ජීවිත 60,000ක් බිලිගත් ජවිපෙ 2වැනි කැරැල්ල බෝගහ යටින් මතු වූ හැටි | සිළුමිණ

ජීවිත 60,000ක් බිලිගත් ජවිපෙ 2වැනි කැරැල්ල බෝගහ යටින් මතු වූ හැටි

 

ජවිපෙ 2වැනි කැරැල්ල 1986 ආරම්භ වූවද එය බෞතිස්ම කරනු ලැබුවේ 1987 ජූලි 28වැනිදා කොටුව බෝගහ අසලින් ආරම්භ වූ උද්ඝෝෂණයෙන් සමඟය. එම 1987 වසර ආරම්භයේදී මැයි 01 දෙදෙනෙකු පොලිස් වෙඩි තැබීමෙන් මියගොස් තිබූ අතර අප්‍රේල් 15 පල්ලකැලේ හමුදා කඳවුරට පහරදි අවි පැහැරගෙන තිබිණි. එමෙන්ම ඉන්දියාව මගින් ජූනි 4වැනිදා ගුවනින් පරිප්පු හෙළන ලදී. ජූනි 7 ජවිපෙ මඟින් කටුනායක ගුවන් කඳවුරට සහ රත්මලාන ආරක්ෂක පීඨයට කඩා පැන අවි පැහැරගෙන තිබිණි. එමෙන්ම එජාප රජය මගින් ජූනි 22වැනිදා සරසවි සිසුන් 88 දෙනෙකු එක රැයින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබිණි. රට තුළ දෝලනය වූයේ මෙවැනි වාතාවරණයකි.

මේ සියල්ල අතරතුරදී ඉන්දීය රජය මගින් ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුමට පිඹුරුපත් සකස් කරගෙන යන ලදී. මේ සඳහා ඉන්දීය අගමැති රජීව් ගාන්ධි, ජනාධිපති ජයවර්ධන සමඟ සහ ප්‍රභාකරන් සමඟ නිරන්තර සාකච්ඡා පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ජෝතීන්ද්‍රනාත් ඩික්සිත් සහ අමාත්‍ය ගාමිණී දිසානායක එහි ප්‍රධාන භූමිකාව සිදු කළේය. කපුකම කළේ හින්දු පුවත්පතේ සම කර්තෘ එන්. රාම්ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 13වන වරට සංශෝධනය කරමින් පළාත් සභා හඳුන්වාදීමට යෝජිත ඉන්දු ලංකා ගිවිසුම රටටම පිළිලයක් බව අස්ගිරි සහ මල්වතු මහ නාහිමිවරුද 1987 ජූලි 9දා ප්‍රකාශ කළහ. යෝජිත ගිවිසුමට එරෙහිව අවි අමෝරාගෙන සිටියේ ජවිපෙ අදිසි නායකත්වය දුන් මව්බිම සුරකීමේ ව්‍යාපාරයයි. එහි නායකයින් වූයේ හැඩිගල්ලේ පතිස්ස මහනාහිමියෝ, මාදුළුවාවේ සෝභිත හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ආචාර්ය විලේගොඩ අරියදේව හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ඇතුළු කිහිප දෙනෙකි.

සිරිමා බණ්ඩාරනායක ප්‍රමුඛ ශ්‍රිලනිප නායකත්වයෙන් යුත් මව්බිම සුරකීමේ සංවිධානය ගිවිසුමට එරෙහිව 1987 ජුලි 28වැනිදා විරෝධතාව පැවැත්වීමට තීරණය කළේ ටවුන්හෝල්හි විහාර මහා දේවි උද්‍යානයේ බුදු පිළිමය ඉදිරිපිටදීය. ජවිපෙ අදිසි නායකත්වය දුන් මවිබිම සුරකිමේ ව්‍යාපාරය එදින විරෝධතාවය පැවැත්වීමට තීරණය කරතිබුණේ කොටුව බෝගහ අසලදීය. සමාජ ක්‍රියාකාරිකයින් පිරිසක් සිරිමා බණ්ඩාරනායක රොස්මීඩ් පෙදෙසේදී හමුවූ අතර විහාර මහා දේවි අසල විරෝධයද බෝගහ අසළට ගෙන ගොස් ආණ්ඩු විරෝධී අරගලය වඩාත් සාර්ථක කරගැනීමට එක්වන ලෙස ඉල්ලා සිටියහ. ඇය ඇතුළු ශ්‍රීලනිපයේ මවිබිම සුරකීමේ සංවිධානයට එම තීරණයට අනුගත වන්නට සිදුවිය.

කොටුව බෝගහ අසල විරෝධතාවය ආරම්භ කිරීමට තීරණය කර තිබුණේ උදෑසන 8.00ටය. එයට ප්‍රධාන හේතුව වූයේ උදෑසන දුම්රියෙන් සහ බස් රථවලින් වැඩට පැමිණෙන පිරිස්ද පාසැල් සිසුන්ද කොළඹට දිනපතා පැමිණෙන දහස් ගණන් ජනයාද එක්කර ගැනීමට ඇති එය සුදුසුම ස්ථානය බැවිනි. උදෑසන පෙරවරු 6.30ට පමණ ලේඛකයා එම ස්ථානයට යනවිට ඇතැම් ජවිපෙ නායකයින් කිහිප දෙනෙක් සහ බොහෝ ක්‍රියාකාරිකයන් කොටුව අවට විවිධ ස්ථානවලදී දක්නට ලැබිණි. ඒ අතර එච්.බී. හේරත් සහ ගාමිණි විජේගුණසේකර එහි සම්බන්ධීකාරවරුන් බවට පත්වි තිබිණි. අප සමඟ ගිය ඡායාරූප ශිල්පින් වුයේ ගාමීණි අක්මීමන සහ චන්ද්‍රසිරි වීරසිංහය. එදින එළිවනවිට යෝජිත ගිවිසුමට, බෙදුම්වාදයට සහ එජාප එරෙහිව මුළු කොළඹම රක්ත වර්ණ පෝස්ටර් සහ වැකි වලින්ද කනු කළු කොඩි වලින්ද සරසා තිබිණි.

ගිවිසුමට අගමැති ප්‍රේමදාස, ඇමතිවරුන් වන ලලිත් ඇතුළත්මුදලි සහ ගාමණී ජයසුරිය ගේ සහායක් නොමැති බවට පුවත්පත්හි මාධ්‍ය ශිර්ෂ පාඨ විය. එබැවින් එජාපය තුළ සිටි ප්‍රේමදාස හිතැති කෙසෙල්වත්තේ 200ක පමණ කාන්තාවන් ප්‍රමුඛ කණ්ඩායමක්ද පැමිණ තිබිණි. අගමැතිතුමාට ජයවේවා කියමින් හඬ නගනවා ඇසිණි. උදෑසන 9.00 පමණ වන විට කොටුව බෝගහ අසලට 3,000කට ආසන්න පිරිසක් එක්වී සිටියහ. මාදුළුවාවේ සෝභිත හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ආචාර්ය විලේගොඩ අරියදේව හිමි ඇතුළු පිරිසක් විරෝධතා ව්‍යාපාරයේ නායකත්වය ගත්තේය. මහජන මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන එහි සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළේය. ශ්‍රිලනිප නායකයින් වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, රිචඩ් පතිරණ ඇතුළු ශ්‍රිලනිප නායකයින් කිහිප දෙනෙක්ද එහි විය.

ගිවිසුමට එරෙහිව කොටුවේ දී ඇරඹෙන විරෝධතාව ආණ්ඩුව පලවා හරින දැවැන්ත සටනක වෙඩි මුරය බවට පරිවර්තනය කිරීමට ජවිපෙ 1987 ජූලි මස මුල් භාගයේ සිටම කටයුතු සූදානම් කර තිබිණි. අන්තරේ ඉහළම පෙළේ නායකයින් විශාල කණ්ඩායමක් රත්මලාන පන්සලකට 1987 ජූලි 11වැනිදා කැඳවා තිබිණි. ඩී.එම්.ආනන්ද එහිදී කියා සිටියේ සටන හරි තැනින් පටන් ගැනීමට හැකි තාක් පිරිස් කොටුව විරෝධයට එක්කර ගත යුතු බවය. ජවිපෙ නායකයෙක් වන එච්.බී හේරත්ද ජූලි මැදදී ජවිපෙ භික්ෂු අංශයේ ජාතික කමිටුවේ භික්ෂූන් වහන්සේලා අමතා කොටුව බෝගහ අසල විරෝධතාව ප්‍රබලතම සහ පුළුල්තම වැඩසටහනක් බවට පත්කිරීමට ඔවුනට වගකීම් පැවරූහ. සමස්ත සරසවි පද්ධතියද ප්‍රධාන පාසල්වල සිසු කණ්ඩායම්ද රටපුරා ප්‍රධාන නගරවලට කැඳවා ගෙන ඒමේ වැදගත්කමද ඔහු පහදා දුන්නේය. ජවිපෙ සමස්ත කාඩර්වරුන්ම රටේ ප්‍රධාන නගරවලට කැඳවා විරෝධතා ව්‍යාපාරය මෙහෙයවන්නට සැලසුම් සකස් කෙරිණි.

වසර 1987 ජූලි 28 පෙරවරු 11.30 පමණ වන විට 20,000කට ආසන්න පිරිසක් කොටුව බෝගහ අසලට එක්වූ අතර කොටුවට එන සියලු මාවත් ඔවුන්ගේ හිස් ගොඩවල්වලට වැසී තිබිණි. භික්ෂූන් වහන්සේලාගේ සෙත් පිරිත් හඬ දසත පැතිරී ගියේය. ඒ අතර තාප්පයක් මත නැඟි මිනිසෙක් පිරිස ආමන්ත්‍රණය කළේය. ඔහු ජවිපෙ නායකයෙකු වූ එච්. බී. හේරත්ය. මේවාට විසඳුම් සොයා රටේ පාලකයා සොයා රජ ගෙදරට යාමට සූදානම් වන්නැයි ප්‍රකාශ කළේය.

දසතින් කඳුළු ගෑස් ප්‍රහාර බෝගහ දෙසටත් පිරිස දෙසටත් එල්ලවූයේ ඉන් පසුවය. වෙලාව මධ්‍යහන වී තිබිණි. ජනගඟ කැලඹිණි. සිරිමා බණ්ඩාරනායක වටකරගත් ආරක්ෂක නිලධාරිහු ඇය බෝගහ අසල විහාරගෙට පළමුවද දෙවනුව වාහනයකට නංවා ගත්තාය. බේබි හාමු කොහේදැයි කලබලයෙන් ඇසූ ශ්‍රීලනිපයේ ඉන්ද්‍රපාල අබේවීර විසින් මන්ත්‍රී අනුර බණ්ඩාරනායක රැගෙන වාහනය දෙසට පියඹා ගියේය. සෑම දෙනාම කඳූළු ගෑස්වලින් නැහැවී තිබූ බැවින් තත්ත්වය ඉතා උණුසුම් විය.

මේ සියල්ල අතරතුර එක් භික්ෂුවක් පමණක් පැයක් පමණ කඳුළු ගෑස්වලට නොබියව මුහුණ දෙමින් තනියම විරෝධතාවයේ නිරතව සිටින අයුරු දක්නට ලැබිණි. පසුව ආරක්ෂක භටයින් පිරිසක් හිමිනම ඔසවා වාහනයකට දමන ලදී. එම භික්ෂුව නමින් කෑගල්ලේ විමල සාමනේර හිමිය. උන්වහන්සේ පිටුවල ධම්මකීර්ති හිමි නොහොත් ලෙනින් හාමුදුරුවන්ගේ ගෝලයෙකි. අසූවේ ජූලි වර්ජනයෙන් රැකියාව අහිමිවූ ලෙනින් හාමුදුරුවෝ ජවිපය වෙනුවෙන් ජීවිතයම කැපකළ අයෙකි. පසු කාලයේ ධම්මකීර්ති හිමි 1989 අගෝස්තු 22වැනිදා පැහැරගෙන ගොස් තිරස්චීන ලෙස ඝාතනයට ලක්වූවේය.

වෙඩි පිට වෙඩි හඬ ඇසිණි. කළුවන් දුම් රොටුවලින් අහස් කුසේ දිස්විය. ඒ බස් ගිනි තැබීමෙනි. මිනිසුන් හිස් ලූ ලූ අත දිවූහ. පිරිස කණ්ඩායම් වශයෙන් පැති කිහිපයකට බෙදී ගියෝය. සූදානම්කළ සටන්පාඨ පත්‍රිකා බෙදා හැරිණි. ගිවිසුම් සහ ආණ්ඩු විරෝධී සටන්පාඨ හඬ නැඟිණි. ලේක්හවුසිය ඇතුළු ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල විය. සතර අතට පෙළපාළි 10ක් පමණ විසිර ගිය අතර ඒ සෑම පෙළපාළියකම දහසකට අධික පිරිසක් විය.

ගිවිසුම් විරෝධී එම අරගලයේදී කොටුව බෝගහ අසල වෙඩි තැබීමෙන් ප්‍රථමයෙන් මියගියේ මොරටු සරසවියේ ඉංජිනේරු පීඨයේ සිසු ක්ලිෆඩ් පෙරේරාය. සමස්ත ලංකා වෘත්තිය සමිති සම්මේලනයේ කාර්යාල භාරකරු පාතේගම මාතුපාල විසින් බිම ඇදවැටුණු ක්ලිෆඩ් ඔසවා ගත්තේය. මාතුපාලගේ අතටද වෙඩි උණ්ඩයක් වැදිණි. එම ස්ථානයේම මොරටු සරසවියේ සිසු නිමල් ලියනගේ ඇතුළු 21 දෙනෙකුගේ සිරුරු සවස්වන විට කොළඹ රෝහලේ මෘතශරීරාගාරයට ගෙනවිත් තිබිණි. ඉන් දෙදෙනෙක් හඳුනාගත නොහැකි විය. ක්ලිෆඩ්ගේ පියා සේවය කළේ මිලර්ස් ආයතනයේය. පසුදින ඔහු හඳුනාගත් පුතාගේ සිරුර රෝහලෙන් ගෙනයෑමටද ලේඛකයා සහාය වූ අතර තම පාසැලේ සමකාලිනයෙකු වූ ක්ලිෆඩ්ගේ අවසන් කටයුතුවලටද සහභාගි විය.

බෝගහ අසලින් බෞතිස්ම කළ ජවිපෙ 2වැනි කැරැල්ල රටපුරාම පැතිර ගියේය. වසර 1987 ජූලි 28 සිට අගෝස්තු 02 දක්වා පැවති. ගිවිසුම් විරෝධතාවයන්හිදී වෙඩි ප්‍රහාරවලින් විරෝධතාකරුවන් 132ක් මිය ගියෝය. භික්ෂූන් 56 දෙනෙකු ඇතුළු 712ක් අත්අඩංගුවට ගෙන තිබිණි. එම දින 05 තුළ ප්‍රචණ්ඩ ක්‍රියා සිද්ධීන් 2,527ක් සිදුවූ බව රජය ප්‍රකාශ කළේය. එජාප ආණ්ඩුවේ ජනතා විරෝධී ක්‍රියාමාර්ග වලට එරෙහිව ජනතා දැනුවත්කර සංවිධාන ගත කරනවාට වඩා ජනතාව පීඩාවට පත්වන ආකාරයේ ක්‍රියාවන්ට බෝගහ යටින් ආරම්භ වූ 2වැනි කැරැල්ල සමඟ ජවිපෙ අවතීර්ණ විය.

එම දින 5 තුළදී ජවිපෙ කැරලිකරුවන් විසින් තංගල්ල එජාප මන්ත්‍රී ජිනදාස වීරසිංහ ඝාතනය කළේ 1987 ජූලි 31වැනිදාය. අගුණකොලපැලැස්සේදී විරෝධතාකරුවන්ට මැදීවූ මන්ත්‍රීවරයා වෙඩිතබා මරා දමා තිබිණි. ඩඩ්ලි සේනානායක අගමැතිතුමාගේ කාලයේ ගම් සභාපතිවරයෙකු වූ ඔහුගේ ඝාතනයෙන් පසු චිට් මන්ත්‍රී ධූරයට පත් කළේ ඔහුගේ පුතාය.

රජය 1987 ජූලි 28 රාත්‍රියේ ඇදිරි නීතිය පැනවීය. ගිවිසුම අත්සන් කිරීමට රජීව් ගාන්ධි එන බවට වාර්තා විය. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට නියමිතව තිබුණේ 1987 ජූලි 29වැනිදා පස්වරුවේය. ඉන්දු ලංකා ගිවිසුම ක්‍රියාත්මක කිරීමට පෙර රටපුරා එයට එරෙහිව නායකත්වය දෙන්නේයැයි තොරතුරු ලැබී ඇති සියලුම සරසවි සිසු නායකයින් අත්අඩංගුවට ගැනීමේ මහා මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළේය. ඒ අනුව එක් රැයින් එම මෙහෙයුම ක්‍රියාත්මක විණි. ඒ සරසවි සිසුන් අත්අඩංගුවට ගත් දීපව්‍යාප්ත මෙහෙයුම ක්‍රියාත්මක වුණේ 1987 ජූනි 22වැනිදා මහ රෑය. රහස් පොලිස් වාර්තා අනුව සරසවි සිසුන් 310ක් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම ක්‍රියාත්මක විය. මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේදී කොළඹ, කැලණිය, මොරටුව සහ ජයවර්ධනපුර සරසවියන්හි සිසු නායකයින් අත්අඩංගුවට ගැනිමට රජයට සහාය වුයේ කොළඹ සරසවියේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක කේ.එල්. ධර්මසිරි ඇතුළු පිරිසකි. එහෙත් අදාළ ස්ථානයන්හිදී අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ සිසු නායකයින් 88 දෙනෙකු පමණි. ඒ අතර ශිෂ්‍යාවක් සහ පැවිදි හිමිවරුන් 10දෙනෙකුද විය. එවැනි මෙහෙයුමක් පිළිබඳව තෙදිනකට පමණ පෙර යම් ඉවක් වැටී තිබුණු හෙයින් බොහෝ දෙනා සිය නවාතැන් වෙනස්කර තිබිණි. එය එකවර අත්අඩංගුවට ගත් විශාලතම සරසවි සිසු පිරිස විය.

ඒ අතරට කොළඹ සරසවියේ ගෙවිදු කුමාරතුංග, පුෂ්ප විතානගේ, හේමන්ත චන්ද්‍රසිරි, අනූප පැස්කුවල්, ආයුර්වේද පීඨයේ නිමල් කරුණාසිරිද පේරාදෙණි සරසවියේ රංජිතම් ගුණරත්නම්, අයි. බාලසූරිය, නයනා ප්‍රේමසිරි, කීර්ති කුමාර මද්දුමපටබැදිගේ, එස්.ඊ. මොල්ලිගොඩ, අතුරලියේ රතන හිමි, ඇතුළු කිහිප දෙනෙක්ම එක් වූහ.

එමෙන්ම මොරටු සරසවි සිසුන් වූ සුනිල් ශාන්ත, අශෝක අභයගුණවර්ධනද රුහුණු සරසවියේ ඩී.ආර්. නිශ්ශංක, ඩේමියන් වීරක්කොඩි, නිමල් ඩී. රුවන්පතිරණ, දේව මයිකල් පෙරේරා, බී.එල්.කේ. නන්දසේනද ජයවර්ධනපුර සරසවි සිසුන් වු නන්දසිරි, සමරතුංග, කමල් ප්‍රනාන්දුද, කැලණිය සරසවියෙන් මොහාන්ලාල් වල්ගමගේ, රුවන් වසන්ත, බලහරුවේ සෝම හිමි, සේනාධීර, ඇතුළු පිරිසක් ඒ අතර වූහ.

මෙසේ අත්අඩංගුවට ගත් 88 දෙනාගෙන් 71 දෙනෙකු කොළඹ මැගසින් බන්ධනාගාරයට ගෙනවිත් රඳවා තැබිණි. ඔවුනට පහරදීමක් සිදු නොවූ අතර රජයේ එකම අරමුණ වූයේ ඉන්දු ලංකා ගිවිසුම අත්සන්කර නිමවන තෙක් රඳවා තැබීමය. හදිසි නීති රෙගුලාසි 87 යටතේ රඳවාගත් ඔවුන් බැලීමට ඔවුන්ගේ කිට්ටු ඥාතීන්ට අවසර ලැබූණේ සතියකට දෙවරක් පමණි. එම සරසවි සිසු නායකයින්ට අමතරව ජවිපෙ ක්‍රියාකාරිකයින් 55 දෙනෙක්ද අත්අඩංගුවට ගෙන රඳවා තිබිණි. ඔවුන් අතර සමන් වික්‍රමබන්දු, ගාමිණී ජයලත්, බුද්ධදාස විතානාරච්චිද විය. ඉහත සරසවි සිසුන් 88 දෙනා අතරින් 6 දෙනෙක් හැර අනිකුත් අය 1987 අගෝස්තු මස 05වනදා වන විට කොටස් කිහිපයක් වශයෙන් නිදහස් කර තිබිණි.

Comments