ජීවන කම්පනයෙන් කම්පිත ලේඛකයා | සිළුමිණ

ජීවන කම්පනයෙන් කම්පිත ලේඛකයා

 

ලෝකයේ කිසිවක් අලුතෙන් උත්පාදනය වන්නේ නැත. කිසිදු නව දෙයක් නිර්මාණකරණයේදී නව දෙයක් නොවන්නේ ඒ නිසා ය. පරණ බෝතලයට ම වුව අලුත් වතුර පිරවීම ද සැමට ම කළ හැකි කාර්යයක් නොවේ. ප්‍රතිභාවෙන් තොර වූවෝ පැරණි දෙයෙහි ම අනුකරණය නිපදවති. ප්‍රතිභාසම්පන්න නිර්මාණකරුවකුට පැරණි දේ නව හා වෙනස් අරුත් පෙනෙන්නට පටන් ගනී. ඔවුහු ඒ සියල්ලේ ම නව්‍යත්වයක් දකිති.

 

නිර්මාණයේ උත්පත්තිය ප්‍රතිභාවෙන් අලංකෘත වූවක් වන්නේ ඒ නිසා ය. අර්ථ, රස, භාව නුසුන් නොකොට එකට කලතා අප හමුවෙහි නිර්මාණකරුවා තබන්නේ පෙර නොවූ විරූ දෙයක් සේ ය.

එහෙත් සත්‍ය නම් ඒ දෙය පැවැති දෙයක් ම ය; ප්‍රතිභාවෙන් එය නවමු කිරීම ප්‍රතිභාන්විත නිර්මාණකරුවකුට සුළු දෙයකි. ඔහුට මාතෘකා, තේමා, වස්තු විෂය ආදී කිසිවක් හිඟ නොවෙයි. නිර්මාණකරුවාගේ ශක්තිය මහා බ්‍රහ්මයාගේ මැවීමේ ශක්තියට ආනන්දවර්ධනයන් සම කරන්නේ එබැවිනි.

කීර්ති වැලිසරගේ ජ්‍යෙෂ්ඨ ලේඛකයා තමා අත්විඳි අත්දුටු දෑහි ප්‍රකම්පනයෙන් මිදෙන්නට නොහැකි ලේඛකයෙකි. හේ ඒ කම්පනීය ඉසව් අත්විඳ දශක ගණනාවක් ගෙවී ඇත ද තවමත් එහි වේදනාවෙන් උපන් තිගැස්මෙන් කම්පිත ය. කාල නිර්ණයකින් තොර ව එදා සේ ම සිදුවන විවිධ නොපනත්කම්, පාගා දැමීම්, පාවා දීම් අබියස ඔහුට අතීතය ස්මරණය වෙන්නේ ය. ඒ ස්මරණයෙන් ගැලවී ගත නොහැකි තැන ඔහු ඒවා ලියා තබන්නේ ඉතිහාසයෙන් නිර්මාණය වෙන අනාගතය ගැන බලාපොරොත්තුවෙනි.

‘කාලසර්ප ලියැවෙන්නේ තෙත් කලාපයේ රබර් වතු වගාවට යට වෙලා දේශීය ධනපතියන් ඉඩම් අත්පත් කරගැනීම කියන පසුබිමයි. එහෙම ධනවත් වුණු පරම්පරාවක අතීතය පිළිබඳ කතාවයි මීට පදනම් වුණේ. වතු වගාව සුදු ජාතිකයන්ගේ අනුග්‍රහයෙන් උඩරට හා සෙසු පළාත්වල ක්‍රියාත්මක කරන කොට දේශීය ධනවතුන් පිරිසකුත් බිහිවෙනවා හැකි පමණ ඉඩම් අත්පත් කර ගත්.

පස්සෙ ප්‍රභූවරුන් බවට පත්වෙන්නේ ඒ පිරිසයි. ඒ ප්‍රදේශවල හිටපු ප්‍රභූවරු කේන්ද්‍රයට යනකොට සාමාන්‍ය මිනිස්සු අතිබහුතරය පරිධියට තල්ලු වෙනවා. ඒත් එක්කම ඒ අයගෙ වර්තමාන පරපුර එහෙමත් නැතිනම් දරිද්‍රතාවෙන් පහළට වැටුණු කණ්ඩායම අද මුහුණ දෙන ඛේදවාචකයත් මෙහිදී මාව මේ කතාව ලියන්නට පෙලඹවූවා. 88 - 89 රටේ පැවතුණු භීෂණකාරී කාලයේ මේ පරිධියේ ඉන්න පිරිස තවදුරටත් පරිපීඩනයට පත්වෙන ආකාරයත් මේ සඳහා බලපෑවා.

අතීත වගේම වර්තමාන දේශපාලන සිතියම තමයි අතීත වර්තමාන ඈඳුතුවක් විදියට කාල සර්ප නවකතාවේ සටහන් වෙන්නේ‘

නිර්මාණකරුවකුට තමා මුහුණ දෙන හා දකින දෑ ඇසුරෙන් ඇති වන කම්පනය දරා ගත නොහැකි වෙන්නට ආසන්නතම හේතුවක් බලපෑම් කළ හැකිය. කාල සර්ප කතාවේ පසුබිම මෙසේ සිත ඇතුළෙහි කැකෑරෙමින් තිබුණත් එය සටහන් කර තැබිය යුතු ම ය යන්නට බලපෑ ආසන්නතම හේතුව ගැන මම කීර්ති නිර්මාණකරුවාගෙන් විමසුවෙමි.

‘පාදුක්ක වගේ ප්‍රදේශවල අදටත් අක්කර පනහෙ හැටේ වතු අයිති අය ඉන්නවා. ඒ අය සහ ඒ අයගේ ඉඩම්වල කම්කරුවන් හැටියට වැඩ කරන බහුතරයක් පීඩිත පරම්පරාවේ මිනිස්සු එදා වගේම අදත් ගත කරන දුක්ඛිත ජීවිතය හා ගරා වැටීම ආදිය මම දකිනවා. මගේ කුඩා කාලයේ සැලකිය යුතු කාලයක් ගත වෙන්නේ පාදුක්ක වලගල ආශ්‍රිත ගමක. මගේ අත්දැකීම් භාණ්ඩාගාරයේ තැන්පත් ව තිබූ අත්දැකීම් ගොනුවක් තමයි මේ‘ ඉතිහාසය සම්බන්ධ යථාව සෞන්දර්ය කලාත්මක වේෂයකින් ජනගත කිරීම පහසු නැත. එහෙත් ජනහදට වඩාත් හොඳින් මේ ඓතිහාසික කරුණු පිළිබඳ අනාවරණය කිරීමට නම් එය සෞන්දර්ය ප්‍රවේශයකින් ඉදිරිිපත් වීම වඩා උපයෝගී වනු ඇත. ඉතිහාසය විසින් අපට තිළිණ කරන සමහර වේදනාවන් තවත් කලෙකදී ජීවන පරිඥානය උදෙසා ලියා තැබිය යුතු වන්නේ ය. කීර්ති වැලිසරගේ ලේඛකයා ස්වකීය ජීවිතය ම කැප කරන්නේ තමා කම්පනයට පත්කළ සිද්ධි තව පරම්රාවක ඥානනය පිණිස ඉතිරි කරන්නට ය.

කීර්ති ලේඛකයා ලියන නවකතා අතර තවත් වැදගත් සංදිස්ථානයක් වෙන්නේ ‘රුදු රොන් සුනු‘ නවකතාවයි.

‘87 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන වෙලාවේ ඇතිවුණු කැලඹීම තමයි මේ කතාවට බෙහෙවින් බලපෑම් කළේ. ඒ වෙලාවේ යාපන අර්ධවීපයට ගුවනින් පරිප්පු හෙළලා ඉන්දියන් හමුදාව ආක්‍රමණශීලීව හැසිරුණු මොහොතකත්.

එල්.ටී.ටී. ඊ් කලබලත් ඇති වෙමින් තිබුණු කාලයක්. මේ අවස්ථාවෙ තමයි ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කෙරෙන්නේ.මේ වෙලාවෙ ජනතාව අතර කලබලකාරීබවක් ඇති වුණා. මේ අතර හිටියා විපක්ෂයේ, ආණ්ඩු පක්ෂයේ අය වගේම නායක හාමුදුරුවරුන්, ප්‍රභූන් ආදි සියල්ලන්ම.

හැබැයි පාරට බැහැලා විරෝධය පාද්දි ඒ ප්‍රභූ පිරිස අයින් වෙලා සුද්ධවන්තයන් බවට පත්වෙලා කුපිත කරවන ලද අහිංසක මිනිස්සු විතරක් ඉතිරි වුණා. ඒ අය විරෝධය දක්වද්දි ඔවුන් රාජ්‍ය විරෝධීන් ලෙස අත්අඩංගුවට ගන්න රජය ක්‍රියා කළා. ඒ අයට විවිධ අඩන්තේට්ටම් වුණා. මේ දේවල්වලට කිසිසේත් සම්බන්ධ නැති තරුණයකුගේ ජීවිතය මේ සිද්ධිවලට යටවෙලා දැවිලා අළු වෙලා යන අකාරය තමයි මම මෙහිදී නිරූපණය කළේ. ඔහු භෞතික ව මිය නොගියත් ඔහුගේ ආත්මය මිය යනවා. ආධ්‍යාත්මික වශයෙන් මිය යන ඔහු දැඩි ආයාසයෙන් තමාගේ ජීවිතය යථාවත් කරගන්නා ආකාරයයි මා ලියූවේ. මේ සිද්ධිය මට මා හිතවත් තරුණයකු නිසා දැඩිව දැනෙනවා. 87 පෙළපාළි ගිය හරි අහිංසක තරුණයෙක් පොලිසියේ වෙඩි පහරකින් මිය යනවා. ඔහු මාත් එක්ක කතා බහ කරලා නෑ; හැබැයි පාර තොටේ හමු වුණාම සුහඳ ව හිනාවෙනවා. ඔහු රැකියා විරහිත උපාධිධරයෙක්; එක්දරු පියෙක්. ඒවගේම මට තවත් අත්දැකීමක් මෙයට එකතු වෙනවා.

ඒ මේ කිසි දෙයකට සම්බන්ධ නැති තරුණයෙක් මේ දේවල් සම්බන්ධයෙන් චෝදනා කරලා අත්අඩංගුවට ගන්නවා. ඔහු රැඳවුම් කඳවුරේ තියාගෙන ඉඳල කාලයකින් ආපහු මුදා හරිනවා. ඔහු ගමට එනවා.

ගම ඔහුව පිළිගන්නෙ අපරාධකාරයෙක් විදියට. නොකළ වරදකට ආණ්ඩුවෙන් වගේම සමාජයෙන් ඔහු බැට කනවා. හැබැයි මේවට මිනිස්සු පෙලඹුව දේශපාලන නායකයො වගේම ආගමික නායකයොත් මේ පලි ගැනීම්වල හිටියෙ නෑ. මිනිස්සු පවා වරද කළ අය නිදොස් කරල වරද නොකළ කෙනා වරදකාරයා කළා‘නිර්මාණකරුවා සෑම විටම තමා අවට සිදුවන දෑ නිරීක්ෂණය කරන්නේ ය. ඒවායෙන් කම්පනයට පත්වෙන ඔහු ඒ සිදුවීම්වලින් සමාජය කියැවීමට පටන් ගන්නේ ය. සාමාන්‍ය ජනතාව වරද ඇති තැන පිළිබඳ දරන මතය ඔහු සිය නිර්මාණ ඔස්සේ හෝ විචාරාක්ෂියට යොමු කරන්නේ අනාගතයේ එවැනි වැරදි කියැවීම් හා අවබෝධවලින් ජනතාව වැළැක්වීම වෙනුවෙනි. කලාකරුවා සමාජ ප්‍රගමනය බලාපොරොත්තු වෙන්නේ යැයි අප කියන්නේ එනිසා ය. කීර්ති වැලිසරගේ ලේඛකයා තමා අවට සිදුවන මෙවන් දෑ වලින් කම්පනය වෙන්නේ ය. දේශපාලනික කියැවීම් ඔහු සමාජ කියැවීම් බවට පත් කරන්නේ එකී ආධ්‍යාෂය විසින් මෙහෙයවීමෙනි. කීර්ති වැලිසරගේ ලේඛකයා බොහෝ පාඨකයන් අතර ආදරයට ලක්වෙන්නේ කෙටිකතාකරුවකු වශයෙනි. හේ සමාජ යථාර්ථය මැනවින් විග්‍රහ කිරිමේ සමත් අපූර්ව කෙටිකතා කරුවෙකි.

නවකතාවක තරම් පුළුල් වපසරියක නොවිහිදෙන කෙටිකතා ප්‍රස්තුතය ඔහු මැනවින් ග්‍රහණය කරගන්නේ නිර්මාණකරණයේ වන සියුම් ලක්ෂණ ගැන මැනවින් හදාරමිනි. තම කෙටිකතා අතරෙන් ‘දේවතා‘ නම් කෙටිකතාවේ වස්තුබීජයට තමා වඩාත් ම ප්‍රිය කරන බැව් ඔහු අප හා පැවසුවේය.

‘දේවතා කතාව පුරාණෝක්තියක් මත පදනම් වෙන්නක්. මෙය සත්‍ය පුරාණෝක්තියක්. මේ කෙටිකතාව ඇතුළත එය පරිකල්පිත පුරාණෝක්තියක් බවට පත්වෙනවා.

කෝට්ටේ සිය සීතාවකට යන රාජපුරුෂයා ඇත්තටම කවුද? ඇත්ත පුරාවෘත්තයේදී ඔහු වීදිය බණ්ඩාර විය හැකිියි; නමුත් මෙහි එය වෙනස්. ස්ත්‍රී පුරුෂ සමාජභාවය බලය ඉදිරියේ ක්‍රියාත්මක වන ආකාරයයි මෙහි කතා වෙන්නේ.

මෙය අතීතයටත් වර්තමානයටත් පොදුයි; අනාගතයේදි එය නොවීමටයි අප වගබලා ගතයුතු වෙන්නේ. මෙය ප්‍රතිකථනයක්‘

පුරාණෝක්ති කථනය සාහිත්‍යයේදී ඉතා වැදගත් ප්‍රවේශයකි. පුරාණෝක්ති හැදෑරීම නවමං විවර කිරීමකි. මේවා මිත්‍යාවන් ලෙස බැහැර කළ නොහැකිය. මේවායෙහි ඇති සමාජ යථාර්ථය තේරුම් ගැනීම වැදගත් ය. පර්යේෂණාත්මක එළැඹීම්වලට නිර්මාණකරුවන් යොමුවීම එහි නව පරාස හමු වීමට හේතුවකි.

‘ මම කුඩා කාලයේ ඉදන්ම දන්නා දේවාලයක් තියෙනවා. වරංගල දේවාලය කියලයි මේකට කියන්නෙ. විශාල ගල් පවුවක් මත ඉඳිවූ මෙහි වාර්ෂිකව ශාන්තිකර්මයක් පවා පැවැත්වෙනවා. පුරාවෘත හා ඉතිහාසය පිළිබඳ මට උනන්දුවක් තියෙන නිසා මම මේ දේවාලය ගැනත් සොයමින් සිටියා. පස්සෙ කාලයක සංස්කෘතික කටයුතු ගැන උනන්දුවක් දක්වන පර්යේෂිකාවකට ඕන වෙනවා මේ දේවාලය ගැන කරුණු සොයන්න. ඇයට කරුණු සෙවීමේදී කළ කතාබහ සහ හැදෑරීම් නිසා තමයි මගේ සිතට මේ කෙටිකතාවේ වස්තුබීජය එන්නෙ.

මම කරුණු සෙව්වට මේ පර්යේෂිකාවට ඒ ගැන සොයන්න එතැනට එන්න බැරි වුණා. ඇය බොහෝකලකට පසුව මේ ස්ථානයට එද්දි මම මේ කෙටිකතාව ලියලයි තිබුණේ‘ නිර්මාණකරුවන්ගේ අත්දැකීම් අළු යට ගිනි පුපුරු සේ වැළලී තිබෙන ඒවා ය. එක්වරම මතුවන නිර්මාණකරුවෝ සිටිති. තවත් සමහරු කාලයක් තිස්සේ තම අත්දැකීම් වැඩෙන්නට ආරලු බීරලු එක්වී හැඩවන්නට දී බලා සිටිති. එවිට සිදුවන්නේ තමා ඇතුළත එතෙක් සැඟවී තිබුණු ශක්තියට නව මානයක්, නැගිටීමක් එක් වීම ය.

එවිට බොහෝ දෙනකුගේ ජීවන පරිඥානය වෙනුවෙන් ඒ අත්දැකීම් පරිකල්පනය හා කැලතී නිර්මාණ බවට පත්වෙන්නේ ය. දේශපාලන, ආර්ථික, සාමාජීය විඳීම්වලින් කම්පනයට පත්නොවන්නේ නම් ලේඛකයකුට සමාජයක් ඥානනය කිරීමට නොලැබෙන්නේය. කීර්ති වැලිසරගේ ලේඛකයා බොහෝ දෑ දැකි, විඳි ඒවායේ කම්පනයෙන් කම්පිත වූ නිර්මාණකරුවෙකි. ඒ කම්පනය ඔහුගේ නිර්මාණවලට එක්කළ ප්‍රභාව සියවස් ගණනක් ආලෝකය විහිදුවනු ඇති බව සටහන් කර තබමි.

Comments