ඵලදායී ආයෝජනය ව්‍යාපාරික පන්තියෙන් ටෝකියෝ යාම ට ඔබ්බෙන් පවතින්නකි | සිළුමිණ

ඵලදායී ආයෝජනය ව්‍යාපාරික පන්තියෙන් ටෝකියෝ යාම ට ඔබ්බෙන් පවතින්නකි

 

ආයෝජනයන් සිදුකළ යුත්තේ ඒ සම්බන්ධයෙන් දීර්ඝ කාලීනව සලකා බලා ය. එමගින් විවිධ ප්‍රතිලාභ අපේක්ෂා කළ යුතු ය. එය ලාභය, කීර්තිය, යසස ආදී ඕනෑම අදියරක් සංතෘප්ත කරගැනීමේ අරමුණෙන් සිදුකළ හැකි ය.

රටක්, සමාජයක් වශයෙන් අප සැමවිටම කතාකරනුයේ ඵලදායී ආයෝජනයක අවශ්‍යතාව පිළිබඳවය. එහිදී ක්‍රීඩාව රටක සමාජ සුරක්ෂාවේ මහා ආයෝජනය ය. එකී ආයෝජනය නිවැරදිව සිදුකළ යුතු ආකාරය ගැන විවිධ කතිකා නිර්මාණය වෙමින් තිබේ. ඒ අතර මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වන්නේ ජපානයේ ඇරැඹී ඇති තිස් දෙවැනි ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගිවන ක්‍රීඩක, ක්‍රීඩිකාවන් හා එකී ආයෝජන ක්‍රියාවලිය සම්බන්ධව ය.

ඔලිම්පික් යනු දැවැන්ත සාමජයීය ආයෝජනයකි. මෙවර ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෝකියෝවට ගොස් සිටින ක්‍රීඩකයන් වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය විශේෂ මූල්‍ය ආයෝජනයක් සිදුකරන බව පසුගියදා ප්‍රකාශ වුණේ ය. ඒ අදාළ තරගාවලියට සහභාගිවන ක්‍රීඩකයන් නව දෙනාට හා ඔවුන්ගේ පුහුණුකරුවනට මූල්‍ය තිළිණ ප්‍රදානය කරමිනි.

එම මූල්‍ය ප්‍රදානය සුවිශේෂී ය. ක්‍රීඩා අමාත්‍යාංශය පවසන ආකාරයට එය රුපියල් ලක්ෂ හාරසිය හැට දෙකකි. රුපියල් මිලියන නම් 46.2 කි. අප වැනි රටක ආර්ථික න්‍යාය පත්‍රය හා සලකන කල එය සුවිශාල වියපැහැදම් කිරීමකි.

එම මූල්‍ය ආයෝජනය සිදුකර ඇත්තේ අදියර කීපයක් යටතේ ය. පළමු ඇගයුම් තලය ලෙස සැලකෙන්නේ ඔලිම්පික් සහභාගිත්වය සඳහා සෘජුව සුදුසුකම් ලැබීමේ පදනමයි. ඒ යටතේ ශ්‍රේණිගත වන ක්‍රීඩකයන් තිදෙනෙකු උදෙසා අමෙරිකානු ඩොලර් පහළොස් දහසක මූල්‍ය ප්‍රදානයක් සිදුකර තිබේ.

දෙවැනි අදියරේ ප්‍රතිලාභීන් වන්නේ වෙනත් පදනමකින් ඔලිම්පික් සුදුසුකම් ලැබූවන් සම්බන්ධයෙනි. ඔවුනට ක්‍රීඩා අමාත්‍යාංශය අමෙරිකානු ඩොලර් දස දහසක ප්‍රදානයක් හිමිකරදී තිබේ. එම අදියරට යටත්ව ප්‍රතිලාභ ලබන ක්‍රීඩක සංඛ්‍යාව හයකි.

පළමු හෝ දෙවැනි පදනම යටතේ මෙරට ක්‍රීඩකයන් නව දෙනාට ඔලිම්පික් සහභාගිත්වයට පුහුණු උපදෙස් ලබාදුන් පුහුණුකරුවන් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් පන් දහස බැගින් මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට ද මෙහිදි අමතක කර නැත. එය ප්‍රශස්ත තීරණයකි.

ඊට අතිරේකව ටෝකියෝව බලා යන ගුවන් ගමනේ දී ව්‍යාපාරික පන්තියෙන් ගමන් කිරීමේ පහසුකම, දෛනිකව ඩොලර් හතළිහේ දීමනාවක් ප්‍රදානය කිරීම මෙන්ම සහභාගිවීමට පෙර තරු පන්තියේ හෝටලයක ජීව බුබුළක් තුළ නිරෝධායය කිරීමට ද මෙවර ක්‍රීඩකයන්ට අවස්ථාව උදාකර තිබුණේ ය. ටෝකියෝවේ දී ද ජපානයේ තරු පංතියේ හෝටලයක ලැගුම් ගන්නට අවස්ථාව සලසන බව ද පැවසිණි.

මෙම තීන්දු තීරණයන් වත්මන් ඔලිම්පික් කණ්ඩායම විෂයේ ඉතා වැදගත් ඒවා ය. එහෙත් ඒවා අපේක්ෂිත තරමටම ඵලදායීත්වය උදා කරගන්නේ තිරසර ප්‍රතිපත්තියක් බවට පත්වන්නේ නම් පමණි. අප එසේ කියන්නේ ටයි පටිය වෙනස් වනවිට වෙනස් කෙරෙන ප්‍රතිපත්ති ආයෝජන ලෙස සැලකිය නොහැකි හෙයිනි. ඵලදායී ආයෝජන නම් පාට, පක්ෂ, ආණ්ඩු වෙනස් වුවද රජයක් විසින් ලබාගන්නා අරමුණු බවට පත්කළ යුතු ය.

අනාගතයේ පැවැත්වෙන ඔලිම්පික් හෝ වෙනයම් ප්‍රදාන පෙළේ තරගාවලි නියෝජනය කරනු ලබන ක්‍රීඩක ප්‍රජාව වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය මේ ආකාරයේ ස්ථාවර මූල්‍ය තිළිණයක් ලබාදෙන බව ප්‍රකාශයට පත්කළ යුතු ය. මෙවර ලබාදුන් ප්‍රතිලාභ එම ප්‍රතිපත්තිය මත සිදුකළ බව සමාජ මතයක් ගොඩනැංවීම ද වැදගත් ය.

ඊට අමතරව ඔලිම්පික් සුදුසුකම් ලැබූ ක්‍රීඩකයන් වෙනුවෙන් විශේෂ ණයවර ප්‍රදානයකින් හෝ ඔවුන්ගේ ජීවන තත්ත්වය, ප්‍රවාහන ශක්‍යතාව ඉහළ නැංවීමට හැකි මාධ්‍යයක් සකස් කරගැනීමට අවස්ථාවක් නිර්මාණය කළ යුතු ය. එවිට සුවහසක් වූ සෙසු ක්‍රීඩක ප්‍රජාව තුළ ඔලිම්පික් සුදුස්සකු බවට පත්වීමේ මහා ගාමක බලයක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබේ.

ඒ සඳහා දැඩිව කැපවුණු පුහුණුකරුවන් වෙනුවෙන් ඉහළ පිළිගැනීමක් හා ආර්ථික පිටුබලයක් ලබාදී විශේෂිත අභිමානයක් ගොඩනැංවීම ද අත්‍යවශ්‍ය ය. එමගින් සෙසු පුහුණුකරුවන් අතර ඵලදායී උද්යෝගයක් නිර්මාණය කිරීමට අවස්ථාව උදාවේ.

වෙසෙසින් ඔලිම්පික් ක්‍රීඩකයකු බිහිකිරීමට බිම් මට්ටමේදී ක්‍රීඩකයන් හඳුනාගැනීමට මූලික වන ග්‍රාමීය පුහුණුකරුවා ද මෙහිදී අමතක නොකළ යුතු ය. ඔහුට හෝ ඇයට ද යම් මූල්‍යමය ප්‍රතිලාභයක් ලබාදීම අතිශය වැදගත් ය. ඔවුහු ඔලිම්පික් ක්‍රීඩකයන් සොයාගැනීමේ පෝෂිත පුහුණුකරුවන් ලෙස නම්කළ හැකි ය. එවිට ග්‍රාමීය තලය තුළ ඔවුන් වටා එක්රොක්වන යොවුන් ක්‍රීඩකයන් වැඩිදියුණු කිරීමට හා වඩා උද්යෝගයකින් දක්ෂ ක්‍රීඩකයන් සොයා යාමට ඔවුන් පොළඹවාලිය හැකි ය.

එය අනිවාර්යයෙන් සිදුකළ යුත්තකි. ඒ මන්දයත් ඔලිම්පික් තරගාවලියකට සුදුසුකම් ලබන ක්‍රීඩකයකු බිහිකිරීම යනු හුදෙකලා ක්‍රියාවලියක් නොවන හෙයිනි. එය සිදුකළ හැක්කේ දැඩි කැපකිරීම් සමුදායක ප්‍රතිඵලයක් ලෙසය.

විශේෂ විභවතාවයක් සහිත ක්‍රීඩකයන් හඳුනා ගැනීම, එය ඇගයීමේ හැකියාව, එලෙස හඳුනාගත් ක්‍රීඩකයන්ගේ මූලික පුහුණුව නිසි ආකාරයෙන් සිදුකිරීම, ක්‍රමිකව ඔවුන්ගේ දක්ෂතා වැඩිදියුණු කිරීම හා එම දක්ෂතා අන්තර්ජාතික තලයට ගැලපෙන ආකාරයෙන් සකස්කිරීම යන ක්‍රියාවලීන් ඊට අයත්ය. එම සමස්ත ක්‍රියාවලියම එකම පුහුණුකරුවකු අතින් සිදුනොවන බව පැහැදිලිය.

එසේ නැතහොත් සිදුවන්නේ පුහුණුකරුවන්ගේ ප්‍රතිලාභ ලෝලීත්වය දක්ෂ ක්‍රීඩකයන් ප්‍රාථමික මට්ටමේ දැනුම සහිත පුහුණුකරුවන් සමීපයේ සිරගතවීමකට ලක්වීමය. ඉන් සිදුවනුයේ අවසානයේ විභවතා සහිත ක්‍රීඩකයන් රටට ප්‍රයෝජනයක් නොමැතිව මිලිනව යාම ය.

මෙහිදී තවත් එක් දෙයක් සිහියට ගතයුතුව තිබේ. ඒ ප්‍රතිලාභ අරමුණු කරගනිමින් ක්‍රීඩාවේ ජීවගුණය විනාශ කිරීමට ඇතැම් පුහුණුකරුවකු තුළ සිතිවිලි පහළවීමේ අවදානමක්ද පවතින බව ය. ඒ සඳහාද නීතිය දැඩිව ක්‍රියාවට නැංවිය යුතු ය. මේ සියලු කරුණු සමෝධානික කර ප්‍රතිපත්තිමය තීරණ ලබාගැනීම අවශ්‍ය ය. එවැනි තීන්දු දීර්ඝ කාලීන ප්‍රතිලාභ උදාකර දෙනබව පැවසිය යුතුම ය. එසේ නොමැතිව ව්‍යාපාරික පන්තියෙන් ඔලිම්පික් යාම මගින් පමණක් සියල්ල විසඳා ගැනීමට හැකියාව නොමැති බව උදක්ම පැවසිය යුතු ය.

 

Comments