මනරම් කෙනෙක් ඔබ ම ය පිරිසුදු සුබැයි | සිළුමිණ

මනරම් කෙනෙක් ඔබ ම ය පිරිසුදු සුබැයි

 

හරි වහර ලියැවෙන්නේ බසෙහි හරි වහර දක්වනු සඳහා යි. බසෙහි හරි වහර පවත්නේ එය පෙන්වා දෙන වියතුනුත් ඔවුන් ලියන කියන දේත් නිසා ය. එ බඳු මහ වියතකු සමරනු පිණිස අද හරි වහර යොදා ගැන්ම ගැන හරි වහර කියවන්නන් නොමනාප නොවනු ඇත.

එ මහ වියතාණෝ නම් නොබෝ දා මුළු දැයින් සමු ගත් මහ ඇදුරු විමල් බලගල්ලේ සූරිහු යි. ඔවුන් ගේ දිවිය අවසන් වූයේ සිරිලක හෙබැවූ මහ වියත් පරපුරෙක අවසන ද සටහන් කෙරෙමිනි. අද පවත්නා තත්ත්වය අනුව සලකන කල්හි යළි එ බඳු වියතුන් මෙ රට බිහි වනු ඇතැයි සිතනු නො යෙදේ.

මහැදුරු බලගල්ලේ වියොව මෙ රට මාධ්‍යවලට එ තරම් ලොකු පුවතක් නො වී ය. ඉන්දියාවේ නළුවකුට නිළියකට කිවිසුමක් ගිය ද කෙටි පණිවිඩ එවා මුළු රටට එ බව දන්වන ‘මාධ්‍ය ජාලයන්‘ මෙම පුවත දත් බවක් වත් නො පෙනිණ. රජයට ද මේ දිනවල බොහෝ කටයුතු ඇතියෙන් දෝ බලගල්ලේ වියතුනට ගෞරව කිරීමට අවසරයක් නොලැබුණු සේ ය. එ තුමන් ම හැදූ වැඩූ සරසවියෙන් වත් නිසි පමණ හරසරයක් ලැබිණැ යි කිව හැකි නො වේ. “කුමට රද සඟරා - කුමට නුනුවණ දන පුද‘

මේ කිසිවක් නැත ද, ජාම්බෝදන කනකයක් (දඹ රනක්) මෙන් බලගල්ලේ සූරිහු තමන් කළ සුවිශිෂ්ට අතුල්‍ය සේවාවෙන් ම බැබැළෙති.

අනෙකුදු සරසවි ඇදුරන් මහැදුරන් අතර බලගල්ලේ සූරීහු සම බිමෙහි නැඟුණු මහ කන්දක් සෙයින් කැපී පෙනෙති. ඒ සිංහලය පිළිබඳ දැනුම නිසා ම නො වේ. සංස්කෘත, පාලි, ප්‍රාකෘතාදි ප්‍රාචීන භාෂා ද එ සමඟ බැඳුණු තර්ක, ව්‍යාකරණ, ඡන්දෝ ලංකාරාදියෙහි ද බැසගත් දැනුම ද නිසා ය. කොටින් කිව හොත් ඔහු නිය ම ප්‍රාචීන ශාස්ත්‍රඥයෙක් (Orientalist) වෙති. එ බඳු අනෙකෙක් මෙ කල නම් නො වී ය.

මහැදුරු බලගල්ලේ වියතුන් විසින් රචිත ග්‍රන්ථ සමූහය පරිශීලනය භාෂා ඥාන වර්ධනය පිණිස මතු නො ව, ශාස්ත්‍රීය පර්යේෂණයක් කෙසේ විය යුතු ද යන්න පිළිබඳ දැන්මට ද අනර්ඝ ආදර්ශයෝ යි. ‘පාහියන් ගේ දේශාටන වාර්තාව‘ නමින් කැරුණු පරිවර්තනය ශාස්ත්‍රීය ව ග්‍රන්ථ පරිවර්තනයක් කරන්නේ කෙසේ ද යනු මැනැවින් දක්වයි. එහි ම වෙනත් පරිවර්තන හා සසඳන කල්හි වෙනස මනා වැ පෙනේ. සිංහල භාෂාවේ ප්‍රභවය හා විකාශනය නම් ග්‍රන්ථය මඟින් සිංහලයේ ප්‍රභවය පිළිබඳ විද්වත් මත මනා වැ විවරණය කොට තුලනාත්මක විග්‍රහයක් මඟින් නිගමනයකට එළැඹීමට පාඨකයාට මඟ පෙන්වනු ලැබේ.

‘භාෂාධ්‍යයන ඉතිහාසය‘ නම් ග්‍රන්ථයෙහි ලා බලගල්ලේ සූරීහු සිංහලය පිළිබඳ ව, පූර්ව විද්වතුන් විසින් කරන ලද ගවේෂණ, පර්යේෂණාදිය ක්‍රමවත් වැ සංග්‍රහ කොට ප්‍රාමාණික විග්‍රහයෙක යෙදෙති. එ සේ සංගෘහීත අන්‍ය ග්‍රන්ථයක් නො වේ.

‘භාෂාධ්‍යයනය හා සිංහල ව්‍යවහාරය‘ නම් ග්‍රන්ථය වනාහි සිංහලය පිළිබඳ වැ දත යුතු බොහෝ කරුණු එක් ග්‍රන්ථයකට සංග්‍රහ කොට කරන ලද්දෙකි. හරි වහර - නිවැරැදි සිංහලය - දැනගනු කැමැත්තන් හට ද ඒ අත්පොතක් බඳු ය. ‘භාෂාධ්‍යයන ලිපි‘ නමින් එළි දැක්වුණේ වරින් වර බලගල්ලේ සූරීන් විසින් රචිත ශාස්ත්‍රීය ලිපි සංග්‍රහයෙකි. සිංහලය පිළිබඳ ඉතා ම වැදැගත් පර්යේෂණ එ අතර වෙයි. ‘අ‘ යන්නෙහි සංවෘත - විවෘත භේදය, සිංහලයේ සඤ්ඤකය ආදි පර්යේෂණාත්මක ලිපි එ අතර වෙයි.

විද්වද් ලෝකයෙහි බලගල්ලේ සූරීන් ගේ විශේෂත්වය කිහිප ලෙසෙකින් දැකිය හැකි ය. ප්‍රථමය නම් භාෂා ශාස්ත්‍ර විෂයක වැ ඔවුන් වෙත වූ අතුල්‍ය ඥානය යි. ද්විතීයය නම් අද්විතීය ශාස්ත්‍රීය ශික්ෂණය යි. ඥානා මාර්ග කිහිපයෙකින් ලද ආභාසයෙහි උත්කෘෂ්ට ශික්ෂණය සුවිශද ව දැකිය හැකි ය. තෘතීයය නම් ශාස්ත්‍රීය පර්යේෂණයෙහි ලා ඔවුන් දැක්වූ මධ්‍යස්ථ භාවය යි. තමන් විද්‍යොදයෙහි උගත ද විශ්වවිද්‍යාලයයෙහි උගත ද ශාස්ත්‍රීය පර්යේෂණයෙහි දී ඒ එක ද පසකට හෝ නො නැමී සෙල් ටැඹක් සේ ඉදු වැ සිටිමින් සත්‍යය මතු කරන්නට තැත් ගත් අයුරු ඉතා මනහර ය.

මෙ මතු නො ව, භාෂා පර්යේෂණයෙහි දී ප්‍රාචීන ප්‍රතිචීන ඥාන ධාරා ද්විත්වයෙන් ම ලද ශික්ෂණය බලගල්ලේ සූරීන් කෙරෙන් විශද වැ දක්නා ලැබිණි. එ බඳු අනෙක් විද්වතකු පර්යේෂකයකු පිළිබඳ වැ අසනු නො ලැබේ. එ දෙකෙහි ම ඉතා ගැඹුරට ගොස් පර්යේෂණයෙහි යෙදීම සියලු කල්හි ඔවුනට අභිමත විය. අංගුෂ්ටෝදක මාත්‍රයෙන් (මහපටැඟිලි පොවනා දියෙන්) පුපුරන කුඩමසුන් බැහැවෙන මෙ කල ශාස්ත්‍රීය සාගරයෙහි අගාධ ජල සඤ්චාරී වූ බලගල්ලේ සූරීන් පෑ අනතිමානය සම්පූර්ණ කුම්භයෙක නිශ්ශබ්දත්වයට යෝග්‍යතම නිදර්ශනය යි.

ශාස්ත්‍රීය ශික්ෂණය වනාහි උදාර මනුෂ්‍යත්වය හා අවියෝජනීය වැ බද්ධ වූයේ වෙයි. එ අතිනුදු බලගල්ලේ සූරීහු ශ්‍රේෂ්ඨත්වය ම දැක්වූ හ. ශාස්ත්‍ර ගවේෂණයෙහි දී එතුමෝ හැම විට ම කරුණු කෙරෙහි විනා ඒ ඉදිරිපත් කළ පුද්ගලයන් කෙරෙහි සැලැකිලිමත් නො වූ හ. පද බෙදීමේ රීති මාලාවක් සපයනු පිණිස පැවැති රැස් වීමෙක දී එ තුමන් ගේ මතයට එරෙහි වැ එක්තරා බාලයෙක් හඬ නැඟී ය. වයසිනු ත් දැනුමෙනු ත් බාල වුව ද ඔහු සකාරණ ව, සසාධන ව දැක්වූ අදහස කෙරෙහි ද සාවධාන වූ බලගල්ලේ සූරීහු දෙ මතය ම වෛකල්පිත ව දැක්විය යුතු සේ අන්දත් හ. ඒ ඔවුන් ගේ නියම ශාස්ත්‍රවන්ත භාවය යි.

ලෝකයෙහි ධර්ම වීරයෝ වෙති. යුද්ධ වීරයෝ වෙති. එ මෙන් ශාස්ත්‍ර වීරයෝ ද වෙත් මැ යි. අද්‍යතනයෙහි වූ මහා ශාස්ත්‍ර වීරයාණෝ නම් ඒ මේ විමල් බලගල්ලේ සූරිහු ම ය.

Comments