ක්‍රීඩකයන් 33 ක්‍රීඩිකාවන් 19 ක් ලියූ ලෝක ශූරයාට තරු පෙන්නූ සුගත් තිලකරත්න | Page 2 | සිළුමිණ

ක්‍රීඩකයන් 33 ක්‍රීඩිකාවන් 19 ක් ලියූ ලෝක ශූරයාට තරු පෙන්නූ සුගත් තිලකරත්න

 

පසුගිය සතියෙන්...

 

මයිකල් ජොන්සන් සුගත් වෙත ආචාරශීලි සිනහවකින් සංග්‍රහ කර “ ඔබ සැබෑ දක්ෂයෙක් “ යැයි පිටට තට්ටුවක් දැම්මේ ය.

ටෝකියෝ ඔලිම්පික් උලෙළේ ක්‍රීඩා හතක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනෙකු සුදුසුකම් ලබා තිබේ. ඉන් පස් දෙනෙක් ක්‍රිඩිකාවන්ය. ඒ අනුව 2000 ක්‍රීඩිකාවන් 09 ක්, 1992 ක්‍රීඩිකාවන් 06 දෙනකුට පසු වැඩිම ක්‍රීඩිකාවන් ප්‍රමාණයක් මෙරට නියෝජනය කරමින් ඔලිම්පික් උළෙලකට තරග වදින්නේ ටෝකියෝ ඔලිම්පික් උළෙල වෙනුවෙනි. ක්‍රීඩකයන් හතර දෙනකු බැගින් එක්වන හත් වැනි ඔලිම්පික් උළෙල වන්නේ ද මෙයයි.

 

1996 ඇට්ලන්ටා ඔලිම්පික් බිමේ මීටර් 400 මූලික වටයේ දී එවකට එම ඉසව්වේ ලෝක ශුරයා වූ මයිකල් ජොන්සන් අනපේක්ෂිත පරාජයක් හිමි කර ගත්තේ අට වැනි මංතීරුවෙන් තරග කළ සුගත් තිලකරත්න ගෙන් ය. තරගය අවසානයේ තමන්ට සිදු වූයේ කුමක් දැයි තේරුම් ගන්නට නොහැකි ව වික්ෂිප්ත ව සිටි මයිකල් ජොන්සන් වෙත සුගත් පියමැන්නේ ය.

තම ඉසව්වේ අසහාය වීරයා සමඟ සේයාරුවක් ගන්නට සුගත් උත්සාහ කළේ එය තමන් වෙත සදාකාලික සිහිවටනයක් වන බැවිනි. නමුත් ලෝක ශුර මයිකල් ජොන්සන්ගේ ආරක්ෂකයන් සුගත්ව නතර කළා පමණක් නොව කැමරාව ද පසෙකට විසි කළේ ය. පසුව අවස්ථා කීපයක දී ම සුගත් සහ මයිකල් ජොන්සන් හමු වූවත් සෑම විට ම ඔහු සුගත්ව මඟ හැරියේ ය.

සුගත් තිලකරත්නගේ ක්‍රීඩා දිවියේ උච්චතම වර්ෂය සටහන් වන්නේ 1998 දී ය. ආසියානු ශුරතා රන් පදක්කම, ආසියානු තරගාවලි රන් පදක්කම සේම පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ ලෝකඩ පදක්කම ද මීටර් 400 ඉසව්වෙන් ඔහු හිමි කර ගත්තේ ය. 1998 ජපානයේ ෆුකෝකා ආසියානු තරගාවලියේ ඔහු තප්පර 44.61 කින් අලුත් කළ තමාගේ ම ශ්‍රී ලංකා වාර්තාව අදට ද සුරක්ෂිත ය.

කාලය ගෙවෙද්දී සුගත් මෙන්ම මයිකල් ජෝන්සන් ද පිටියට සමු දී නික්ම ගියහ. දිනක් දෙදෙනා යළි හමු වූහ. පරණ මතක පිළුණු නොවන බවට පසක් කරමින් මයිකල් ජොන්සන් සුගත් වෙත ආචාරශීලි සිනහවකින් සංග්‍රහ කර “ ඔබ සැබෑ දක්ෂයෙක් “ යැයි පිටට තට්ටුවක් දැම්මේ ය. ඔලිම්පික් රන් පදක්කම් හතරක් දිනූ ලෝක ශුරයාට අමතක නොවන පරාජයක් සුගත් උරුම කළ බවට සැක නැත.

“Not to win, but to take part”

- රණතුංග කරුණානන්ද

රණතුංග කරුණානන්ද, මේ නම අහලා පුරුදු ද? ලාංකිකයෝ අතිබහුතරයක් දන්නේ නැති වුණාට, ජපානේ පොඩ්ඩෙක්ගෙන් මේ නම ගැන අහලා බැලුවොත් මේ කවුද කින්ද මන්ද කියන එක හරි අපූරුවට ඔවුන් කියාදේවි. 1964 අවුරුද්දේ දී ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වුණු ඔලිම්පික් උලෙළේ විශිෂ්ට ම පරාජිත මලල ක්‍රීඩකයා වුණු ඔහු ගැන අපේ පෙළ පොත්වල කෙසේ වෙතත්, ජපානයේ පෙළ පොත්වල නම් ඉහළින් ම සඳහන් වෙනවා.

සොඳුරුත ම ඔලිම්පික් පරාජිතයා

1936 අවුරුද්දේ ඉපදුණු රණතුංග කරුණානන්ද සේවය කළේ ශ්‍රී ලංකා යුද හමුදාවෙයි. ඔහු ඒ වෙද්දී ලංකාවේ ඉඳපු දක්ෂත ම දිගු දුර ධාවකයා වුණා. 1964 දී ඔහු ටෝකියෝ අගනගරයට ගියේ ඒ වසරේ ඔලිම්පික් උලෙළේ මීටර 5000 සහ 10000 තරගවලට සහභාගී වෙන්නයි. ඔහු ඇතුළු මෙරට කණ්ඩායමේ හයදෙනෙක් සිටියා.

දෙවැනි ලෝක යුද්ධයෙන් විනාශ වෙලා ගිය ජපානයට, ටෝකීයෝ ඔලිම්පික් උලෙළ අතිශය වැදගත් එකක් වුණේ මේ තරගාවලියෙන් ඔවුන්ට ලබා ගත හැකි උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමට ඔවුන් ලක ලෑස්ති වී සිටි බැවිනුයි.

ඒ අනුව මීටර 10000 තරග ඉසව්ව ඇරඹීමේ සංඥාව ලැබෙනවාත් එක්ක ම, රට රටවල්වලින් පැමිණ සිටි දුර ධාවකයෝ සෙමින් සෙමින් ධාවන පථය දිගේ ඉදිරියට ඇදෙන්නට වුණා. මේ තරගයේ මුළු වට ගණන 25 ක්. තරගය ආරම්භ වෙලා පළමු වටය අවසන් වෙද්දී කරුණානන්ද හිටියේ අනෙකුත් ධාවකයන් ට වඩා මීටර 200 ක් විතර පිටුපසින්. වට 20ක් අවසන් වෙද්දී ඔහු තරගයේ අන්තිමයා වී තිබුණා.

තරගයේ අවසන් වටය එළඹෙද්දී, අමෙරිකාව, ටියුනීසියාව සහ ජපානය යන රටවල් තුනේ ක්‍රීඩකයන් පදක්කම් වෙනුවෙන් තරගයක නිරත වෙලා හිටියා. ඒ වෙද්දී කරුණානන්ද හිටියේ අනෙකුත් ධාවකයන් ට වඩා වට හතරක් පසුපසින්. ඒ කියන්නේ මීටර් 1600 ක පමණ දුරක් ඔහු සහ අනිත් අය අතරේ වුණා.

තරගය අවසාන වුණේ පෙර සඳහන් රටවල් තුනේ ක්‍රීඩකයන්ට රන්, රිදී සහ ලෝකඩ පදක්කම් හිමි කර දෙමිනුයි. ඊළඟ තරගය වෙනුවෙන් කටයුතු සූදානම් කරන්න තරග සංවිධායකයෝ සූදානම් වුවත්, ඔවුන්ට ඒ සඳහා ඉඩක් නොලැබුණේ ඒ වෙද්දීත් ධාවන පථයේ දුවමින් උන්නු කලින් තරගයේ ක්‍රීඩකයෙක් හිටපු නිසා. ඒ වෙන කවුරුවත් නෙවෙයි, ලංකාවෙන් තරගයට සහභාගී වුණු කරුණානන්දයි.

පදක්කමක් නොලැබුණත්, ලංකාවේ මේ ක්‍රීඩකයා ඉතිහාසගත වුණේ මෙන්න මේ අන්තිම වට හතරෙනුයි. හැටදහසක් පමණ වූ ප්‍රේක්ෂකයන් හැල්මේ දුවන කරුණානන්ද දිහා බලාගෙන හිටියේ සමච්චල් සහගත මුහුණුවලින්. පිටියේ තැනින් තැනින් පුංචි පුංචි හූ හඬක් මතුව ආවා. නමුත් ඒ ගැන කනකටවත් නොගත්ත ඔහු, පෙර පරිදිම ධාවනයේ නිරත වුණා. අන්තිම වට හතරෙන් දෙවැනි වටය පටන් ගන්නකොට, අර කලින් ඇහුණු හූ හඬ හෙමිහිට මැකිලා ගියා. ඒ වෙනුවට ඇහුණේ සිහින් අත්පොළසන් නාදයක්. 24 වැනි හෙවත් අන්තිම වටය ආරම්භ වෙද්දී මුළු ප්‍රේක්ෂකාගාරයෙන් ම ඇහුණේ “කරූ සිලෝන්! කරූ සිලෝන්” කියන ඔල්වරසන් නාදය විතරයි.

තරගයේ අන්තිම මීටර් 400, කෙටි දුර තරග ධාවකයෙක් මෙන් දුවපු කරුණානන්ද සම්පූර්ණ තරගය අවසාන කරන්න ගත්ත කාලය විනාඩි 34යි තත්ත්පර 21.6 යි. ඒත් තරගයේ රන් පදක්කම ගත්ත අමෙරිකානු ජාතික විලියම් මිලාස්ට වඩා වැඩි අවධානයක් ඔහුට ලැබුණා. ඒ කරුණානන්ද දක්වපු අප්‍රමාණ ආත්ම ශක්තිය නිසා.

තරගයට ආවේ පදක්කමක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. ඔලිම්පික් ක්‍රීඩකයෙක් විදියට තමන්ගේ රට නියෝජනය කරන්නයි. පරාජය දැක දැකත් ඔහු අවසන් වට හතර දිව්වේ ඒ රාජකාරිය අකුරට ම ඉටු කරන්නෙක් විදියට. තමන් තරගය දිනුවත් සැබෑ කිරුළ හිමි වෙන්නේ ලංකාවෙන් ආ දිරිමත් ක්‍රීඩකයාට බව රන් පදක්කම දිනපු විලියම් මිලාස් පවා කිව්වේ ඒ නිසයි.

ජපානයේ පමණක් නෙවෙයි, ලොව පුරා පුවත්පත් ගණනාවක කරුණානන්දගේ ධෛර්යවන්ත බව ගැන කතා කෙරුවා. ජපානයේ පාසල් පෙළ පොතට ඔහු ගැන පරිච්ඡේදයක් එකතු වුණෙත්, ඒ වෙද්දී දෙවන ලෝක යුද්ධයෙන් කඩා වැටී උන්නු ඔවුන්ගේ රටේ මිනිසුන් ව දිරිමත් කිරීමටයි.

තරගාවලිය අවසන් කරලා ලංකාවට ආව කරුණානන්දට ගෞරවයක් ලෙසට ක්‍රීඩා පිට්ටනියක් ඉදි කරන බවට එවකට ඉඳපු පාලකයන් නා නා ප්‍රකාර කතා කිව්වත්, ඒ සේරම හිස් වචන විතරක් වුණා. ඒ ගැන තැකීමක් නොකරපු ඔහු සාමාන්‍ය පරිදි යුද හමුදාවට තමන්ගෙන් විය යුතු සියලු රාජකාරි ඉෂ්ට සිද්ධ කළා.

ජපානයට හපනෙක් වුණත් අපට පොඩි මිනිසකු වූ රණතුංග කරුණානන්දට 1975 දී ජපානයට පැමිණ විශේෂ ගෞරව සම්මානයක් ලබා ගන්නා ලෙසට ජපන් රජයෙන් ආරාධනාවක් ලැබුණා. ඔහුගේ අඹුදරුවන් සියල්ලට ම ලැබුණු මේ ඇරැයුම ඔහු පිළිගත්තේ හරි ම නිහතමානී ආකාරයටයි.

ඒත් මේ ගමනට සති දෙකකට කලින් අම්පාර නාමල්ඔය ජලාශයේ ඔරු පදිමින් සිටි කරුණානන්ද වතුරේ ගිලීමෙන් මරණයට පත්ව තිබුණා.

අම්පාර යුද හමුදා කඳවුරේ රැකියාව කරමින් ඉඳපු ඔහුගේ මරණය අදටත් නොවිසඳුණු අබිරහසක්. මේ ප්‍රවෘත්තිය සැල වුණා ම ලංකාවටත් වඩා කම්පා වුණේ ජපානයයි. වෙන එකක් තියා ඔහුගේ සිරුර ගොඩ ගත්තෙත් ජපානයෙන් ආ කිමිදුම්කරුවන් පිරිසක්. ජපානයේ පුවත්පත්, රූපවාහිනීවලින් ඔහුගේ මරණය ගැන ලෝකයට ම කියද්දී, අපේ පුවත්පත්වලින් ඒ සඳහා දීලා තිබුණේ හරි ම පොඩි ඉඩක්.

අධිෂ්ඨානය, ආත්ම විශ්වාසය, මානව වටිනාකම ගැන ලෝකයට ම පණිවිඩයක් දුන් රණතුංග කරුණානන්දගේ චරිතය ලංකාවට වැදගැම්මක් නොවීම, ඇත්තට ම හරි ම කනගාටුදායක කාරණයක්.

බන්ධුල ජයමාන්න

Comments