'දැනුම' ලැබෙන්නේ තොරතුරු මඟින් ද? | සිළුමිණ

'දැනුම' ලැබෙන්නේ තොරතුරු මඟින් ද?

 

"දැනුම (knowledge) හා තොරතුරු (information) විෂය ධාරාවන් දෙකක් ද? නැතහොත් එක් විෂය ධාරාවක් ද?"

මේ ප්‍රශ්නය මතු කෙරෙන්නේ යුනෙස්කෝව මඟින් පළ කරන ලද Learning To Be නමැති සන්නිවේදනය හා අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡා කෙරෙන පුරෝගාමි කෘතියක ය. තොරතුරු නිසි ලෙස නොලැබ කිසිදු සෙවිල්ලක් ආරම්භ කළ නොහැකි බව ඒ කෘතිය කියැවීමේදී ලැබෙන ප්‍රාථමික සන්නිවේදන න්‍යාය යි. එබැවින් යමක් සොයා ගෙන අන්තයක් දක්වා යන ගමනක දී මූලික තොරතුරු දත යුතු ය. නිදසුන් සඳහා ගනු ලබන්නේ මාවත හෙවත් පාර කුමක් ද (what is the road or the street?) යන්න යි. ඊළඟට දිශාව කුමක්ද (what is the direction?) යන්න යි.

ඒ සමඟම බද්ධ වී ඇත්තේ අවශේෂ තොරතුරු සමුදාය කි. ඒවා නම් කවුරුන්ද (who), කුමක්ද (what), කොහේ ද (where), කෙසේ ද (how) යනාදි ප්‍රශ්න වලට පිළිතුරු ය. දිශාවක් නොදැන, මාවතක් නොදැන, යන්නේ කොහි ද? හොයන්නේ කුමක් ද? මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයාගත නොහැකි ය.

'නොදැන ගියොත් අතරමඟ, දැනගෙන ගියොත් කතරගම,' යන කියමන කෙතරම් වටහා හරවත් ප්‍රකාශයක්ද යන්න මෙහිදී සිහිපත් කරගත හැකි ය. ඉතා කුඩා කතන්දර මඟින් සාමාන්‍ය ජනයාට සෙවිල්ලේ මහිමය කියා දී ඇත.

වනාන්තරයක සැරිසරන්නාට තමන්ට හිතුමනාපයේ මං සොයා ගත නොහැකි ය. ඒ සඳහා ලකුණක් (sign) සටහන් කිරීම අවශ්‍ය වේ. සතුන් ගිය මඟ මෙන්ම දඩයක්කරුවන් ගමන් කළ මඟ ද සපයන්නේ වැදගත් දිශා තොරතුරු සමුදාය කි. තමන් යමක් ඉගෙනුමේදි ගමන් ගත යුතු මඟ හඳුන්වාදීම ගුරුවරයාගේ කාර්යය වේ.

මුනිදාස කුමාරතුංග පඬිතුමාණන් මේ කාර්යය අකුරට පිළිපැද්ද කෙනෙකි. එතුමා ලියූ අකුරු සැහැල්ල මඟින් යමක් සෙවිල්ල ඇරඹිය යුතු ආකාරයත් කෙමෙන් ඒ සෙවිල්ල ප්‍රඥාව හෙවත් පැණසර බවට (wisdom) පත් කරවන අයුරුත් පැහැදිලි කර දී ඇත්තේ ය. ඕනැවට එපාවට යමක් උගත නොහැකි ය යන්න මින් ගම්‍ය කෙරේ. ඉගෙනුමකින් ලබන්නේ දැනුම කි. දැනුම නිර්වචන කරන්නේ කෙසේද යන්න සන්නිවේදන ගැටලුව කි. ඒ බව වඩාත් මැනවින් සටහන් වී ඇති කෘතිය නම් Many Voices One World ය.

අද අප කතාබහට ලක් වී ඇත්තේ අකුරුකරණයේ මහිමය වශයෙන් අප වෙත දායාද කැරෙන අක්ෂර ඥානය හෙවත් සාක්ෂරතාව (literacy) යි. එහෙත් සාක්ෂරතාව යනු දැනුම හෝ එහි අන්තය ලෙස සැලකෙන ප්‍රඥාව ද තොරතුරු මගින් දැනුමක් ලබාගත හැකි වෙතත් ඒ දැනුම හුදෙක් දැනගැනීමක් හෙවත් ප්‍රාථමික සෙවිල්ලක් බවත් අප වටහා ගත යුතු ය.

එහෙත් දැනුමකින් තොරව ප්‍රඥාව හෙවත් පැණසර බවට පත් විය හැකි ද යන ප්‍රශ්නය පිළිතුරු නොමැතිව රැඳි පවතී. යම් යම් දේ පිළිබඳව දැනුමකින් සන්නද්ධ පුද්ගලයා හෝ ඒකකය බලය (power) ඇතිව සිටින බවට මතයක් පවතී. මෙය හැඳින්වීම සඳහා 'දැනුම බලය වේ' (knowledge is power) යනුවෙන් කියමනක් ද සැකසී ඇත. මේ කිනම් දැනුමක් ද?

මේ කිනම් බලයක් ද යන්න පිළිබඳ තතු සෙවූ පඬිවරු න්‍යායන් (theories) සමුදායක් ගෙන හැර දැක්වූහ. ඒ න්‍යායන් විටෙක පැහැදිලි ය. විටෙක අපැහැදිලි ය. විටෙක හුදු වචනාර්ථ (verbal meanings) වලට සීමා වී පවතී. එහෙත් ඒවා බැහැර කළ නොහැකි ය.

තොරතුරු හා දැනුම ඒකාබද්ධ විෂයයක් බවට පත්වීම හේතුවෙන් බිහි වූ න්‍යායන් පැහැදිලි කිරීම සහා නවතම විෂය ධාරාවක් වූයේ තොරතුරු විද්‍යාව හෙවත් විඥාපනය යන අර්ථ දෙන informatics නැතහොත් information science ව්‍යාප්ත වීම ය.

දැන් තවදුරටත් එහි ව්‍යාප්තිය දැකගත හැකි වන්නේ තොරතුරු තාක්ෂණය යනුවෙන් හඳුන්වනු ලබන Information Technology යන්නෙහි ය.

මුලදී මේ විෂය ධාරාව හඳුන්වනු ලැබූවේ සන්නිවේදන අධ්‍යයනයට බද්ධ වූ 'සන්නිවේදන තොරතුරු තාක්ෂණය' යනුවෙන් අර්ථ දෙන Information Communication Technology (ICT) යනුවෙනි.

ඒ විෂයධාරාව ලොව ව්‍යාප්ත වූයේ මාධ්‍යවේදයේ අවශ්‍යතාවන් සපුරාලීමක් වශයෙනි. එහෙත් සන්නිවේදන තාක්ෂණය (Communication Technology) හුදෙකලාව නොපවතී. එය කෙමෙන් අතු ඉති විහිදී යනු ලබන ගසක් සේ දැක ගත හැකි ය. කෙමෙන් එය වැඩී ග්‍රහණය කොට නොගත හැක්කක් බවට පත් වනු ඇත.

Comments