කැලණියේ දුවනගිරිය විමලේ කරුණානන්ද හා රෝසාත් පරදවයි | Page 2 | සිළුමිණ

කැලණියේ දුවනගිරිය විමලේ කරුණානන්ද හා රෝසාත් පරදවයි

 

මම එදා පුරුදු විදිහටම මුල ඉඳලම මගේ ගැම්ම ගත්තා. කරුණානන්දත්, රෝසාත්, මාත් අතර තිබුණේ මීටර් පනහක වගේ පරතරයක් කොහොම වුණත් කොල්ලුලපිටිය හන්දිය පසු කරනවාත් සමඟම මගේ වේගය වැඩි කරගෙන ඒ දෙන්නව මම පසු කළේ ඔවුන්ට හිතා ගන්ඩත් බැරි ආකාරයටයි. එය මම උපක්‍රමශීලි ව කළ අත්හදා බැලීමක්. ඒක සාර්ථක වුණා.

'විමලේ කැලණියේ දුවනගිරි ය. දුවනගිරිය යැයි කීවාට ඔහු ඇවිදින කඩයක් නොවේ. එහෙත් එකතැනක නොරැඳී දින පතා කැලණියටත්, පනාගොඩටත් දිවයමින් රැකියාවට ගිය මිනිසා නිසා දුවනගිරිය නම ඔහුටද උචිතය.

ධර්මාලෝක විදුහල හැර ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳුණු ඔහු දැන් සේවය කරන්නේ පනාගොඩ යුද හමුදා කඳවුරේය. මේ පනාගොඩින් ශ්‍රී ලංකාවේ මැරතන් ක්‍රීඩකයන් අභියෝග කළ කැලණි පුතාගේ ජීවිතයේ තවත් රසබර සිදුවීම් සමුදායකි.

දියතලාවේ හමුදා කඳවුර විමලසේනට තවත් කෙළි බිමක්ම විය. දුවන්ට උපන් රුසියෙක් වීමත් කය වෙහෙසීමේ දී ඔහු තුළ පැවැති කඩිසර බවත් නිසා ම පුහුණු කිරීමේ නිලධාරීන් අතර විමලසේන කැපී පෙනුණ චරිතයක් වීමට එතරම් කාලයක් ගත වුණේ නැත. 'ධර්මාලෝක විදුහලේ බාලදක්ෂ කණ්ඩායමේ දී මට ලැබුණ ඇතැම් ක්‍රියාකාරකම් හමුදා පුහුණුවේ දී මට ලොකු සහයක් ලැබුණා. පුහුණුවීම් පටන් අරගෙන මාස දෙකකට පස්සෙ, දින පහක නිවාඩුවක් ලැබුණා. එක දිගට කය වෙහෙසලා වෙහෙසලා පුහුණුවීම් සිදු කරලා ලැබෙන මේ විරාමය හරිම අපූරුයි. ඒක හරිම හැඟීම් ගොඩනංවන විරාමයක්. මේ දින පහේ නිවාඩුවත් අරගෙන ගෙදර එන්න පිටත් වුණා. අපිව කොටුව දුම්රිය පොළෙන් අරගන්න හැමෝගෙම මාපියෝ ඇවිත් හිටියා. එදා අම්මා මාව දැකලා හැඬුවා. ඒ දුකට වඩා සතුටට කියලයි මට දැනුණේ. ඔවුන් වගේ ම මගේ ගමේ හැම කෙනෙකුට ම මාව පෙනුණේ වෙනස් විදිහට. හමුදාවේ පුහුණුවේ ආකාරයට කොණ්ඩේ කපලා දැලි රැවුල බාල හිටිය මාව දුටු සැණින් ඔවුන්ට වෙනදා දකින විමලේ දකින්න ලැබුණේ නෑ. ගෙදර ආපු දවස් පහ වේගයෙන් ගෙවී ගියා. ඒ කාලේ මම කළේ හැකි තරම් යාළුවනුයි පවුලේ උදවියයි එක්ක හමුදා කඳවුරේ පුහුණුව සහ එහි ජීවිතය ගැන මගේ අත්දැකීම් බෙදා හදා ගන්න එක.' තමන්ගේ පුහුණුව අතරතුර ලද විවේකය යොදා ගනිමින් ගමට පැමිණි අයුරු විමලේට අද මෙන්ම අසිරිමත් මතකයකි. සිනා සලන ඔහුගේ දෙනෙත් ඒ බවට අපූරු සාක්ෂි ය. එහෙයින් අපි ඔහුගේ මේ අතීත ස්මරණයට බාධාවක් නොවී අසා සිටියෙමු. ‍“දියතලාව පුහුණු කඳවුරේ අවසානයේ පවත්වපු මීටර් 800 සහ 1500 ධාවන තරග දෙකෙන්ම පළමු ස්ථානය ලැබුණේ මට. 1964 දෙසැම්බර් 12 වැනිදා පවත්වපු අපේ විසුරුවා හැරීමේ උත්සවයෙන් පස්සේ මාව අනුයුක්ත කළේ හෝමාගම පළමුවන ඉංජිනේරු රෙජිමේන්තුවටයි. 1964 දෙසැම්බර් 15 දා මම වැඩ භාර ගත්තා.' එම බළකායට එක්වීම ද විමලසේනගේ ක්‍රීඩා දිවියට නව ජවයක් එක් කළේ ය. ඒ එම රෙජිමේන්තුවේ අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කළ කර්නල් ජී. ඩග්ලස් රාමනායක මහතා හේතුවෙනි. අණදෙන නිලධාරියා විමලේගේ ක්‍රීඩා දිවියට ඉමහත් සහයක් ලබා දුන්නේ ය. මෙතෙක් නිසි උපදේශනයක් හෝ මඟ පෙන්වීමකින් තොරව ධාවන පථයේ පාවෙමින් සිටි විමලසේනගේ මානසික ශක්තිය ද එමඟින් වර්ධනය කර ගැනීමට හැකි විය. එහි කූටප්ප්‍රාප්තිය එළඹුණේ 1966 වසරේ දී ය.

'1966 අවුරුදේ ආරම්භ වුණේ යුද හමුදා අන්තර් ඒකක මීටර් 10000 මාර්ග ධාවන තරගයකින්. ගල්කිස්සේ ඉඳලා ගාලු මුවදොර පිහිටි හමුදා ක්‍රීඩාංගණය දක්වා පවත්වපු ඒ තරගය ඇත්තෙන්ම අභියෝගාත්මකයි. 1964 වර්ෂයේ ටෝකියෝ ඔලිම්පික් තරගයට සහභාගි වූ යුද හමුදාවේ ආර්. ජේ. කේ. කරුණානන්ද සහ එස්. එල්. බී. රෝසා එදා තරගයට සහභාගි වුණා. හැම කෙනෙකුගෙම අවධානය යොමුවෙලා තිබුණෙත් ඒ දෙදෙනාටයි. ඔවුන් එතෙක් පෙන්වා තිබූ දක්ෂතා නිසා මුඵ රටේ ම ඔවුන්ට ලොකු පිළිගැනීමක් තිබුණා. හමුදාවේ හැම කෙනාගෙ ම අදහස වුණේ එදා තරගය තියුණු වේවි කියායි. “විමලසේන උත්සාහය අතහරින්න එපා. ඔයාට මේ රේස් එකෙන් දිනන්න පුළුවන්” කර්නල් රාමනායක සර් තරගයට යන්න කලින් මාව දිරි ගැන්වූවා.' ඔහු පැවසුවේ ය.

තරගය පැවැත්වෙන දිනයේ උදෑසන ඔහු ගල්කිස්ස තරග ආරම්භක ස්ථානයට පැමිණියේ ය. 'මම එදා පුරුදු විදිහටම මුල ඉඳලම මගේ ගැම්ම ගත්තා. කරුණානන්දත්, රෝසාත්, මාත් අතර තිබුණේ මීටර් පනහක වගේ පරතරයක් කොහොම වුණත් කොල්ලුලපිටිය හන්දිය පසු කරනවාත් සමඟම මගේ වේගය වැඩි කරගෙන ඒ දෙන්නව මම පසු කළේ ඔවුන්ට හිතා ගන්ඩත් බැරි ආකාරයටයි. එය මම උපක්‍රමශීලි ව කළ අත්හදා බැලීමක්. ඒක සාර්ථක වුණා. ඒ සමඟම කොළඹ ‘ඒස්’ මලල ක්‍රීඩා සංගමය පවත්වපු වයස අවුරුදු 21 පහළ මීටර් 10000 තරගයෙන් ද මට ප්‍රථම ස්ථානය ලබා ගැනීමට හැකි වුණා.' ඔහු සිය ජීවිතයේ තීරණාත්මක සිදුවීමක් එලෙස ගෙනහැර දැක්වූයේ ය.

1966 වසර යනු විමලසේනගේ ක්‍රීඩා දිවියට ඉස්පාසුවක් නොමැති වූ වසරක් ම විය. ඒ ජැමෙයිකාවේ පොදු රාජ්‍ය මණ්ඩලීය ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගය මෙන්ම තායිලන්තයේ බැංකොක් හි පවත්වන්නට යෙදුන ආසියාතික ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගය ද එම වසරේ පැවත්වෙන බැවිනි. එම තරග සදහා තේරීමේ මූලික තරගවලට විමලසේනට සහභාගී වීමට සිදුවිය. ඒ අනුව 1966 මැයි මාසයේ 26 දින ශ්‍රී ලංකා ජවන හා පිටිය මලල ක්‍රීඩා සමාජය වාර්ෂිකව පවත්වන ලද විවෘත මැරතන් ධාවන තරගයට විමලසේන සහභාගී වන්නේ වෙනදා මෙන් ම ජයග්‍රාහී බලාපොරෙත්තුව පෙරදැරිවය.

'ඒ තරගය කොළඹ විශ්වවිද්‍යාල පිටියෙන් ආරම්භ වෙලා හෝමාගම කැන්දලන්දට ඇවිත් නැවත විශ්වවිද්‍යාල පිටියෙන් අවසන් වීමට නියමිතව තිබුණා. මට මේ පාර හුරුයි ඒ නිසා අපහසුවකින් තොරව කල් තියාම මගේ ඉලක්කයට යෑමට හැකි වුණා. ඉතින් මම පැය 02 විනාඩි 27 තත්පර 17 කින් නව ශ්‍රී ලංකා වාර්තාවක් ද තබමින් එම තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගත්තා. මෙයට කලින් 1960 පැවැති මෙම මැරතන් ධාවන තරගයේ දී පැය 02 විනාඩි 33 තත්පර 07 ලබා ගනිමින් තරග වාර්තාවයි අපේ ශ්‍රී ලංකා වාර්තාව වී තිබුණේ. ඒ 1960 රෝම ඔලිම්පික් තරගයට සහභාගී වූ ලීනස් ඩයස් විසිනුයි. ' විමලේ සිය ජයග්‍රාහී ක්‍රීඩා ගමන සම්බන්ධයෙන් පැවසූයේ ය.

ලබන සතියට

අතුල රංජිත් වේදමිස්ත්‍රි

 

Comments