පීචං නොවී ප්‍රබුද්ධ වූ ගී ලොව මල් වෙඩිල්ල | සිළුමිණ

පීචං නොවී ප්‍රබුද්ධ වූ ගී ලොව මල් වෙඩිල්ල

 

ගායකයෙකුට තමන් ගැයූ ගීතයකින් සමාජය වෙනස් කළ හැකි ද? එසේ කළ හැකි නම් එය සමාජ මෙහෙවරයකි. එවැනි ගීත අපේ සංගීත ක්ෂේත්‍රයේ කිහිපයක් තිබේ. ගවමස් අනුභවය විපාක දැක්වෙන ජේ. ඒ. මිල්ටන් පෙරේරා විසින් 1965 වසරේ ගැයූ චිත්‍රපට ගීතයක් අපට මතක ය. “උම්බෑ කිය කියා මරණ බයේ“ නම් ඒ ගීතය ඇතුළත් වූයේ “හතර මහා නිධානය“ චිත්‍රපටයටය. එහෙත් ප්‍රසංග වේදිකාවේ එවැනි ගීතය අඩු තරමින් තුන් වතාවක් ගැයීමට ප්‍රේක්ෂකයෝ ඉල්ලා සිටින්නේ නිහාල් නෙල්සන් විසින් ගයන ‘කිරිදුන්නේ දරුවන්ටයි‘ කියන මේ ගීතයයි.

නිහාල් නෙල්සන් යනු ගායකයෙකු ලෙස තමා ඉගෙන ගත් පන්තියෙනුත් එතැනින් පාසලිනුත්, එතැනින් ගමටත් (මොරටුව), එතැනින් රටටත්, එතැනින් ලෝකයටත් (රටවල් ගණනාවක සංගීත ප්‍රසංගවලට) ගිය ජනප්‍රිය ගායකයෙකි. ඔහු සංගීත ක්ෂේත්‍රයේ ද වාර්තා තැබූ ගායකයෙකි. ලංකාවේ වැඩිම ගීත කැසට් ගණනකට ගීත ගැයූ එකම ගායකයා ය. එය 113කි. ගායකයෙකුට අමතරව ඔහු ගීත රචකයකු හා තනු නිර්මාණ ශිල්පියකු ද වෙයි. එසේම ඔහුට තමා ගැයූ ගීත සියල්ලම කටපාඩමින් ගායනා කළ හැකිය.

මොරටුව රාවතාවත්තේ 3 වැනි පටුමගේ අංක 17 නිවසේ පදිංචිව සිටින නිහාල් නෙල්සන් ජීවිතයේ තම සෙවණැල්ල බඳු බිරියගේ වියෝව නිසා හුදෙකලාව ගත කිරීමට පුරුදුව සිටී. තම බිරිය මාලී 2020 ජූලි 01 වැනිදා ජීවිතයෙන් සමු ගත්තේ නොසිතූ ආකාරයටය. අද නිහාල් හුදෙකලාව නැති කර ගන්නේ තම හුරුබුහුටි මිනිබිරියගේ සුරතල් බලමිනි. “මගේ පණ කයිලි අමේලියා මිනිබිරිය. ‘සීයා සීයා‘ කියලා එයා මා ළඟම දැවටෙනවා.

“මගේ බිරිය මට හමු වුනේ හොඳම යාළුවෙක් නිසා. යාළුවා සමඟ පිළියන්දල සුවාරපොල නිවසට ගියේ එයාගේ පෙම්වතිය බලන්න. එහි සිටිය පෙම්වතියගේ අක්කාට මගේ හිත ගියා. ඇගේ නම අලුත්ගේ ශ්‍රියාලතා මාලිනී පෙරේරා. ඇය ඉගෙනීම ලබමින් හිටියේ ආනන්ද බාලිකා විද්‍යාලයේ. අපි දෙදෙනා දෙමාපියන්ගේ ආශිර්වාදයෙන් විවාහ වුණා. ඇය වෙනුවෙන් මම ගීතයක් ලියලා තනුව නිර්මාණය කරලා ගැයුවා. “ඔරු පදින්න පහළ ගඟට එන්න යන්න මාලි“. මගේ මාලි මිය ගියාම අපේ නිවසට ආපු සෙනඟ මම මිය ගියාම එයිද කියලා මම හිතන්නේ නෑ. මට වඩා ගමේ ජනතාව ආදරේ මාලිට. කිසි වරදක් කරල නැති, කරුණාවන්ත නිහඬ චරිතයක් ඇය.“ නිහාල් සංවේගයෙන් කීවේය.

නිහාල් නෙල්සන් කියන ආකාරයට තමා මුලින් ගායකයකු වී ඇත්තේ මොරටු විද්‍යාලයේ පන්ති ගායකයකු ලෙසය. පන්තියේ කවි කියන්න දක්ෂතම ළමයා ඔහු ය. ලෝවැඩ සඟරාව, ගුත්තිලය කාව්‍යයේ කවි මෙන්ම සුභාෂිතයේ කවි නිහාල් ගයන විට අවට පන්තිවල සිටි ගුරුවරියන් කියා ඇත්තේ “අන්න නිහාල් ලස්සනට කවි කියනවා. අපිත් යමු ද? අපිත් ඒ පැත්තට.“ කියාය. එපමණක් නොව නිහාල්ට ගිහි පිරිත් කීමට ද දක්ෂතාවයක් තිබුණා.

මම ඉරිදා දවස්වලට මොරටුවේ රාවතාවත්තේ සිරිසේන දහම් පාසලට ගියේ. අපේ විදුහල්පති කු. ජෝ. පෙරේරා මහතා හොඳ සාහිත්‍ය පඬිවරයෙක්. කුමාරතුංග මුනිදාස පඬිවරයාගේ මඟ ගිය කෙනෙක්. එතුමා මට ගිහි පිරිත් කියන්න පුරුදු කළේ. මම කුඩා කාලයේ ගෙවල්වල තියෙන ගිහි පිරිත් කියන පිරිසේ බාලම සාමාජිකයා. වැඩිහිටියෝ මගේ පිරිත් කියන ආකාරය දැකල ඔළුව අතගාලා පුතාට “තුරුණුවන්ගේ පිහිටයි“ කියලා ආශිර්වාද කරනවා.“

නිහාල් ගේ පියා ජී. ඩී. හෙන්ද්‍රික් මොරටුවේ වෙළෙඳ ව්‍යාපාරිකයෙකි. මව හේමා වීරවර්ධන ඉංග්‍රීසි ගුරුවරියකි. මේ පවුලේ සිටි එකම දරුවා ලෙස නිහාල් නෙල්සන් 1946 ජනවාරි 09 වෙනිදා උපත ලැබීය. නිහාල් මුලින්ම අධ්‍යාපනය ලැබුවේ ඔහුගේ නිවස පේන මානයේ තිබූ රෝමානු කතෝලික විද්‍යාලයෙනි. ශිෂ්‍යත්වය සමත්ව මොරටු විද්‍යාලයට ඇතුළත් විය. “සංගීතය ඉපදුණු මොරටුවෙන්, මොරටු විද්‍යාලයෙන් ගායන ලෝකයට එක් වුණේ පණ්ඩිත්, ආචාර්ය අමරදේව සූරින් හා මමත් විතරයි. නිහාල් ආඩම්බරයෙන් කියයි.

“මම හැමදාම උදේ පාන්දර නැගිටලා මුහුණ කට හෝදලා පන්සිල් අරගෙන දවස පටන් ගන්නවා. අම්මා මේ ගති පැවතුම් පුරුදු කළේ. මම අදටත් දුම්වැටි බොන්නේ නෑ. මත්පැන් බොන්නේ නෑ. අම්මාගේ අවවාදය අහලා. මොරටු විද්‍යාලයේ ඉගෙනීමෙන් පසු මම වැල්ලවත්තේ පොලිටෙක්නික් විද්‍යාලයට ගිහින් පාලි, සංස්කෘත භාෂා වගේම ලඝු ලේඛනය ඉගෙන ගත්තා. ඒත්, මගේ ගායනය දියුණු වුණේ පන්තියෙන්, පාසලින්, ගමේ වේදිකාවෙන්. 1962 අවුරුද්ද මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය. මම හොඳට ගායනා කරන බව මොරටුවේ සිංහල අවුරුදු උත්සවයක දැකලා මහත්තයෙක් මට කතා කළා.

“මේ ළමයාගේ වයස කීය ද?“

“පහළොවක් විතර වෙනවා මහත්තයා“

“මේ ළමයට හොඳට සින්දු කියන්න පුළුවන්. මම හඳුනන සල්ලි තියෙන මහත්තයෙකුගේ හෝම් කමිං උත්සවයක් තියෙනවා. එදාට රුක්මණී, එඩී ජයමාන්නලා, බෙග්ලා, ජෝතිලා, මිල්ටන්ලා එනවා. හෙට එතනට රෑ අටට විතර මේ ළමයා එන්න. බලමු සින්දුවක් කියන්න අවස්ථාවක් ගන්න.“

ඒ කාරුණික මහත්තයගෙන් වං හුං අහගෙන මම මොරටුවේ ලක්ෂපතියේ හෝම්කමිං උත්සවයට ගියා. එදා ඒ උත්සවයේ සංගීතය මෙහෙය වූයේ ලංකාවේ දක්ෂතම ක්ලැරනට් වාදකයා වූ. ඒ. ජේ. කරීම්. අර ජනප්‍රිය සින්දු කියල තිබුණේ ‘සාධු සිරිපා, අඩු කුලේ කියලා අසරණයා‘ වගෙ. මම කරීම් මාස්ටර් ගාවට ගියා. ඒ කාලේ මම ගීතයක් ලියලා පොඩි තනුවක් හදාගෙන තිබුණා. මොරටුවේ පාටිවල කියලා තිබුණා. ඒ තාලේ මම කරීම් මාස්ටර්ගේ කණට කොඳුරුවා. “හරි මල්ලී මම තාලේ අල්ලන්නම්. ඔයා කියන්න.“ එදා කිව්ව “ලස්සනට පිපුණු වන මල් ගීතයට (වසර 60 පෙර) මගේ ජය මාවත විවෘත වුණා.

ගීතය කරීම් මාස්ටර්ගේ සංගීතයෙන් වඩාත් ඔප වුණා.

“මල්ලි හොඳට කිව්වනේ. හෙට මල්ලි බම්බලපිටියේ හතර වැනි පටුමගේ නොම්මර 10 ගෙදරට එන්න. මම උදව් කරන්නම්.“

“හොඳයි මාස්ටර්“

එදා මම එතැනට එනකොට එඩී ජයමාන්නයි, රුක්මණීයි මාව ළඟට කැඳවලා මට ආශිර්වාද කළා. මීට වඩා තවත් ගෞරවයක් තවත් මිහිපිට තියෙනවාද?“ නිහාල් එදා ඒ සිදුවීම රඟපාමින් වගේ විස්තර කළේය.

බම්බලපිටියේ කරීම් මාස්ටර් කියූ ගෙදරට ගිය නිහාල් අන්දමන්ද වී ඇත. එතැන රොක්සාමි, ඇන්ටනි සාමි, මුත්තුසාමි, මොහොමඩ් සාලි, ස්ටැන්ලි ඕමාර් යන පංච මහා සංගීතඥයෝ එක්ක කරීම් මාස්ටර් මොකක්දෝ ලොකු වැඩකය. නිහාල් දුටු කරීම් මාස්ටර් මෙහෙම කිව්වලු. “මල්ලී ලබන ඉරිදා ‘කැන්ඩි ක්ලබ්‘ එකේ ලොකු ‘මියුසික් ෂෝ‘ එකක් තියෙනවා. ඒ කාලයේ කැන්ඩි ලේක් ක්ලබ් එකේ ගීතයක් කියන එක දෙවෙනි රේඩියෝ සිලෝන් එක වගේ තැනක් බව දැන සිටි නිහාල්ට එදා රෑ නින්ද ගියෙත් නැතිලු. එදා මහනුවර මේ ප්‍රසංගය බලන්න දහස් ගණනක් පැමිණීම නිසා නිහාල් අන්ද මන්ද වී ඇත. නිවේදකයෝ කරුණාරත්න අබේසේකර හා සිරිල් රාජපක්ෂ දෙදෙනාය. නිහාල්ට එදා ලැබුණු සතුටු ප්‍රතිචාර ඔහු විස්තර කර ගැනීමට පටන් ගත්තේ මෙසේය.

“මගේ ගායන ජීවිතයට අත හිත දුන් ඒ උතුම් මනුෂ්‍යයා වූ කරීම් මාස්ටර් මම ප්‍රසංග වේදිකාවට ගී ගැයීමට නගින හැම විටම සිහිවෙනවා. එතැනින් නොනැවතුන කරීම් මාස්ටර් මාව මරදානේ එල්පින්ස්ටන් ශාලාව අසල පටු පාරක සිටි මහා සංගීතඥ ආර්. ඒ. චන්ද්‍රසේන මාස්ටර්ට හඳුන්වා දුන්නා. මට සින්දුවක් කියන්න කියලා අහලා මෙහෙම කිව්වා.“

“උඹට හොඳට සින්දු කියන්න පුළුවන්. ඔය සින්දුවේ පද මාලාව තව ටිකක් පොලිෂ් කර ගනින්.“

මම මගේ කල්‍යාණ මිත්‍ර සරත් මුණසිංහට කියලා “ලස්සනට පිපුණ වන මල්“ ගීතයේ පදමාලාව අලංකාර කර ගත්තා. මේ 1963 වසරේ පෙබරවාරි මාසේ. ගීතය පටිගත කළේ කොල්ලුපිටියේ සරසවි චිත්‍රාගාරයේ. මර්වින් රුද්‍රිගු මාස්ටර් ශබ්ද පරිපාලක. ගීතය පටිගත කරලා ඉවරවෙලා අපි ඒක අහන කොට කරු අයියා (කරුණාරත්න අබේසේකර) ශබ්දාගාරයට ආවා.

“මර්වින් මේ කොල්ලා හොඳට කියලා තියෙනවා. මම අහගෙන හිටියේ. මට ඕක ටේප් එකකට ගහලා දෙන්න. මම ඕක හෙට දවල් 11ට ගුවන් විදුලියේ කොමර්ෂල් එකෙන් ප්‍රචාරය කරන්නම්.“

“මට මේක හිතා ගන්නත් අමාරුයි. මම පහුවෙනිදා මුළු දවසම රේඩියෝව ළඟින් හෙල්ලුනේ නෑ. ගෙදර අයටත්, යාළුවෝ, නෑයින්ටත් කිව්වා. දිනය 1963 මාර්තු 31. වේලාව දහවල් 12.20යි. කරු අයියාගේ කට හඬ එදා හරිම ප්‍රාණවත්.

“ඔබට මම අද ගෙනාව මල් වෙඩිල්ලක්. මල් ලස්සනට පුපුරලා මල් විහිදුවා බලන අයට චමත්කාරයක් පෙන්නලා බිමට වීසිවෙලා යනවා. මම අද ගෙනාව මල් වෙඩිල්ල කවදාවත් බිමට වැටෙන්නේ නැහැ.

කරු අයියා මා ගැන එදා කළ වර්ණනවා එක අකුරක්වත් අඩු නැතිව මතකයි. මගේ ගායන ජීවිතයේ පටන් ගැනම එතැන. මට ඕනෑම දෙයක් අකුරක් නෑර මතකයි. මගේ ස්මරණ ශක්තිය ඇති වීමට හේතුව මගේ පැවැත්ම. මම දුම්බොන්නේ නැහැ. මත්පැන් බොන්නේ නෑ. සතුන්ගේ මස් කන්නේ නෑ. පුළුවන් තරම් නිර්මාංශ ආහාර ගන්න නිසා දෝ මතක ශක්තිය තියෙනවා.

මගේ කල්‍යාණ මිත්‍රයා සරත් මුණසිංහ තමයි මීට වසර 22කට පමණ පෙර ‘එපා එපා මස් කන්නට කිරි අම්මාගේ‘ ගීතය ලියලා දුන්නෙ. සරත් කිරි ගවයන් 300 පමණ අභයදානය දුන් පින්වතෙක්. මගේ ඒ ගීතය අහලා මහාචාර්ය කාලෝ ෆොන්සේකාත්, බිරිඳත් හරක් මස් කෑම අත්හැරිය බව මට කිව්වා. සරත් මුණසිංහ මිතුරා ඉතාලියේ ඉඳලා ලංකාවට ආපු දවසේ සුනාමිය අපේ රටට ආවේ. මේ ව්‍යසනය ගැන සරත්ගේ හිත කොතරම් කම්පාවුණාද කීවොත් ගෙදර ඇවිත් ගෙදර අයගෙන් නෑයන්ගෙන් සමුඅරන් ගිහි ජීවිතය අතහැර මීගහවෙල සුමන ශාන්ත හිමි නමින් පැවිදි වුණා. එදා උන්වහන්සේ පැවිදි වූ පින්කමට මමත්, වර්නන් පෙරේරාත්, ආරියසිරි විතානත්, ධර්ම ශ්‍රී වික්‍රමසිංහත් යන සමීප මිතුරන් සහභාගි වුණා. අද උන්වහන්සේ ගිරිඋල්ල මහා පන්සලේ වැඩවසනවා.“ නිහාල් ගීතයක අතීත කතාව හෙළි කරමින් කීවේය.

නිහාල් නෙල්සන් ජනප්‍රිය ගීත රැසක් සංගීත ලෝකයට දායාද කොට ඇත. ‘සල්ලි සල්ලි ලොකු ලොකු සල්ලි, සොමියට වරෙන් පුතා අගුල දාල නෑ දොරේ, පත්තරවල විස්තර ගොඩ,‘ ඒ අතර සුවිශේෂීය. වර්නන් පෙරේරා, හේමසිරි හල්පිට, චන්ද්‍රදාස ප්‍රනාන්දු, එච්. එස්. පෙරේරා ඔහුට ගී ලියූ රචකයන් අතර සිටිති. රංජිත් පෙරේරා, ලාල් සහබන්දු, කොලින් අලුත්ගේ තනු නිර්මාණකරුවෝ ද වෙති. චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස ලුවී වැන්ඩස්ට්‍රාවන්ගේ ‘පෙම් කුරුල්ලෝ‘ චිත්‍රපටයෙන් දොරට වැඩි ඔහු සක්විති සුවය - ලෝක හොරු, රෝදය, වල්මත්වූවෝ, රතු මකරා, දියමන්ති, සඳ වට තරු, වාලම්පුරි, සිකුරු යෝගය යන චිත්‍රපටවල ජෝතිපාල, සනත් සන්දසිරි සමඟ ගී ගයා ඇත.

ගාමිණි ෆොන්සේකා, වසන්ත ඔබේසේකර, තිස්ස අබේසේකර, බර්මින් ලයිලි ප්‍රනාන්දු, බන්දු සමරසිංහ, සිරි කුලරත්න, ආනන්ද හේවගේ අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටවල සංගීත අධ්‍යක්ෂවරයන් වී ඇත්තේ අමරදේව, ඩී. ආර්. පීරිස්, නවරත්න ගමගේ, ගුණදාස කපුගේ, ටෝනී වීරතුංග ආදි සංගීත අධ්‍යක්ෂවරුන් ය.

“මම සද්ධාවන්ත බෞද්ධයෙක්. දේවස්ථානවලටත් හැම උපකාරයක්ම කරනවා. පුළුවන් විදිහෙන් නැති බැරි අයට උදව් කරනවා. මම කාටවත් වරදක් කරලා නෑ. බිරිය මිය ගියාට පස්සේ මගේ ලෝකය වුණේ මගේ එකම පුතා තරංග නෙල්සන්, එයාගේ බිරිය ගයනි කාංචනා. රත්මලානේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඇය සේවය කරනවා. මේ දෙදෙනාගේ දෙහැවිරිදි දුව කයිලි අමේලියා නෙල්සන්. තරංග, ගයනි, කයිලි සමඟ මම ගත කරන ජීවිතය සුන්දරයි. මම ඩෙංගු ගැන ගීතයක් ගයලා තියෙනවා. මේ දිනවල කොරෝනා වසංගතයෙන් බේරෙන හැටි, ස්වයං නිරෝධායන ගැන රටට දෙන පණිවිඩය තේමා කර ගත් ගීතයක් ලියමින් සිටින්නෙ“ නිහාල් කීවේය.

නිහාල් කියන ආකාරයට මෙරට කැසට් ව්‍යාපාරය ඇරඹෙන්නේ 1979 වසරේ තරංගා ලේබලය යටතේ මිල්ටන් මල්ලවාරච්චිගේ මුල්ම ගීත කැසට් පටයෙනි. ඒ සමඟම නිහාල් ගී ගැයූ ‘ගුණෙ අයියගේ කාමරේ‘ කැසට්පටය ‘තරංගා‘ ලේබලය යටතේ 1979 වසරේ නිකුත් වී ඇත. මේ කැසට් පටය ඇතුළු නිහාල් ගැයූ කැසට් පට 113ක්ම ඉහළ ආදායමක් ලැබූ බව අපට කීවේය.

“මගේ මුල්ම කැසට්පටය පසුව තරංගා කැසට්පටය හා සංයුක්ත තැටියක් ලෙස ලක්ෂයකට වඩා විකිණී තිබෙනවා. මේ ගීතය හේමසිරි හල්පිට රචනා කළ මුල්ම ගීතය. නිර්මාණය මගේ. මේ ගීතයෙන් තමයි මම සංගීත ප්‍රසංගවල නමෝ විත්තියෙන් පටන් ගත්තේ.

මේ කාලේ තමයි ප්‍රබුද්ධ පීචන් ආකාරයෙන් වාදයක් ඇති වුණේ. ජෝතිපාල ප්‍රමුඛ මාත් තව ගායකයෙක් ‘පීචන්‘ ගොඩට දැම්මා. ජෝතිපාල මේව ගැන කිසිම ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ. මම නිර්භයව කිව්වා ‘අපි පීචන් නෙවෙයි සුප්‍රබුද්ධ ගායකයෝ‘ කියලා. මම කිව්ව වගේ ජෝති මැරුණාම ප්‍රබුද්ධයෝ කිව්වේ මොකක් ද? ජෝති සංස්කෘතික බලකණුවක් කියලා. ජීවත්ව සිටි ජෝතිට වඩා ‘සුප්‍රබුද්ධ‘ වුණේ මිය ගියාට පස්සේ.“ නිහාල් කීවේය.

Comments