ඔලිම්පික් පදක්කමක් අපිට දිනන්න පුළුවන් | සිළුමිණ

ඔලිම්පික් පදක්කමක් අපිට දිනන්න පුළුවන්

 

චමිල කොඩිකාර

මනෝවිද්‍යා දේශක

 

ජාතික ක්‍රිකට් පිල යළි නැඟිට්ටවන්න ඕනෑ මානසික මන්තරයක් විතරයි

මනෝ විද්‍යා දේශක චමිල කොඩිකාර අපව සොයා පැමිණියේ ඔහුට රටට යමක් දීමට අවශ්‍යතාවක් පවතින බව කියමිනි. ඔහුට රටට ලබා දිය යුතුව ඇත්තේ කුමක් දැයි අපි විමසුවෙමු. ‘මට උවමනා රටම දිනවන්න.’ ඔහු කීවේ ය. රටම දිනවන්නේ කෙසේ දැයි අප තුළ උභතෝකෝටික ගැටලුවක් නිර්මාණය විය. ‘මම දිනන හැටි කියා දෙන්නම්.’ යැයි ඔහු කී හෙයින් හා එය කිසිදු වාණිජ්‍ය පරමාර්ථයකින් තොරව ඉදිරිපත් කිරීමට කැමැත්ත පළ කළ හෙයින් ඔහු වෙනුවෙන් මෙවර ‘ක්‍රීඩා’ පුවත්පතේ ඉඩ අවකාශ වෙන්කර දුනිමු.

‘මම සනත් ජයසූරියට ධනාත්මක උපදෙස් ලබා දීලා තිබෙනවා. ඔහු ගේ ක්‍රිකට් ජීවිතය තුළ මගෙන් ලබා ගත් උපදෙස් ප්‍රයෝජනයට ගත් බවත් ඔහු පවසලා තිබෙනවා. ඔබ දන්නවාද රංගන හේරත් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වෙන්න අවශ්‍ය පසුබිම මානසිකව හදා ගන්න මගේ උපදෙස් රුකුලක් වුණා.’ ශ්‍රී ලංකාවේ මනෝවිද්‍යා සහ සයිබර්නටික්ස් දේශකයකු (Psychological & Cybernetics) වන චමිල කොඩිකාර මහතා පැවසීය.

‘මම රටවල් හයක දේශකයකු වශයෙන් කටයුතු කර තිබෙනවා. මේ වන විට මා දේශන තුන්දහසකට අධික ප්‍රමාණයක් පවත්වා ඇති බව කිව යුතුයි. මේ අතරින් විදේශීය රටවල පවත්වා ඇති දේශන සංඛ්‍යාව 16 ක්. මොකද මම අද ඊයේ මේ ක්ෂේත්‍රය තුළට අවතීර්ණ වූවෙක් නොවෙයි. සැබැවින්ම එය වසර විසි තුනක අත්දැකීම් සම්භාරයක්. ඒ නිසා මම දන්නවා රටම දිනවන්න ගොඩනැඟිය යුතු මානසික විභවයන් මොනවාද කියලා.’

ක්‍රීඩාවට සම්බන්ධ වන ආකාරය

මම ක්‍රීඩාවට අහම්බෙන් කඩා වැටුණු කෙනෙක් නොවෙයි. ඔලිම්පික් තරගාවලිය කටමුල තියාගෙන ඇවිත් කට මැත දොඩවන කෙනෙක් කියා සිතන්න එපා. අනික මට මේකෙන් වාණිජ්‍යමය අරමුණකින් මුදල් හම්බ කර ගන්න උවමනාවකුත් නෑ. මොකද මම ගොඩාක් මුදල් හම්බ කරලා තිබෙනවා. ඒවා ආයෝජනය කරලා තිබෙනවා. නමුත් මට අවශ්‍ය රටට යමක් දෙන්න. රට ගොඩනඟන්න මානසික විභවතාවයන්ගෙන් රජයට සහයෝගයක් දෙන්න.

ඇත්තටම මම මුලදි කිව්වා වගේ සනත් ජයසූරිය වැනි විශිෂ්ට ක්‍රීඩකයන්ට මම මානසික පුහුණුවක් ලබා දී තිබෙනවා. රංගන හේරත් කියන සුපිරි ක්‍රීඩකයා ජාතික කණ්ඩායමට එන්නේ මගේ ක්‍රමවේදයන් අනුගමනය කරමින් මානසික ශක්තීන් අවධි කර ගත් නිසයි. ඔහු වෙනුවෙන් විශේෂ වීඩියෝ පටයක් මා නිර්මාණය කරලා දුන්නා. ඔබ දන්නවාද ඇන්ජලෝ මැතිව්ස් පාසල් ක්‍රීඩකයෙක්ව සිටි සමයේ විශේෂයෙන් අවුරුදු 19 න් පහළ ක්‍රීඩා කරද් දී මගෙන් උපදෙස් ලබා ගත් බව. ඔහු ජාතික තලය දක්වා වර්ධනය වද්දී ඔහුගේ මානසික උත්තේජක කටයුත්ත සිදු කරන පෞද්ගලික පුහුණුකරුවා වූයේ මමයි. ඒ නිසා මම ක්‍රීඩාවට අහසින් කඩා වැටුණු කෙනෙක් නොවෙයි. මට පසුබිමක් තිබෙනවා. මනෝවිද්‍යාත්මක පුහුණුව ලබා දීමේ දී මනස පුහුණු කරවන්න ක්ෂේත්‍රය කුමක්ද කියන කාරණය වැදගත් වන්නේත් නැහැ.’ චමිල කොඩිකාර මහතා පැවසීය.

වර්තමානයේ මොනවද කරන්නේ?

‘මම වර්තමානයේ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට අවශ්‍ය මනෝවිද්‍යාත්මක පුහුණුවක් ලබා දුන්නා. ඔවුන් තුළ රට සම්බන්ධයෙන් දැඩි ගාමක බලවේගයක් හදන්න මට පිළිවන් වුණා. නවසීලන්තයේ රග්බි ක්‍රීඩාව ඇතුළේ ප්‍රතිවාදීන් මානසිකව බිඳ දමන රංගනයක් ඉදිරිපත් කරනවා. මම අපේ පාපන්දු කණ්ඩායම තුළ එවැනි ලාංකික රංගනයක් නිර්මාණය කළා. අපේ ක්‍රීඩකයන් කෑවේ, බිව්වේ ‘ලයන්ස්’ කියන තේමාව යටතේයි. ඔවුන්ව මම මානසිකව සූදානම් කළේ උදෑසනට ‘සුබ උදෑසනක්’ කියන්න නොවෙයි. ඔවුන් එකිනෙකාට සුබ පතන්නේ ‘ලයන්ස්’ කියලයි. ස්තුතිය පුද කළේ ‘ලයන්ස්’ කියලයි.

නමුත් යම් යම් අර්බුදයන් මතු නොවුණා නොවෙයි. ඒත් මට පුළුවන් වුණා පාපන්දු කණ්ඩායම ඇතුළේ ලොකු වෙනසක් ඇති කරන්න. ඒ වෙනස ගැන අවබෝධයක් තිබෙන නිසා වත්මන් පරිපාලන මඬුල්ල මගෙන් වැඩක් ගනීවි යැයි මම සිතනවා.’

ඔලිම්පික් පදක්කමක් සිහිනයක් ද?

‘මම ඔප්පු කරලා පෙන්වන්න කැමැති දෙයක් තමයි ඔලිම්පික් පදක්කමක් කියන්නේ සිහිනයක් නොවන බව. එය අපට ලබා ගන්න හැකියි. එතැන දී කායික ශක්තිය සියයට දහයක් තිබිය දී සියයට අනූවක් අවශ්‍ය වන්නේ මානසික ශක්තියයි. එය අවධි කරගන්න හැකි වන්නේ තමන් තුළ එය නිවැරදිව ප්‍රතිනිර්මාණය කර ගැනීමට හැකිවන විටයි. මේවා මම සිංහලයෙන් මේ අයුරින් පැහැදිලි කරද්දී එය ජාත්‍යන්තර වශයෙන් ඉදිරිපත් කළ න්‍යායන් වශයෙන් භාවිත වෙනවා.

ඔබට මම මේ දේ කරන ආකාරය ගැන දළ අදහසක් ලබා දෙන්නම්. එතැනදී ඔබට අවශ්‍ය ඉන්ධන සපයන්නේ ඔබේ සිතිවිලි මඟින් බව මතක තබා ගත යුතුයි. එය සිතිවිල හා වචන බවට පත්කරනවා. දැන් ඔබ යමක් අරමුණු කර ගෙන එය රූපාත්මකව දකින්න. එය අනාගතයට ඔබට යන්න අවශ්‍ය කාල යන්ත්‍රයක්. නිකං කාල යන්ත්‍රයක් නොවෙයි. එය අලෝක වර්ෂ දහසක් වේගයෙන් යන ගමනක්. ඔබ ඔබේ සාර්ථකත්වය මවා ගන්නා විට අදාල ඉලක්කය වෙත ඔබව ඔබේ සිත රැගෙන යෑම සිදු වෙනවා. ඒ අනුව ඔලිම්පික් පදක්කමක් දිනාගනන් අවශ්‍ය සිතිවිල්ල අප තුළ පළමුව ඇතිවිය යුතුයි. ඊට පසු එය ජය ගැනීම සිතන විට, පරිකල්පනය කරද්දි අපේ මොළයේ දස බිලියනයක් නියුරෝන මඟින් විදුලි ධාරාවක් නිකුත් කරන්න පටන් ගන්නවා. අපි යමක් දකින විට රටාගත වුණු ස්නායු රැසක් එක්වී පටිගත චුම්බක සම්බන්ධතා ජාලයක් නිර්මාණය කරනවා. අපට පැරැණි සටහන් වර්තමාන චින්තය මඟින් වෙනස් කළ හැකියි.

මෙය අපි ස්වයං ප්‍රතිබිම්බ ජනනය යනුවෙන් හඳුන්වනවා. ඔබ ඔබට අවශ්‍ය යම් ජයග්‍රහණයක් ස්වයං ප්‍රතිබිම්බ ජනනය මඟින් මවා ගන්නේ නම් පරිකල්පනය මගින් ඔබේ ක්‍රියාකාරකම් ගොඩනංවන අතර එය පසුපස හැඟීම් පැමිණෙනවා. එවිට සිදු වන්නේ ඔබ ලැබිය යුතු ඵලය යා යුතු යාන්ත්‍රණයට අවශ්‍ය මාර්ගය නියුරෝන විසින් සකස් කර දීමයි. මෙය අසීරු නැහැ. ඔබට සිදු කළ හැකි ආකාරය මට පුහුණු කරවන්නට පිළිවන්. ජපානයේ ටෝකියෝහි සිටින ඔබට මගේ වෙබ් අඩවියට පිවිසීමෙන් මේ ස්වයං ප්‍රතිබිම්බ ජනනය මඟින් ඉලක්ක සඵල කර ගත හැකි වෙනවා. එය සිදු කර බලන්න.’

ඔලිම්පික් කණ්ඩායමට දේශනයක්

මම ඔවුන් සමඟ එක වරක් කතා කළා. ක්‍රීඩා ඇමැතිවරයා ඒ සඳහා මට අවස්ථාව ලබා දෙන්න කියලා නියෝග කළා. නමුත් මට ලැබුණේ එක් වරක් පමණක් කතා කිරීමටයි. ඒත් එය ඊට වඩා වැඩි කාලයක් මට කරන්න ලැබුණා නම් අපිට පදක්කම් ඉලක්කවලට ළං වෙන්න හැකියාව තිබෙනවා කියලයි මම කියන්නේ. දැන් වුණත් ප්‍රමාද නෑ. අවශ්‍ය වන්නේ මගේ වෙබ් අඩවියෙන් හෝ මේ ගැන අධ්‍යයනය කරන එකයි.’ චමිල කොඩිකාර මහතා පවසන්නේ ය.

මැජික්කාරයෙක් නොවේ

‘මම මැජික්කාරයෙක් නොවෙයි. ඒත් මම මනස ප්‍රබෝධවත් කරවන න්‍යාය හඳුනනවා. එය සිදු කළ යුතු ආකාරය හා ඊට මිනිසුන් පුහුණු කළ යුතු ආකාරය දන්නවා. ඒ නිසා මට මගේ රටේ සියලු මිනිසුන් තුළ ධනාත්මක ප්‍රබෝධයක් ඇති කළ හැකියි. ඊට රජයේ සහයෝගය ලබා ගෙන ඉදිරියේ දී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ලිඛිත යෝජනා මා විසින් අදාළ බලධාරින්ට ඉදිරිපත් කරලා තිබෙනවා. උදාහරණයකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැගිට්ටුවන්න අවශ්‍ය වැඩපිළිවෙළ මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට භාර දීලා තිබෙනවා. එය ඔවුන් ක්‍රියාත්මක කරන්න කැමති නම් මට පිළිවන් ශ්‍රී ලංකා කණ්ඩායම නැඟිට්ටුවලා පැරැණි තැනට රැගෙන එන්න. මට ජාතික කණ්ඩායම එපා. දෙවැනි පෙළ කණ්ඩායමක් දෙන්න. මම ඔවුන්ට කියලා ජාතික කණ්ඩායම පරාජය කරලා පෙන්වන්නම්. ඊට පස්සේ යම් සැකයක් තියේ නම් දුරු කර ගන්න හැකියාව ඇති වෙයි. මට අවශ්‍ය මේ ක්‍රමවේදය රටට එන්නත් කරලා රටම දිනවන්නයි. කරුණාකරලා මට ඊට සහය දෙන්න. වැඩිවිස්තර අවශ්‍ය අය www.positivewithchamila.com පිවිසිලා සියලු විස්තර කියවන්න. ඔබට ස්වයං ප්‍රතිබිම්බය සොයාගන්න හැකි වේවි.

කසුන් ඉරුගල්බණ්ඩාර

Comments