දුෂ්කර පස්සර ක්‍රීඩාවට සෙත් කර විනිශ්චයට ටෝකියෝ ගිය අගල්‍යා | Page 2 | සිළුමිණ

දුෂ්කර පස්සර ක්‍රීඩාවට සෙත් කර විනිශ්චයට ටෝකියෝ ගිය අගල්‍යා

 

බැඩ්මින්ටන් ක්‍රීඩාවේ කැමැත්ත ඈ එහි තාක්ෂණ පැත්තට යොමු කළ අතර බැඩ්මින්ටන් විනිසුරුවරියක් බවට ද පත්කළා ය.

ඔලිම්පික් තරගාවලියට සහභාගිවීම විශිෂ්ට ජයග්‍රහණයකි. ක්‍රීඩාවේ සද් අරමුණු හා සසඳන කල එය එසේ ය. එය එසේ වන්නේ සේ ම යම් ඔලිම්පික් තරගාවලියක විනිශ්චය අරභයා සහභාගිවන්නට අවස්ථාවක් හිමිවීම ද විශිෂ්ට ය. මේ මෙවර ඔලිම්පික් විනිශ්චය පිණිස ගිය අපේ සුවිශේෂී විනිසුරුවෙක් ගැන කතාවකි.

ඔලිම්පික් යනු විශ්වයේ දැවැන්ත ම ක්‍රීඩා උළෙල ය. වසර 4කට වරක් පවත්වන මෙම ඔලිම්පික් උළෙල පසුගිය 2020 වසරේ දී පැවැත්වීමට නියමිත ව තිබුණ ද මුළු ලොවම ගිල ගත් කොවිඩ් 19 ව්‍යසනය හමුවේ එය මේ වසර දක්වා කල් තැබීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට හා ජපාන සංවිධායකයන්ට සිදුව තිබුණේ ය.

ක්‍රීඩකයකුගේ ඉහළ ම බලාපොරොත්තුව වන්නේ එකම එක වතාවත් හෝ ඔලිම්පික් උළෙලක දී තම මව්රට නියෝජනය කිරීමයි. එවැනි වටපිටාවක් තුළ දී ඔලිම්පික් උළෙලක දී තම ක්‍රීඩාවට අදාළ තාක්ෂණික නිලධාරියකු හෝ විනිශ්චයකරුවකු ලෙසින් කටයුතු කිරීමට අප වැනි රටක නිලධාරියකුට ලැබීමත් තරමක් දුර්ලභ සිදුවීමකි.

පස්සර කියූ සැණින් අපට සිහියට නැඟෙනුයේ කොළඹ සිට සැතපුම් 200 ක ට වැඩි දුරකින් පිහිටි, ගමනාගමනය සහ අනික් බොහෝ යටිතල පහසුකම් අතින් සැලකූ විට දුෂ්කර යැයි සැලකිය හැකි ගමනාන්තයකි. වංගුවලින් ගහන මාර්ග පද්ධතියකින් මෙන් ම සශ්‍රීක තේ වගාවකින් වැසුණු සුන්දර බිම් පෙදෙසක් වන පස්සරින් බිහි වුණු තරුණියක් බැඩ්මින්ටන් ක්‍රීඩාවේ තාක්ෂණික නිලධාරිනියක හා විනිසුරුවරියක ලෙසින් මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී සේවය සපයන්නී ය.

ඇය නමින් අගල්‍යා ය. සම්පූර්ණයෙන් නම සඳහන් කළොත් මාරිමුත්තු රාජේන්ද්‍රන් අගල්‍යා. ඇය තවමත් 35 හැවිරිදි වියේ පසු වන ගුරු මෙනවියකි. පස්සර දෙමළ මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන ගුරුවරිය වශයෙන් පාසලේ දරු දැරියන්ගේ ක්‍රීඩා කුසලතාවයන් සැඟවෙන්නට නොදී ජාත්‍යන්තරය දක්වා ගෙන යෑමට දැඩි උත්සාහයක් ගන්නා අගල්‍යා තම පාසල් වියේදී ද ක්‍රීඩාවන් රාශියක දී පාසල් සහ කලාප මට්ටමේ දී දස්කම් දැක්වූ ක්‍රීඩිකාවකි.

ඇය පසුගිදා ජපානය බලා පිටත්ව ගියා ය.

“ඈ ඉපදුණේ පස්සර ය. ඇගේ පියා ව්‍යාපාරයක් නියැලෙන්නෙක් විය. ඈ පළමුව පස්සර දෙමළ මධ්‍ය මහා විද්‍යාලයෙන් උගත් අතර ශිෂ්‍යත්ව විභාගය සමත්ව හාලිඇල විද්‍යා විද්‍යාලයට ඇතුළත් විමට වරම් ලැබුවා ය. සාමාන්‍ය පෙළ අවසන් වන තුරු එහි ඉගෙනුම ලැබූ ඈ ද්විතියික අධ්‍යාපනය සඳහා පස්සර දෙමළ මහා විද්‍යාලයට ඇතුළත් විණි. වාණිජ විෂයයෙන් උසස් පෙළ සමත්ව ඌව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයට ඇතුළත් වීමට වරම් ලැබුවාය. ඈ තම පවුලේ බාලයා වූ අතර ඇයට වැඩිමහල් අක්කා කෙනෙකු හා අයියලා දෙන්නෙක් සිටී. මව ගෘහණියකි.

“ප්‍රාථමික අංශයේ දී ක්‍රීඩාව ඇරැඹි ඈ හාලිඇල විද්‍යා විද්‍යාලයේ දී මලල ක්‍රීඩා, දැල්පන්දු, වොලිබෝල් සහ බැඩ්මින්ටන් ක්‍රීඩා කළා ය. උසස් පෙළ දී ක්‍රීඩාව අත නොහැරියා ය. කලාප මට්ටමේ හා පළාත් මට්ටමේ ජයග්‍රහණයන් ලබා ගැනීමට ඇයට උපකාර කළේ ටී.යූ.සී. ප්‍රියදර්ශන් සර් හා තිළිණා ගුණවර්ධන යන ගුරුවරුහු ය.

2007 සිට 2009 දක්වා ඌව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ දී ඉංග්‍රිසි මාධ්‍යයෙන් උගත් ඈ එහි දී මේසපන්දු, බැඩ්මින්ටන් සහ දැල්පන්දු ක්‍රීඩාවට වැඩිවශයෙන් එක්වූවා ය. 2010 දී තමන් උගත් පස්සර දෙමළ මහා විද්‍යාලයට ම පත්වීමක් ලබාගැනීමට ඇයට හැකිවිණි. එතැන් සිට මේ දක්වා ඈ සේවය කරන්නේ එහිය. ඈ තමන් කැමති බැඩ්මින්ටන් ක්‍රීඩාව එහිදී ආරම්භ කළේ බැඩ්මින්ටන් ක්‍රීඩාව සඳහා අලුත් පිටියක් සකස් කර ගනිමිනි. ඒ සඳහා ක්‍රීඩා ගුරු ඩී. කිංග්ස්ටන් මහතා උපකාර කර තිබිණි. බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් දස්කම් දක්වන ළමුන් සොයාගනිමින් බැඩ්මින්ටන්, වොලිබෝල්, දැල්පන්දු හා මලල ක්‍රීඩාවලින් කලාප හා පළාත් මට්ටම ඉක්මවා ජාතික තලයට ඒ ළමුන් ගෙන යන්නට ඇයට හැකිවීම සුවිශේෂී ය.

බැඩ්මින්ටන් ක්‍රීඩාවේ කැමැත්ත ඈ එහි තාක්ෂණ පැත්තට යොමු කළ අතර බැඩ්මින්ටන් විනිසුරුවරියක් බවට ඈ පත්කළා ය. ඒ අනුව දේශීය පළාත් සහ ජාතික මට්ටමේ තරගාවලි විනිශ්චය කළ ඈ 2017 වසරේ චීනයේ වුහාන් නුවර පැවැති ආසියානු බැඩ්මින්ටන් තරගාවලිය, 2018 මැලේසියාවේ පැවැති ආසියානු කණ්ඩායම් බැඩ්මින්ටන් තරගාවලියට ද සහභාගි වූයේ ඒ අනුව ය. 2018 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලටත් 2019 වසරේ චීනයේ ගුවැන්ෂු නුවර පැවැති එච්.එස්.බී.සී (HSBC) ලෝක බැඩ්මින්ටන් තරගාවලියටත් තාක්ෂණික නිලධාරිනියක ලෙස එක්වීමට අවස්ථාව හිමිකරගැනීමට ඇයට හැකිවිණි.

එසේ පැමිණි ගමනේදී ඈ කූටප්‍රාප්තිය ලෙස මෙවර ඔලිම්පික් තරගාවලියක තාක්ෂණික නිලධාරිනියක ලෙස තෝරා ගැනීම දැක්වීමට පිළිවන.

 

ඉෂානි යද්දෙහි

 

 

Comments