නෙක තරු රටා මවන අගෝස්තු මාසය ඔබට කොහොමද? | සිළුමිණ

නෙක තරු රටා මවන අගෝස්තු මාසය ඔබට කොහොමද?

 

මේෂ-වෘෂභ-මිථුන-සිංහ-තුලා-වෘශ්චික කුම්භ ලග්න හිමියන්ට සුබ ඵල

කටක-කන්‍යා-ධනු-මකර-මීන ලග්න හිමියන්ට සම ඵල

 

වස්සාන සමයත් සමඟ උදාවන අගෝස්තු මාසය ඔබ අපට වැදගත් මාසයක් වන බව ඉතිහාසය තුළින් ද අපට දැනගන්නට ලැබෙයි. මේ පිළිබඳ ජ්‍යොතිෂ නියමයන් ද අනුව යට ගියාව හාරා ඇවිස්සීමෙන් දැක බලා ගැනීමට හැකිවේ. ඒ අතර මෙවර අපට උදාවනු ලබන අගෝස්තුව අහස් සිතියමේ විසිතුරු බවක් ගෙන දෙන මාසයක් බව කීවොත් එය ද නිවැරැදි ය. අහස් සිතියම යනු ජ්‍යොතිෂ්ශාස්ත්‍රයට අනුව අහසේ පිහිටන ග්‍රහ තාරකාවල ස්වභාවය සටහනකට ගත් කළ ඇතිවන සිතියමයි. එය අපි අපේ ක්ෂේත්‍ර සටහන යයි හඳුන්වමු.

 

ඒ අනුව මෙතෙක් පැවති බොහෝ විෂම ග්‍රහ සංයෝග හා ග්‍රහ දෘෂ්ටි නැතිනම් ග්‍රහ ගැටුම් අතර ග්‍රහ උච්චවීම්, නීචවීම් - සම වීම් - ස්වක්ෂේත්‍රවීම් - සතුරුවීම් - මිත්‍රවීම් සමඟ විවිධ පාරිසරික විපර්යාස අප වෙතට ගෙන ආ අයුරු අපට අත් විඳින්නට හැකි විය. කොයි දේ බොරු වුවත් ග්‍රහ යෙදුම්වලින් අනූන විශ්වීය හැසිරීම් අපට බොරු කළ නොහැක. ඒ කොයි හැටි වෙතත් අගෝස්තු මාසයේ යෙදෙන ග්‍රහ යෙදුම් අතර 09 වැනි දින බුධ පෙරවරු 01.34 ට සිංහ රාශි ගත වීම ද 17 වැනි දින පෙරවරු 01.17 ට රවි සිංහ රාශි ගතවීම ද දැනට සිකුරු ග්‍රහයා හා කුජ ග්‍රහයා සිංහ රාශිගත වී සිටීම ද අනුව මෙවර ඉහත කී රවි - කුජ බුධ - සිකුරු චතුර්යෝගව එකට එක්වීම අගෝස්තුවේ සිදුවන යහපත් ගති ලක්ෂණ කීපයකටම මඟ සලසන්නකි. රවි සිංහයා එන්නේ මෙතෙක් සතුරුව සිට එය සතුරු බවින් මිදීමෙනි.

රාජ කාරක රවි සතු‍රු වීම මහ ජනතාවට මෙන් ම රජයට ද මහත්වූ අපහසුතාවලට ලක්වීමත් ඒ පිළිබඳව පසුගිය වකවානුව අපට කදිම නිදසුන් සැපවූවේය. එහෙත් ජන අරගල ජන උද්ඝෝෂණ නිසා ජනතාවත් - රජයත් එක ලෙස අපහසුතාවට ලක්වූවා ඔබට මතක ඇත.

ඒ තත්ත්වයෙන් මිදී ජනතාවත් සතුටුවන රජයත් ශක්තිමත් වන ආකාරයත් මේ රවි සංක්‍රමණයේදී අපට දැකගන්නට පුළුවන.

අනෙක රවි පැමිණෙන්නේ ජනරජය නියෝජනය කරන සිංහ රාශියටම නිසා මේ තුළින් රජයට ලැබෙන ශක්තිය සක් සුදක් සේ පැහැදිලි වනු ඇත.

ඒ අතර ඥානකාරක බුධ මෙතෙක් සතුරුව සිට ජනතාව අඥාන ලෙස හසුරුවාලමින් කළ කෙණෙහිළිකම් අවසන් කොට නියම බුද්ධිමතුන් ලෙස ජනතාව සමාජගත වන බවට කදිම නිදසුනක් සපයමින් සිංහ රාශියේ ස්වක්ෂේත්‍රවීම ද ඉතා විශිෂ්ට ග්‍රහ සංක්‍රමණයකි.

එය ද රජයට මෙන් ම ජනතාවට සිදුවන සුවිශේෂ අවස්ථාවක් ලෙස අප දකිමු. ජීවත්වීමට කෙනෙකුට බුද්ධිය නැතිනම් ඔවුන් හැසිරෙන්නේ සතුන් සිවුපාවුන් ලෙස මිස උසස් මනසක් ඇති මිනිසුන් ලෙස නොවේ. ඒ අඳුරු ආගාධය පසු කරමින් සතුරු බවින් මිදී සිංහ රාශි ගතවන බුධයේ බල මහිමය අපට ඉදිරිය ගැන අපේ සහ අප රටේ අනාගතය ගැන පැහැදිලි චිත්‍රයක් මවන්නකි. ඒ නිසා අගෝස්තු මාසයේ අප ඉදිරියේ වැටෙන අහස් සිතියම අපගේ හිසේ බර සැහැල්ලු කරන ඉතා සුබවාදී වියමනක් බව කිව යුතුමයි. ඒ අනුව රටේ අධ්‍යාපනයට සාධාරණය ඉටුවීම - සෞඛ්‍ය මට්ටමේ ජයග්‍රහණ රැසක් හිමිවීම මිනිසුන් රෝගී තත්ත්වයෙන් මිදීම, කෘෂිකාර්මික - කාර්මික දියුණුව - පාරිසරික යහපත්කම් මතුවීම - දේශ දේශාන්තරවල ප්‍රසාදයට ඇඟැයීමට අපේ රට ලක්වීම - තරග ජයග්‍රහණ නිසා ලෝකය ඉදිරියේ කීර්තිමත්වීම සංචාරක ව්‍යාපාරය ප්‍රචලිත වීම, නව සංවර්ධන ක්‍රම ක්‍රියාත්මකවීම - මහාමාර්ග වාරිමාර්ග සංවර්ධන ක්‍රම ක්‍රියාත්මකවීම ඇතුළු ජන සමාජය සතුටට පත්වන අන්දමේ ක්‍රම රට තුළ ක්‍රියාත්මක වීමට නියමිතය.

 

කාර්මික හා කෘෂිකාර්මික දියුණුව

අභියෝග රැසක් මැද ඉඩමක අයිතිය හිමිවේ

විවහාපේක්ෂකයන්ට ජයග්‍රාහි මංගල යෝග

සංචාරක ව්‍යාපාරය දියුණුවට

 

මේෂ- රැකියා අභිවෘද්ධිය

මේෂ ලග්නයට අනුව ඔබට ආර්ථික වශයෙන් සුබවන්නේ ගුරු 11 වැන්නේ මෙන්ම මේ බුධ කුජ සිකුරු 5 වැන්නේ සිට ඊට දෘෂ්ටිය හෙළන බැවිනි. විශේෂයෙන් සෙනසුරු සමඟ වුව ද චක්‍රය 10 වැන්නේ සිටීම නිසා රැකියා අභිවෘද්ධිය හදිසි ආයෝජන කෙරේ.

යොමුවීම මෙන් ම ඒ සඳහා සෙසු අයගේ සහයෝගය ද ලැබෙන නිසාය. කෙසේ නමුදු ඔබට ශරීර සෞඛ්‍යය අතින් තුනටිය ආශ්‍රිත ආපදා මතු විය හැකි නිසාත් ඒ වෙනුවෙන් ධනය වියපැහැදම් කිරීමට සිදුවන නිසාත් ප්‍රවේශම්වන්න. ආගමික කටයුතු කෙරේ වැඩි නැඹුරුවක් ඇති කරගන්න.

 

වෘෂභ- නව නිවාස ලාභ

වෘෂභ ලග්නයට අනුව ඔබට යහපත් වකවානුවකි. විශේෂයෙන් 4 වැන්නේ ප්‍රබල ග්‍රහ සංයෝගයකට අනුව වාහන නිවාස පල උදා කෙරෙනු ඇත‍.

තම ජීවිතයේ මෙතෙක් ඉටුකර ගැනීමට නොහැකිව තිබූ බලාපොරොත්තු රැසක් ඉ‍ටුවනු ඇත. තමා නව නිවසක පදිංචියට යාම මෙන් ම නිවසක් ගැනීමට අඩිතාලම දැමෙනු ඇත. රැකියා මට්ටමේ ජයග්‍රහණ රැසක් උදා කරදෙන අතර ආර්ථික ප්‍රතිලාභ ද ඒ අතර වෙයි.

ශරීර සෞඛ්‍ය අතින් හිසට අගුණ පළකෙරෙන අතර හදිසි කෝපය නිසා බොහෝ ප්‍රතිලාභ මඟ හැරීමට ද ඉඩ තිබෙන නිසා කල්පනාකාරී වන්න.

 

මිථුන- විදෙස් ගමන්

 

මිථුන ලග්නයට අනුව ඔබට තම ජීවිතයේ මෙතෙක් කිරීමට පෙරුම් පුරා සිටි ආගමික කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීමට කටයුතු යෙදේ. සිතේ සතුට අභිවෘද්ධිය ඉන් සැලසෙනු ඇත. තම අනාගත බලාපො‍‍රොත්තු අතර පිටරට ගමනකට පසුබිම සැකසේ.

තම විවාහ ස්ථානගතව ගැටලු ආරවුල් මතු විය හැක. තමාගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය තුළ සැකය - මතුකරන අන්දමේ කරුණු යෙදෙන නිසා ඉතා සුපරීක්ෂාකාරී වන්න. තමාට හිමිවීමට තිබී ප්‍රමාද වූ අයිතිවාසිකම් උරුම වීමේ වකවානුවකි.

 

කටක- හිත මිතුරන් දුරස් වේ

කටක ලග්නයට අනුව ඔබට තම සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී සුපරීක්ෂාකාරී විය යුතු ය‍. යම් හෙයකින් අපරීක්ෂාකාරීකම නිසා සිදුවිය හැකි පාඩු ඉතා වැඩිවේ. තමාට සෑම විටම ළඟ සිටි අය දුරස්වන අන්දමේ කරුණු උදාවිය හැක. තමා යටතේ සේවය කරන අයගේ විරෝධතා මතු කෙරෙනු ඇත. නමුත් අධිෂ්ඨානයේ ප්‍රබලත්වය මත ඒවා අවම කර ගත හැක. අවිවාහක අයගේ ආදර සබඳතාවලට බාධා එල්ලවීම නිසා පෙම්වතුන්ට අසුබ කාලයකි. එහෙත් ප්‍රවේශම තම රැකවරණය පිණිස වෙයි. කුස ආශ්‍රිත උවදුරු නිසා ශරීර සෞඛ්‍ය හීන වන කාලයකි‍.

 

සිංහ ලග්නය- බලාපොරොත්තු සපල වේ

 

සිංහ ලග්නයට අනුව ඔබට මෙසේ ඉතා හොඳ කාල පරිච්ඡේදයකි. ලග්න ගතවන රවි, කුජ, බුධ, සිකුරු නිසා ආත්ම අභිමානය ඉහළ නැංවේ. තම ජීවිතයේ බොහෝ ‍බලාපොරොත්තු සපල කර ගැනීමට අවශ්‍ය අධිෂ්ඨානය ගොඩනැඟෙනු ඇත. ව්‍යාපාර මට්ටමේ ප්‍රතිලාභ සඳහා සුදුසුම කාලයකි. කොයි කාගේත් සහයෝගය තම කටයුතුවලදී ලැබෙනු ඇත. ගුරු 7 හි ඉතා වාසනාවන්ත ගෘහ ජීවිතය යුග ජීවිතය සතුටුදායක වෙයි‍. ආගමික මට්ටමේ ප්‍රසාද ලැබෙන කාලයකි. තම ගුරුවරයකුගේ මැදිහත්වීම මත තමාට සුදුසු ආර්ථික ප්‍රතිලාභයක් සඳහා පසුබිම වැටේ.

 

කන්‍යා- පෞද්ගලික දියුණුවට බාධා

කන්‍යා ලග්නයට අනුව ඔබට මෙම වකවානුව බොහෝ විට තම ස්වඋත්සාහය මත බොහෝ කැපවීම් කළයුතු කාලයක් වෙයි. අන් අය වෙනුවෙන් තම කාලය කැප කිරීමට සිදුවන නිසා තමාගේ පෞද්ගලික දියුණුව ඇණ හිටින ගතියක් මතු කෙරේ‍. සමාජ සේවා කටයුතු කරන අයට නින්දා අපහාස චෝදනා ඇසීමට පවා ඉඩ තිබේ. ශරීර සෞඛ්‍ය අතින් යටිබඩ, බඩ ආශ්‍රිත රෝග බහුල කෙරේ. තම ආර්ථිකයට සිදුවිය හැකි තර්ජන අනුව වටිනා‍ වස්තුවක් තමාට අහිමි වන සොර සතුරු උවදුරුවලට හසුවීමට ඉඩ තිබෙන වකවානුවකි.

තුලා- යහපත් ආයෝජනයක්

තුලා ලග්නයට අනුව ඔබට මෙම වකවානුව සුබයි. ඒ ආර්ථික ප්‍රතිලාභ රැසක් සමඟිනි‍. 11 වැන්නේ බලවත් වන රවි, කුජ, බුධ, සිකුරු නිසා නව ආර්ථික වාසි ලැබෙන යහපත් ආයෝජනයකට හේතු ඇති කෙරේ. ව්‍යාපාර කටයුතුවල යෙදෙන අයගේ ආදායම් සරුවනු ඇත. මෙතෙක් නවතා දමා තිබූ කර්මාන්ත ව්‍යාපාර යළි ආරම්භ කෙරෙනු ඇත. සිතේ සතුට දැඩිවන බව පෙනේ. තම සිතසුව පිණිස කරන ශාස්ත්‍රීය කටයුතු සපලවනු ඇත. තම මවු පාර්ශ්වයේ අයකු විසින් ලබාදෙන ප්‍රතිලාභයක් මතු කරදෙන වකවානුවක පපුවේ සෙම, හතිය නිසා පීඩා විඳීමට ඉඩ ඇත.

 

වෘශ්චික- පැසසුම් ලැබේ

වෘශ්චික ලග්නයට අනුව ඔබට ඉතා සුබයි. 10 වැන්නට චතුර් යෝග බලය හිමි වන බැවින් ඔබ කරන වෘත්තිය ජනාදරයට පාත්‍රවනු ඇත. කලක් අභියෝගාත්මක ලෙස බලපෑ බාධා ඉවත්ව යහපත උදාවේ‍. සතුටුදායක ආරංචි ලැබෙන වකවානුවක් වන අතර තම ක්‍රියාකලාපය කාගේත් පැසසුමට බඳුන් වනු ඇත. තමාගේ ශක්තියට බොහෝ අය එකතුවන වකවානුවකි. කාර්ය බහුලතාව වැඩිකම නිසා සිතේ නොසන්සුන්තා මතු කළ ද තමාට උසුලන්නට බැරි වගකීම් විශ්වාසවන්ත අයට පැවරීමෙන් ඉතා උසස් නිදහසකට පත්වීමට පුළුවන‍. තමාට පෙර උරුමයක හිමිකම මතු කෙරේ.

 

ධනු ලග්නය- අභියෝග රැසකට හසුවේ

 

ධනු ලග්නයට අනුව මෙම වකවානුව ඔබට හොඳ නරක සමසේ භුක්ති විඳීමට හැකිවේ‍. දුර ගමන් නිසා ආර්ථික පාඩු, වියදම් අධිකවීම පෙනෙන්නට තිබේ. තමා එදිනෙදා කරගෙන ආ කටයුතුවල මඳ පසුබෑමක් දක්නට ලැබේ. එහෙත් පින් දහම් ආගමික කටයුතු නිසා කාගේත් ප්‍රසාදයට බඳුන්වේ. තම අරමුණු ඉටු කර ගැනීමේදී මහත් වෙහෙසක් දැරීමට සිදුවන නමුත් අවසානයේදී ප්‍රතිඵල උසස්වේ. යටි බඩ ආශ්‍රිත උවදුරු පෙනෙන්නට ඇත.

මකර ලග්නය- හදිසි ධන ලාභ

 

මකර ලග්නයට අනුව ඔබට මෙම වකවානුව හදිසි ධන ලාභයකට ඉඩ ඇත. එහෙත් එය සුරක්ෂිත කර ගැනීමට මහත් වෙහෙසක් දැරීමට සිදුවේ. තමාට සෑම දේකටම සිටි හිතමිතුරන් දුරස්වනු ඇත. එහෙත් පසුවී හෝ ඒ අයට සත්‍ය වැටහී යළි ඔබ කරා එනු ඇත.

එතෙක් වූ හුදෙකලා බව නිසා කලකිරීම් බහුලවේ. ශරීර සෞඛ්‍ය අතින් හිසට අගුණ තුනටියට අගුණ පළ කෙරෙන නිසා උඩ නැඟීම් අධික වේගයෙන් වාහන පැදවීම්, ගින්දර, විදුලිය ආශ්‍රිත කටයුතු කෙරෙන් සුපරීක්ෂාකාරී වන්න. ව්‍යාපාර කටයුත්තකට මඟ සැලසේ. පිටරටක සිට පැමිණි අයකුගේ උපකාරය ඒ සඳහා හිමිවනු ඇත.

 

කුම්භ- වාසස්ථාන වෙනසක්

කුම්භ ලග්නයට අනුව ඔබට මෙම වකවානුව ඉතා සුබයි. ගුරු ලග්න ගතව හිඳීම රවි, කුජ, බුධ, සිකුරු 07 ට පැමිණීම ඉතා සුබවාදී අරමුණු රැසක ප්‍රතිඵල දක්නට ලැබෙයි. යහපත් ආකල්පමය වෙනසක් ඇති කෙරේ. නව ආයෝජනයකට මග සැලසේ‍.

තම වාසස්ථානය හැර නව පදිංචියකට යාම හිතසුව පිණිස වෙයි.

කලක් අත් හැර දමා තිබූ ව්‍යාපාරයක නව ආරම්භයක් ද සිදුවනු ඇත. තම විවාහ සහකරු හෝ සහකාරිය වෙනදාට වඩා ඔබගේ කටයුතු පිළිබඳ සොයා බලා ශක්තියක් වීමට එක්වනු පෙනේ.

 

මීන- ඉඩමක අයිතිය හිමි වේ.

මීන ලග්නයට අනුව මෙම වකවානුව ඔබට බාධක රැසකට මුහුණදීමට සිදුවෙයි. ඉල්ලුම්කර තිබූ විදෙස් ගමනක් තවදුරටත් කල් යන ස්වභාවයක් දක්නට ලැබේ. තම දූ දරුවන් වෙනුවෙන් ඒ අයගේ කටයුතු කෙරේ.

වැඩි වෙහෙසක් දැරීමට සිදුවේ. යටි බඩ ආශ්‍රිත උවදුරු මුත්‍රා ගල් අවදානම වැනි රෝග නිසා ශල්‍යකර්ම පවා එළඹීමට පුළුවන‍.

තමාට අහිමිවී තිබූ ඉඩමක උරුමය යළි ඔබ අතට පත්වේ. නඩු හබ නීති ගැටලුවලින් නිදහස් වීමට හැකිවේ.

Comments