වනන්තරයෙන් මතු වූ සොඳුරු මාධ්‍යවේදියා | සිළුමිණ

වනන්තරයෙන් මතු වූ සොඳුරු මාධ්‍යවේදියා

මෙරට පැවති යුද සමයේ ආරක්ෂක තොරතුරු වාර්තාකරණයේ යෙදුණු මාධ්‍යවේදීන් අතර “දාස් නාරායන්“ නම් මාධ්‍යවේදියකු සිටි බව බොහෝ දෙනකුට අමතක වී ඇතිවාට සැක නැත. එම නමින් ඔහු ආරක්ෂක තොරතුරු වාර්තාකරණයේ යෙදුණේ ඔහුගේ සම්පූර්ණ නම ක්‍රිෂ්ණදාස් නාරායන් බ්‍රහ්මචාරි බණ්ඩාරනායක මුදියන්සෙලාගේ විජේතිලක බණ්ඩාර වන නිසාය. දාස් නාරායන් මාධ්‍යවේදියාව නොහඳුනන නමුත් ක්‍රිෂ්ණ විජේබණ්ඩාර යන මාධ්‍යවේදියාව නොහඳුනන කෙනෙකු නම් නැත.

 

පොළොන්නරුවේ වස බිවූ ගොවීන් ගැන, ජාන හොරකම් ගැන, අලි ඇතුන්ට එල්ල වන තර්ජන ගැන ලියන්නට සිය පන්හිඳ අභීතව මෙහෙය වූ ක්‍රිෂ්ණ විජේබණ්ඩාර ප්‍රකට වූයේ පත්තර ලෝකයේ පමණක් නොවේ. ඈත දුෂ්කර ගම්මානවල වෙසෙන ජනතාවගේ දුක ගැන පත්තරේ ලියන නිසා ඔහු ගැමියන් අතර ගොවීන් අතර ද ජනප්‍රිය විය.

ක්‍රිෂ්ණ විජේබණ්ඩාර පුවත්පත් කලාවට අතපොත් තබන්නේ ඔහු උපන් ගම් පියස වන රත්නපුර කිරිඇල්ල ප්‍රාදේශීය වාර්තාකරු වශයෙනි. වෙල්යායකට හා වනරොදකට මැදිව කබරගල කන්ද, කබරගල දිය ඇල්ල, බඩහැලවත්ත විහාරය සහ නැදුන් රජමහා විහාරය වට කර ගත් සුන්දර ගම් පියසක ජීවත් වූ ක්‍රිෂ්ණ විජේබණ්ඩාරගේ පාරිසරික ප්‍රේමයට ඔහු ජීවත් වූ වටපිටාව ඉඳුරාම බලපාන්නට ඇත.

කිරිඇල්ල නිජබිම කර ගත් ක්‍රිෂ්ණ විජේබණ්ඩාරගේ පිය පාර්ශ්වය, ඇහැලියගොඩ සිට පැමිණි පිරිසකි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසින්ට අල්ලා දීමට ගිය ඇහැලේපොළ නිලමෙගේ කණ්ඩායමේ සිටි කිරිපෝරුවේ රාලගේ පසු පරම්පරාව ඇහැලියගොඩට පැමිණ තිබේ. ඇහැලියගොඩ සිට කිරිඇල්ලට පැමිණි පසු පරම්පරාවේ අය කොස්හේන වලව්ව සහ එගොඩහ වලව්ව යනුවෙන් වලව් 2ක් සාදා ගත් අතර එගොඩහ වලව් පෙළපතේ උප ගෘහයක් ක්‍රිෂ්ණ විජේබණ්ඩාරගේ නිවහන විය.

පාසල් වියේදීම කවියට ඇලුම් කළ ක්‍රිෂ්ණ විජේබණ්ඩාර “රස රැස“ නමින් කවි සඟරාවක් පළ කර ඇත. පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් අනතුරුව කාව්‍ය නිර්මාණය ගැන හැදෑරීම් පවා කර තිබේ. මේ අතර කරඳන දම්මුල්ල ප්‍රදේශයේ විසූ ලේක්හවුස් ආයතනයේ සෝදුපත් කියවන්නෙකු වූ යූ. නන්දසේන හඳුනා ගැනීමට ලැබෙන්නේ ඔහු නිවසේ ස්ක්‍රීන් ප්‍රින්ටින් වැඩ කළ නිසාය. ඔහු මගින් ක්‍රිෂ්ණට කෘතහස්ත මාධ්‍යවේදි ධර්මසිරි ගමගේ හඳුනාගැනීමට අවස්ථාව පෑදිණි. ඉන්පසුව ගමේ සිදුවන ඇබැද්දි “ගැමි රසකතා“ නමින් සිළුමිණ පුවත්පතට ලිවීමට ඉඩකඩ විවර විය. ධර්මසිරි ගමගේ මාධ්‍යවේදියා සංවිධානය කළ “පහන්වැට“ සාහිත්‍ය වැඩමුළුවට සහභාගි වීමට ද ක්‍රිෂ්ණ විජේබණ්ඩාරට අවස්ථාව ලැබිණි. ඔහුගේ කවියක් ප්‍රථම වරට පුවත්පතක පළ වූයේ යොවුන් ජනතා පුවත්පතේ ය. එය “සපතේරුවාගේ කවිය“ නමින් නම්කර තිබිණි.

ඔහු රත්නපුර කිරිඇල්ල ප්‍රාදේශීය වාර්තාකරු ලෙස ලේක්වුස් ආයතනයේ දිනමිණ හා සිළුමිණ පුවත්පත්වල සේවයට බැඳුණේ 1986 දී ය. මහවැලි ජනපදවල ඉඩම් දෙන්න කිරිඇල්ලෙන් මිනිසුන් හොයන බව සඳහන් පුවත, හා හා පුරා කියා දිනමිණ පත්‍රයේ ඔහුගේ නමින් පළවූ මුල්ම ප්‍රවෘත්තිය විය. දිනමිණ හා සිළුමිණ පත්‍රවල මුල් පිටුව ක්‍රිෂ්ණගේ ප්‍රවෘත්තිවලින් හැඩ වන අතරේදී එල්ලාවල විදුහල්පතිවරයකු දහවල් 11.30ට පාසල අවසාන කරන පුවතක් ද ඔහු වාර්තා කළේය. මෙම ප්‍රවෘත්තියෙන් පසුව විදුහල්පතිවරයාගේ සේවය අත්හිටුවනු ලැබිණි. එහෙත් එම විදුහල්පතිවරයා එක්තරා දේශපාලනඥයකුගේ හිතවතකු වීම නිසා ක්‍රිෂ්ණගේ ප්‍රවෘත්ති දිනමිණ හා සිළුමිණ පුවත්පතවල පළ කිරීම නැවතිණි.

ඉන් අනතුරුව ක්‍රිෂ්ණ විජේබණ්ඩාර පෙරමග හා කල්පනා සඟරාවලට ලිපි ලිවීය. එවකට පෙරමග සඟරාවේ සංස්කාරක වසන්ත ප්‍රිය රාමනායක ජනසවියෙන් දියුණු වන මිනිසුන් ගැන කවරයේ කතාවක් ලිවීමට ක්‍රිෂ්ණට බාර දෙන්නේ ඔහුගේ ලේඛන හැකියාව ගැන දැනුණු ඉව නිසාය. 1991දී ලංකාදීප පුවත්පත ආරම්භ කිරීමත් සමඟ ක්‍රිෂ්ණ විජේබණ්ඩාරට කිරිඇල්ල ප්‍රාදේශීය වාර්තාකරු වශයෙන් සම්බන්ධ වීමට අවස්ථාව සැලසිණි. දුක් විඳින මිනිසුන් ගැන ඔහු ලියා එවන සංවේදී කතා කියවූ එවකට ලංකාදීප පත්‍රයේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ ලෙස කටයුතු කළ ප්‍රේමතිලක සමරවීර, ක්‍රිෂ්ණ විජේබණ්ඩාර තරුණයාව ලංකාදීප කර්තෘ මණ්ඩලයට බඳවා ගැනීමේ අදහස ඉදිරිපත් කළේය.

ඒ අනුව ක්‍රිෂ්ණ ලංකාදීප පත්‍රයේ කර්තෘ මාණ්ඩලිකයකු ලෙස සේවයට පැමිණියේය. ඔහු ලංකාදීප කර්තෘ මණ්ඩලයට බැඳුණු සැණින් ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ ඔහුව රාජකාරි සඳහා හතර වටේ පිටත් කර යවන්නේ දිනපතා ලංකාදීපයට හොඳ ප්‍රවෘත්තියකුත් ඉරිදා ලංකාදීපයට හොඳ විශේෂාංග ලිපියකුත් අපේක්ෂාවෙනි. වර්තමානයේ මෙන් තාක්ෂණික පහසුකම් හෝ ජංගම දුරකතන නොතිබූ යුගයක, සටහන් පොත්, කඩදාසි, පෑන්, ස්ටෙප්ලර් කටු මැෂිම හා රෙකෝඩරය ඔහු බෑගයේම දමාගෙන සිටියේ කිනම් මොහොතක බැහැර යාමට සිදු වේ දැයි නොදන්නා නිසාය.

ලලිත් ඇතුළත්මුදලි ඝාතනය, ප්‍රේමදාස ඝාතනය, පොළොන්නරුවේ ගොවීන් වස බී මිය යෑම, චන්ද්‍රිකා බණ්ඩාරනායක මහ ඇමතිනිය වීම, චන්ද්‍රිකා ජනපතිනිය වීම වැනි විවිධ ඉසව් ආවරණය කිරීම සඳහා ක්‍රිෂ්ණ දායක විය. එ. ජා. ප. සහ ජ. වි. පෙ දේශපාලන කතා වාර්තාකරණයට මෙන්ම උතුරේ ආරක්ෂක තොරතුරු වාර්තාකරණයට ද ක්‍රිෂ්ණ විජේබණ්ඩාර සහභාගි විය. ඇත්ත වශයෙන්ම ඔහුගේ විශ්වවිද්‍යාලය වූයේ ලංකාදීප පුවත්පතයි.

වරක් ක්‍රිෂ්ණ විජේබණ්ඩාරට සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති ජනසවිය සම්බන්ධ උත්සවයකදී රු. 1000/- ක ත්‍යාගයක් හිමි විය. ඊට හේතු වූයේ කලවාන විවිධ සේවා සමූපකාර සමිතියේ පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් ගැන ප්‍රවෘත්තියක් පළ කිරීමයි. එවකට සිටි සමූපකාර ඇමති වීරසිංහ මල්ලිමාරච්චි මෙම පුවත ගැන සොයා බලා එය සත්‍යයක් බව තහවුරු කර ගැනීමෙන් පසුව එම ප්‍රවෘත්තිය අනාවරණය කළ මාධ්‍යවේදියාට තෑග්ගක් දීමට තීරණය කළේය.

ක්‍රිෂ්ණ විජේබණ්ඩාර ඉරිදා ලක්බිම පුවත්පතට පැමිණියේ 1995 දීය. දුරකතනයෙන් තොරතුරු සොයාගෙන කාර්යාලයේ සිට ලිපි රචනා කිරීමේ පුරුද්දක් ඔහුට තිබුණේ නැත. ඒ නිසාම එක් ලිපියක් ලියා අවසන් වුවත් ලිපි 10කට ප්‍රමාණවත් තොරතුරු ඔහු සතු විය. ඔහු විශිෂ්ට ගණයේ ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි. විටෙක ඔහු වචනයේ පරිසමාප්ත පරිසරවේදියෙකි. තවත් විටෙක ඔහු හොඳ පුරා විද්‍යාඥයෙකි. වන විනාශයන් ගැන, පුරාවස්තු විනාශයන් ගැන, ජාන මංකොල්ල ගැන, අලි සම්පත විනාශ වීම ගැන ඔහු නිරන්තරයෙන් කතා කළේය.

පුවත්පත්වලට ලිපි සපයන මාධ්‍යවේදිහු ඕනෑ තරම් සිටිති. එහෙත් විශේෂාංග ලිපියක් රහට ලියන මාධ්‍යවේදින් සිටින්නේ අතළොස්සකි. ක්‍රිෂ්ණ විජේබණ්ඩාර අයත් වන්නේ ඒ අතළොස්සට ය. කුඹල්කරුවකු මැටි පිඩ අනා හැඩතල මතු කර ගන්නාක් මෙන් ක්‍රිෂ්ණ ද භාෂාව අපූරුවට හසුරුවමින් ලිපි රසවත් කළේය. ඒ අතින් ඔහු හොඳ භාෂා දැනුම්වත්තෙකි.

1995 දී ඉරිදා ලක්බිමේ කතෘ මණ්ඩලයට සම්බන්ධ වූ

ක්‍රිෂ්ණ විජේබණ්ඩාරට වර්ෂ 2000දී දිනපතා ලක්බිම ආරම්භ වීමත් සමඟම ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ තනතුර බාර ගැනීමට සිදු විය. මා ඉරිදා ලක්බිම පුවත්පතට සම්බන්ධ වන විට ඔහු සිටියේ ප්‍රවෘත්ති කාමරයේ ය. මා ඔහු සොයා ගියේ පරිසරයට සම්බන්ධ හෝ පුරාවිද්‍යාවට සම්බන්ධ ලිපියක් රචනා කිරීමට බාර දුන් විට වඩාත් නිවැරදි තොරතුරු සොයා ගැනීමටය.

ඔහු එහි ඉතිහාසය, අග මුල පමණක් නොව කතා කිරීමට අවශ්‍ය පුද්ගලයන්ගේ දුරකතන අංක පවා ලබා දුන්නේ ඔහුගේ උදව් උපකාර 100%කින් ලබා දෙමිනි. ඔහු කිසිම දිනක ගුරුමුෂ්ටි තබා ගත්තේ නැත. යටිකූට්ටු වැඩ කළේ නැත. යන්නට හැර කකුලෙන් ඇද්දේ නැත. සිය දැනුම නිර්ලෝභිව අන්‍යයන්ට බෙදා දුන්නේය. ඔහු සැබැවින්ම සොඳුරු මිනිසෙකි. සරල, නිර්ව්‍යාජ මිනිසෙකි.

ඇතැම්විට දුරබැහැර ප්‍රදේශයක තොරතුරක් අවශ්‍ය වූ විට ද සම්බන්ධකමක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය වූ විටද මා සොයා ගියේ ක්‍රිෂ්ණය. ඔහු අදාළ ප්‍රාදේශීය වාර්තාකරුවකුට කතා කර අවශ්‍යතාව ඉටු කර දෙන්නේ මගේ කාර්යය ඔහුගේ කාර්යයක් බවට පත් කර ගනිමිනි. ඔහු කවදාවත් තනතුරෙන් හිස උදුම්මා ගත්තේ නැත. තනතුර ආභරණයක් කර ගත්තේ ද නැත.

දිනපතාම උදෑසන සියලුම ප්‍රාදේශී‍ය මාධ්‍යවේදින්ට දුරකතනයෙන් කතා කිරීම පුරුද්දක් කර ගත් ක්‍රිෂ්ණ ඔවුන්ගේ දුක සැප සොයා බැලීමට ද අමතක කළේ නැත. වෙනත් පත්තරයක පළ වූ ප්‍රාදේශීය පුවතක් ලක්බිම පත්‍රයේ නොගියොත් එදාට නම් ප්‍රාදේශීය වාර්තාකරුවන්ට බැණුම් අසන්නට සිදු විය. ප්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ ලිවීමේ ශක්‍යතාව හඳුනාගත් ක්‍රිෂ්ණ, විශේෂාංග ලේඛකයන් බවට පත් කළ ප්‍රාදේශීය මාධ්‍යවේදිහු ද එදා ඉරිදා ලක්බිම පෝෂණය කළහ. මොනරාගල සංජීව බණ්ඩාර, වව්නියාවේ සනත් ප්‍රියන්ත, පොළොන්නරුවේ ඉන්දුමති ජයසේන, රත්නපුරයේ බුද්ධික රත්නකුමාර ඉන් කීපදෙනකු පමණි.

ජීවිතේට පත්තරයකට ලියා නැති අයට ඔහු පත්තර කලාව පුහුණු කළේය. පුවත්පත් කලාව මුල සිටම කියා දුන්නේ ය. එලෙසම පුහුණු වූවෝ අද ඉහළ පුටුවල සිටිනු දැක ක්‍රිෂ්ණ අවංකවම සතුටු විය.

ක්‍රිෂ්ණ ලිපි ලිවීම සඳහා බැහැර යන අවස්ථාවලදී ඔහු සමඟ යන ගෝලබාල පිරිසක් ද ඔහු වටා සිටියහ. අමල් සමන්ත, සාලිය කුමාර ගුණසේකර, තිස්ස රවීන්ද්‍ර මතකයට නැඟෙන කීපදෙනෙකි. චාරිකාව අවසාන වී කාර්යාලයට පැමිණි පසුව ඔවුන්ට නිදහසේ සිටින්නට ඉඩක් ලැබෙන්නේ නැත. ඊට හේතුව ඔවුන්ට ද විශේෂාංග ලිපි ලිවීමට පැවරීමයි. ඉන්පසුව ඔහුගේ ලිපිය සහ ගෝලයන්ගේ ලිපි සංසන්දනය කරමින් අඩුපාඩු කියාදීම ක්‍රිෂ්ණාගේ සිරිත විය.

රත්නපුර කිරිඇල්ල උපන්ගම වුවත් ඔහු ලක්බිමට පැමිණියේ ගාල්ල මැදකීඹිය, මගමූලනවත්තේ සිටය. ඒ ඔහු එහි පදිංචි පී. එච්. කේ. පද්මලතා සමඟ විවාහ වීමෙන් පසුව පදිංචිය වෙනස් වූ නිසාය. ඔහුගේ බිරිඳ ගුරුවරියකි. ඔහු එක්දරු පියෙකි. මේවන විට බිරිඳ විශ්‍රාම ගොස් ඇති අතර 26 හැවිරිදි පුතා විවාහ වී සිටියි. ලක්බිමේ සේවය කරන කාලයේ සෑම බ්‍රහස්පතින්දාවකම රාත්‍රියේ ගාලු යෑම ඔහුගේ සිරිත විය. ඔහු සමඟ ගාලු යෑමට ද එක්වන පිරිසක් එදා ලක්බිමේ සිටියහ. මිහිරි ෆොන්සේකා, භක්ති ධර්මප්‍රිය, තිලාන් ඒ රංචුවට අයත් වූහ. ඔවුන්ගේ කෑමබීම පමණක් නොව බස් වියදම් පවා දැරුවේ ක්‍රිෂ්ණ අයියා ය.

2013 දී දිනපතා ලක්බිමෙන් ඉවත් වී ඉරුදින පුවත්පතට ඔහු සම්බන්ධ වූයේ දිනපතා ලක්බිම ප්‍රධාන කර්තෘ ජටිල වැල්ලබඩ ඇතුළු පිරිසක් සමඟය. ඔහු මිය යන විට සතිඅග අරුණ පුවත්පතේ විශේෂාංග ලේඛකයකු ලෙස සේවය කළේ ඔහුව තනතුරුවලට සිර කළහොත් ඔහුගේ ගවේෂණාත්මක මාධ්‍ය කලාවේ උපරිම ඵල නෙළා ගැනීම සීමා විය හැකි බව සති අග අරුණ පත්‍රයේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම හොඳින් දන්නා නිසාය.

මේ අතරවාරයේදී “වලස්පති“ යනුවෙන් බ්ලොක් අඩවියක් කිරීමට ද ඔහු අමතක කළේ නැත. වනගත වෙමින් වනය ගැන වනසතුන් ගැන ලියන, සද්ධන්තයන්ට පෙම් බඳින ක්‍රිෂ්ණ අයියා වලස්පති නාමයට ප්‍රිය කළේය. ජුනි මාසයේ ඔහු රෝගාතුර වී කරාපිටිය රෝහලට ඇතුළත් කරන තෙක් ඔහු වලස්පති බ්ලොග් අඩවිය පෝෂණය කළේ රසායනික පොහොර ප්‍රශ්නය, සමුද්‍ර දූෂණය, මහවැලි ගඟ පහළ විල් ගොවිතැන යනාදි කාලීන පාරිසරික ගැටලු සාකච්ඡා කරමිනි.

එහෙත් දැන් කාබනික පොහොර ගැන කතා කරන්නට, ගොවියන්ගේ ගැටලු ගැන කතා කරන්නට ක්‍රිෂ්ණ අයියා නැත. අද වලස්පති නිහඬය. ඒ, පසුගිය ජූලි 17 වැනිදා පස්වරුවේ ක්‍රිෂ්ණ මෙලොවින් සමුගෙන සදහටම දෙනෙත් පියා ගත් බැවිනි.

Comments