ගෝලයෙන් ආලෝකය සොයාගත් ඉන්ද්‍රජාලික ආරක්ෂකයා සොහෙල් අබ්බාස් | Page 2 | සිළුමිණ

ගෝලයෙන් ආලෝකය සොයාගත් ඉන්ද්‍රජාලික ආරක්ෂකයා සොහෙල් අබ්බාස්

 

පන්දුවට වේගවත් ප්‍රහාරයක් එල්ල කිරීම වෙනුවට පන්දුව

“Drag Flick” ආකාරයෙන් ගෝලයට “ඉහළින් තල්ලු කර යැවීම” ට සමතෙකි. එය ඔහුගේ සුවිශේෂ වූ නිපුණතාවය සේ සැලකෙයි.

පකිස්තානු ජාතික වාර්තා රැසකට හිමිකම් කියන සොහේල් අබ්බාස් එරට ජාතික හොකී වීරයෙකි

'මිනිත්තු 60 ක් පුරා ක්‍රියාත්මක වන වත්මන් හොකී තරගයක ජය හෝ පරාජය තීරණය කරන්නේ සුපුරුදු පරිදි ගෝලවලිනි. ගෝල වැඩි නම් එම කණ්ඩායම ජය ගන්නා බව කිව යුතු නොවේ. එහෙත් එය ලෙහෙසි කටයුත්තක් ද නොවේ. බාධක, ප්‍රතිරෝධ, වෙහෙස, කාලය, උපක්‍රම ආදි සියල්ල කැටි කර ගනිමින් සිදු කළ යුත්තකි.'

ප්‍රතිවාදි අඩ කවයට රැගෙන යන ග්‍රෑම් 156 ක් බර ඇති ගෝලාකාර පන්දුව අඩි 07ක් උස හා අඩි 12 ක් පළල ගෝල් පුවරුව තුළට යොමු කිරීමෙන් සාර්ථක ගෝලයක් වාර්තා කර ගත හැකි ය. මෙය හොකී ක්‍රීඩාවේ නීතියකි.

එවන් සාර්ථක ගෝලයක්, වේගවත් පහරක් එල්ල කිරීමෙන් හෝ සුළු පහරකින් හෝ තල්ලු කිරීමකින් හෝ ලබා ගත හැකි ය. පන්දුව ඉහළට ඔසවා යැවීමෙන් ද ගෝලයක් ලබා ගැනීමේ හැකියාව පවතී. එවන් ගෝලයක් රැස් කර ගැනීමේ විරල අවස්ථාව උදා කර ගැනීම සඳහා සෑම ක්‍රීඩකයකු ම දක්වනුයේ මහත් උනන්දුවකි. ඒ කණ්ඩායමේ ජයග්‍රහණයට අමතර ව ක්‍රීඩකයකුගේ ස්වර්ණමය මතක ගොනුවට තම නම එකතු කර ගැනීමේ අවස්ථාවක් එමඟින් එක්වන බැවිනි.

එවැනි ගෝල් සිය ගණනක් සටහන් කරමින් තම නම ලෝක වාර්තා පොතේ ලියවා ගන්නට සමත් ව ඇත්තේ දකුණු ආසියාවේ ක්‍රීඩකයකු බව ඔබ දන්නවා ද ? ඒ පාකිස්තානු ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලැබූ ක්‍රීඩකයකු විසිනි. ඔහු මේ වන විට රැස් කර ඇති අන්තර්ජාතික ගෝල සංඛ්‍යාව 348 කි. එහි ඇති අනික් සුවිශේෂත්වය වනුයේ මොහු පසු පෙළ ක්‍රීඩා කරන ආරක්ෂක ක්‍රීඩකයකු වීම ය.

ඒ 1998 සිට 2012 දක්වා කාලය තුළ පාකිස්තානය වෙනුවෙන් ජාත්‍යන්තර තරග 350 ක ට සහභාගි වෙමිනි. මොහු නමින් සටහන් වී ඇති ගෝල වාර්තාව අදටත් නොබිඳී පවතින වාර්තාවකි.

තරග 177 ක් තුළ ගෝල් 267 ක් සටහන් කර ගනිමින් නෙදර්ලන්තයේ පෝල් ලිජෙන්ස් විසින් පිහිටුවා තිබුණු ලෝක වාර්තාව 2004 වසරේ ඔක්තෝබර් මස 08 වැනි දින ඉන්දියාවේ දී තම නමින් ලියවා ගැනීමට මෙම ධෛර්යවන්ත ක්‍රීඩකයාට හැකි විය.

1998 වසරේ මුලින් ම ජාතික කණ්ඩායමට එක් වූ දා පටන් නිවැරැදි රිද්මය පවත්වා ගනිමින් එක පිට එක ගෝල් වාර්තා කර ගැනීමට ඔහුට හැකියාව ලැබුණි. අදාළ ලෝක වාර්තාවට හිමිකම් කියූ ඔහු එම තත්ත්වය අන්තර්ජාතික හොකී කෙළි බිමෙන් විශ්‍රාම යන තුරු ද රැක ගැනීමට සමත් වූයේ ය.

පකිස්තානු හොකී කෙළි බිමේ පුරාවෘත්තයක් බඳු 46 හැවිරිදි මෙම ක්‍රීඩකයා නමින් “සොහේල් අබ්බාස්” ය. එහෙමත් නැති නම් අන්තර්ජාතික හොකී පිටියේ “Drag Flick" රජු ඔහු ය.

කෙටි ආන්තික පහර (Penalty corner) හමුවේ ලොව සාර්ථකම ගෝල් රැස් කරන්නා බවට ජාත්‍යන්තරය ජය ගත් සොහේල් අබ්බාස් එහි දී පන්දුවට වේගවත් ප්‍රහාරයක් එල්ල කිරීම වෙනුවට පන්දුව “Drag Flick" ආකාරයෙන් ගෝලයට “ඉහළින් තල්ලු කර යැවීම” ට සමතෙකි. එය ඔහුගේ සුවිශේෂ වූ නිපුණතාවය සේ සැලකෙයි. දැඩි පහරකින් ලබා ගන්නා ගෝලයක් හා සමාන වේගයක් ඔහුගේ තල්ලු කිරීම තුළ වීමද කැපී පෙනේ. තත්පරයකටත් වඩා අඩු කාලයක් තුළ දී අදාළ ගෝලය රැස් කර ගැනීමේ හැකියාව ඔහු සතුව තිබුණේ ප්‍රතිවාදී ගෝල් රකින්නා ඇතුළු ආරක්ෂක පෙළ මං මුළා කරමිනි.

තම බාහු බලය උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් මෙම උපක්‍රමශීලි ක්‍රීඩකයාගේ පිත්තෙන් නික්මෙන පන්දුව ගුවනත දෝලනය වෙමින් දැල තුළට යන ආකාරයක් දිස්වනුයේ ඉන්ද්‍රජාලික ඇස් බැන්ඳුමක් ලෙස ය.

වැඩිම ගෝල් ලාභියා ලෙස මුදුන් හිණි පෙත්තේ රැඳී සිටින ඔහු නමින් ලියවී ඇති තවත් ලෝක වාර්තා රැසකි. ඒවා නම්,

වර්ෂ 02 මාස 06 දින 18 ක් ගනිමින් අඩුම කාලයක් තුළ ජාත්‍යන්තර ගෝල් 100 ක් වාර්තා කිරීම මෙන්ම, අඩුම කාලයක් තුළ ගෝල් 200 ( වර්ෂ 05 මාස 05 දින 16) සීමාවට ළඟා වීම හා කෙටි ම කාලයක් තුළ ගෝල් 300 සටහන් කිරීම දැක්විය හැකි ය. ඔහු තම පළමු අන්තර්ජාතික ගෝල් 100 තරග 53 තුළ වාර්තා කර ගැනීමට සමත් වන්නේ තම යෞවනත්වයේ යෝග්‍යතාව මැනවින් ප්‍රදර්ශනය කරමිනි.

එමෙන් ම එක් වසරක් තුළ ගෝල් 60 ක් වාර්තා කර ගනිමින් තබා ඇති වාර්තාව අදටත් නොබිඳී පවතී. 1999 වසරේ දී සටහන් වූ එම වාර්තාවට පමණක් දෙවැනි වූ ගෝල් සංඛ්‍යාවක් රැස්කර ගැනීමට 2004 වසරේ දී ඔහුට හැකි වූ අතර එම ගෝල් ප්‍රමාණය 59 කි.

එක් තරගයක දී පිට පිටම ගෝල් 06 ක් ලබා ගැනීම හෙවත් ද්විත්ව ත්‍රිත්ව ගෝලයක් සමඟ නොකඩවා ගෝල් තුනක් ලබා ගැනීම හෙවත් ගෝල ත්‍රිත්ව 21 ක් සටහන් කරමින් ඔහු තබා ඇති වාර්තාව ද අසමසම ය.

1999 මැලේසියාවේ පවත්වන ලද ආසියානු කුසලාන තරගාවලියේ දී ලබා ගත් ගෝල් 16 සම වන්නේ පාකිස්තානු වීරයකු බවට පත්ව සිටින හසාන් සදාර් සමඟිනි. හසාන් සදාර් යනු ලොව වේගවත් ම ගෝලයේ හිමිකරුවා වෙයි .

ආසියානු ක්‍රීඩා උළෙල, ආසියානු කුසලාන තරගාවලිය, දකුණු ආසියානු ක්‍රීඩා උළෙල, පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල, ශූරයින්ගේ තරගාවලිය, අස්ලාන් ෂා තරගාවලිය ආශ්‍රිතව පදක්කම් දිනා ගෙන ඇති සොහේල් අබ්බාස් හට ඔලිම්පික් පදක්කමක් සහ ලෝක කුසලාන පදක්කමක් හිමි වී නොතිබීම ද කැපී පෙනේ.

පකිස්තානු ජාතික වාර්තා රැසකට හිමිකම් කියන සොහේල් අබ්බාස් එරට ජාතික හොකී වීරයෙකි. ලෝක කුසලාන තරගාවලිය, ඔලිම්පික් ක්‍රීඩා උළෙල, ආසියානු තරගාවලිය හා ශූරතා තරගාවලිය ආශ්‍රිතව වැඩි ම ගෝල් ලාභී පකිස්තානුවා ද ඔහු ය.

2012 වසරේ මෙරට මාතලේ දී පවත්වන ලද ආසියානු ක්‍රීඩා සමාජ අතර තරඟාවලිය සඳහා ද එක්වූ සොහේල් අබ්බාස් එහි දී ප්‍රදර්ශනය කළ දක්ෂතාව ක්‍රීඩාලෝලීන්ගේ ඇගයීමට ලක් විය.

පාකිස්තානයේ “හොකී රන්දෙවොල” ලෙස සැලකෙන “කරච්චි” නගරයෙන් ජාත්‍යන්තරය ආක්‍රමණය කළ විශිෂ්ට හොකී ක්‍රීඩකයන්ගේ පවුලට එකතු වූ “සොහේල් අබ්බාස්” කරච්චියේ පිහිටී ශුද්ධ වූ හබීබ් පාසලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි. ඔහුගේ පියා සහ සහෝදරයන් එරට පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයන් වීම ද සුවිශේෂී ය.

සපුමල් වීදිය බණ්ඩාර

Comments