පාකිස්තානයෙන් ඇසෙන සනම්-ඔලිම්පියා ක්‍රිකට් ගැටුම | Page 2 | සිළුමිණ

පාකිස්තානයෙන් ඇසෙන සනම්-ඔලිම්පියා ක්‍රිකට් ගැටුම

 

වසර දහස් ගණනාවක් පැරැණි මානව වංශකතා‍වෙහි, සමානා-ත්මතාවය යනු ඉතිහාසයේ සෑම යුගයක ම පාහේ කතාබහට ලක් වූ සංකල්පයකි. ආගම, ජාතිය, කුලය, වර්ණය ආදි විවිධ ‍බෙදීම් නිසා මිනිසුන් අතර හටගත් ගැටුම් සෑම යුගයක ම පාහේ නිරන්තර ව සිදු ව ඇත. ඒ අතර කලින් කල බිහි වූ විවිධ ආගමික ඉගැන්වීම්, පණ්ඩිතයන්ගේ දාර්ශනික අදහස්, මිනිසුන් අතර පවතින බෙදීම් නැති කර සමානාත්මතාවය ඇති කිරීම උදෙසා මඟ ‍පෙන්වන්නට වෑයම් කළේ ය. ආගමික අදහස් සහ දාර්ශනික මඟ පෙන්වීම් පමණක් නොව වර්තමාන‍යේ දී ක්‍රීඩාව තුළින් ද සමානාත්මතාවය ඇති කිරීම උදෙසා ඉටු කෙරෙන මෙහෙය සුවිශේෂී වෙයි. මෙය ද, 2009 වසරේ දී පකිස්තානයේ එක්තරා ප්‍රාන්ත ක්‍රීඩා සමාජයක්, ක්‍රිකට් ක්‍රීඩාව තුළින් සමානාත්මතා සංකල්පය ඉස්මතු කරවන්නට ගත් වෑයමක් පිළිබඳ ව අපූරු කතාවකි.

ක්‍රීඩාව කොටු ගසා බෙදා වෙන් කළ හැකි අයිතිවාසිකමක් නොවේ. එය සමස්ත ලෝකයාගේම උරුමයකි. සියලු ජීවීන්ගේ අයිතියකි. එක අතකින් මානව සංහතියට පමණක් හිමිකම් කියන්නට නොහැකි සමස්ත ජීවී වර්ගයාටම හිමිකම් කිවිය හැක්කකි. විධිමත් නීති රීති සහිත ව ක්‍රීඩා පවත්වන්නේ මානව සමාජය තුළ ය. එහෙත් කාලයක් ගත වන තුරු මානව සමාජය තුළත් ක්‍රීඩාවේ හිමිකම තිබුණේ පිරිමින්ට පමණි. එය තවදුරටත් ඇතැම් ඉස්ලාමීය රාජ්‍යයන් තුළ ක්‍රියාත්මකව පවතින සමාජ, සංස්කෘතික නීතියකි. එය එසේ නම් ලිංග විපර්යාස සිදුවන පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රීඩාව යොදා ගැනීමේ දී ඇති වන අර්බුදයන් ඊටත් වඩා ඉදිරියට යන්නට පිළිවන. ඒ ඔවුන් පිරිමින් ද, කාන්තාවන් ද යන්න තීරණය කිරීමේ දී යම් යම් සංකූලතා මතු වන හේතුවෙනි.

පිරිමින් මෙන්ම කාන්තාවන්ට හිමි ක්‍රීඩාවේ අයිතිය ගැහැනු පිරිමි දෙඅංශයට ම අයත් නොවන පිරිසට ද තිබේ. එහෙත් එය පිළිගන්නට මැළි වන සාම්ප්‍රාදායික ගැහැනු සහ පිරිමින් බහුතරයක් ද ලොව ‍‍වෙසෙති.

ක්‍රීඩාව පමණක් නොව ලොව බො‍හෝ තැන්වල දී ඔවුන්ව නෙරපා හරින්නට බහුතර පිරිස් කටයුතු කරන්නේ එම නිසාය. එවන් තත්ත්වයක් තුළ පාකිස්තානයේ දකුණු සින්ද් ප්‍රාන්තයේ සුක්කූර් නම් ප්‍රදේශයේ ක්‍රීඩා සමාජයක් විසින් සංක්‍රාන්ති ලිංගිකයන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගයක් සංවිධානය කර තිබිණි.

ඔවුන් සමඟ තරග වැදුණේ පකිස්තානයේ සුක්කූර් ප්‍රදේශයේ ම ප්‍රා‍දේශීය ක්‍රීඩා සමාජයක ක්‍රිකට් කණ්ඩායමකි. එම කණ්ඩායම නියෝජනය කළේ සාමාන්‍ය තරුණයන් පිරිසකි. එක් ඉනිමකට පන්දු වාර 8ක් ඇතුළත් වන පරිදි මෙම තරගය සංවිධානය කර තිබුණි.

සංක්‍රාන්ති ලිංගිකයන්‍ගේ ක්‍රිකට් කණ්ඩායම 'සනම් xi' යනුවෙන් නම් ‍කර තිබිණි. 'සනම්' යන්නෙහි අර්ථය ආදරණීය බවයි. සනම් කණ්ඩායමේ ප්‍රතිවාදී කණ්ඩායම 'ඔලිම්පියා' ය. සනම් කණ්ඩායමේ නායකත්වය 'සනම් ඛාන්' විසින් උසුලනු ලැබූ අතර තරගයේ කාසිය වාසිය දිනා ගත් ඔලිම්පියා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය.

සුක්කූර් හි විශාලම ක්‍රීඩාංගණයේ පැවැති තරගය නැරඹීම සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් එක්රොක් වී සිටිය හ. ප්‍රේක්ෂකයන්‍ගේ ඔල්වරසන් මැද ඔලිම්පියා කණ්ඩායම තරගයෙහි පන්දු වාර 8 තුළ ලකුණු 65 ක් රැස් කළ හ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ 'සනම්' කණ්ඩායම පන්දු වාර 7 ක් තුළ ජයග්‍රාහී ඉලක්කය සපුරා ගන්නට සමත් විය. ඒ අනුව සාමාන්‍ය තරුණ කණ්ඩායමක් පැරද වූ සංක්‍රාන්ති ලිංගිකයන් නියෝජනය කළ 'සනම්' කණ්ඩායම තමන්ට ද පොදු සමාජය සමඟ උරෙන් උර කටයුතු කළ හැකි බව මනාව පසක් කළහ.

පොදු සමාජය සමඟ උරෙන් උර කටයුතු කළ හැක්කා සේම එසේ කටයුතු කර කිරුළු දරන්නට ද තමන්ට හැකියාව ඇති බව ඔවුහු එදා සමස්ත ලෝකයාට ම සිදු කළ සිහි කැඳවීමක් වූයේ ය.

පසිඳු මිහිරාන් රැටියල

Comments