ලෝකයම ඔලිම්පික් සරණ ලැබිය යුතු කාලය එළඹ ඇත | සිළුමිණ

ලෝකයම ඔලිම්පික් සරණ ලැබිය යුතු කාලය එළඹ ඇත

 

‘ක්‍රීඩාව මේ වන විට ලොව පුරා ක්‍රියාත්මක වන්නේ පුළුල් වෙළෙඳ පොළක් ඉලක්ක කර ගනිමිනුයි. ඔලිම්පික් සාරධර්මයන්ට වඩා මේ කියන වෙළෙඳ ඉලක්ක හේතුවෙන් ක්‍රීඩාවේ සාරධර්ම බොහෝ දුරට පිරිහෙමින් ඇති බව අපට පිළිගන්නට සිදුවෙනවා. වේගය වැඩිදියුණු කරන, ශක්තිය ප්‍රවර්ධනය කරන විවිධ උත්තේජක මහා මාෆියාවක් බවට පත්ව ඔලිම්පික් ක්‍රීඩාවේ ගුණාත්මක භාවය යටපත් කරමින් අඳුරු සෙවණැලි ගොඩනංවමින් ඇත්තේ එවැනි පසුබිමකයි. අප තවදුරටත් ඔලිම්පික් සම්බන්ධයෙන් කතා කරන්නේ එවැනි පසුබිමක් මත සිටගෙනයි.’

ලොව පුරා අපට අසන්නට දකින්නට ලැබෙන්නේ නොසන්සුන් භාවය ය. සම්පත් සීමා සහිත වීම නිසා ඇති වන අර්බුදයන්ගෙන් ලෝකය පිරීතිරී ඇත. දරිද්‍රතාවයේ අරගල නිර්මාණය වන්නේ දේශපාලන අරගල වශයෙනි. එහෙත් කොවිඩ් වසංගතය ලොව තුළ නිර්මාණය කර ඇති භීතිය සිහිපත් කරන්නේ පවතින සම්පත් සඳහා යුද වැදී බෙදී වෙන් වී සිටීමට වඩා, වඩාත් විශ්වසනීයත්වයෙන් හා සහෝදරත්වයෙන් කටයුතු කළ යුතු බවයි. ලෝකයේ තිස් දෙවැනි නූතන ඔලිම්පික් උළෙල ආරම්භ වී තිබේ. මේ ලිපිය ඔලිම්පික් සංකල්පය සම්බන්ධ ව කැලණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ කථිකාචාරිනී අනෝමා රත්නායක දැක්වූ අදහස්වලින් සකස් වන්නකි.

ආකල්ප වෙනස් වූ විට මිනිසුන් ක්‍රියා කරන්නේ ඔවුන්ට අවශ්‍ය අවශ්‍ය ආකාරයට. ඒ නිසා පිරිසිදු ඔලිම්පික් තරගාවලියක නියම රසය විඳින්නට අසීරුතා ඇති වෙන්න පුළුවන්. වර්තමානය වන විට ඔලිම්පික් ක්‍රීඩාවේ සැබෑ ස්වරූපය තරගකාරීත්වය පෙරටු කර ගෙන නිර්මාණය වී ඇත්තේ ඒ නිසායි.

පාරිශුද්ධ ඔලිම්පික් සංකල්පයට ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, වංචාව, පාවා දීම, අසාධාරණය වැනි අපිරිසිදු දෑ එන්නත් කළ හොත් එය ගැටලුවක් නිර්මාණය කරනවා. ජය පමණක් ම අරමුණු කර ගත්විට මිනිසුන් ක්‍රීඩාශීලිත්වය අතරමඟක අතහැර දානවා.

ලෝකය දෙස බලන විට මෙය භයානක තත්ත්වයක්. මේ නිසා අප රටත් බහුතර රටවල් ප්‍රමාණයකුත් නිවැරැදි ව ක්‍රීඩාවේ සැබෑ සංකල්පය මනසට අරගෙන නැති බවක් පෙනෙන්ට තිබෙනවා. අපේ රටේ මිනිස්සුන් ගේ අපේක්ෂාව පදක්කමකට සීමා වීම කනගාටුදායක තත්ත්වයක්. එය අපේ ක්‍රීඩාව සෙසු රටවල ක්‍රීඩාව හමුවේ පසුබැස්මකට හේතු සාධක කරලා තිබෙනවා.

ඔලිම්පික් ආකල්පවලින් පෝෂණය වන විට නිතැතින්ම ඔලිම්පික් ජය ගත්තා හා සමාන තත්ත්වයක් නිර්මාණය වෙනවා.

අනික ඔලිමිපික් වටිනාකම් පිළිබඳ ව දන්නා උදවිය ඒවා සමාජයට බෙදා දෙන්නට කටයුතු කරන්නේ අඩුවෙන්. රටක ජනමාධ්‍ය පවා ඔලිම්පික් මඟින් ලබා ගන්නට හැකි දේවල් ව්‍යාප්ත කරන්නට මැළි වෙලා ඇති බවක් පෙනෙනවා.

මේ පිළිබඳ ව ඇති දැනුවත් බව සමාජය තුළ වැඩිදියුණු කිරීමට කටයුතු කළ යුතුයි. සැබෑ වටිනාකම් ඇති නායකයන් බවට ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීම සිදු කළ යුතුයි. මේ සඳහා භාවිත කළ හැකි එකම මාධ්‍ය වන්නේ ඔලිමිපික් සංකල්පයි. එහෙයින් ලාංකේය පුරවැසියකු වන ඔබ අප සියලු දෙනා ම ඔලිම්පික් පිළිබඳ ව දැනුවත් බව අතිශය වැදගත් යැයි අප පවසන්නේ ඒ හේතුවෙනුයි.

එවිට රටක් තුළ වෙසෙන කිසිදු ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවකට අගතියක් සිදු නොකරන පසුබිමක් නිර්මාණය වෙනවා. ක්‍රීඩාව අවභාවිත කරන්නට කිසිවෙක් නොපෙලඹෙන තත්ත්වයක් නිර්මාණය කර ගන්න හැකි වෙනවා. වේදනාවෙන් ක්‍රීඩාව අතහැර යන්නන් වෙනුවට ක්‍රීඩාවෙන් ඈත් වීම දුකක් ලෙස විශ්වාස කරන පිරිසක් නිර්මාණය වෙනවා. එවිට ඔවුන් ක්‍රීඩාවෙන් සමුගත් පසු ක්‍රීඩාවට අදාළ වෘත්තියකට ම යොමු වන්නත්, තව තවත් ක්‍රීඩකයන් රට ඇතුළේ නිර්මාණය කිරීමටත් ඉදිරිපත් වන්නේ එවිටයි. එවිට ක්‍රීඩාව නිසි වෘත්තීය ස්වභාවය අත්පත් කර ගන්නවා

ක්‍රීඩාව යනු සමාජය බෙදා වෙන් කරන උපාංගයක් හෝ උපකරණයක් නොවෙයි. එමඟින් කිසිදා කිසිවෙක් උපහාසයට ලක් කරන්නට ක්‍රීඩාව කටයුතු කරන්නේ නෑ. ක්‍රීඩක ක්‍රීඩිකාවන් විවේචනය නොකරන පරිසරයක් සකස් වෙනවා. ඒ සඳහා ඔලිම්පික් වටිනාකම් පිළිබඳ ව අවබෝධයෙන් යුතුව ක්‍රීඩාව පරිහරණය කිරීම උචිත ක්‍රියාවලියක්.

වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයකු/ක්‍රීඩිකාවට ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීම ගෞරවාන්විත සමාජ තත්ත්වයක් නිර්මාණය කරනවා. එවිට ඔහු හෝ ඇය ඔලිම්පික් ක්‍රීඩාව වෙනුවෙන් දායක වූ සුවිශේෂී පිරිසට එක්වීම සිදු වෙනවා. ඒ වගේමයි ක්‍රීඩාවේ ඇති ශක්තීමත්භාවය නිසි ලෙස සමාජගත කිරීමට ඔලිම්පික් ජයග්‍රහණයන්ට හැකියාව ලැබෙනවා. යමක් සාර්ථකව නිම කිරීමට අවැසි මාර්ගෝපදේශයන් ලබා ගැනීමට එමඟින් අවස්ථාවක් නිර්මාණය කරනවා. මේ අනුව බලන කල ඔලිම්පික් ජයග්‍රහණයක් යනු මිල කළ නොහැකි අගයක් සනිටුහන් කර ගැනීමක්.

ඒත් ඔබ ඔලිම්පික් විශිෂ්ටයකු වීමට ඔලිම්පික් පදක්කමක් දිනා තිබීම ම අත්‍යවශ්‍ය වන්නේ නැහැ. අත්‍යවශ්‍ය වන්නේ ඔලිම්පික් වටිනාකම් ජීවිතයට මුසු කරමින් යහපත් පුරවැසියකු ලෙස සමාජයට අවතීර්ණ වීමයි. එවිට මුළු ලොවක් අභිමුව සිටින විශිෂ්ට ජන කොටසක් බවට පත්වීමේ විරුදාවලිය එවැනි ක්‍රීඩාශීලි ක්‍රීඩකයන් බිහි කළ ජාතියට උරුම වෙනවා. මේ සඳහා කිසිදු මුදලක් වැය කිරීමට අවශ්‍ය වන්නේ නෑහැ. ඔබ පරිහරණය කළ යුත්තේ, පුරුදු පුහුණු කළ යුතු වන්නේ ඔලිම්පික් වටිනාකම් පමණයි.

ඔලිම්පික් ක්‍රීඩා යනු පුද්ගලයන් විශිෂ්ටත්වයට පත් කරන තෝතැන්නකැයි කිව යුත්තේ එසේයි. ඒ නිසා ඔබ ජීවිතයේ, පාසලේ, විශ්වවිද්‍යාලයේ, සමාජයේ, රැකියා ස්ථානයේ, නිවෙසේ දී, දෙස් විදෙස්හි සමාජයේ ඕනෑම අවස්ථාවක දී විශිෂ්ටයකු බවට පත් වීමට නම් ඔබ අනිවාර්යයෙන්ම ඔලිම්පික් වටිනාකම් ඇසුරු කළ අයකු වීම වැදගත්. එබැවින් ආත්මාර්ථකාමීත්වය වෙනුවට මුළු සමාජය ඉදිරියේ ම ඔබ දක්ෂයකු වන්නේ පදක්කමක් පැලඳගත් පමණින් නොව ඔලිම්පික් සංකල්පයන්ගේ ගුණ සුවඳ තවරාගෙන ඒ සුවඳ ලෝකයට ගලා යන්නට සලස්වා ඇති විට බව කිව යුතුයි.

කාන්ති ජයසිංහ

 

Comments