නිදහස අගයන්න දැයට ඔලිම්පික් පදක්කමක් තිළිණ කළ අමරණීය මිනිසා ඩන්කන් වයිට් | Page 2 | සිළුමිණ

නිදහස අගයන්න දැයට ඔලිම්පික් පදක්කමක් තිළිණ කළ අමරණීය මිනිසා ඩන්කන් වයිට්

 

ඔලිම්පික් උළෙලක් පවත්වනු ලබන සෑම අවස්ථාවක දී ම තාමත් අපට ආඩම්බරයෙන් කතා කළ හැකි එක් අභිමානවත් ක්‍රීඩා චරිතයක් ලෙස ඔහු හැඳින්විය හැකි ය. ඒ තාමත් ඔහු අපේ එකම ඔලිම්පික් පදක්කම්ලාභි ක්‍රීඩකයා වීම හේතුවෙනි. එසේම ඔහුගේ අමරණීය නාමය සදාකාලික එකකැයි කිව හැකි තවත් හේතුවක් තිබේ. ඒ ඔලිම්පික් පදක්කමක් දිනා ගත් පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙසින් සැලකිය හැක්කේ ද ඔහු පමණක් වන නිසාවෙනි. ඔහු ඒ අභිමානයෙන් රට පිදුවේ 1948 වසරේ ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී ය. ඔහු අන් කිසිවෙක් නොව මෙරට ක්‍රීඩා ඉතිහාසයේ බිහි කළ විශිෂ්ට ම මලල ක්‍රීඩකයකු වන ඩන්කන් වයිට් ය. තවත් අයුරකින් හඳුන්වන්නේ නම් දේශමාන්‍ය ඩන්කන් වයිට් ය.

වයිට් මෙලොව එළිය දුටුවේ 1918 මාර්තු 01 වැනි දා කලුතර දිස්ත්‍රිකයේ ලත්පඳුර ප්‍රදේශයේ ය. එහෙත් ඔහු අධ්‍යාපනය ලැබුවේ මහනුවර ත්‍රිත්ව විදුහලෙනි. පාසල් මට්ටමින් පෙන්වූ ඉහළ දස්කම් නිසා ත්‍රිත්ව විදුහල ඔවුන්ගේ ඉහළම “ට්‍රිනිටි ලයන්” නම් සම්මානය වයිට්ට පිරිනැමුවේ ය. වරක් ඔහු ඒ සම්මානය ගැන මෙසේ ප්‍රකාශයක් කළේ ය. “මලල ක්‍රීඩාවෙන් මට ලැබුණ ඉහළම සම්මාන දෙකක් තිබෙනවා. එකක් තමයි ඔලිම්පික් රිදී පදක්කම. අනෙක මගේ පාසලෙන් මට ලැබුණු ට්‍රිනිටි ලයන් සම්මානය.’

කෙසේ වුවත් ඩන්කන් වයිට් ලෝක පූජිත වූයේ 1948 වසරේ දී ලන්ඩන් ඔලිම්පික් උළෙලේ මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වේන් රිදී පදක්කම දිනා ගැනීම සමඟිනි. එදා ඩන්කන්ට රන් පදක්කම අහිමි වී ගියේ අවාසනාවට ය. ඔලිම්පික් මීටර් 400 කඩුලු පැනීම ආරම්භ වී කඩුලු 7 ක් ඉක්ම වන තුරු වයිට් සිටියේ ඉදිරියෙනි. අවාසනාවට අටවැනි කඩුල්ල පනිද් දී පාදයක් එහි ගැටී ඔහුගේ වේගය අඩාළ විය. අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් එක්සත් ජනපදයේ රෝයි කොච්රන් ඉදිරියට පැමිණියේ ය. නමුත් ධාවනය අත් නොහල ඩන්කන් ඉදිරියට පැමිණි කොච්රන්ට තියුණු තරගයක් දෙමින් කරට කර දිව ගිය ද කොච්රන් පළමු ව ජයග්‍රාහී සීමාව පසු කළේ ය. ඩන්කන් දෙවැනියා වී රීදී පදක්කමට හිමිකම් කීවේ ය. කොච්රන් සිය රන් පදක්කම දිනා ගැනීමට වාර්තා කළ ජයග්‍රාහී කාලය තත්පර 51.1 කි. රිදී පදක්කම වෙනුවෙන් අපේ කතානායකයා තත්පර 51.8 ක කාලයක් වාර්තා කළේ ය.

ඩන්කන් තරගය නිම කළ සැණින් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස යූ. පෙරේරා මහතා පිටිය මැදට ගොස් ඩන්කන්ව වැළඳ රටේ ප්‍රීතිය ඔහුට පළ කළේ ය. එලෙස ජය ගත් රිදී පදක්කමත් රැගෙන ඩන්කන් මෙරටට පැමිණි දා ඔහුව හරසරින් පිළිගනු ලැබිණි.

වයිට් ලක්මව සැරසුවේ ඔලිම්පික් රිදී පදක්කමකින් පමණක් නොවේ. ඔහු අපට තවත් ජාත්‍යන්තර රන් පදක්කමක් දිනා දුන්නේ ය. ඒ 1950 දී ඔක්ලන්ඩ් නුවර පැවැති අධිරාජ්‍ය ක්‍රීඩා උළෙලේ දී ය. එහි ඔහු රන් පදක්කම දිනා ගත්තේ මීටර් 400 කඩුලු පැනීම වෙනුවෙන් තත්පර 52.2 කාලයක් වාර්තා කරමිනි.

“මගේ ජීවිතේ ලබා ගත්ත ලොකුම ජයග්‍රහණය මේ ජයග්‍රහණය තමයි.” එදා පෙරළා ශ්‍රී ලංකාවට පැමිණි පසු හේ පුවත්පත් සාකච්ඡාවක දී කීවේ ය.

“ඔලිම්පික් රිදී පදක්කම ගෙල පැලඳ ගත් දා මට කවදාවත් අමතක වන්නේ නැහැ. ජයග්‍රාහී පුවරුව මතට නැඟලා 85,000 ක පිරිසක් මධ්‍යයේ අපේ ජාතික කොඩිය දැක්කාම මට විශාල හැඟීමක් ඇති වුණා. ලංකාවට පැමිණි දවස මාව පිළිගැනීම සදා මතකයේ රැඳෙනවා.” යි ඩන්කන් වයිට් පසු කලෙක පවසා තිබිණි.

ඩන්කන් වයිට් නම් වූ ශ්‍රී ලාංකික සිංහයාගේ අමතක නොවන මතක සටහන් කීපයකි මේ,

මීටර් 100, යාර 220, යාර 120 කඩුලු පැනීම, මීටර් 400 කඩුලු පැනීම ඉසව්වලින් ලංකා වාර්තා රැසක් පිහිටුවීම. මීටර් 400 කඩුලු පැනීමේ වාර්තාව වසර 20 ක් පැවැතීම. (තත්පර 56.0) ඉන්දු - ලංකා මලල ක්‍රීඩා තරග සඳහා සහභාගි වී ලැබූ ජයග්‍රහණ

හිමි වූ සම්මාන - 1949 බ්‍රිතාන්‍ය එම්.බී.ඊ. සම්මානය,. ආසියාවේ හොඳම මලල ක්‍රීඩකයාට පිරි නැමුණ හෙල්ම්ස් ලෝක ශූරතාව - 1988 ශ්‍රී ලංකා දේශමාන්‍ය සම්මානය

නයිජිරීයාවේ ජ්‍යෙෂ්ඨ කථිකාචර්යවරයකු ලෙස සේවය කිරීම.

1988 දී ඔහු නමින් සමරු මුද්දරයක් නිකුත් කිරීම.

ඔහුගේ 72 වැනි උපන් දිනයේදී එනම් 1990 දී ඩන්කන් වයිට් ක්‍රීඩා පදනම පිහිටුවීම.

2016 දී ක්‍රීඩා අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරය ඩන්කන් වයිට්ට උපහාර පිණිස ඔහුගේ නමින් නම් කිරීම.

මෙලොවින් සමු ගන්නට පෙර දේශමාන්‍ය ඩන්කන් වයිට් ශූරීන් කීප වතාවක් ශ්‍රී ලංකාවට පැමිණියේ ය. ඒ ඔහු වෙනුවෙන් අරබා තිබෙන “ඩන්කන් වයිට් පදනම” පැවැත් වූ සම්මාන ප්‍රදානයන් සඳහා ය.

තවත් අයුරකින් නැවත වරක් පවසන්නේ නම් ඩන්කන් වයිට් ශ්‍රී ලංකාවට ලබා දුන් කීර්තිය සදාකාලික ය. ඔහු අපට සැමදාම ක්‍රීඩාවේ අභිමානවත් සිංහයා වන්නේ එහෙයිනි. වර්තමාන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආදර්ශයට ගත හැකි ප්‍රතාපවත් ක්‍රීඩා ශූරයා ඔහු ය. මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට ඉහළම කීර්තියක් ලබා දුන් ඔහු ලොව සනාථ දහම සාක්ෂාත් කරමින් මෙලොව හැර ගියේ 1998 ජුලි 3 වැනි දා එංගලන්තයේ වොරික්ෂයර් ප්‍රාන්තයේ දී ය. මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල දක්නට ඩන්කන් ජීවතුන් අතර සිටියා නම් වයස අවුරුදු 100 ඉක්මවා ගොසිනි. නමුත් ඔහු ජීවිතයට සමු දුන්නේ 80 හැවිරිදි වියේ දී ය. එහෙත් ඩන්කන් වයිට් යන නාමය ශ්‍රී ලංකාවේ ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසය තුළ කිසිදා මිය නොයන අමරණීය මතකයකි.

ක්‍රිස්ටෝපර් රණසිංහ

 

Comments