කවි සිළුමිණ | සිළුමිණ

කවි සිළුමිණ

ගිරි බිතඟ අප්සරා

නැඟ බසින සිය­ලුම
පිරිමි සිත් තුටු කළ
සීගිරි ගලට පිට­දුන්
ගිරි බිතඟ අප්සරා..

කාශ්‍යප මන් මත් කළ
තුනු විලේ හංස­යන්
අතින් අත ඉඳුල් වී
කැළැල් වී බිඳෙ­මින්...

නෙතින් පිරි­මැද
සිතින් විඳ­ගෙන
හෙමින් මිරි­කන
කිරි සිඳූන තිස­රුන්...

බුද­ල්නාගේ පටන්
පිරිමි සිත් අත­රින්
තැළී පොඩි­වුණ තරම්
අප්සරා තිස­රුන්...

ලිහී ගිය තන­යක
හසු නොවන අයු­රින්
මතුව එන ගැටි­ත්තකි
කාටත්ම රහ­සින්...

කපා සිඳ ඉව­තලා
හංස­යෙක් යුව­ළින්
දකි­න්නට තුටු වේද
අප්ස­රා­වක් එලෙ­සින්...

හර්ෂනී මහත්මා ආරච්චි

-----------------------

ගුරු ගීතය

ආදරේ කර පැර­දු­නා­මත් දැනෙන දුක හරි ලස්ස­නයි
අල්ති­නායි එදා වාගේම තාම මං හරි ආද­රේයි
නුඹට අම­තක පොපි­යු­ලර් ගස්, දෙක තවම තනි­යම හඬයි
එන්න ඉඳ හිට අව­ප­සක සඳ එක්ක
තාම මං නම් තනි­ක­ඩයි...

පාළු මිටි­යා­වත පුරා නුඹේ මතක මට ගතු කියයි
ඉරි­තලා ගිය පොලෝ මත මලක් නැති ගිම්හා­න­යයි
නුඹේ ඇස් දෙක මගේ මත­කෙට
එන­කොට ම නම් මට දුකයි...

වැහි කුණාටු සුළි සුළං මැද වසන්තය එනවා සත්තයි...
දිරපු සිල්පර කොටන් මත පඬු පිපුණු මල් අදත් ඇත
අල්ති­නායි එදා වගෙම රේල්ලුව යයි ඒ මත
නුඹට අම­තක සෙනෙ­හ­සක් ළඟ
අල්ති­නායි නුඹ අදත් වැල­පෙන
නිහඬ ගුරු ගීතය මම...

නිශාන්ත දස­නා­යක

----------------

 

කුල­ගෙයි කැණි­ම­ඩල බිඳී

මල්හී­සර වියරු වැටී
අනන්ත පැතු­මන් ඇවිළී
පති­කු­ලය ගිනි­ගෙන දැවේ.
.
පෙම්බර දෑසේ ගින්දර දවටා
දෙතොලේ උණු­සුම මධු බඳු­නට දී
තුන්පත් රෑනක හිස්තැන සිහි­කර
හිමි­සඳ වැලපේ අහ­සට නෙත් හැර...

නෑ කැල­කගෙ රුදු වදන් හී වැදී
රිද­වුම් ලද හද­ව­තට වාරු දී
මොල­කැටි සිරු­රක සුව නොලදූ ළය
සිය­වර වැල­පෙයි සිඟිති සිනා ළඟ...

කුමාරි රත්නා­යක

----------------------

 

ඔබ එත­රම් ලස්ස­නට දුටුවේ මොන­වාද ?

(නිමිත්ත- එක් අවු­රුදු වියැති බිලි­ඳි­යක දූෂ­ණය කර මරා දමීම.)


අරඹා නොති­බිණි පිය නැඟුම, මා දෙපා
මුව, කතා කෙරුම
සින­හ­වී­මේදී කොහෙත්ම අග­යක් නොවිණි.
එසේ තිබි­යදී පවා...

පැහැ­දිලි නොවිණි මා දෙනෙ­තට, ඒවා දුටු දේ
සියු­මැලි වැඩි විය මා දෑත්, තවම සට­නට
'මුත් එසේ තිබි­යදී පවා...

බඩ­ගා­න්නකු වීමි මම, තව­මත් බිම මත
ප්‍රාණි­යකු වීමි, අල්ලා­ගත් වදන් පම­ණක් කියනු තත­නන
ඉතින්, ඔබ දිනුවේ කෙසේද මා සැපී­මෙන්?
මගේ පැර­දුම, ඔබේ ජය වූයේ කෙසේද?
මගේ දැරිය, ඔබේ පිරි­මියා?...

ඔබ එඩි­තර කළේ, මගේ බිලි­ඳු­ක­මද?
මට කියන්න, ඔබ පෙලඹ වුණේ කුම­කින්ද?
අව­සන, මගේ කුඩා යහ­නට එන්නට
ඔබ එත­රම් ලස්ස­නට දුටුවේ මොන­වාද?
මගේ උකුළ, මගේ ළැම, දිගු කෙස් හෝ මා දෙපාද?
මගේ සුළු­දි­යෙහි හෝ දහ­දි­යෙහි සුව­ඳද?
මා පොළ­වට කර කාර බැන්ද වූ ඔබට
ඝාත­කයා, දූෂ­කයා යැයි කිය හැකිය මට.
එහෙත් කියන්න කරු­ණා­වෙන්, මගේ ජීවි­තය නාමෙන්
ඔබ එත­රම් ලස්ස­නට දුටුවේ මොන­වාද?...

ඉති­යෝ­පියා කිවි­ඳිය Misrak Terefe ගේ
What did you find so beautiful? පද්‍ය.

.Misrak Terefe අඩිස් අබා­බාහි ජීව­ත්වන ප්‍රකට, තරුණ කිවි­ඳි­යක හා රංගන ශිල්පි­නි­යක් වෙයි. ඇයTobiya Poetic Jazz කණ්ඩා­යමේ ප්‍රාර­ම්භක සාමා­ජි­කා­වක වන අතර, එම කණ්ඩා­යම Ras හෝට­ලයේ මාස්පතා ඉදි­රි­පත් කරන ප්‍රසංග ජන­ප්‍රි­යය. භාවා­ත්මක කැල­ඹීම්, අව­පා­ත­යන්, ලිංගික සාහ­සි­ක­කම් ආදි විෂ­ය­යන් ගැන බියෙන් තොරව හා විශිෂ්ට ලෙස ලියන ඈ Salt Market නමින් පද්‍ය සංග්‍ර­හ­යක් පළ කර ඇත.

පරි­ව­ර්ත­නය - දේ. වි. ගාල්ලගේ

----------------------

 

එකම පැතුම එයයි

නෙතු දැහැන් ගතව
ප්‍රේමයේ විල් දිය දෙස
බලා ඉඳියි හෙට අරුණ
සියක් පෙති පුබු­දන්න...

කුස තුළ හොවා, සඟව
කැකුළු ලා මල් කළල
පුබු­දයි කුලු­ඳුල් උපත
උදා­වෙන නව හිරුට..

හිනැ­හෙයි අරු­ණෝ­දය
එන­තුරා බිඟුන් කැළ
පෙරා මල් මක­රන්ද
සරණ මංග­ල්ල­යට...

පොර­ක­මින් දිග­හැ­රෙන
රත් පියුම් මල් කැකුළු
පෙහෙවී සොයයි තවම
බෝසත් සිරිපා පතුල...

ප්‍රියානි. පී. රණ­සිංහ
 

---------------------

 

ශාපය

ප්‍රේම­යැයි කියා
දෑගිලි බැඳ ගෙනත්
ගුටි බැටත් සමඟ
දරු කැලක් ලබා දී
හේන් වපුරා
රැක්ක අස්වනු
මධු­වි­තට දිය­කර
ඇට ගැසුණු කළු හම
වකුටු වූ විට
ගෙළ වැල­දා­ගත්
මිනි­යත් මිහි­දන් කර
මළ සැමියා ගේ
සොහො­න­ටත්
ශාප aකළාය
බිම්බා­වක් වන්නට
පෙරුම් පිරූ
දේවිකා

මල්ලිකා සිල්වා
 

-----------------------

 

වඩින්න ආනන්ද

වසුරු කඳ කරින් ගෙන
වහ වහා පිය මනින
අහිං­සක සුනී­තට
මගේ ඇම­තුම
නෑසු­නිද ආනන්ද
බිහි­රෙකු සේම
ඉවත යන සැටි වහා
දුටු­වාද ආනන්ද...

කුණු සැරව වැගි­රෙන
මිනී කුණු ඉවත් කර
ලිහා දැමු පසුත්
අමු සොහො­නින්
මා නොදු­ටුවා සේ
පලා යන සෝපාක
දුටු­වාද ආනන්ද...

උමතු වී දරු දුකින්
හඬ හඬා මහ හඬින්
මවෙත ආ කිසා­වන්
පටා­චා­රා­වන්
මා වදන් නොඅ­සාම
පිටුපා යන අයුරු
දුටු­වාද ආනන්ද...

මගදි දුටු අඟුල් මල්
ගෙල පැලඳ ඇඟිලි වැල්
ගලන රතු රුධි­රයේ
උණු­සු­මින් සැන­සෙ­මින්
පසු කළේ මා දසුන්
දුටු­වාද ආනන්ද..

කාල­යත් දීප­යත්
දේශ­යත් මේ නොවේ
හැරෙ­න්නෙමි ආපසු
පිළිම ගෙට
වඩින්න ආනන්ද..

මාලා විජේ­කෝන්

---------------------

 

ගිම්හාන කාල­යයි

මේ.. දුක් ගී ගයන
ගිම්හාන කාල­යයි
නිකිණි දොර­ගුළු ඇරෙන
මහ­පො­ළොව ඉරි තලන
ලිහිණි ගී අහිමි වී
අහස් හිත ඉකි­බිඳින
ගිම්හාන කාල­යයි...

පිළි­ව­දන් නොදො­ඩාම
වස­න්තයෙ නිල් සළුව
උනා හුද­කලා වූ
ගිම්හාන කාල­යයි...

වැල­පෙනා තුරු නෙතක
ඇස් කෙවනි කර්ක­ෂව
කඳු­ළක්ව නොවැ­ටෙන්න
වග බලා දිරි දෙනා
හුද­කලා දුක් සුසුම්
උහු­ල­ග­න්නට බැරිව
මියැ­දෙනා ....
මේ,
දුකට වග තුග ගයන
ගිම්හාන කාල­යයි...

පියුමි ජය­ක­ලණි වික්‍රම ආරච්චි.

---------------------

 

ඇසළ උදන් ගී

නැගෙන සඳ රැසින් පායා සුසි­ල්වත් දසන්තේ
හැගෙන තුටු සුපි­න්වත් සිත් සතන් වැඩී­මෙන්
ඉසෙන පිනි මලින් නෑවී ඇදි­මෙන් සුළං රැල්
පිපෙන ඇසළ මල් ඉත්තක් මුඳුුන්වේ දොහොත් දී...

ඉසි පතන දහම් නාදේ ගැලී­මෙන් තිලෝකේ
නිසි කනට වැටී දම්සක් පැවැත්මේ සොබාවේ
සිසි ලසට අමාමී සිත් සතන් මල් සුගන්දේ
විසි රුමෙකි සදා­කල් සිල් පවන් රුක් ඉහත්තේ...

සුදු පැහැති වතින් පේවී පුදා මල් පහන් ඈ
සිදු කෙරෙන කුසල් දම් පිංක­මින් යුත් විහාරේ
මුදු නතින දොහොත් දී වන්ද­නා­වෙන් සැදෑ­වත්
බුදු සිරි දළ­ඳාව යි පින් පුරන්නේ බිමේ පින්...

කතර ගම දිසාවේ තේජ­සින් යුත් සවත් දෙව්
සබර ගමු දනව්වේ සී සමන් දෙව් විමානේ
සතර මහ සදේ­වා­ලෙත් වතා­වත් පහන් කෙම්
නිතර සකල දෙව් සෙත්වේ යැදී­මෙන් පිදුම් දී...

ඉවත හැර මුදා වස් දොස් නොයෙක් රෝ නසාලා
සැපත සෙත සදා දීමෙන් සදොස් අත් මිදී­මෙන්
සුගත සිරි උදා­වී­මෙන් තිලෝනා රදුන්නේ
නියත ව ම සදා රක්කන්තු දේවෝ ලොවේ සත්..
.
සරු දහම දැකී­මෙන් නෙත් පහන් සිත් සැදී­මෙන්
ගරු­ස­රුව තබා­ගත් ලෝ දහම් මං දිගේ ගොස්
ගුරු තැනෙහි පුදා වැන්දේ දොහොත් දී දයා­වෙන්
තෙරු­ව­ණෙහි ගුණෙන් සෙත් බෝ වඩත් වා! දිනූ සත්...

නන්ද­සේන පලි­හ­ක්කාර

---------------------

සිරි­යා­ව­තීගේ අන්තිම ලියුම

හිමි­යනි,
මම ඔබට
මගෙ ම කෙස්සෙන්
බුමු­තු­රු­ණක් වියා දුනිමි
මගෙ ම ඇහි­පි­යෙන්
මෙට්ට­යක් තනා දුනිමි..

එන­මුත්,
අල්ල­පු­ගෙයි ගෑනිගෙ නිතඹ
ඔබ ඉහට වඩා සැපැති
කොට්ට­යක් වී ඇති සේ ය...

ප්‍රීති­යෙන් ඔකඳ වී
බීම­තින් ගී කිය­මින් ගෙට පැමිණ
ඌරෙකු මෙන්
ගොර­ව­මින් නිදන ඔබ දැක
මම මා කෙරෙහි ම
වෛර­යෙන් උම­තුව ගියෙමි
ඒ ගැන මට කමන්න...

මීට ඔබේ
සිරි­යා­වතී
*පසුව ලියමි:
මගෙ ම දෑතින් වියූ
මාව උහු­ලන මේ කඹේ
තව සිය­ව­සක්
ඔබේ පනි­ට්ටුව දරාවි

උද­යංග අම­ර­සේ­කර

----------------------

 

කුම­ටද...?

සෘතු­වෙන් සෘතු­වට ඇදෙන
නෙක පාට හැඟු­මන් විසුළ
ගිම්හා­න­යක බිම වැටුණු
වියළි මේපල් පතක අතු­රමි
ප්‍රියය,
ඒ තමා අපේ මතක...

හිරි­ගඩු පිපෙන සීත­ලට
සලිත හැඟු­මන්
වස්සා­නයේ නින්ද­කට යවමි
සියුම් පිරි­මැ­දු­ම­ක්වත්
නොමැති හිත­කට
කුම­ටද තවත් හැඟුම්..

ඉරේෂා සංජී­වනී
 

-------------------

 

මම තවම මංකඩේ

ඈත අහ­සට හඳක් නැතු­වට බකුසු ඇස් පිය හෙල­නවා
තරුව ළඟ සැත­පු­ම­ක්වත් නැති කළු වලා ඇස් අරි­නවා
ඉන්ද්‍ර­චා­පෙක රැස් වළලු මැද කාල පැහැ මෙන් පෙනෙ­නවා
මත් වෙවී මගෙ දුඹුරු ඇස් දෙක නොපි­යවී දඟ කර­නවා

සල්අ­ඩෙන් වැලි හලපු දෑතෙහි අත්ල රක්තව රිදෙ­නවා
පපුව මැද එහැ­ම­ටත් වැඩි­යෙන් කකිය කකියා තියෙ­නවා
කළු වලා­වක රිදී ඉර මම තාම හැම'තක හොය­නවා
ඇඹුල් ගහ උර දිරපු අත්තේ කාක්කෙක් දොස් නග­නවා

හිස මැද්දෙ කම්ම­ලක යක­ඩය වගේ හොඳ­ටම රිදෙ­නවා
මන්දි­රෙක දොර­ගුළු නොදැ­ම්මට තනිය තව තව දැනෙ­නවා
බෝ රුකේ නුඹ නමින් එල්ලුව අපල කොඩි­යත් ලෙළෙ­නවා
කළු­වරේ මංක­ඩට ඇවි­දින් දුවේ උඹ මම හොය­නවා

දේශෝ­දර ලිය­නගේ

------------------------

 

කූඩු­වක්

රිදුම් දෙන පියා­පත්
තනි­වම ම සන­සලා
පර­ඬැල් ද ඉපල් ඉති
තුඩින් ගෙන ඇවිල්ලා
එකින් එක රඳ­ව­මින්...

තුරු මුඳු­නතෙ අතු අතර
හැදුවෙ හරි ලස්ස­නට
සැඩ සුළං හැමූ වත්
නොසෙල් වෙන තාල­යට
හරි හයිය කූඩු­වක්
අපෙ කුරුලු තාත්තා ..

පිය­ඹලා කූඩු­වෙන්
හිරුගෙ ළා රැස් සමඟ
පල වැල ද ගෙන එමින්
හීන් බිම් කළු­වරේ
තුඩින් තුඩ බණ්ඩි ගෙඩි
පුර­වලා සෙනෙ­හ­සින්
මවගෙ තටු උණු­සු­මින්
රැකුණු අපෙ කැදැල්ලේ
කිචි­බි­චිය අඩු නැතුව
ගෙවිලා ගියා කාල­යක්
නැතිව හැල­හො­ල්ම­නක් ..

මහා වැසි වල­ට­වත්
නොසෙ­ල්වුණු කූඩු­වම
දෙද­රලා සුන් ව ගිය
නිමේ­ශය දුක්බ­රය
පැටව් අපි සී සි කඩ
විසි­රුනා අස­රණ ව
නාඳු­නන කුරු­ල්ලෙක්
රිංගලා .කූඩු­වට ....

වය­ලට් ප්‍රිය­ද­ර්ශනී විතා­නගේ

------------------

 

නුඹ නැතුව

රිදී බොත්තං කාකි ඇඳි වුන්
පැලේ අට කොන කැර­කුණා
ඔලුව වහ­ගන සුදු බිල්ලෙ­කුත්
මැණිකෙ මගෙ හිත ගැස්සුනා...
.
මහ හඬින් එළි කර­ක­වා­ගන
උඹ අරන් උන් ඉගි­ලුණා
හතේ බස්සෙක අල්ල­ගෙන මම
උඹේ පස්සෙන් පැන්නුවා...

ලෙහල ඉටි­කොළ පොට්ට­නි­ය­කින්
උඹෙ මූණ මට පෙන්නුවා
නැඟි­ට­පන් මයෙ අම්ම කියලා
මහ හඬින් කෑ ගැස්සුනා...

පාට පංකොල පැදුර එක්කල
රෙදි උරේ අර­ගන ඉනෙන්
රක්ෂිතේ අට­වාපු ගෙපැ­ලට
එද්දි තව මැටි තෙත පිටින්...

නොදැ­ක්කත් දරු මුණු­පු­රන් ගෙයි
අවු­රු­දුම පන­හක් ගිහින්
කවුද හිතුවේ මම දමල උඹ
යයි කියල මේ එක රැයින්...

හීනි ගොක් කොල ඉරා වට­කර
පහන ළඟ මළ­පොත කියා
පාන්දර මම යන්න යන්නම්
උඹ නැතුව මට බැරි නිසා...

රෝහිණි ජය­සේ­කර
 

-------------------

 

පැතු සෙනෙ­හස

දරා ගන්නට
නිමක් නැති තැන
බලා ඉන්නම්
නුඹව අත­හැර....

පැතු සෙනෙ­හස
දැනුණා නුඹ ළඟ
හිතේ විසි­රුණ
හීන දහ­සක...

බැදුණේ එද­වස පුදුම විදි­යට
නුඹට යටි සිත...

හිනා­වක ඉනා­වක රහස
නුඹම පම­ණයි හිටියේ
දැන ගෙන...

ඉතින් වෙන්ව යන්නම්
මා හැරි නොබලා නුඹ දෙසම...

කාලයේ වරු ගණන් ගෙවිලා
අම­තක නොවන මත­කය...

යටි සිත කෙලෙ­සක කොහොම
දරා ගන්නද
නුඹ නැති ලොක­යක් ඇති බව....

ඒ. වරුණි නිල­ක්ෂිකා

----------------------

 

මනමෙ කුම­රිට

ආද­රය ඒ මහ ගොඩක්
හදේ මිහි­දන් කරන් ඉන්නැති
දෝර ගැලු­වම සෙනෙ­හ­සක්
සම්ම­තෙන් ගිලි­හිලා යන්නැති
කිය­න්නට බෑ එහි දොසක්
දැනුණ තැන හිත නතර වෙන්නැති
ඒ පතා­ගෙන ආ පෙමක්...

ඔටුනු දැරු­වට රජෙක් දුන්නද
ආදරේ තනි අයි­ති­යක්
උසම අත්තක මලක් පිපුණේ
වෙලා පොකු­රට එක මලක්
මුරු­ග­සන් වැහි ඕනේ කත­රට
වුනේ මොක­ටද දිය පොදක්
මනමෙ කුම­රිය බිඳ දම­න්නැති
කඩුව අර­ගෙන දුක් ගඟක්...

ධනු­ද්දර නම, හිස තිය­න්නද
මැදි­යමෙ සෙනෙ­හස දැනී
කඩුව අර­ගෙන යුද වඳි­න්නද
සරාගී සයනේ පෙනී
කුමරු හැර­ගිය ආදරේ ඒ
සසරේ හුරු­වක් නොදැ­නුනී
නතර වූවා එකම බැල්මෙන්
වැද්දා ළඟ පෙම් සුව­දැනී...

ගැහැනු කැම­තිම නිවෙ­න්නට
හිස තියාලා උර­ත­ල­යට
ආද­රෙන් හිස අත ගඟා ළඟ
ප්‍රේම­යෙන් ගෙවනා දව­සට
දැනුන් නැතු­වම ගියා නම්
ඇවි­ලිලා ලේ මස් නහ­රෙට
මමත් දෙනවා හිතන් නැති­වම
කඩුව අර­ගෙන වැද්දට...

අයෝමා ඉෂාණි රණ­සිංහ

----------------------

කෘතිය - හද විල පිපි මල්

කර්තෘ - සුනිල් ඩී. මාරසිංහ

කර්තෘ ප්‍රකාශනයකි

විමසීම් - 0717771381

මිල රුපියල් - 275 පිටු - 132

මීට බොහෝ කලකට පෙර කවි පොතක් විය යුතු මේ කාව්‍ය සංග්‍රහය පළ වුයේ බොහෝ ප්‍රමාද වීය. සඳැස් කවියට මුල්තැන දෙමින් ලියැවුණ ‘ හද විල පිපි මල් ‘ කාව්‍ය සංග්‍රහයේ බොහෝ කවි සමාජයේ විවිධ පැති මානයන් පිළිබඳ ලියැවී ඇත.

බුද්ධ භක්තිය පිළිබඳ, දේශානුරාගය, මවු පිය දූදරුවන් පිළිබඳ මෙන්ම ගහ කොළ පරිසරය ගැන මෙන්ම කාලීන සමාජ ප්‍රශ්න මුල්කරගත් සිද්ධීන් පිළිබඳ බොහෝ පැති මානයන් ගෙන් ලියැවී ඇත.

සරල බස් වහරකින් මෙන්ම ගීතවත් බසකින් ලියැවී ඇති කවි සමාජය පිළිබඳ විමසා බලන්නට අපට පාර පෙන්වයි.

සමාජ බැඳීම් සිහි ගන්වමින් එකි නෙකා අතර අතැති බැඳියාවන් මෙන්ම සමාජය ඔවුන්ව දකින අයුරු හා පුද්ගල බැඳියාවන් පිළිබඳ මෙහිදි බොහෝ අවධානයෙන් ලියැවී ඇතැයි සිතේ. සාමාන්‍යයෙන් නම් කවිය ඉබේ ලියැවෙයි. එයින් කියැවෙන්නේ කවියක ඇති අපූරු බවයි.

අම්මා හැමෝටම පොදු වූ දෙයකි. ඇගේ සෙනෙහස, ඇගේ ආදරය දයාව නොලැබූ කිසිදු දරුවකු ලොව නැත. ඒ අම්මා මුළුලෝකයකි. පියා ද එසේය. දරුවකුගේ සිත බැඳුණු අම්මාත් තාත්තාත් සිහිකරමින් ඔහු කවි ලියා ඇත.

‘වැස්ස වළාහක දෙවියනි..‘ කවියා මේ ලියන්නේ වැස්ස නැතිව ස්වාභාව දහම දුක්විදින තරම ගැනය.

“තව තව උරණ වී රුදු රකුසෙකුගෙ වෙසින්

කොළපැහැ බිඳක්වත් ඇස නොම ගැසෙන ලෙසින්

නොමැතිව තෙතමනක් රිවි විහිුවන රැසින්

තුරුලිය දිසේ වියැලි පරඩැල්ව ලෙසින්

 

යක්ෂ රකුසු අද මිටුවන් දකිණු නොහී

පස්ස ගැසුවොතින් යනු ඇත සැවොම නැහි

රක්ස කරන සත වඩවන් කුලුණු ලෙහී

වැස්ස වළාහක දෙවියනි වඩිනු මෙහී“

දුවට පියාගෙන් යනුවෙන් කවි පෙළක් ලියන කවියා එහිදි මේ සමාජයතුළ දියණියක හැඳි වැඩි සිටිය යුතු ආකාරයත් අධ්‍යාපනය ලැබීය යුතු ආකාරයත් ගැන මනාව අවවාධ සපයයි. ඔහු තම පරපුරට මෙන්ම සමාජයට ද ගොඩනැගිය යුතු ආකාරය කියාදෙන ගුරුවරයකු බඳුය.

 

 

ඇති තෙක් ධනවතු ලොවේ

දිළිඳුන් හට හිඟන්න වේ

ධන සම්පත් ලෙසින් නොවේ

ලද දැනුමයි උතුම් දුවේ

 

මලක සුවඳ මිසක් ලොවේ

පැහැයෙ වටින කමක් නොවේ

අගය කොහිද ඇතත් රුවේ

යහ ගුණ නැති වුණොත් දුවේ

 

කුල ධන බල කිසිත් නොවේ

අගය මිනිස් කමයි ‍ෙලාවේ

ඇඳුමෙන් හැඩරුවින් මුවේ

නොමනිනු කිසි කෙනෙත් ලොවේ

 

පුද්ගලයා මේ සමාජය තුළ දැහැමින් දිවි ගෙවිය යුතු ආකාරය ඔහු දූදරුවන්ට ආදර්ශයක් දෙමින් කියා දක්වයි. අද සමාජය තුළ සිිටන්නවුන්ට අවශ්‍ය වන්නේ ද හොඳ ආකාරයට සමාජ ගතවීමය. වැඩිහිටියකු , අත්දැකීමස් ඇති අයකු, සමාජ පුරවැසියෙකු ලෙසින් මෙම නිර්මාණ කරුවා කමන් ලබා ඇති අත්දැකීම් ඇසුරෙන් ඒ බව සමාජයට හුවා දක්වයි. එමෙන්ම සුනිල් ඩී. මාරසිංහ කවියා මේ සමාජයට බෝ කලක් තිස්සේ සේවය කළ කවියන් වියතුන් මෙන්ම නිර්මාණකරුවන් පිළිබඳ ද කවි කිහිපයක්ම ලියා දක්වා ඇත.

 

ඔබේ කවි නිර්මාණ පහත ලිපිනයට එවන්න
කවි සිළුමිණ, ලේක්හවුස් - කොළඹ 10.
විද්යුත් තැපෑල [email protected]

Comments