දරුවන්ගේ ලෝකය දරුවන්ට දෙන්න! | සිළුමිණ

දරුවන්ගේ ලෝකය දරුවන්ට දෙන්න!

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවය කළ වතුකරයේ දැරියක වූ ජූඩ් කුමාර් ඉෂාලිනීගේ සිද්ධිය මේ වනවිට රට ම කලඹා තිබේ. මේ එක් සිද්ධියක් පමණී. ලංකාව පුරා මෙන්ම ලෝකය පුරා ද මේ වැනි දේ තවදුරටත් සිදු වෙමින් පවතී. ලංකාවේ දකුණේ බොහෝ දෙනා සිතන්නේ වතුකරය තමන්ගේ බූදලයක් කියා ය. සිය නිවෙසේ වැඩ කරගත නොහැකි යැයි සිතෙන ඇතැම් අයගේ ඉලක්කය වතුකරයට ගොස් සිය ආවතේව කරගන්නට මෙහෙකාරියක් රැගෙන ඒම ය. එකී සිතිවිල්ල ආ සැනින් එක්කෝ ඔවුහු වතුකරයට යති; නැත්නම් තැරව්කරුවකු මඟින් වතුකරයෙන් මෙහෙකාරියක් සොයා ගනිති. මෙය කාලාන්තරයක් තිස්සේ කිසිදු හිරිකිතයකින් තොර ව සිදු වන්නකි. වඩාත් හිරිකිත කරුණ වන්නේ තවමත් ළමා විය ගතකරන දරුවන් මෙහෙකාර සේවයට කැන්දා ගෙන ඒම ය. තම දරුවා ලස්සනට හැඳ පැලඳ පාසල් යද්දී ඒ දරුවාගේ සපත්තුවේ ලේස් එක ගැට ගසන්නට ඒ වයසේ ම දරුවෙක් යොදා ඇත්නම් ඔබ තවදුරටත් කිසියම් ම හෝ ආගමික සංස්ථාවකින් හික්මීමක් ලද්දකු විය නොහැකි ය; එවැන්නන් අයත් වන්නේ මිනිස් වෙසින් සිටින තිරිසන් ගණයට බැව් කියන්නට කිසිවකුත් මැළි විය යුතු ද නැත.

ළමා සිත් එක ම වාගේ ය. ඒවා සියුමැලි ය; ආදරණීය ය; ආදරය බලාපොරොත්තු වෙන්නේ ය. ඒ දරුවා පොහොසත් බංගලාවක ඉපදුණත්, දුප්පත් පැලක ඉපදුණත් එක ම සංවේදනා දරන්නේ ය. ඉදින් එක් දරුවකුට එක් විදියකටත් තවත් දරුවකුට තවත් විදියකටත් කිසිවකු හෝ සලකන්නේ නම් ඔහු හෝ ඇය මනුසත් ගණයට නොවැටෙන්නේ ය. දරුවන් මෙහෙකාර වෘත්තියට යොදවන බොහෝ දෙනා එය එසේ කරන්නේ අඩු වැටුපක් දීමේ අභිලාෂයෙන් බව නොරහසකි. රිෂාඩ් බද්යුද්දීන් ද එහෙම ය. අවම වශයෙන් තමාට පොරොන්දු වූ මුදලවත් නොදුන් බව ඉෂාලිනීගේ අම්මා පවසා තිබේ. වැටුප් කෙසේ වෙතත් තම දරුවන්ට රසමසවුළු දෙද්දී ඉතිරි වෙන ඉඳුල් අර මෙහෙකාර දරුවන්ට දෙන ගෙවල් කොතරම් ඇත්ද යන්න පවා රහසකි.

මේ වනවිටත් ලොව පුරා දරුවන් මිලියන 168ක් පමණ මෙහෙකාර සේවයේ යොදවා ඇති බව අන්තර්ජාතික කම්කරු සංවිධාන දත්ත පෙන්වා දෙයි. ඉන් බොහෝ දරුවන් පිරිසක් වයස අවුරුදු 5-17ත් අතර වයසේ පසුවෙන්නෝ වෙති. ලෝකයේ වැඩි ම ළමා මෙහෙකරුවන් ප්‍රමාණයක් වාර්තා වන්නේ ආසියා-පැසිෆික් කලාපයෙනි. මිලියන 1.2ක පමණ දරුවන් ප්‍රමාණයක් කම්කරුවන් ලෙස දෙමාපියන් විසින් අලෙවි කොට හෝ යම් ණය කොන්දේසි මත මෙහෙකාර සේවයේ යොදවා ඇති බව වාර්තා වේ.

සෑම වසරක ම දරුවන් 22,000ක් පමණ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී ජිවිතක්ෂයට පත් වී ඇතැයි ගණන් බලා තිබේ. ලෝකයේ සෑම තත්ත්පර 15කට වරක් ම ආහාර නොමැති ව දරුවෙක් මිය යන අතර සෑම තත්ත්පර 10කට වරක් ම ආහාර නොමැතිකම නිසා පවුලක් මිය යන බව ඔබ දන්නවාද? සැබැවින් ම මේ අප දකින ලෝකය තිරයකින් වැසූ ලෝකයකි.

දුම්රියෙහි හෝ බස් රථයකට වැදී තමන් හැඳ සිටින බැනියම මඳක් ඔසවා පට, පට හඬින් ඉළඇට කූඩුව කැඩෙන තරම් වේගයෙන් තම වැළමිටෙන් පැත්තට පහර දෙමින් ‘ඩිංගි ගසන‘ එමෙන්ම නගරයේ අවන්හල්වල ඉඳුල් පිඟන් සෝදා, මැනින් මාර්කැට්ටුවේ මුට්ට කර ගසමින් නැත්නම් හිඟමන් යැද, එදා වේල පිරිමහගන්නට කීයක් හෝ සොයා ගන්නට වෙර දරන මාවත්වාසී දරුවන් කොළඹ නගරයෙහි කොතෙක් වේ ද; ඔබට කොතෙක් හමු වී තිබේද?

කුසට අහරක් වෙනුවෙන් දැරිය නොහැකි බර උසුලමින්, දුක් පීඩා විඳිමින් නිවෙස්වල හා කටුක වැඩබිම්වල ජීවිතය දිය කර හරින මෙවැනි දරුවෝ අපමණ වෙති. ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තීන් හා යහපත් එකඟතාවක් පවත්වා ගන්නා ලොව ප්‍රධාන පෙළේ රටවල් කිහිපයක් හැරෙන්නට තවමත් ලෝකයේ බොහෝ රටවල කුඩා දරුවන් යනු නොසලකා හැරීමටත්, පීඩනයටත් ලක් කෙරෙන අවම වරප්‍රසාද හිමි ජන කොට්ඨාසයකි.

විශේෂයෙන් ම ආසියානු කලාපයේ ජීවත් වන දරුවන් ඔවුන්ගේ සංස්කෘතීන් විසින් ම හිමි කර දෙන ව්‍යසනකාරී බලපෑම් හමුවේ අත්විඳින පීඩා බොහෝ ය. හඬක් නැති අසරණ දරුවන්ගේ ලෝකය කෙරෙහි වැඩිහිටියන් දක්වන මේ කුරිරු අඩන්තේට්ටම් නිසා මිහිමඬල පුරා අනන්තවත් කුඩා දරු සිඟිත්තන් ඔවුනට උරුම වී ඇති අඳුරු ඉරණම; බිමට යොමා ගත් බොඳ වූ නෙතින් යුතු ව ඉවසා දරාගෙන සිටීම කෙතරම් ඛේදවාචකයක්ද යන්න තවදුරටත් කිව යුතු නැත.

වතුකරයෙන් රිෂාඩ්ගේ ගෙදරට ගෙනා බාලවයස්කාර දැරිය අපයෝජනයට ලක් වී ඇති බව අධිකරණ වාර්තා පෙන්වා දෙයි. ඇය අතොරක් නැති අතවරවලට ලක් ව දුක්විඳ ගින්නෙන් පිලිස්සී මිය යද්දී ඇගේ ළමා සිත කෙතරම් පීඩිත වන්නට ඇත්දැයි දන්නේ දෙවියන් පමණක් වෙන්නට ඇත. ඒ දෙවියන්ට ද මනුස්ස ලෝකයට බැස ඇය බේරාගත නොහැකි වීම ඛේදවාචකයකි. වෙබ් අඩවියක් ඔස්සේ දැරියක ලිංගික අවශ්‍යතා වෙනුවෙන් විකිණූ හා හිත්පිත් නැතිව ඒ දැරිය අපයෝජනය කළ නරුම රැලක් තවමත් නීතියේ රැහැනට හසු වෙමින් සිටිති. සිය පියා විසින් දූෂණය කරනු ලදුව වයස අවුරුදු 12 සහ 14 දැරියන් දෙදෙනෙක් ළමා ගැබිනි මවුවරු බවට පත්ව සිටිති; සිය පියා විසින් අරඹනු ලදුව ගමක් විසින් අපයෝජනය කළ දැරියක් ගැන පරීක්ෂණ පවත්වමින් සිටිති. මේ සියලු දූෂණ වාර්තා වූයේ සතියක දෙකක කාලයක සිට ය. මේ සංස්කෘතික කඩා වැටීම කොතනින් නිම වේදැයි කියා අපට අනුමාන කළ නොහැකිය. එය කඩා වැටීමකටත් වඩා සෝදා පාළුවකි.

ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ ජුලි මස මුලදී මාධ්‍ය වෙත පවසා තිබුණේ ළමා අපයෝජන සම්බන්ධයෙන් වූ පැමිණිලි දොළොස් දහස් එකසිය හැට පහක් ගත වූ වසර එකහමාරේදී ලැබී ඇති බවයි. එකී අධිකාරිය පවසන පරිදි ළමා අපයෝජන සම්බන්ධයෙන් මේ වසරේ මුල් මාස පහේදී ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 4000 කි. ඉදින් මේ අවනඩුව කියන්නේ කාටදැයි නොතේරේ.

වරප්‍රසාද ලත් පන්තියේ දරුවන් මල් කැකුළු වීමත් අවවරප්‍රසාදිත දරුවන් නිරයේ පතුලේ ජීවත්වීමටත් සැලැස්සූ සමාජ ක්‍රමය වෙනස් විය යුතු ව ඇත. හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ළමා ලොව විචිත්‍රවත් කරන්නට සුරංගනා කතා ලිව්වේ ය; වෝල්ට් ඩිස්නි සිහිනලන්තය හදා දරුවන්ගේ ලොව වර්ණ කළේ ය; මේ සියල්ල දරුවන්ගේ මල් වැනි මනසට ඔසු හදන්නට ගත් උත්සාහයෝ වෙති. ගොරහැඬි දේශපාලනයෙනුත්, සංස්කෘතික පෙලඹවීම් හා ජාතිකත්ව පීඩනයෙනුත් මේ සුන්දරත්ව නොතකා දරුවන්ගේ නිවහල් ලෝකය වනසා කිලිටි කර දමා තිබේ. ඔවුන් වෙනුවෙන් ම ගොඩනගා ගත් සම්මුති හා නිර්ණායක පා දූවිල්ලක් තරම් හෝ නොතකමින්, අදටත් මේ පොළොව මත අනන්ත වූ රෝස පැහැ කම්මුල් කඳුළින් තෙමෙමින් තිබේ. ඉදින් මේ දරුවන් වෙනුවෙන් නැඟී සිටිය යුතු කාලයකි. තම දරුවා මෙන් ම ලොව සියලු දරුවන් රැක ගත යුතු කාලයකි.

රිෂාඩ් වැන්නවුන් එදා ද සිටියේ ය; අද ද සිටියි; එහෙත් හෙට ට අවැසි නැත. මේ ඒ වෙනුවෙන් හඬ නැඟිය යුතු; පෙනී සිටිය යුතු මොහොතය.

Comments