ග්‍රිස්ක්‍රිස්ට් ඔටිසම් යුද්ධයක පැටලෙයි | සිළුමිණ

ග්‍රිස්ක්‍රිස්ට් ඔටිසම් යුද්ධයක පැටලෙයි

 

ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ කර ගනිමින් දහසක් දරුවන්ගේ ජීවිතවල වෙනසක් ඇති කළ හැකි වැඩපිළි‍වෙළකට සහයෝගය දැක්වීමට හැකි වීම සතුටක් බව ග්‍රිල්ක්‍රිස්ට් පසුගිය දා ප්‍රකාශ කළේ ය.

කායිකව මෙන්ම මානසිකව මනස සැහැල්ලු වීම ක්‍රීඩාවේ එක් ප්‍රයෝජනයකි. එබැවින් නිරෝගී මනසක් ඇත්තෙකුට වඩා රෝගී මනසක් ඇත්තන්ට ක්‍රීඩාවෙන් සිදු වන මෙහෙය සුළුපටු නොවේ. සෙමෙන් මනස වැඩෙන්නන්ගේ විෂයේ ක්‍රීඩාව යනු ප්‍රශස්ත ඖෂධයක් ය. සෙමෙන් මනස වැඩීමට වෛද්‍ය විද්‍යාවේ කියන්නේ ඔටිසම් යන්න ය. එය දරුවන්ට වැලඳෙන මානසික රෝගී තත්ත්වයකි.

ලොව දරුවන්ගෙන් 1%ක් මෙම රෝගී තත්ත්වයෙන් පෙළෙන අතර, ලංකාවේ ද 2% ක් පමණ දරුවෝ ඔටිසම් රෝග‍යෙන් පීඩා විඳිති. චිකිත්සක ප්‍රතිකාර මඟින් මෙම රෝගය යම් තාක් දුරට සුව කළ හැකි බව වෛද්‍යවරුන්ගේ මතයයි. ලෝක ප්‍රසිද්ධ ගත්කතුවරුවන් වන හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්, බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්, ලුවිස් කැරෝල් මෙන්ම ලෝක චෙස් ශූර බොබී ෆිස්චර් පවා කුඩා කල ඔටිසම් රෝගයෙන් පීඩා විඳ ඇත. එවන් වූ ඔටිසම් රෝගී දරුවන් ක්‍රිකට් ක්‍රීඩාවට හුරු කරවමින් සැහැල්ලු මනසක් ඇති කරවන්නට දැරීම මහා සමාජ සත්කාරයකි. එවන් සුවිශේෂී සමාජ කාර්යයක් පිළිබඳ ව ඕස්ට්‍රේලියාවෙන් අසන්නට ලැබුණේ ය. එම වැඩසටහන නම් කර ඇත්තේ 'ඔටිසම් ඔෆ් ක්‍රිකට්' නමිනි. INAS ගෝලීය ක්‍රීඩා තරගාවලිය ද ඔටිසම් ආබාධ සහිත පිරිස් උ‍දෙසා පැවැත්‍‍වෙන ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලකි. ‍‍මේ ඒ පිළිබඳ ව ලියැවෙන විශේෂාංගයකි.

ඔටිසම් ඔෆ් ක්‍රිකට් වැඩසටහනේ මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ බටහිර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සංගමය සහ බටහිර ඕස්ට්‍රේලියාවේ ඔට්සම් සංගමයයි. මේ කර්තව්‍යය සඳහා ඕස්ට්‍රේලියානු හිටපු සුපිරි ක්‍රීඩක ඇඩම් ග්‍රිල්කිස්ට්ගේ දායකත්වය ද හිමි ව තිබේ.

ග්‍රිල්ක්‍රිස්ට් ක්‍රියා කරන්නේ මෙම වැඩසටහනේ තානාපතිවරයා ලෙස ය. ඔටිසම් රෝගී දරුවන් ඕස්ට්‍රේලියාවේ දේශීය ක්‍රිකට් කණ්ඩායම් සඳහා ඇතුළත් කර ගැනීම සඳහා පුහුණු කරවීම මෙහි දී සිදු කෙරේ. ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ කර ගනිමින් දහසක් දරුවන්ගේ ජීවිතවල වෙනසක් ඇති කළ හැකි වැඩපිළි‍වෙළකට සහයෝගය දැක්වීමට හැකි වීම සතුටක් බව ග්‍රිල්ක්‍රිස්ට් පසුගිය දා ප්‍රකාශ කළේ ය.

බටහිර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සංගමයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂවරිය වන ක්‍රිස්ටින් මැතිව්ස් පවසා සිටියේ ඔටිසම් සංගමය සමඟ එක්ව ආරම්භ කළ මෙම වැඩසටහන සම්බන්ධ ව සංගමයක් ලෙස සතුටට පත් වන බවයි. එසේම තම සංගමය ඔටිසම් හා සටනට පමණක් නොව ඉදිරියේ දී විවිධ ආබාධ සහිත පුද්ගලයන්ගේ අභිවෘද්ධිය වෙනු‍වෙන් ද පෙරට පැමිණෙන බව ඈ පවසා තිබුණා ය.

ඕස්ට්‍රේලියානු ඔටිසම් සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී මැකේනා කෙර් මහතා ‍මෙම සත්කාර්යය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරමින් කියා සිටි‍යේ ඔටිසම් රෝගී දරුවන් සතුව පවතින ශක්තීන් නිවැරැදි ව හඳුනා‍‍‍ගෙන ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවෙහි පුහුණු කරවීම ‍මෙහි අරමුණ බවයි.

ක්‍රිකට් පුහුණු කඳවුරු, සුවිශේෂී පුද්ගලයන් සම්බන්ධ කර ගනිමින් සිදු කරන විශේෂිත ක්‍රිකට් පුහුණු වැඩසටහන්, සාමාජික දරුවන් අතර සුහද ක්‍රිකට් තරග ආදිය මේ දක්වා ‍ඔටිසම් ඔෆ් ක්‍රිකට් වැඩසටහන තුළින් ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් කිහිපයකි.

ක්‍රිකට් ක්‍රීඩා‍ව තුළින් ඔටිසම් රෝගය පරාජය කළ යෞවන‍යකු වන බොයිඩ් ඩෆීල්ඩ් අද වන විට ඕස්ට්‍රේලියානු ක්‍රීඩා සමාජයක දක්ෂ ක්‍රිකට් ක්‍රීඩක‍‍යෙක් ලෙස ක්‍රීඩා කරයි. ඔහු වයස අවුරුදු 8 සිට ක්‍රිකට් ක්‍රීඩා පුහුණු කටයුතු සිදු කළ අතර, ‍‍ඔහු අද වන විට ලෝකය ජය ගෙන ඇත.

ඔටිසම් ඔෆ් ක්‍රිකට් සංවිධානය කළ ප්‍රවර්ධන වීඩියෝ වැඩසටහනකට සහභාගී වූ ඩෆීල්ඩ් ක්‍රිකට් ක්‍රීඩාව මඟින් තමා සාමාන්‍ය ජීවිතයකට හුරු වූ ආකාරය ලොවට ම ප්‍රකාශ කළේ ය. ඒ ආකාරයට ඔටිසම් දරුවන් සුවපත් කරන්නට ක්‍රිකට් ක්‍රීඩාව යොදා ගැනීම ඵලදායී ප්‍රතිඵල සහිත වැඩපිළිවෙළක් බව අද පෙනෙන්නට තිබේ. වර්තමානය වන විට ඕස්ට්‍රේලියාවේ පමණක් නොව එංගලන්තය ඇතුළු රටවල් කිහිපයක ම බුද්ධිමය ආබාධ සහිත දරුවන් (ඔටිසම්) අතර ක්‍රිකට් ජනප්‍රිය කිරීමේ වැඩසටහන් පැවත්වෙන්නේ එහෙයිනි.

INAS ගෝලීය ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවත්

INAS ගෝලීය ක්‍රීඩා මංගල්‍ය‍ය ද ලොව පුරා වෙසෙන බුද්ධිමය ආබාධ සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලියකි. 2004 වසරේ දී ආරම්භ වූ මෙම ක්‍රීඩා තරගාවලිය සාමාන්‍යයෙන් පැවැත්වෙන්නේ වසර හතරකට වරකි. INAS ගෝලීය ක්‍රීඩා තරගාවලි‍‍යෙහි මලල ක්‍රීඩා, පැසිපන්දු, පාපැදි, ජූඩෝ, ඔරු පැදීම, පිහිනීම, මේස පන්දු, ටයිකොන්ඩෝ, ටෙනිස්, ක්‍රිකට් ආදි ඉසව් වෙනුවෙන් තරග පැවැත්වෙයි. අවසන් වරට 2019 වසරේ දී පැවති INAS ගෝලීය ක්‍රීඩා තරගාවලියට ක්‍රිකට් ක්‍රීඩාව ද එක් විය. එහි දී ක්‍රිකට් වෙනුවෙන් කණ්ඩායම් ඉදිරිපත් කළේ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව පමණකි. අවසන් වරට 2019 වසරේ දී පැවැති INAS ගෝලීය ක්‍රීඩා තරගාවලියෙහි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5 දෙනෙක් සහභාගී විය. 2004 වසරේ සිට මේ දක්වා INAS තරගාවලි ඉතිහාසයෙහි ශ්‍රී ලංකාව රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනා ගෙන තිබේ.

ක්‍රීඩාව හරහා ඔටිසම් හෙවත් බුද්ධිමය ආබාධ සහිත දරු දැරියන්ගේ ජීවිත තුළ අභිවෘද්ධිය ගොඩනැඟීම වෙනුවෙන් ලෝක ප්‍රජාව සිදු කරන වැඩපිළි‍වෙළ අතිශයින්ම සුවිශේෂී ය. අප රටේ ද එවන් දරුවන් බොහෝමයක් සිටින අතර ක්‍රීඩාව හරහා ඔවුන්ගේ මානසික සංවර්ධනය වෙනු‍‍වෙන් සුවිසල් මෙහෙයක් ඉටු කළ හැකි ය.

පසිඳු මිහිරාන් රැටියල

Comments