා විශාල ජීවිත හා දේපළ හානි සිදු කරමින් කළ අරගලයන්ගෙන් ලෝකයාට අත් වු ප්‍රතිලාභය කුමක් දැයි අද මම මගෙන් ම ප්‍රශ්න කර සිටින්නෙමි.”

එය ඔහුගේ අත්දැකීමට සාපේක්ෂ ය. සටන්, විප්ලව ලොව විවිධාකාරයෙන් සිදු වු බව ඇත්ත ය. සමාජ දේශපාලන චින්තනයක් මත ගොඩ නැගුණ බොල්ෂෙවික් විප්ලවය ප්‍රගතිශීලි සෝවියට් දේශයක් ගොඩ නැගූ තරමට ම 80 දශකය වන විට ඒ මහා දේශය තුළින් ම ප්‍රතිවිරෝධතා මතු වී, විප්ලවය ද අතීතයක් වී ඒ දේශය බිඳ වැටුණේ කොහොම ද? එමෙන්ම 1848 දී ශක්තිමත් හා සංවිධානාත්මක ඉංග්‍රීසි පාලනයකට එරෙහිව තැන තැන කැරලි මතු කරමින් කැප්පෙටිපොල වැනි සම්භාව්‍ය නායකත්වයක් යටතේ පැන නැගුණ උඩරට නිදහස් කැරැල්ලට තිබු පොදු පරමාර්ථ මොනවා ද? තමනගේ සටනට අර සන්නද්ධ ශක්තිමත් අධිරාජ්‍ය හමුදාව පරාජය කිරීමේ ලා තිබු හැකියාව ඔවුන් අතින් නිසි ලෙස තක්සේරු වුණි ද? වියට්නාමය, චීනය සම්බන්ධයෙන් ද ඒ අරගල හා විප්ලව ඔවුන්ගේ අද කාලයත් සමඟ සසඳා බලන විට එකගතාවලට වඩා මතු කරන්නේ ප්‍රතිවිරෝධතා නොවේ ද? “විසි එක්වැනි සියවස වන විට නාමික සමාජවාදී රාජ්‍යයන් හතරකට පමණක් සීමා වී ඇත. ඒවායේ ද ඇති නැති භේදය නැති වී නැත.

අද චීනයේ ද කෝටිපතියෝ සිටිති. කියුබාවේ ද ව්‍යාපාරික ප්‍රජාවක් සිටියි.” යැයි කතුවරයා පවසයි. කෙසේ වෙතත් ඒ සෑම අරගලයක්, විප්ලවයක් පසුබිමේ නිර්මාණය වූ ඉතිහාසයක්, සමාජ දේශපාලනයක් ද තිබුණි. නමුත් ප්‍රශ්නකාරී තත්වය වන්නේ 71 කැරැල්ල පසුබිමේ වූ ඉතිහාසය හා දේශපාලන මතවාදය කුමක් ද යන්නයි. තවද එය මෙරටට ලබා දුන් ඵෙතිහාසික ප්‍රතිලාබය කුමක් ද යන්න යි. කතුවර බොනී නානායක්කාර ඒ සම්බන්ධයෙන් “පොත ගැන යමක්” මෙසේ පවසයි.

“71 අරගලය පිළිබඳව බොහෝ පොතපත ලියවී ඇත. ඒවායේ වීරත්වය පමණක් ඉස්මතු කරන්නට යෑම නිසා සත්‍ය යටපත් වී ඇතැයි යනු මාගේ වැටහීම යි. 71 තරුණයන්ට නිසි සටන් පුහුණුවක් නොතිබුණ අතර රජයේ ආරක්ෂක අංශයන් සතුව තිබු නවීන අවි ආයුධ සමඟ ඔවුන් සටන් කළේ පතරොම් තුවක්කුවලින් හා තමන් ම නිපදවාගත් ඉතා ප්‍රාථමික මට්ටමේ අත් බෝම්බ වලිනි. බොහෝ අය කැරැල්ලට කලින් තුවක්කුවක් අතින්වත් අල්ලා නැති අය වීම ද විශේෂත්වයකි. නමුත් ඔවුහු පිළිගත් දර්ශනය මත පිහිටා වීරයන් මෙන් සටන් කළ හ. යහපත් සමාජයක් ගොඩ නැගීමේ අරමුණින් තම ජීවිත පූජා කළ හ.”

71 අවසානයේ දි අප හමවේ ඉතිරි කළ සංවේදි මතකයන් කිහිපයක් ද වේ ‘කළුචන්දරේ‘ ගේ මතකය එවැන්නකි. ලංකාවේ අවසාන වරට එල්ලා මරා දැමු සිරකරුවා ඔහු ය. එහෙත් සංවේදි මතකයන් තිබු පමණින් විප්ලවීය අරගලයකට ඵෙතිහාසික වටිනාකමක් ලැබෙන්නේ නැත. හුදෙක් සංවේදි මතක සමග පක්ෂ පවත්වා ගැනීමට ගන්නා උත්සාහයන් ද අපට පවසන්නේ අතීත සොහොන් කොත් වලින් එහාට ගිය දේශපාලනයක් අදටත් ඒ පක්ෂ හෝ කණ්ඩායම් රැස් කරගෙන නැති බවක් ය. බොනී නානයක්කාර මෙසේ ද පවස යි.

“දැන් මා ඉදිරියේ නැවතත් ඇත්තේ අප පෙරළා දැමීමට උත්සාහ කළ ධනේශ්වර සමාජය යි. මෙහි කෝටිපතියෝ සිටිති. මැද පංතියක් ද සිටි යි. නිර්ධනීන් යැයි හඳුන්වන පහළ ම පන්තියක් ද වෙයි. බැලු බැල්මට ම නොපෙනුණත් මෙහි ඇත්තේ අරගලයකි. එය අපි පන්ති අරගලය යනුවෙන් හඳුන්වන්නෙමු. කෝටිපතියන් තමන්ගේ තත්වය බලය රැක ගැනීමේ සටනක යෙදී සිටින අතර මැද පන්තිය ඉහළ පන්තියට නැගීමට හෝ තමන් සිටින තැන රැක ගැනීමට අරගලයක යෙදී සිටි යි.

ඉතාම දක්ෂයෙක් පමණක් ඉහළ පන්තියට (ධනපති පන්තියට) නැග ගැනීමට සමත්වන අතර, සෙස්සෝ තමන් සිටින තැන රැක ගැනීමේ අරගලයක ජීවිත කාලය පුරාම යෙදෙති. මැද පන්තියේ තත්වය අල්ලාගෙන සිටීමට දරා ගැනීමට බැරි සමහරු පහළම පන්තියට වැටෙති. පහළම පන්තියට වැටීමට තැනක් නැත. ඔවුන් ට සිදුවන්නේ එතනම සිටීමට හෝ නැගී සිටීමට පමණි.” (301 පිටුව)

බොනී නානායක්කාර මහතාගේ හඳුනාගැනීම පැහැදිලි ය. කල්පිත අර්ථ නිරූපණ මත හෝ විප්ලවීය වේශ නිරූපණයන් මත හෝ ජයගත් විප්ලව හෝ විමුක්ති සටන් ලොව නැත.

සංවිධානාත්මක දේශපාලන යාන්ත්‍රනයක් පෙරළා දමා විප්ලවීය කාර්ය සංවිධානයක් ඇති කිරීමට පෙර පෙරළා දැමීමට නියමිත සංවිධානාත්මක දේශපාලන පැවැත්මේ සමාජ දේශපාලනික මෙන්ම සාහිත්‍යයික සහ සංස්කෘතික මූල පද්ධතිය ගැන මනා හැදෑරීමක් කළ යුතු ය. එහිදී ශක්තිමත් න්‍යායික පදනමකින් තොර විප්ලවයක් මුල සිට ම පරාජය ආත්ම කර ගනි යි. එමෙන් ම සංවිධානාත්මක විප්ලවීය පදනමකින් තොරව සිදු කරන න්‍යායික අරගල සාකාච්ඡා මණ්ඩප වලින් එහාට ගමන් නොකර යි. සැබෑ තත්වය එය යි.

Comments