ප්‍රේක්ෂයන් නොමැතිව ටෝකියෝ ඔලිම්පික් ඇරැඹෙයි | සිළුමිණ

ප්‍රේක්ෂයන් නොමැතිව ටෝකියෝ ඔලිම්පික් ඇරැඹෙයි

 

ඔලිම්පික් උලෙළ ඉතිහාසය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් ප්‍රේක්ෂකයින් නොමැති ඔලිම්පික් ක්‍රීඩා උලෙළක් ආරම්භ විය. කොරෝනා වයිරසය මේ මනරම් ක්‍රීඩා උලෙළට කළ බලපෑම අති විශාල වුවද අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව හා ජපාන ඔලිම්පික් කමිටුව ඒ අභියෝගය හැකිතාක් ජය ගැනීමට සියලු කටයුතු මනා ලෙස සංවිධානය කොට ඇත. ඔලිම්පික් උලෙළට සම්බන්ධ සෑම අංශයක්ම උපරිම සෞඛ්‍යාරක්ෂිත ලෙස සකසා ඇති අතර එම ක්‍රමවත් වැඩ පිළිවෙල බිඳ දමන අයෙක් වෙතොත් ඔහු හෝ ඇය වහාම ක්‍රීඩා උලෙළින් ඉවත් කොට පිටුවහල් කිරීමට තරම් සංවිධායකයෝ එඩිතරව සිටිති.

කොරෝනා හේතුවෙන් ජපානයේ දේශසීමා විදේශිකයන්ට වසා දමා ඇති අයුරු දක්නට ලැබේ. ජපානයට පැමිණෙන අය ඔලිම්පික් උලෙළට සෘජුව සම්බන්ධ අය විය යුතුය. එසේ නොවන කිසිවෙකුට ජපානයේ කිසිදු ගුවන් තොටුපොලක් විවෘතව නැත. මේ තත්ත්වය මත ක්‍රීඩක ක්‍රීඩිකාවකට, පුහුණුකරුවෙකුට හෝ ඔලිම්පික් පවුලේ නිලධාරියෙකුට හැර කිසිදු විදේශික ක්‍රීඩා ලෝලියෙකුට ජපානයට පැමිණිය නොහැකිය.

ටෝකියෝ නුවර හදිසි තත්ත්වයක් ප්‍රකාශ කොට ඇති හෙයින් ස්වදේශීය ප්‍රේක්ෂකයින්ට ද තරග නැරඹීමට ඉඩ ලැබී නැත. සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් ජපානයට පැමිණීමට පෙර නිරෝධායනයවී පැමිණිය යුතු අතර උලෙළ ආවරණය කරන මාධ්‍යවේදීන් ටෝකියෝ නුවරට පැමිණීමට පෙර එක දිගට දින 7ක් පීසීආර් පරීක්ෂා කොට එම වාර්තා අතැතිව ගුවන්තොටුපොලට පැමිණිය යුතුය. එමෙන්ම ඔවූහූ සියලු දෙනා කොරොනාවට එරෙහි එන්නත් මාත්‍රා දෙකම ලබා තිබීම ද අනිවාර්ය කොට ඇත.

මේ සියලු දෙනා ඔලිම්පික් උලෙළ නිමාවී දින දෙකක් ඇතුළත ජපානයෙන් පිටව යා යුතු බවට නියෝගයක් ද ජපන් රජය නිකුත් කොට තිබේ. ගුවන් තොටුපොලෙන් ජපානයට ඇතුළු වෙද්දීම මේ කරුණු සියල්ලට එකඟවන බවට දිවුරුම් ප්‍රකාශයකට සියලු දෙනා අත්සන් කොට ජපාන ආගමන විගමන දෙපාර්තමේන්තුවට භාරදිය යුතු වේ.

මේ සියලු කරදර මැද්දේ ඔලිම්පික් උලෙළ ආරම්භ කිරීමට වූවේ ඇයි? යන ප්‍රශ්නය ජපන් ජාතිකයන්ගේ කතා බහට ලක්ව ඇති ප්‍රධාන මාතෘකාවකි. අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව කොරෝනා වසංගතය එන්නටත් පෙර ඔලිම්පික් ක්‍රීඩා උලෙළ අනුග්‍රාහක ආයතනවලට විකුණා දමා අවසන්ව තිබුණි. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ මුදල්වලින් සියයට 70ක් විකාශන අයිතියෙන් ද සියයට 18ක් අනුග්‍රාහකත්වයෙන් ද උපයා ගැනීමට සංවිධායකයෝ ඇස්තමේන්තුගත කොට තිබිණි.

ජපානයේ මෙම උලෙළ වඩාත් ආකර්ශනීය පසුබිමකින් සිදු වෙතැයි යන විශ්වාසය මත කොරෝනාවට කලින් ඉලක්ක සම්පූර්ණවූ බව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සදහන් කළේය. ඩොලර් බිලියන ගණනක් මෙම ක්‍රීඩා උලෙළ හරහා උපයන බැවින් කරදර බාධක හිරිහැර මැද්දේ වුවද ක්‍රීඩා උලෙළ ඉදිරියට යා යුතුව ඇත. ප්‍රේක්ෂකයින් නොමැතිව වුවද තැබූ අඩිය ආපස්සට නොගෙන ඔලිම්පික් උලෙළ අවසන් කිරීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවටසිදුව ඇත්තේ මේ නිසාවෙනි.

ඔලිම්පික් උළෙල ටෝකියෝ නුවරදී පැවැත්වීම පිළිබඳ එරට ජනගහනයෙන් සියයට 65කට කට ආසන්න ප්‍රමාණයක් විරුද්ධ බව මෑතක දී සිදු කළ මත විමසුම්වලින් හෙළි වී ඇත. වැසියන් කුමක් කීවද ඔලිම්පික් උලෙළ උළෙල අවලංගු කළහොත් සිදුවන අලාභය ජපන් රජයට විද දරා ගැනීමට සිදුවන බව පැහැදිලිය. හදිසි තත්ත්වයක් යටතේ වුවද ටෝකියෝ ඔලිම්පික් උලෙළ පැවැත්වීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව බල කළේ ජපානය සත්කාරකත්වය භාර ගත්තේ කොන්දේසි සහිතව බව සිහි මතක් කරමිනි.

කෙ‍සේ වුවද ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ නව අධ්‍යයනයකට අනුව, කල් දමා යළි ආරම්භ වූ ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ඉතිහාසයේ වඩාත්ම මිල අධික ගිම්හාන ඔලිම්පික් බව ප්‍රකාශවී ඇත. ටෝකියෝ ඔලිම්පික් උලෙළ සඳහා වන අයවැය ඇමෙරිකානු ඩොලර් බිලියන 12.6 ක් ලෙස ගණන් බලා ඇතත්, උත්සවයේ සැබෑ පිරිවැය අවම වශයෙන් දෙගුණයකටත් වඩා වැඩි බව එම අධ්‍යයනයේ සදහන් වේ. ජපානය මුලින් පුරෝකථනය කළෙ ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය ඇමෙරිකානු ඩොලර් බිලියන 7.3 ක් පමණ වනු ඇති බවයි.

එහෙත් කොරෝනා සියල්ල වෙනස් කිරීමට සමත් විය. කුමන අභියෝග හමුවේ වුවද කොරෝනා මට්ටු කරමින් ඔලිම්පික් උලෙළ ආරම්භවීම ලෝකයේ ඉදිරි ක්‍රීඩා තරගවල දොරටු විවර වීමක් වනු ඇත.

ප්‍රින්ස් ගුණසේකර-ජපානයේ ටෝකියෝ නුවර සිට

Comments