මාව දිනෙව්වේ දැඩි අධිෂ්ඨානයයි සුසන්තිකා | සිළුමිණ

මාව දිනෙව්වේ දැඩි අධිෂ්ඨානයයි සුසන්තිකා

 

ඇස් වහ කට වහ වදිනවට මම බයයි

සිඩ්නි පිටියේ දී මගේ පපුව දෙමෝලෙන් පිටි කොටනවා වගේ සද්ද කළා

දිනනවාමයි කියලා හොඳ ආත්ම විශ්වාසයක් මට තිබුණා

ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි ඔලිම්පික් පදක්කම දිනා දුන්නේ සුපිරි ධාවිකා සුසන්තිකා ජයසිංහ ය. ඩන්කන් වයිට් ඔලිම්පික් පදක්කමක් දිනා ගත්තාට පසු එවැනි දස්කමක් දැක්වූ පළමු ක්‍රීඩිකාව වූයේ ඇය ය. මේ ඇගේ ඔලිම්පික් පදක්කම ජයගැනීම පිටුපස කතාව ය.

‘මම නිතරම පිරිත් සජ්ඣායනා කළා. දැඩි අධිෂ්ඨාන ශක්තියක් ඇති කර ගත්තා. නිසි පුහුණුවක් ලැබුවා. ඒ නිසා මට ලෝකයේ දක්ෂතම ධාවිකාවන් තිදෙනා අතරට පත්වීමේ භාග්‍ය උදා වුණා.’ යැයි ‘ක්‍රීඩා’ හා සංවාදයකට එක් වෙමින් සුසන්තිකා ජයසිංහ පැවසුවා ය.

‘යමෙකුට අම්මා තාත්තා නැති වුණාම කන්න බොන්න බැරි වෙනවා. සමහර වෙලාවට දරුවකු ලැබෙන්න ඉන්නකොටත් අම්මා කෙනෙකුට කෑම ගන්න පිරියක් නැති වෙනවා. මටත් ඔලිම්පික් කිට්ටු වෙන්න කිට්ටු වෙන්න කිසියම් මානසික පීඩාකාරී තත්ත්වයක් ඇති වුණා. කන්න බැරි වුණා. ඒක මම නැති කර ගත්තේ පිරිත, ගීතයට සවන් යොමු කරලා. ඒ වගේම අධිෂ්ඨානය ඉවහල් කර ගෙනයි.

සිඩ්නි ඔලිම්පික් උළෙල ඉතාමත් හැඟීම්බර ක්‍රීඩා උළෙලක්. ක්‍රීඩා පිටියට පය තබන විටම මට වීරයෙක් කියන හැඟීම ඇති වුණා. මම එදා හොඳ උද්යෝගයකින් හිටියේ.

ඒ වෙද්දී මම මීටර් 100, මීටර් 200 ඉසව්වන්ගෙන් කැපී පෙනෙන දක්ෂතා දක්වලා ජාත්‍යන්තර පදක්කම් හිමි කර ගෙන සිටියා.

නමුත් සිඩ්නි ඔලිම්පික් තරගාවලියට සහභාගි වුණු බහුතරයක් මගෙත් එක්ක හිටියේ නෑ. මට ඒ වෙනස දැනුණා. ඔවුන්ගෙන් සමහරෙක් මගේ ගමන් මල්ලවත් ළඟ තියාගන්න බය වුණා. එදා මම ලංකාවේ කණ්ඩායම එක්ක යහපත් සංවාදයක හිටියේත් නෑ.

මොකද මට මගේ මනස නිදහස් ව හා ශක්තිමත් ව තියාගන්න ඕනෑ වුණා. එහෙම නැතිව ඒ මනසට අනවශ්‍ය ගැටලු කාන්දු කර ගන්න මට අවශ්‍ය වුණේ නෑ. යමෙක් යම් ගැටලු සහගත දෙයක් කිව්වොත් මට පසුදින තරගයට බලපෑමක් ඇති වෙයි කියලා මම හිටියේ තැති ගැන්මෙන්. මම අපේ ගැමි සංස්කෘතික කාරණා ගැන ටිකක් විතර හිතන කෙනෙක්. ඇස්වහ කටවහ කියලා දෙයක් ඇතැයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මම ඒ කාලයම හිටියේ තනියමයි.

තරගය වෙලාවේ මංතීරුව උඩට ගියාම මගේ පපුව ‘ඩග් ඩග්’ ගාලා ගැහෙන්න ගත්තා. මගේ පුහුණුකරු ටෝනි හොඳ ඇඟ උණුසුම් ව්‍යායාම කෙරෙව්වා. ඒකත් මගේ ජයග්‍රහණයට තවත් හේතුවක් වුණා.

මේරියන්ස් ජෝන්ස් ගැන නම් මට පෞද්ගලික බියක් තිබුණේ නැහැ. මගේ ජයග්‍රහණය පමණයි මට ඇතිවූ එකම හැඟීම, පිඩනය.

මම ලෝකයේ දක්ෂතම තිදෙනා අතරට තේරුණාට පස්සේ මට උවමනා වුණේ හැකි ඉක්මනට මගේ මවුබිමට එන්නයි. මොකද මට මතක් වුණේ මාව පිළිගන්න මගේ රටේ මිනිස්සු බලන් ඇති කියලයි. පුදුම සතුටක් තමයි ඇති වුණේ ඒක වචනෙන් කියලා විස්තර කරන්න බැහැ. ඒක දන්නේ ලෝක ජයග්‍රහණ ලබපු කෙනෙක් පමණයි.

එදා මා ලංකාවට ආවිට ගුවන් තොටුපළේ සිට මගේ නිවෙස දක්වා පිළිගැනීම් තිබුණා. මහ සෙනඟක් මල් මාලා දාලා පිළිගත්තා. තරාතිරම නොබලා ලොකු පොඩි කවුරුත් පිළිගත්තා. ඒ ලෝක ජයග්‍රහණ නිසාම අදටත් අපේ ශ්‍රී ලාංකිකයන් මාව ඉහළින් පිළිගන්නවා.

සාමාන්‍යයෙන් මට තරග ආරම්භයේ ප්‍රමාද වීමේ දෝෂයක් ඇති වෙනවා. නමුත් මීටර් 200 කියන්නේ දුර ප්‍රමාණය ටිකක් වැඩි නිසා ආරම්භක ප්‍රමාදය ඊට බලපාන්නේ නැහැ. නමුත් මීටර් 100 දී නම් එම ප්‍රමාදය හොඳින්ම බලපානවා. සිඩ්නි ඔලිම්පික්වලදී මම දිනයි කියා එදා කවුරුත් විශ්වාස කළේ නැහැ.’ ඈ කීවේ සන්තුෂ්ඨියෙනි.

‘නමුත් දිනනවාමයි කියලා මා තුළ හොඳ ආත්ම විශ්වාසයක් තිබුණා. එදා හිටිය ක්‍රීඩා නිලධාරීන් ගැන මම සතුටු වෙන්නේ නෑ. අදත් මේ කියන නිලධාරීන් වෙනස් වෙලා නෑ. ඒ තත්ත්වය ක්‍රීඩාව ආපස්සට යන්න ප්‍රබල හේතුවක්.

ඔලිම්පික් ක්‍රීඩාව වසර හතරකට වරක් එන ‍ඓතිහාසික ක්‍රීඩා තරගාවලියක්. ඒ වුණාට හැම අවුරුද්දෙම අපිට සමීප ව හිටපු අය තමයි ඔලිම්පික් දුවන්න එන්නේ.

ලෝකයේ ඉන්න හොඳම 8,10 දෙනා යුරෝපයේ පුරාවට කොහේ කොහේ හෝ කැරකෙනවා. අපි අවුරුදේ ඕෆ් සීසන් එකේ සිට බලනවා මොන තරගද තියෙන්නේ කියලා. ඒවා ඉලක්ක කර පුහුණුවීම් කරනවා. මගේ හිටපු අමෙරිකානු පුහුණුකරු ටෝනි හොයා ‍ගැනීමෙන් මා විශාල ප්‍රගතියක් ලැබුවා. ටෝනි මට සොයලා දුන්නේ ලංකාවෙම කට්ටියක්. ඒ කාලේ මට ප්‍රශ්න එන විට රාජ්‍ය මට්ටමින් සහයෝගය ලැබුණා.

අන්තිමට මට මගේ කැපවීම, විධිමත් පුහුණුව හා දැඩි අධිෂ්ඨානය උපයෝගී කර ගනිමින් මගේ ඉලක්කය කරා යෑමට හැකි වුණා.

මම අලුතින් ක්ෂේත්‍රයට පිවිසෙන අයට කියන්නේ මුහුද හත්ගව්වක් තියෙද්දී අමුඩ ගහන්න එපා. ජාතික ශුරයා වෙන්න. දකුණු ආසියාවෙන් අංක එක වෙන්න. ආසියාවෙන් එක වෙන්න. ඉන්පසු ඔලිම්පික් යන්න හිතන්න. එක පාරටම ඔලිම්පික් නොසිතා පියවරෙන් පියවර ඔලිම්පික් යන්න උත්සාහ ගන්න. එවිට ඔබට වරදින්නේ නෑ. හැබැයි ඒ වෙනුවෙන් දැඩි අධිෂ්ඨානයක් උද්යෝගයක් පවත්වා ගන්න අමතක කරන්න එපා.

 

උදුලා පීරිස්

Comments