අදිටනේ නොනිවෙන ගින්දරින් මතුවන දකුණු ආසියාවේ පංච මහා බලවත්තු | Page 2 | සිළුමිණ

අදිටනේ නොනිවෙන ගින්දරින් මතුවන දකුණු ආසියාවේ පංච මහා බලවත්තු

 

'බී.බී.සී. ක්‍රීඩා පිටුවේ විශේෂාංගයක් පළව තිබුණි. ඒ දකුණු ආසියාවනේ බිහි වූ අමතක නොවන ක්‍රීඩකයන් පස් දෙනකු පිළිබඳ ව ය. අප ඔවුන් හඳුන්වන්නට කැමැත්තේ දකුණු ආසියාවේ ක්‍රීඩාවෙන් බිහි වූ පංච මහා බලවතුන් ලෙස ය. මේ ඔවුන් ගැන ය.'

දකුණු ආසියාවේ විශිෂ්ටතම ක්‍රීඩකයන් ගොන්නක් ඉන්නවා. එතැන වැඩිපුරම ඉන්නේ ක්‍රිකට් ක්‍රීඩකයෝ. ඒත් ක්‍රිකට් තවමත් ඔලිම්පික් ක්‍රීඩාවක් නොවෙයි. ඒ ලෝකය පුරාම තවමත් ව්‍යාප්තිය මඳ නිසා.

එහෙම නොවන ක්‍රීඩා රැසක් අතරින් කෙදිනකවත් අමතක නොවන ක්‍රීඩකයන් කීප දෙනෙක් අපට මුණගැහෙනවා. ඒ අතර මිල්කා සිං, ජාහැන්ගීර් ඛාන්, සුසන්තිකා ජයසිංහ, මේරි කොම් හා රොහුල්ලා නික්පායි ඉදිරියෙන්ම ඉන්නවා.

අලුත් පරපුර මේ නම්වලින් කියැවෙන ක්‍රීඩකයන් කවුදැයි නොදැන ඉන්න පුළුවන්. ඒත් ඔවුන් පස් දෙනා සැලකෙන්නේ දකුණු ආසියාවේ ක්‍රීඩා උරුමයේ සදාකාලික හිමිකරුවන් ලෙසයි.

මොවුන්ගෙන් ඇතමෙක් දිගු කාලයක් ජයග්‍රහණයේ හිනිපෙත්තේ රැඳී සිටියා. තවත් සමහරුන් වාර්තා බිඳිමින් ලෝක ශූරතා දිනා ගත්තා. එසේත් නැත්නම් සරණාගත කඳවුරක ඉපිද, එහිම හැදී වැඩී පසුව ඔලිම්පික් පදක්කම් දිනා ගනු ලැබුවා. ඒ විස්මිත හැකියාවන් කිසිදා කිසිවකුට අමතක කළ නොහැකි විභවතාවන් සේ දැක්විය හැකියි.

මිල්කා සිං කියන්නේ ඉන්දියාවේ පියාඹන ෂික්වරයා. අපි ඔහු ගැන ගිය සතියේ කතා කළා. මිල්කා කියන්නේ පාකිස්තාන - ඉන්දියා දේශ සීමා ගැටුමට කදිම සාම දූතයෙක්. මොකද ඔහු තමන්ගේ ළමා කාලය ගෙවා දැම්මේ පාකිස්තානයේ. තරුණ විය ගත කළේ ඉන්දියාවේ. මිල්කා කියන විදිහට නම් ඒ කතාව මෙහෙමයි. 'මගේ ළමා කාලය ගෙවුණේ පාකිස්තානය වගේම තරුණ කාලය ඉන්දියාවේ. මම දුවන්නේ කොහෙද මගෙත් එක්ක ඉන්දියාවයි, පාකිස්තානයයි දෙකම දුවනවා.' ඒ කියන්නේ ඔහුගේ ඇඟේ දුවන්නේ ඉන්දු - පාකිස්තාන් රුධිරය. හින්දු කඳු වැටිවලින් හමන සුළඟ, කාශ්මීර සීතල, පාකිස්තානයේ වියළි ශුෂ්ක කාන්තාර බිම්වලින් හමන දූලි සුළඟේ වෙහෙස, විඩාව. ඒ කතාව යට වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියන කතාවත් සැඟවිලා තියෙනවා. ඒ කතාව ඔහුගේ උපත සමඟ බැඳී තිබෙන්නක්. ඒ කතාව මෙහෙමයි.

මිල්කා ඉපැදුණේ 1929 වසරේ. දැනට පාකිස්තානයට අයත් වන පන්ජාබ් ප්‍රාන්තයේ ගෝවින්ද්පුර.

ඉන්දියාව හා පාකිස්තානය බෙදුණාට පසුව මිල්කාට ඉතා කනගාටුදායක අත්දැකීමකට මුහුණ දෙන්න සිදුවුණා. ඒ තමයි තමන්ගේ මාපියන් වගේම, සහෝදර සහෝදරියන් 15 ක් ඝාතනය වීම.

ඔවුන්ගේ මරණයෙන් අනතුරුව මිල්කා සරණාගත කඳවුරකට වැටුණා. ඊට පසුව තමයි ඔහු ඉන්දියානු හමුදාවට බැඳී තමන්ගේ හැකියාවන් සොයා ගන්නේ. මීටර් 200 හා 400 ඉසව්වන්ගෙන් ඔහු තරග වැදුණා. පොදු රාජ්‍ය මණ්ඩලයීය රන් පදක්කමක් මීටර් 400 ඉසව්ව වෙනුවෙන් දිනා ගත් පළමු දකුණු ආසියානුවා බවටත් ඔහු පත්වුණා. ඒ වගේම තෙවරක් ඔලිම්පික් තරගාවලිය වෙනුවෙන් සහභාගි වෙලා තිබෙනවා.

' මගේ ඇතුළේ ගින්නක් දැල්වෙනවා.' මිල්කා සැම විටම කියා සිටියා.

ජාන්ගිර් ඛාන් පාකිස්තානයේ කරච්චි නුවර උපන්නෙක්. ස්කොෂ් ක්‍රීඩාවෙන් ඔහු විශිෂ්ට දක්ෂතා දැක්වූවා. ඒත් ජාන්ගිර් උපතේ දී කායිකව දුර්වල දරුවෙක් වුණා. වෛද්‍යවරු කිව්වේ ඔහුට කිසිම භෞතික ක්‍රියාකාරකමක් කරන්න බැරි වේවි කියලයි. ඒත් ඔහු අවුරුදු 17 දී ලෝක ශූරයකු බවට පත්වෙනවා.

'මට වාර්තා තියන්න සැලැස්මක් තිබුණේ නෑ. මට ඕනෑ වුණේ මම ක්‍රීඩා කළ හැම තරගයක් ම ජයගන්නයි. එය සති, මාස, අවුරුදු වශයෙන් දිගු වුණා.' ඛාන් කියනවා.

ඔහු සය වතාවක් ලෝක විවෘත ස්කොෂ් ශූරතාව ජය ගත්තා. වසර හයක් ලෝකයේ අංක එක ස්ථානය රැක ගැනීමට සමත් වුණා. බ්‍රිතාන්‍ය විවෘත තරගාවලිය දස වතාවක් ජය ගනු ලැබුවා. ඒ වගේම ඔහු තමන්ගේ කායික දුබලතා ගැන කියපු අනාවැකි අසත්‍යයක් කරමින් ලෝක ආධුනික ස්කොෂ් ශූරතාව දිනාගත් ළාබාලා ම ක්‍රීඩකයා ලෙස වාර්තා පොත් අතරට එක්වන්නට තරම් දක්ෂ වුණා. අඛණ්ඩව අපරාජිතව තරග 555 ක් ජය ගනිමින් ඔහු වාර්තාවක් පවා පිහිටුවා තිබෙනවා.

සුසන්තිකා ජයසිංහ දකුණු ආසියාවේ අනෙක් සුවිශේෂී ක්‍රීඩක නාමය. ඇය ගැන වෙනම ලිපියක් පළවන නිසා මෙහි සටහනක් තබන්නේ නෑ. නිසි පුහුණුකරුවකු, පහසුකම් නොමැති ව වසර පනස් දෙකකට පසුව ක්‍රීඩාවෙන් ලෝකය ජය ගත් ඇය සුවිශේෂී ක්‍රීඩා චරිතයක්.

මේරි කොම් කියන්නේ ඉන්දියාවෙන් බිහිවූ ලෝක ශූර බොක්සිං ක්‍රීඩිකාවක්. ඇයගේ ජීවිතයේ ආදර්ශ පාඨයක් තියෙනවා. ඒ තමයි 'කළ නොහැක්කක් නැත.' යන්න. ඉන්දියාවේ මනිපූර්වල උපන් කොම් කියන්නේ ලෝක ශූරතා අටක් ජය ගත් එකම බොක්සිං ක්‍රීඩිකාව. ඒ වගේමයි ඇය ආධුනික බොක්සිං ශූරතා හයක් ජය ගත් එකම ක්‍රීඩිකාව.

ඇය 2012 වසරේ ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේ ෆ්ලයිවේට් ලෝකඩ පදක්කම දිනාගත්තා. 2018 වසරේ දී ලයිට් ෆ්ලයිවේට් ඉසව්ව නියෝජනය කරමින් පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේ දී රන් පදක්කමක් දිනා ගනු ලැබුවා. ඇය ක්‍රීඩාවේ දක්ෂතා දැක්වූයේ හිටපු මල්ලවපොර ශූරයකු වූ තමන්ගේ පියාගේ උනන්දුව හා උපදෙස් අනුව කටයුතු කිරීමෙනුයි. ඇය මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී ඉන්දියානු ධජය රැගෙන යෑමට නියමිතව තිබුණා. ඒ වගේම මේරි කොම් කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්.

රොහුල්ලා නික්පායි කියන්නේ ඇෆ්ගනිස්ථානයේ සරණාගත කඳවුරක ඉපිද හැදී වැඩුනෙක්. ඒ ඉරාන සරණාගත කඳවුරක් තුළයි. සිවිල් යුද තත්ත්වයක් හේතුවෙන් තමයි ඔහුට මේ ආකාරයේ ඉරණමකට මුහුණ දීමට සිදුව තිබුණේ. නමුත් රොහුල්ලා ටිකෙන් ටික වැඩෙද් දී ටයිකොන්ඩෝ ක්‍රීඩාවට මහත් ඇල්මක් දක්වන්න වුණා.

මේ නිසා ඔහුට ජාත්‍යන්තරය දිනාගන්න හැකියාව ලැබුණා. එහෙම දිනද් දී ඔහු ලෝකයට අපූරු පණිවුඩයක් කිව්වා. 'මගේ ජයග්‍රහණයේ ප්‍රවෘත්තියක් තියෙනවා. ඒ පණිවුඩය තමයි මම ලෝකයට දැනුම් දෙන්නේ. දසක තුනක යුද්ධයකට පසුව මගේ රටට සාමය ලැබී ඇති බව.'

නික්පායි තමයි ඇෆ්ගනිස්ථානයට පළමු ඔලිම්පික් පදක්කම රැගෙන ආවේ. ඒ ලෝකඩ පදක්කමක්.

මේ ක්‍රීඩකයන් පස් දෙනාගේම අපූරු කතාවක් තිබෙනවා. ඒ තමයි කොතරම් දුක්ගැහැට ආවත් නොසැලී සිටීමට කටයුතු කළ ආකාරය. ඔවුන් කිසිදේකින් පසුබට වුණේ නෑ. කොයිතරම් බලපෑම් ආවත්, දරිද්‍රතාවයෙන්, යුද්ධයෙන්, නිලධාරිවාදයෙන්, ශරීර දුබලතාවයන්ගෙන් බැට කෑවත් ඔවුන් තමන් තුළ දැල්වෙමින් තිබූ ගින්න නිවා ගත්තේ නෑ. ඔවුන් ඒ ගින්නෙන් නැඟී සිටියා. ඒ නැඟී සිටීම දකුණු ආසියාවේ විශිෂ්ටතම ක්‍රීඩකයන් පස් දෙනා ලෙස ලෝක සම්මානයට පත්වීමට තරම් ප්‍රබල වුණා. අප උගත යුත්තේ ඔවුන්ගේ මේ නොනිවී දැල්වෙන ගින්දර අප තුළත් දල්වා තබා ගන්නේ කෙසේද යන්නයි.

 

කසුන් ඉරුගල්බණ්ඩාර

Comments