ඔලිම්පික් තිස් දෙකට උසස් වීමක් සමඟ ඇරඹුම දුන්නේ ශ්‍රී ලාංකිකයෙක් | සිළුමිණ

ඔලිම්පික් තිස් දෙකට උසස් වීමක් සමඟ ඇරඹුම දුන්නේ ශ්‍රී ලාංකිකයෙක්

 

තිස් දෙවැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙල දැන් ආරම්භවී තිබේ. ටෝකියෝ නුවර පැවැත්වෙන මෙවර තරගාවලියේ සමාරම්භක උළෙල පසුගිය 23 වැනිදා පැවැත් වූවද එය සැබැවින්ම ඇරඹුණේ ජූලි 21 වැනි දා ය.

ඒ කාන්තා සොෆ්ට් බෝල් තරගාවලිය සමඟිනි. ජපානයේ වේලාවෙන් එදින උදාසන නවයට ආරම්භ වූ අතර එම තරගයේ තාක්ෂණ කළමනාකරු ලෙස ශ්‍රී ලාංකිකයෙකු ද තරග බිමට එක්ව සිටියේ ය. ඒ අන්කිසිවකුත් නොව මෙරට එකම ජාත්‍යන්තර බේස් බෝල් විනිසුරුවරයා සේ සැලකෙන සුජීව විජයනායක ය. එය අතිශය ගෞරවනීය අවස්ථාවක් සේ සැලකිය හැක්කේ විශ්වයේ මහා ක්‍රීඩා මංගල්‍යයේ සමාරම්භක තරගයේ තාක්ෂණ කටයුතු බාරගනිමින් කටයුතු කරන්නට ශ්‍රී ලාංකිකයකු වශයෙන් ඔහු ලැබූ ගෞරවණීය අවස්ථාව හේතුවෙනි.

තවත් අතකින් මෙම තාක්ෂණ මෙහෙයුම්කරු වශයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලාංකිකයකුට අවසර හිමිවීම සම්බන්ධයෙන් සලකන කල සුවිශේෂවන කාරණයක් තිබිණි. ඒ සොෆ්ට් බෝල් ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුළත් තාමත් ක්‍රියාත්මකව නොමැතිව තිබියදීත් එකි අවස්ථාව හිමිවීමයි.

'තවමත් මගේ රටේ සොෆ්ට් බෝල් ක්‍රීඩාව ක්‍රියාත්මතක වන්නේ නෑ. නමුත් මට ඔලිම්පික් උළෙලේ දී තාක්ෂණ මෙහෙයුම්කරු වශයෙන් ඒ සම්බන්ධයෙන් ක්‍රියාකරන්න අවස්ථාව ලැබිලා තිබෙනවා. ජපානය -ඔස්ට්‍රේලියාව, අමෙරිකාව - ඉතාලිය, කැනඩාව- මෙක්සිකෝව ආදී තරග වලදී තමයි මට මේ තාක්ෂණ මැදිහත්වීම කරන්න ලැබුණේ.' ක්‍රීඩා කළ විමසීමේ දී සුජීව විජේනායක පැවසී ය.

තරගාවලි සංවිධානයේ නියෝජ්‍ය තාක්ෂණික ප්‍රධානියා වශයෙන් පත්වීම් ලැබූ සුජීව විජයනායක මේ වනවිට සුවිශේෂී උසස්වීමක් ලබමින් තාක්ෂණ කළමනාකාර ධූරයට පත්වීම විශේෂයෙන් සඳහන් කළ යුතු ය.

'අපි එක කණ්ඩායමක් වශයෙන් වැඩකළේ. ඔලිම්පික් ඇරඹීමට පෙර ලෝකයේ බොහෝ රටවල නිලධාරීන් ජපානයට ආවා. ඇවිත් අපිත් එක්ක කතාකළා. ජපානය සංවිධායක රාජ්‍ය වශයෙන් එලෙස පැමිණෙන සියල්ලන් සමග සාකච්ඡා කළයුතු වුණා. ඒ හැම අවස්ථාවකදිම වගේ මටත් සහභාගිවන්න පුළුවන් වුණා. උදාහරණයට හදිසියේ ක්‍රීඩකයකු අනතුරකට ලක්වුණහොත් ඔහු හෝ ඇය ගුවනින් රෝහල්ගත කරන්න හැකි ආකාරයට තමයි කටයුතු සැලසුම්කර තිබෙන්නේ.'යැයි ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ ය.

තමන්ට ඔලිම්පික් තරගාවලියේ සොෆ්ට් බෝල් ක්‍රීඩාවේ තාක්ෂණ මෙහෙයුම්කරුවකු ලෙසින් කටයුතු කරන්නට ලැබීම විශාල භාග්‍යයක් බවත් බටහිර ආසියානු බේස්බෝල් තරගාවලියේ දී තමන් තාක්ෂණ කළමනාකරු වශයෙන් කටයුතු කිරීමෙන් ලැබූ අත්දැකීම් ඔලිම්පික් තරගාවලියේ තාක්ෂණ කටයුතු සඳහා එක්වීමට අවස්ථාව උදාකළ බව ඔහු මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

Comments