ලොක්කි | සිළුමිණ

ලොක්කි

 

ඉඟි බිඟි පෑමක් නැතුව ඇද හැළුණු අකල් වැස්සෙන් ඇය අන්දමන්ද වූවාය. නිල් පැහැ සේද රෙදි කඩක් මෙන් බැබළුණු අහස පුරා උවැසි සෙයියාවෙන් සක්මන් කළ වලාකුළු පවා සුදෝ සුදු පුළුන් කැබිති සේම වැස්සක වගක් විත්තියක් සිහි නොකළේය. එහෙයින් ඇය පළමුව විමතියෙන් ඇස් අයාගත්තාය. දෙවනුව ඇගේ ළය රිදුම් දුන්නේය.

“දෙයියනේ... මගේ ගල් ටික...“ යි හූල්ලමින් ඇය වත්ත පහළට දිව්වාය. හිටි හැටියේ අතරමඟ නතර වී,

“අත් දෙකෙං වහන්ඩද අප්පේ අත් දෙක හොල්ල හොල්ලා දුවන්නේ...“යි තමාටම දොස් පවරා ගත්තාය. නුදුරෙහි දරගෙය තුළින් ඉටි රෙද්දක් පිටතට ඇද ගත් ඇය කෙමෙන් වේගවත් වන වැස්සේම ගල්ගොඩ කරා වේගයෙන් දිව්වාය.

“අනේ දෙයියනේ... තෙමුණොත් දියවෙලා යයි... එපා... එපා වහින්ඩෙපා....“

වසර ගණනාවක් මුළුල්ලෙහි අව්වෙන් වැස්සෙන් බැට කමින් සෙමින් වුවද නිශ්චිතව දිරාපත් වන මහගෙදර හැර යාමේ සිතිවිලි මාත්‍රයක් පවා ඇය තුළ නොතිබිණි.

මල්ලිගේ තනි නොතනියට තවත් කොලු පැටියෙක් ගෙදර ගෙන එන්නට ඉස්පිරිතාලේ ගිය අම්මා ආපසු ආවේ හැල හොල්මනක් නැතුව ලාබ හා බාල පෙට්ටියක වැතිරී ගෙනය. එහෙත් ඇගේ ගර්භාෂයේ පුරා නව මසක් නිහඬව හුන් බිලිඳා පිටත ලෝකයත් ආලෝකයත් නුරුස්සන්නාක් මෙන් අතොරක් නැතිව හඬා වැටුණේය.

“අප්පේ..... මං දැං මොකද කරන්නේ? මං කොහොමද මේ ලේ කැටියෙක් ලොකු කරගන්නේ?“ යි ඇගේ තාත්තා ඉහ අත්බදා ගනිමින් වැලපුණේය.

“ලොකු කෙල්ලගේ ඉස්කෝලෙ ගමනත් නවතී මේ කිරිකැටියා තියාගත්තොත්. අතුලත් ලබන අවුරුද්දෙ ඉස්කෝලෙ බාර දෙන්ඩෝනැනේ.“ යි කියමින් ඔහුගේ සහෝදරිය රැහැයියෙක් පරයමින් මොර දෙන දරුවා දෑතින් ගත්තාය.

“අක්කට පුළුවන්ද ඒ ගෙදරත් ළමයි දෙන්නෙක් ඉද්දි මේ ළමයත් හදන්ඩ?“

විමලසිරි විමතියෙන් සහ වේදනාවෙන් ප්‍රශ්න කළේය.

“වෙන මොකක් කරන්ඩද...? ලලිතගෙ හත්දවසේ පින්කම ඉවර වුණා කියලා මං මොන හිතකිංද දාලා යන්නේ..? උඹ මල්ලියේ කුඹුරට යන්නැද්ද..? මේ චාන්දනිය ඉස්කෝලෙ යන්නැද්ද?“

ඔහුගේ දෙතොල සලිත වුවද වචනයක් පිටතට නොආවේය.

“ලලිතා... අනේ ලලිතා මොකක්ද මේ වුණේ?“ යි මහ හඬින් හඬා වැටෙන්නට වුවමනා වූයෙන් ඔහු යටි තොල සපා ගත්තේය.

“අනේ චාන්දනියො ඔය පොඩි එකාට අම්මා ලෑස්ති කරපු ඇඳුම්... කොට්ට ටික එහෙම ඔන්නොය මල්ලකට දාලා දීපංකො...“ යි ලොකු නැන්දා ඉල්ලා සිටි කල චාන්දනී යුහුසුළු වූවාය.

අම්මාගේ අකල් මරණයට නිමිත්ත වූ බිලිඳු සොයුරා දෙස බලන්නට පවා ඇය මැළි වූවාය.

“මේ ළමයා මැරිලා අපිට අපේ අම්මා ඉතුරු වුණා නං“ යි ඇයට නිතර දෙවේලේ සිතිණ.

“අක්කේ...“

අතුල කියන්නට අර අදින්නේ කුමක්දැයි අනුමාන කරන්නට නොවෙහෙසුණු ඇය අලංකාර වූද හුරුබුහුටි වූද ඇඳුම් පොඩි එකිනෙක බෑගයක ඇසිරුවාය.

“ඇයි අක්කේ?“

අතුල කුහුලින් දැවුණේය.

“ලොකු නැන්දා බබා ගෙනියන්ඩද හදන්නේ?“

“නැතුව ඉතිං අපි හදන්නෙ කොහොමද...?“

ඔහු තොටිල්ල වෙත නැඹුරු වූ‍ෙය් මහත් ශෝකයෙනි.

මවු දෙතන ද මවු උකුල ද අහිමි කිරිකැටියා හැඬීමෙන් වෙහෙසට පත් නියාවෙන් නින්දේ පසු විය.

ගතව ගිය දින දහය මුළුල්ලේ ඔහුගේ කුසගිනි නිවා දමන්නට තරම් යාබද නිවෙසක අලුත් අම්මා කෙනෙක් කාරුණික වූවාය.

“අනේ බීපුදෙං... මගේ කෙල්ලට බීලා ඉවර කරන්ඩ බෑ මගේ තනේ කිරි. කෙල්ලො කොහොමත් කොල්ලො වගේ කෑදර නෑ කිරි බොන්ඩ.“ යි කියමින් ඇය විටින් විට බිලිඳාට කිරි පෙව්වාය.

“උඹේ ළමයට දැං අවුරුද්දකටත් කිට්ටුයි. මේ අලුත උපං ළමයට උඹේ කිරි දිරවන එකක් නෑ“ යි වැඩිහිටි ගැහැනියක කී කළ ඇය වාද කළාය.

“අනේ කට වහගෙන ඉඳිං නැන්දම්මේ... එතකොට උඹ කියන්නෙ මේ ළමයා රෑයියෙක් වගේ අඬනවා බලං ඉන්ඩ කියලද? එළකිරි හරි පිටිකිරි හරි දෙනවට වඩා හොඳ නැද්ද මවුකිරි ටිකක් දෙනේක...“

අපේක්ෂා නොකළ ඒ වාග් ප්‍රහාරයෙන් පසුබැස උන්දෑ ඉවතට ඇදුණේ නොනවත්වා තොල් මතුරමිනි.

“දැං ඉන්න එකීලට යකෝ හොඳක් නරකක් කියන්ඩ බෑනේ...“

සොයුරිය බිලිඳු පුත්‍රයා රැගෙන යාම අස්වැසුමට කරුණක් වුවද “ළමයට කිරි කොහොමද අක්කේ?“ යි අසන්නට විමලසිරිට සිහිපත් වූයේ අවසන් මොහොතේදීය.

“ඒක කොහොම හරි කරගන්ඩ බැරියැයි මල්ලියේ...“

නිශ්චිත පිළිතුරක් නොලද්දෙන් ඔහු අසහනයට පත් විය. එහෙත් තවත් කිසිවක් අසන්නට පැකිළුණේය.

“අනේ ලොකු නැන්දේ බබා ගෙනියන්ඩ එපා...“ යි අතුල බැගෑපත් විය.

“ඇවිල්ල බලල යන්ඩ බැරියැයි.... මහ දුරක්යැ...“

පිරිමි ළමයා සිය සොයුරිය වෙත දිව ගියේය.

“අපි තියාගමුකො අක්කේ.... අපේ බබා අපි තියා ගමුකෝ“

ඇය ඔහු දෙස රවා බැලුවාය.

“අනේ මේ... සද්ද නොකර ඉන්නවද... මට ඉස්කෝලෙ යන්ඩ ඕනෑ... බබ්බු බල බල ඉන්ඩ බෑ මට...“

“මං බලා ගන්නං... අනේ අපේ මල්ලිනේ... අපේ චූටි මල්ලිනේ...“

ඔහුගේ දෙනෙත පිරුණු කඳුළු පවා ඇගේ සිත මොළොක් නොකරයි.

“ඔයාට ඕන්නං ඔයා තියාගන්ඩ... මට නං බෑ චූ රෙදි හෝදන්ඩයි... කක්කා ඇරං දාන්ඩයි...“

ඇගේ අකරුණාවෙන් කිපුණු කොලුවා ඇයට පහරක් ගැසුවේය.

“මොකද මේ? අපේ මල්ලි මේ... මට කියන්ඩෙපා... ගිහිං තාත්තටයි ලොකු නැන්දටයි කියන්ඩ. මොන විකාරයක්ද මේ...?“

අතුල කාමරයෙන් පිටතට දිව්වේ “තාත්තේ“ යි හඬ ගාමිනි. ඒ උච්ච ස්වරයෙහි ගැබ්වූ ළතැවුල හද පාරන තරමට දැඩිය.

චාන්දනී සිය බිලිඳු සොහොයුරා වඩාගන්නට නැඹුරු වූ ඇසිල්ලෙහි ඒ ආශ්චර්යය සිදු විය.

මොළකැටි ඇඟිලි අතර ඇගේ සුළැඟිල්ල සිර වූයේ අහම්බෙන් විය යුතුය. එහෙත් ඒ ස්පර්ශය විදුලි සැරයකට නොදෙවෙනිව ඇගේ සිරුර කලඹාලීය. දහතුන් අවුරුද්දක අක්කා දින දහයක් වයස්ගත මල්ලි අබියස අසරණ වූවාය. ඇගේ සිත අපමණ ස්නේහයෙන් පුරවාලමින් ඔහුගේ තරු කැට වන් දෑස දිලිණ. ඒ පොපියන දෙතොල මත සිනාවක් නැඟිණි දැයි නොදකින්නට තරම් ඇගේ දෑස බොඳ විය.

“මල්ලි... මගේ චූටි මල්ලි...“

ඇය ඔහු වඩාගත්තේ නැන්දණියට බාර දෙනු පිණිස නොවේ.

“දෙන්නෑ... දෙන්නෙම නෑ...“

ඇගේ පියා සහ නැන්දණිය වික්ෂිප්ත කරවන තරමට ඇගේ ස්වරය උස් හා අධිෂ්ඨාන සහගත විය.

“චාන්දනී?“

විමලසිරි හෙළු තරවටු බැල්ම ඇය පහසුවෙන් නොතකා හැරියාය.

“එපා... එපා... අපේ චූටි බබා ගෙනියන්ඩ එපා“ යි අතුල ද නොනවත්වා හඬා වැටුණේය.

“අපිට මේ ළමයා හදන්ඩ බෑ චාන්දනී... උඹට තේරෙන්නෙ නැද්ද? උඹ ඉස්කෝලෙ යන්නෙ නැද්ද?“

“නෑ.. මං ඉස්කෝලෙ යන්නෑ...“

අමරා පෙරට පැන්නේ දරුවා උදුරා ගන්නා සිතිනි.

“මෙන්න මෙහෙ දියං ළමයා... ඉස්කෝලෙත් නොගිහිං ළමයි හදන්ඩ මොන වයසක්ද උඹට... යංතං දැනමුතු වුණා විතරයි..“

මහානර්ඝ මාණික්‍යයක් මෙන් බිලිඳා ළයට තුරුලු කර ගත් චාන්දනී “බෑ බෑ... දෙන්නෙ නෑ...“ යි කෑගෑවාය.

“උඹවත් තේරුං කරලා දීපංකො මල්ලියේ මේ මෝඩිට.“ අමරා මඳක් පසුබසිමින් විමලසිරි දෙස බැලුවාය.

“කියන දේ අහපං මයෙ අම්මා... ටිකක් ලොකු වුණාම අපි මල්ලිව එක්කරගෙන එමු..“

ඔහු බැගෑපත් විය.

“බෑ... බෑ...“

මේ කලහය නොඉවසන්නාක් මෙන් බිලිඳා හඬන්නට පටන් ගත්තේය.

“ළමයෙක් පරක් කර ගන්ඩ තේරෙනවද ළමයෙකුට?“

අමරා කෝපයෙන් ද ශෝකයෙන් ද උතුරා ගියාය. එහෙත් අක්කා සමඟ අතුල ද එක් වූයෙන් ඇය හා විමලසිරි අසරණ වූ සෙයකි.

“ලොකු නැන්දා යන්ඩ... චූටි මල්ලි දෙන්නෙ නෑ නෑ මයි“

අක්කට වඩා හයියෙන් කෑගැසුවේ මල්ලීය.

“අපේ මල්ලි... අපේ මල්ලි දෙන්නෙ නෑ... නෑ... නෑ... නෑ“

අක්කා ද අයියා ද පරයා අත දරුවා ද හඬන්නට වූයෙන් වැඩිහිටියන්ගේ එඩි බිඳිණ. ඔවුන් පරාජිත සෙයියාවෙන් ආපසු හැරුණේය.

“මේ ළමයි දෙන්නා රවට්ටාගෙන හීං සැරේ ගෙනියන්ඩ බැරියැ... අක්කා තව ටික දවසක් ඉඳලම යන්ඩ“ යි විමලසිරි ඉල්ලා සිටියේ බැරිම තැනය.

“මං මෙහෙ ඉඳලා කොහොමද? මගේ කෙල්ලො දෙන්නා ඉස්කෝලෙ යන්නෙ නැද්ද? අර මනුස්සයා හේනට කුඹුරට යන්නෙ නැද්ද...“ යි ඇය සොහොයුරා වෙත කඩා පැන්නාය.

නැඟණිය හෝ තමාගේ දරුවන් සමඟ තවදුරටත් වාද විවාද කරනවා වෙනුවට ඔහු නිශ්ශබ්දව සිටින්නට තීරණය කළේය. අවස්ථාව කොතෙක් සංකීර්ණ සහ අසීරු වුවද නිහඬව සිටීම හැරුණුකොට අන් කළ හැකි කිසිවක් නැතැයි ඔහු අවබෝධ කරගෙන සිටියි.

ඒ නිහැඬියාව චාන්දනීට හා අතුලට ආශිර්වාදයක් විය.

“ඕන එකක් කරගන්න එකයි ඇත්තේ... මං නං ආයෙ ඇහැක් ඇරලා බලන්නෑ....“ යි සියලු දෙනාටම පොදුවේ දෝෂාරෝපණය කරමින් අමරා පිටව ගියාය.

“චූටි මල්ලිගෙ ඇඳුම් ටික දෙන්ඩ“ යි කියමින් ඇඳුම් බෑගය ද උදුරා ගන්නට තරම් අතුල අකාරුණික විය.

“මට කොල්ලෙක් නැතුවට නෙමේ මං ඔය ළමයා හදාගන්ඩ හිතුවේ. උඹලට කරකියාගන්ඩ බැරි හිංදා. වඳින්ඩ ගිය දේවාලේ ඉහේ කඩා වැටෙනවා කියන්නේ ඔව්වට තමා...“

අමරාගේ හඬ කන වැකුණ ද විමලසිරි අතක් පයක් නොහෙල්ලුවේය. මළගමට ද පිංකමට ද වෙහෙසුණු බැවින් ඔහුට දැඩි වෙහෙසක් දැනිණ. ඒ කොතෙක්ද යත් ඔහුගේ දෑස නිතැතින්ම පියැවිණ. ඒ පරිද්දෙන් දෙකන වසා ගන්නට බැරි නිසාම ඉනික්බිති ගතව ගිය කාලය මුළුල්ලේ ඔහු අනේක යෝජනා හා චෝදනා ආදියෙන් හෙම්බත් විය.

“මොකද ආයෙ නාකි වෙලාද...? අර ගෑනු ළමයට ඉස්කෝලෙ යන්ඩත් පුළුවං වෙයි. විමලෙ මල්ලි ගෑනියෙක් ගෙනාවා නං හරිනෙ.. නිකං නිස්කාරණේ කට්ටියම දුක් විඳිනවා.“

එහෙත් නැවත විවාහ වීමට ඔහු අදිමදි කළේය.

“මිනිස්සු කාලා බලන්ඩද අප්පේ... ගේන ගෑනි හොඳට හිටියොත් හොඳයි... මගේ අහිංසකයො මේ කොහේවත් ඉන්න පිට ගෑනියෙකුගෙං ටොකු කන්ඩ තරං කාලකණ්ණි වුණොත් මං මොකද කරන්නෙ... ඊට මීට හොඳයි මෙහෙම ඉන්නෙක. අඩු ගානෙ හිතේ සැනසිල්ලෙ ඉන්ඩ බැරියැ. එකම දුක කෙල්ලගෙ ඉස්කෝලෙ ගමන නැවතිච්චි එක..“

ඒ දීර්ඝ උත්තරය ඒ අයුරින්ම බාර නොගත් උදවිය සමඟ වාද විවාද කරන්නට ද ඔහු පැකිළුණේය.

වැඩිමලී කිසිදු කන්කෙඳිරියක් නොනඟා ගෙදර දොරේ වැඩපළද සොහොයුරන්ගේ සියලු කටයුතු ද නොපිරිහෙලා ඉටු කිරීමෙන් ඔහු ලද්දේ අපමණ සහනයකි. එමෙන්ම ඇය ඇගේ වයසට නොසරිලන අයුරින් වෙහෙසෙන බව සිතමින් කණස්සල්ලට ද පත්විය.

සිය සොහොයුරන් වෙනුවෙන් වෙහෙසීමෙන් චාන්දනී ලද්දේ අපමණ සන්තුෂ්ටියකි.

අතුල පාසල් යැවීම ද සමන්ට කැවීම පෙවීම ද හිරිහැරයකැයි ඇයට කිසි විටෙකත් නොසිතිණ.

එහෙත් වයසින් වැඩෙත්ම කොල්ලන් දෙදෙනාටම ඇය හිරිහැරයක් වූ ගානය. තාරුණ්‍යයේ ප්‍රමෝදය විඳින්නට ඇය ඉඩ නොදෙන බව ඔවුන්ට සිතුණා නිසැකය.

විමලසිරිගේ මරණයෙන් පසු ඇය තවදුරටත් සිය සොහොයුරන් වෙත බැඳුණාය. ඇගේ අත් අඩංගුවෙන් පළමුව පලා ගියේ අතුලය. ඒ සඳහා ඔහුට උපකාර වූයේ ඉගෙනීමට ඔහු තුළ වූ සහජ දක්ෂතාවයයි.

“හා... හා බලාගෙන“

ඉටි රෙද්ද පයට පෑගී ඇද වැටෙන්නට නියමිත ගැහැනිය වත්තන් කර ගත් සරත් සමාව අයදින බැල්මක් හෙළුවේය. ඇය ස්පර්ශ කිරීමෙන් තමා වරදක් කළ බවක් හඟිමිනි.

“අනේ මගේ ගල් ටික“ යි හූල්ලන්නට වුවමනා නොවීය.

මහ වැස්සකට වුව නොතෙමෙන පරිද්දෙන් ගල් ගොඩ මනාව ආවරණය කොට තිබිණ.

“වැහැගෙන එද්දි මට මතක් වුණා... ඒකයි දුවගෙන ආවේ...“

ඇය තවමත් තමාගේ අත ගසා නොදැමීම පිළිබඳව පුදුමයට පත් වෙමින් වුව ඔහු පැහැදිලි කළේය.

ස්තූති කරන්නට හෝ දෝෂාරෝපණය කරන්නට බැරි තරමට ඇගේ දෙතොල සැලිණ.

මෙතෙක් පසු කර ආ සියලු දුක්ඛ දෝමනස්සයන් වෑයමින් වුව විඳ දරා ගත්ත ද මේ කරුණාව ඇයට ඉවසිය නොහැක.

“තෙමුණොත් වැඩක් නෑ... දියවෙලා යනවා.. අපරාදෙනෙ මෙච්චර මහන්සි වෙලා කපා ගත්තු ගල් ටික“

ගල් කපන්නට හා පුළුස්සන්ට වඩාත් වෙහෙසුණේ ඔහුය.

“ගල් කපන්නෙ මොකටද?“ යි ඔහු නොඇසුවේය.

“මෝඩ ගඩොල්වලට වඩා බ්ලොක් ගල් හොඳයි... ඒත් ඉතිං එව්වා ගණංනෙ“ යි නොකියන්නට ද ඔහු වගබලා ගත්තේය.

“අතුල ආයෙ එන්නෑනේ. ටවුමට හුරුවිච්චි මිනිහට මේ ගංගොඩ වෙල් අල්ලන්නෑ. සමන් කසාද බැන්දා කියලා ආයෙ වත්ත පල්ලෙහා කාමර කෑල්ලක් අටවගන්ඩ තරං මොකද වුණේ..? නෑනලාට එකට ඉන්ඩ අමාරුයි තමා... ඒ වුණාට සද්ද නැතිව හිටියා නං ඉවරයිනෙ චාන්දනියෝ...“ යි උපදෙස් දෙන්නට ඔහු නොසිතුවේය.

“කසාදයක් බැඳගත්තා නං මේ මුකුත් නෑනේ... මල්ලිලා මල්ලිලා කියලා නැහුණට මොකද අන්තිමට තනි වෙච්චි එක විතරනෙ වුණේ..“ යි ඇගේ හද පාරන්නට ද තැත් නොකළේය.

“මං කොච්චර අඬ ගැහුවද මාත්තෙක්ක එන්ඩ කියලා. කෝ ඇහුවද... අපේ අම්මා ඔත්පලේ නොවැටෙන්ඩ මං කසාදයක් බඳින්නෙත් නෑ...“යි අතීතය සිහිපත් කරන්නට ද නොවෙහෙසුණේය.

“තෙමෙනවා නේද?“ යි ඔහු ඇසුවේ පහත් හා මෘදු හඬිනි.

ආපසු හැරී දිව යනවා වෙනුවට ඇය ඔහුට තවත් තුරුලු වූවාය. හිස තෙමා රූරා හැලෙන වැසි දිය සමඟ ඇගේ කඳුළු ද මුසු වූ බව ඔහු නොදත්තේය. එහෙත් ඇගේ සැලෙන දෙවුර ඇය ඉකි බිඳින බවට ඔහුට කේලම් කියයි.

“අ... අඬන්න එපා චාන්දනී...“ යි ඉල්ලා සිටියද

“මං ඉන්නවනේ“ යි කියන්නට ඔහු අපොහොසත් විය. එහෙත් ඇය වැලඳ ගන්නට ඔහු පසුබට නොවිණ.

තුඟ තුරු සිරස මත පතිත වර්ෂාව හේතුකොටගෙන අතු ඉති නමා වැටේ.

“ඉන්ඩ බැරි නං දාලා යන එක තමා හොඳ... කිරි බොන කාලෙ වෙච්චි දේවල් බත් කන එකාට මතක නෑ චාන්දනී. මොනවා කරන්ඩද...“

වැස්සේ සීතල වෙනුවට ඇයට අපූරු උණුසුමක් දැනිණ. ඊට ලොබින් ඇය තවත් තදින් ඔහුගේ ළයමඬලෙහි මුහුණ ඔබා ගත්තාය.

“නාඩා හිර කරගෙන ඉන්නවට වඩා අඬනෙක හොඳයි“ කී ඔහු ඇගේ හිස සිප ගත්තේය.

 

Comments