ප්‍රතිචක්‍රීකරණය මගින් ඉපදෙන ටෝකියෝ ඔලිම්පික් පදක්කම් | සිළුමිණ

ප්‍රතිචක්‍රීකරණය මගින් ඉපදෙන ටෝකියෝ ඔලිම්පික් පදක්කම්

 

තිස් දෙවැනි ඔලිම්පික් උළෙල 23 දා ආරම්භ වූ අතර, 25 දා එනම්, අද පදක්කම් ප්‍රදානය කෙරෙන අවසන් තරග 18 කි. ඊයේ පදක්කම් ප්‍රදානය කෙරුනු අවසන් තරග 11 කි. මේ අනුව අද වන විට පදක්කම් ප්‍රදානය කළ සම්පූර්ණ අවසන් තරග ප්‍රමාණය 29කි. ක්‍රීඩා 33ක් මෙවර උළෙලට ඇතුළත් වන අතර සමස්ත ඉසව් ප්‍රමාණය 339 කි.

සම්ප්‍රදායට අනුව, පදක්කම් මඟින් ග්‍රීක ජයග්‍රාහී දේවතාවිය, ඔලිම්පික් ලාංඡනය, ක්‍රීඩා උළෙල, ක්‍රීඩාවේ නම හෝ අදාළ සංවිධායක කමිටුවේ ලාංඡනය පෙන්වයි. ඊට අමතරව, ඒවා දෘශ්‍ය පෙනුම, ක්‍රීඩා හා සංස්කෘතික හා සෞන්දර්යාත්මක අංග පිළිබිඹු කළ යුතු ය.

ටෝකියෝ 2020 ඔලිම්පික් පදක්කම්වල සැලසුම පිළිබිඹු කරන්නේ මහිමය ලබා ගැනීම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දිනපතාම ජයග්‍රහණය සඳහා උත්සාහ කළ යුතු බවයි. ජයග්‍රාහී මෝස්තර තෝරා ගනු ලැබුවේ වෘත්තීය නිර්මාණකරුවන් සහ නිර්මාණ සිසුන් යන දෙපිරිසටම රටපුරා පැවැත්වූ තරගයකින් පසුව ය.

පදක්කම් ඔප දැමූ හා දැන් බැබළෙන රළු ගල්වලට සමාන වන අතර, ඒවායේ සමස්ත තේමාවන් වන්නේ “ආලෝකය” සහ “දීප්තිය” ය. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහ ඔවුන්ට සහය දක්වන අයගේ ශක්තිය සංකේතවත් කරමින් පදක්කම් අසංඛ්‍යාත ආලෝක රටා එකතු කර පිළිබිඹු කරයි. ඔවුන්ගේ සැලසුම අරමුණු කර ඇත්තේ විවිධත්වය සංකේතවත් කිරීම සහ ක්‍රීඩාවට තරග කරන හා වෙහෙස මහන්සි වී වැඩ කරන පුද්ගලයන්ට ගෞරව කරන ලෝකයක් නියෝජනය කිරීමයි. පදක්කම්වල පරාවර්තනයන්හි දීප්තිමත් බව පෙන්නුම් කරන්නේ ලොව පුරා සිටින ජනයා අත්වැල් බැඳගෙන සිටින මිත්‍රත්වයේ උණුසුම් දිදුලයි.

මෙම පදක්කම් නිෂ්පාදනය කිරීම සඳහා ටෝකියෝ සංවිධායක කමිටුව ජපානය පුරා භාවිත කළ ජංගම දුරකථන වැනි කුඩා ඉලෙක්ට්‍රොනික උපකරණ එකතු කිරීම සඳහා “ටෝකියෝ 2020 පදක්කම් ව්‍යාපෘතිය” ආරම්භ කරන ලදී. මෙම ව්‍යාපෘතිය ටෝකියෝ 2020 ඔලිම්පික් හා පැරාලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථමයා බවට පත්වන්නේ පදක්කම් නිෂ්පාදනය සඳහා පුරවැසියන් සම්බන්ධ කර ගැනීම සහ ප්‍රතිචක්‍රීකරණය කරන ලද ලෝහ භාවිත කරමින් පදක්කම් නිෂ්පාදනය කිරීමයි.

මෙවර ඔලිම්පික් උලෙළේ සූදානම් වීම තරමක් වෙනස් ය. ඔලිම්පික් උලෙළ සංවිධානය කරන ජපන් ඔලිම්පික් කමිටුව මේ සඳහා විශේෂ තීරණ කිහිපයක් ම ගෙන තිබේ. තරගවල දී ජයග්‍රාහී ක්‍රීඩකයන්ට පිරිනැමෙන රන්, රිදී, හා ලෝකඩ යන සියලු පදක්කම් භාවිතයෙන් ඉවත් කළ ජංගම දුරකතන හා විද්‍යුත් උපකරණ ප්‍රතිචක්‍රීකරණය කර ලබා ගැනීමය. එමෙන් ම තරග සඳහා සහභාගි වන සියලු ක්‍රීඩකයන්ට ලබා දෙන ක්‍රීඩා ඇඳුම්, පැරැණි ඇඳුම් ප්‍රතිචක්‍රීකරණය කර ලබා ගැනීමට ගත් තීරණයත් තවත් සුවිශේෂී ව්‍යාපෘතියකි.

මෙම ව්‍යාපෘති සඳහා හේතු වී තිබෙන්නේ ජපානය විමෝචනය කරන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය 2020 වසර වන විට තුන් ගුණයකින් අඩු කිරීමට එරට රජය ගන්නා උත්සාහය නිසා යි.

ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක වැනි කුඩා ඉලෙක්ට්‍රොනික උපකරණවල ඇති රත්‍රන්, රිදී, හා ලෝකඩ උපයෝගී කර ගනිමින් මෙවර පදක්කම් සියල්ල නිර්මාණය කිරීමට ජපන් ඔලිම්පික් කමිටුව කටයුතු කර තිබිණි.

පරිසර දූෂණය අවම කර තිරසර සංවර්ධනය කරා ගමන් කිරීම සඳහා මෙවැනි තීරණ ඉමහත් ලෙස බලපාන බව ඔවුන් ප්‍රකාශ කරයි. ඒ වගේම තම පැරැණි ඉලෙක්ට්‍රොනික උපකරණ ලබා දීමෙන් සියලු ජපන් වැසියන්ට ඔලිම්පික් උලෙළ සඳහා තම දායකත්වය ලබා දීමට මේ තීරණය ඔස්සේ හැකියාව ලැබුණි.

මේ ක්‍රමය ඔස්සේ රත්රන් කිලෝ ග්‍රෑම් 30 ක් ද, රිදී කිලෝ ග්‍රෑම් 4100 ක් ද, ලෝකඩ කිලෝ ග්‍රෑම් 2700 ක් ද ලබා ගැනීමට අපේක්ෂා කළහ.

ඔලිම්පික් කමිටුව විසින් ඉවත් කරන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ඔලිම්පික් පදක්කම් සඳහා ලබා ගැනීමේ අරමුණෙන් ජපානය පුරා විවිධ ස්ථානවල කාර්යාලයන් පිහිටුවා තිබුණි. මෙම වැඩසටහන 2017 වසරේ දී ආරම්භ වූ අතර 2019 වසරේ මාර්තු මාසය අවසානය වන තුරු ක්‍රියාත්මක විය.

2016 රියෝ ඔලිම්පික් උළෙලේ දී ද පදක්කම්වලින් 30%ක ප්‍රමාණයක් නිර්මාණය වූයෙත් ඉලෙක්ට්‍රොනික උපකරණ ප්‍රතිචක්‍රීකරණය කිරීම මඟින්ය.

ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය ක්‍රීඩා ඇඳුම් සැකසීම සිදුවූයේ පැරැණි ක්‍රීඩා ඇඳුම් නැවත ප්‍රතිචක්‍රීකරණයට බඳුන් කිරීමෙන් බව ජපන් ඔලිම්පික් කමිටුව පසුගිය දිනෙක නිවේදනය කළේ ය. මෙම ව්‍යාපෘතිය නම් කර තිබෙන්නේ “මතකයන් සපිරුණු ක්‍රීඩා ඇඳුම්” ලෙස යි.

මෙකී ව්‍යාපෘතිය සඳහා ජනතාව මෙන්ම ජපානය නියෝජනය කරමින් ඔලිම්පික් තරග සඳහා සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ද යහපත් ප්‍රතිචාර හිමි විය. තෙවරක් ඔලිම්පික් මල්ලවපොර ශූරියක් බවට පත් වූ සෞරි යොෂිඩා ද මේ සඳහා සිය ඇඳුම් පරිත්‍යාග කර තිබෙන අතර ඇය ලබා දුන් ඇඳුම් අතර රියෝ ඔලිම්පික් හි දී ඇය හැඳි ඇඳුම් ද ඇතුළත් විය. මේ ව්‍යාපෘතිය ඔස්සේ ඔලිම්පික් උළෙල සියලු ජපන් ජනතාව වෙත විවෘත වන බව අදහස් දක්වමින් ඇය පවසා සිටියා ය.

මෙම ව්‍යපෘතිය ඔස්සේ ඇඟලුම් 30000කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට ඔලිම්පික් කමිටුව බලාපොරොත්තු විය.

මෙම ව්‍යාපෘති දෙක, ඔලිම්පික් ක්‍රීඩා උළෙලට අමතරව ඊට පසුව ජපානයේ ම පැවැත්වෙන පැරාලිම්පික් උළෙල සඳහා ද ක්‍රියාත්මක වෙයි.

 

බන්ධුල ජයමාන්න

Comments